20 තිප්පල්ලත්ථිමිග ජාතකය

තවද තිලෝගුරු බුදු රජානන් වහන්සේ කොසඹෑ නුවර නිසා බදාරිකා රාමයෙහි වසන සේක් ශික්‍ෂාකාමී වු රාහුල ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.
එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ අලව් නුවර නිසා අග්ගාළව නම් දේවාලයෙහි වසන කල්හි බොහෝ උපාසිකාවරුද භික්ෂූනීහුද විහාරයට බණ අසනු පිණිස එලඹෙති, දාවල් දවස බණ අසති, කල්ගිය ගියසේ උපාසිකාවරුද භික්‍ෂූණීහුද බණ ඇසීමට නොගොස් උන්හ. භික්ෂූන් වහන්සේද උපාසිකාවරුද ඒ පර්ෂිද්හි ඇතිවූහ. එතැන්පටන් රාත්‍රියෙහි බණ ඇසීම සැළසුනේය. බණ අසා අන්තයෙහි වැඩිමහළු භික්ෂූන් වහන්සේ තමන් වහන්සේ වසන්නා වූ ස්ථානවලට ගොස් සැතපෙන සේක. බාල භික්ෂූන් වහන්සේ උපාසකවරුන් හා සමඟ භෝජන ශාලාවෙහි සැතපෙන සේක. ඒ උපාසිකාවරුන් හා බාල වහන්දැ නිද්‍රාවට පැමිණි කල්හි, ඉන් සමහර කෙනෙක් ඝුරු ඝුරු යන අනුකරණ ඇතිව ප්‍රශ්වාස කරන්නාහුය. දත් කමින් හොනාහ. සමහර කෙණෙක් මද ඇසිල්ලක් නිදා නැගී සිටිනාහුය. මේ විප්‍රකාර දැක භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේට දැන්වූ සේක. බුදුහු යම් කිසි මහණෙක් අනුපසම්පන්නයක් හා එක සෙනස්නෙහි සහසෙය්‍යාව කෙළේ නම් පාචිත්තියාපත්ති වන්නේයයි ශීක්ෂා පද පණවා කොසඹෑ නුවරටම වැඩිසේක. ඒ විහාරයෙහි භික්ෂූන් වහන්සේ ආයුෂ්මත්වූ රාහුල ස්ථවිරයන් වහන්සේට ඇවැත්වූ රාහුල ස්ථවිරයෙනි. සර්වඥයන් වහන්සේ විසින් අනුප සම්පන්නයක් හා එකසෙනස්නේ දනුවයි කී සේක. පළමුත් ඒ භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේද කෙරෙහි ගෞරවයෙන්ද ඒ ආයුෂ්මතුන් වහන්සේගේ ශික්ෂාකාමී බව නිසාද තමන්වහන්සේලා වසන්නා වූ ස්ථානයට පැමිණියා වූ ඒ රාහුල ස්ථවිරයන් වහන්සේට අතිශයින් සංග්‍රහ කරණ සේක. මිටි ඇඳක් පනවා ඉස තබන්නට සිවුරක් දෙන සේක. එදවස් වනාහි ශික්‍ෂාපද භයින් වසන්නාවූ ස්ථානයක් නුදුන් සේක. රාහුලෝත්තමයානන් වහන්සේද මාගේ පියානන් වහන්සේ යයි සර්වඥයන් වහන්සේගේද මාගේ උපාධ්‍යායන් වහන්සේයයි සැරියුත් මහතෙරුන් වහන්සේද මාගේ ආචාරීන් වහන්සේ යයි මුගලන් තෙරුන් වහන්සේගේද මාගේ සුළුපියානන් යයි අනද මහතෙරුන් වහන්සේද සමීපයට නොගොස් සර්වඥයන් වහන්සේ චලංජනය කරන්නාවු වර්චස් කුටියට බ්‍රහ්මවිහරණයකට වදනක් වූ මෙන් වැද රාත්‍රීයෙහි වාසය කළසේක. සර්වඥයන් වහන්සේ චංඡනය කරන්නා වූ කුටියෙහි දොරඅගුළු මොනවට වසන ලද්දේ වෙයි. බිම සුවඳාන් පිරිබඩ ගන්නා ලද්දේය. ගන්ධ ධූම පුෂ්පදාමයෙන් එල්වන ලද්දේය. සකල රාත්‍රියෙහි පාන් ඇවිලෙන්නේය. රාහුලොත්තමයානන් විසින් ඒ කුටියෙහි මේ යථොක්ත වූ සමෘද්ධි නියාව ඒ රාත්‍රී වාසය කළ සේකුන් නොවෙයි භික්ෂූන් වහන්සේ විසින් තොප වසන්නාවූ ස්ථානයක් දනුවයි කියන හෙයින් අවවාදයෙහි ගෞරවයෙන්ද ශික්‍ෂාකාමී බැවින්ද ඒ වර්චස් කුටියෙහි රාත්‍රි වාසය කළසේක. අතරතුරයෙහි භික්ෂූන් වහන්සේද ඒ රාහුල ස්ථවිරයන් වහන්සේ දුරදීම එන්නා දැක ඔවුන් වහන්සේ වත්සම්පන්න බව පරීක්ෂා කරණ ිපිණිස මිටලු මුස්න හෝ කසල පෙට්ටිය හෝ පිටත දමා ඇවැත්නි, මේ කවුරුන් විසින් දමන ලද්දේදැයි කියන්නාහ. කිසිකෙණෙකුන් විසින් රාහුල ස්ථවිරයෝ මේ මගින් ගියෝ දැයි කී කල්හි ස්වාමීනි මේ මම නොදනිමි නොකියා ඒ නොතැන්පත්ව තිබූ මුස්න හා කසල පෙට්ටිය තැන්පත් කොට තබා මට ක්‍ෂමා කොට වදාළ මැනව ස්වාමීනියි භික්ෂූන් වහන්සේ තමන් වහන්සේගේ ශික්ෂාකාමී බව නිසා ඒ වර්චස් කුටියෙහි රාත්‍රිය වාසය කළසේක. ඉක්බිත්තෙන් බුදුරජානන් වහන්සේ අරුණු නැගෙන්නාට පෙරාතුව වර්චස් කුටි වාරයෙහි වැඩසිට කෑරූසේක. ඒ රාහුල ස්ථවිරයන් වහන්සේද ඇතුලේ ඉඳ කෑරූ සේක. මේ කවරෙක් දැයි බුදුහු විචාල සේක. මම රාහුල යයි ගෙන් මෑත්ව වැඩිසේක. රාහුලය කවර හෙයිකින් තෝ මෙතන වැදහොත්තේහිදැයි විචාළසේකි. ලගිනාතෙනක් නැතිහෙයින් නැයි කියා ස්වාමීනි. භික්ෂූන් වහන්සේ පළමු මා ආ කල්හි සංග්‍රහ කරණ සේක්. දැන් තමන්වහන්සේට ආපත්ති වෙයි යන භයින් වසන තැන් නොදෙන සේක. ඒ මම මේ ස්ථානය අනික් කෙනෙකුන් විසින් ඝට්ටනය නොකරන්නාවූ ස්ථානයක් වේදැයි මේ කාරණයෙන් මෙතැන සැතපීනිමි යි දැන්වූ සේක. ඉක්බිත්තෙන් භික්ෂූහු දැම්ම රාහුලයා හරණ වූ සෙසු කුලදරුවන් වහණ කරවා කුමක් කෙරෙත්දැයි කියා සර්වඥයන් වහන්සේට ධර්මසංවේග උපන්න්යි ඉක්බිත්තෙන් උදැසනක්සේම භික්ෂූන් වහන්සේ රැස් කරවා දම්සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේ අතින් ශාරිතපුත්‍ර ස්ථිවිරයයෙනි අද රාහුලයා කොතැනක ලැග්ගේද තෙපි දනුදැයි විචාරා වදාළසේක. ස්වාමීනි මම නොදනිමි දැන්වූසේක. ශාරිපුත්‍ර ස්ථවිරයෙනි අද රාහුලයා වර්චස් කුටියෙහි ලැග්ගේය.. මෙපරිද්දෙන් රාහුලයා හරණ වූ තෙපි හැම සෙසු කුලදරුවන් මහණ කරවා කුමක් කරව්ද මෙසේ කළ කල්හි මේ බුද්ධශාසනයෙහි ප්‍රවෘජිතයෝ පිහිටක් නොලබන්නාවු වේදැයි ධර්මසංවේගයට පැමිණ මෙතැන්පටන් කොට අනුපසමපන්නයක්වූ එක්ව දෙදවසක් තමා සමීපයෙහි වස්වා තුන්වැනි දවස් ඔවුන් වසන තෙනක් දැන පිටත වස්වයි කියා මේ අනුප්‍රඥ්ප්තිය වදාරා නැවත ශික්ෂාපද පැනවූසේකී. එකල්හි දම්සභා මණ්ඩපයෙහි වැඩහුන් රාහුල ස්ථවිරයන් වහන්සේගේ ගුණ කථා කියනසේක් ඇවැත්නි බලව රාහුල ස්ථවිරයෝ යම්තාක් ශික්‍ෂාකාමිහුය. ඒ භික්ෂූන් විසින් තොප වසන තෙනක් දනුවයි කියන ලද්දාහ. මම සර්වඥයෙමි තෙපි හැම මේ සස්නට කවුරු දැයි තෙපිම නික්මෙවයි කියා එකද සව්වක්හූ හාත් පිළිසඳරයක් නොකොට වර්චස් කුටියෙහි වාසය කළෝ දැයි කියා ඒ භික්ෂූන් වහන්සේ කථා කරණ කල්හි සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ සරහන ලද බුද්ධාසන මස්තකයෙහි වැඩ හිඳ මහණෙනි, දැන් මා එන්නට පූර්වභාගයෙහි කවර නම් කථාවකින් යුක්තව උනුදැයි විචාළසේක. ස්වාමීනි රාහුල ස්ථවිරයන්ගේ ශික්‍ෂාකාමී බව කතාකොට කොට උනුම්හයි. දැන්වූ කල්හි සර්වඥයන් වහන්සේ ද මහණෙනි රාහුල ස්ථවිරයෝ දැන් මතු ශික්ෂාකාමී නොවෙති. පූර්වයෙහිත් තිරශ්චින යෝනියෙහි උපන්නෝද ශික්ෂා කාමීව විසුවෝ වේදැයි වදාරා ඉකුත්වත් ගෙණහැර දක්වා වදාළ සේක.

යටගිය දවස රජහග නුවර එක් මගධ රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කෙරෙති. එකල්හි මහාබෝසතාණෝ මෘග යෝනියෙක්හි ඉපිද මෘග සමූහයා විසින් පිරිවරණ ලදුව වනයෙහි වාසය කරන්නාහ. ඉක්බිත්තෙන් ඒ බෝධි සත්වයන්ගේ නැගණියෝ තමන්ගේ පුතනුවන් එතනට කැඳවාගෙණ අවුත් බෑයන් වහන්ස නුඹවහන්සේගේ බෑණනුවන්ට මෘග මායම් ඉගැන්නුව මැන වැයි කිවුය. මහාබෝධිසත්වයෝ යහපතැයි නැගණියන්ට ප්‍රතිවචනාදී යවා දරුව අසවල් වේලේ ඇවිත් උගනුවයි කීහ. ඒ මෘග පෝකයාද මයිලනුවන් විසින් නියමකොට කී වෙලා නොයික්මවා බෝධිසත්වයන් කරා එලඹ මෘග මායම් උගන්නේය. මෘගපෝතකයාද එක් දවසක් වනයෙහි ඇවිදිනේ මලෙක් හී බැඳුනේ තමා බැඳුනු නියාව කියා ඇඬුයේය. මෘගසමූහයාද පලාගොස් තොපගේ පුතනුවෝ මලෙක බැදූනෝ යයි ඒ මුවපැටවාගේ මෑනියන්ට කීහ. ඒ මෘගධෙනුවද බෑයන් සමීපයට ගොස් බෑයන් වහන්ස නුඹ වහන්සේගේ බැනණුවෝ මෘග මායම් උගත්තුදැයි විචාළිය. මහ බෝසතාණෝද තොපගේ පුතනුවන්ට කිසි සැකයක් තොපි නොකරවයි ඔහු විසින් යහපත් කොට මෘගමායම් උගන්නාලදැයි කිසිත් පීඩාවක් නැත. තොප සතුටු කර මින් දැන් එති කියන්නාවූ බෝධිසත්වයෝ මෙසේ කීවාහුය. එම්බා පින්වත තෘණ භක්ෂණයකොට සෙය්‍යාව කරන්නාවු අටකුහරයකින් යුක්තවූ මධ්‍යම රාත්‍රි වෙලෙහි පැන් බොන සුලුවූ මට බෑණාවූ මෘගපෝතකයාණන් නොයෙක් මෘග මායම් ඉගැන්විමි. එසේ හෙයින් නාසාවතයකින් සුලං රඳවා භූමියෙහි වැදහෙව ආස්වාසය කෙරෙමින් කලා සයකින් යුක්තවූ මෘග මායමින් වැද්දහු වඤචාකොට තොපගේ පුත්‍රයානෝ තොප සතුටු කෙරෙමින් නොබෝ කලකින් එන්නාහයි ඒ බෝධිසත්වයෝ කිවාහුය. මෙසේ මහබෝධිසත්වයෝ තමන්ගේ බෑනණුවන්ට මෘගමායම් යහපත් කොට ඉගැන්වූ බව දක්වන්නාහු නැගනියන්ට ශෝක නොකරවයි අස්වැසූහ. ඒ මුව පැටවාද මල බැඳුනු තැනැත්තෝ නොසෙල්විම භූමියෙහි හෙව ඉල ඇට පෙණෙන නියායෙන් කකුල් දික්කොට එක ඇලයකින් වැදහොත් තෙනට ආසන්නයෙහි කුර අගින් ගසා පස්ද තණද උපුල්වා මලමුත්‍ර පිටත් කොට ඉස එල්ලා දිව දික්කොට සකල ශරීරය කෙළින් කිළිටුකොට සුලන් ගැන්වීමෙන් බඩ උදුම්වාගෙණ ඇස පෙරලාගෙණ යටවූ නාසාපුටයෙන් වාතය සංවරණය කෙරෙමින් මතු නාසාපුටයෙන් පිටත නික්මෙන්නාවූ වාතය රඳවා සියලු ශරීරයෙහි තදබව ගන්වා මළා වූ ආකාරය දැක්වුයේය. නිලමැස්සෝද ඔහු වටකොටගත්හ. ඒ ඒ ස්ථානයෙහි කපුටෝත් සැඟව් උන්හ. මේ නියායෙන් වැදහොත්තෙනට මල ලූ වැදි අවුත් මුවාගේ බඩ අත ගසා උදැසනම බැඳූනේ වන කුණුව ගියේ යයි ඌ බැඳූනු වරපට මුදා මෙතනදීම මොහු මස් කොට ගෙණ යෙමි සැකයක් නැතිව කොළ අතු කඩන්ට පටන් ගත, මුවපැටවාද වැදහොත් තැනින් නැගී සතරපයින් ශරීරයේ සිට කිළිපොළා කර දික්කොට මගවාතයෙන් සිඳුනාවූ වලාකඩක් මෙන් යුහුව දුවගෙණ ගොස් මෑණියන් සමීපයට ගියේය. සර්වඥයන් වහන්සේද මහණෙනි, රාහුලයා දැන් මතු ශික්ෂාකාමී නොවෙයි, පූර්වයෙහිත් ශික්ෂා කාමී යයි වදාරා මේ ජතක ධර්මදේශනාව ගෙණ හැර දක්වා සන්ධි ගළපා තිප්පල්ලත්ථිමිග ජාතකය නිමවා වාදළසේකි.

එකල්හි බෑණාවු මුව පැටියානෝ නම් දැන් රාහුල ස්ථවිරයෝය, ඒ මුව පැටියානන්ගේ මැණියෝ නම් උපුල්වන් මහා ස්ථිවරීය, මුවපැටියානන්ට මයිල්වූ මුවාණෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.

 

 

 

 

උපුටාගැනීම – www.jathakakatha.lk

21 මතක භක්ත ජාතකය
19 ඛරාදිය ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.