18. බුදුහු කොසොල් රජුගේ කුහුල සංසිඳවති …

අනේපිඞු සිටුවරයා විසින් අභිනවයෙන් ඉදිකරවන ලද ඡේතවනාරාමය පිළිබඳ සැවැත්නුවර වාසීහු ප්‍රශංසා මුඛයෙන්ම කතා කරන්නට වූහ. එමතු නොව මගධ රාජ්‍යයෙහි තන්හි තන්හි නුවර ගම වෙනෙසක්‌ නොමැතිව ඒ විහාර කර්මාන්තයෙහි වර්ණනාද ඇසුණි. නන් විසිතුරු රුක්‌ පෙළින්ද නිබඳ බඹර මුළු රඳනා මල් ගොමුවලින්ද සුනිල් දිය දහරා වලින්ද සෝබමාන වු ඡේත උයන මෙබඳු සංසාරාමයක්‌ බවට පත් කරවීම සැබැවින්ම විස්‌කමකි. ගෘහ නිර්මාණ කලාවෙහිද වෙනත් සියුම් ශිල්පයන්හිද වෙසරද වූ දහස්‌ ගණන් ජන ශ්‍රමයෙහි අග්‍ර ඵලයක්‌ බඳු වූ ඒ විහාර කර්මාන්තය මෙබඳු යෑයි කිව නොහැක්‌කේය. ආරාමයට පිවිසෙන ප්‍රධාන දොරටුව මනාව ඉදි කළ වාහල් කඩකින් යුතු විය. එය ඇත්, අස්‌, සිහ, ගව යනාදී සත්ත්ව රූප මෙන්ම ආඪ්‍ය භාරත සම්ප්‍රදායෙන් මතු වූ ලියකම් මල්කම් යනාදියෙන්ද විචිත්‍ර විය.

බුදුන් වහන්සේ උදෙසා මනාව සැලසුම් කරන ලද විචිත්‍ර ගඳකිළියක්‌ විය. සෙසු සංඝාරාම ඊට වඩා කුඩා විය. ඒ සියල්ලටම ගැලපෙන පරිදි රාත්‍රි ස්‌ථාන, දිවා ස්‌ථාන, සක්‌මන් මළු, විවෘත මණ්‌ඩපය, පැන් පොකුණු යනාදී බොහෝ දේ ඉදි කර තිබුණි. හාත්පස සඳුන්, වැල්මී, යනාදී ගසින්ද වෙනත් ලතා මණ්‌ඩපවලින්ද සැදුණි. මේ සියල්ල නෙත ගැටෙනා බොහෝ දෙනෙක්‌ තුළ එක්‌ කුතුහලයක්‌ද විය. එනම් මේසා රමණීය විහාර කර්මාන්තයක්‌ කවුරුන් උදෙසා කරන ලද්දේද? ඒ කවරෙක්‌ද යනුයි.
බොහෝ දනන්ට කුහුලක්‌වූ ඒ පැනවලට පිළිගුරු දත් කීප දෙනෙක්‌ ද වූහ. ඔව්හු කියන්නාහු දැන් කලකට පෙර බුද්ධ නමින් මහා පුරුෂයෙක්‌ පහළව සිටියි. හේ කිඹුල්වත්පුර සුද්ධෝදන නම් මහ රජුගේ පුත්‍රයාය. යසෝදරා යනු ඔවුන්ගේ අග මෙහෙසිය වූවාය. හේ සිය රාහුල නම් පුතු උපන් දිනයෙහිම ඔවුන් මාළිගාවෙහිමම සිටියදී සම වියෙහි වූ ඡන්න නම් ඇමැතිවරයාගේ සහායද ලැබ වනගත විය. එවක්‌ පටන් අප්‍රමාණ දුෂ්කර ක්‍රියාවන්හි නිරතව පසුව සත්‍යාවබෝධය ලැබ දැන් ගම් නියම් ගම්වල චාරිකා කෙරෙයි. තමන් වෙතට එන නොයෙක්‌ දනන්හට මධුරවද අර්ථපූර්ණවද සිය ධර්ම මාර්ගය මනාව පහදා දෙයි. තවද හේ ප්‍රසන්න ඉඳුරන්ද සන්සුන් ගමන්ද ඇත්තේය. අප්‍රමාණ විෂය දැනුමැත්තේය. වරක්‌ ඔවුන් දෙසට ගිය අයෙක්‌ කිසිවිටෙක වෙනත් දෙසකට නොයති. ඔවුන් සමගම බැඳී සිටිති. බොහෝ වංශවත් පිරිස්‌ද නොයෙක්‌ ධනීහුද ඔහුගේ අනුගාමිකයෝ වී සිටිති. තවද ඔහු කිසිවක්‌ කෙරෙහි ලොල් නොවන්නේය. කිසිවක්‌ ප්‍රාර්ථනා නොකරන්නේය. මේ ආදී අසාමාන්‍ය ගුණයෙන් යුතු නිසාම බුද්ධ යනු නම් වී යෑයි විස්‌තර කළහ.
මෙබඳුම කුතුහලයක්‌ කෝසලයෙහි පාලකයා වූ පසේනදී කොසොල් රජුටද විය. සිය රාජ්‍යයෙහි ප්‍රබල සිටුවරයෙකු වූ අනේපිඬු විසින් මේසා ධන පරිත්‍යාගයකින් නිමවන ලද ඡේතවනාරාමය පූජා කිරීමට නියමිත බුදුහු කවරහුදැයි කොසොල් රජු නොදත්තේය. එසේ වුවද රජගහනුවර ඔහුගේ සමීප මිතුරකු මෙන්ම ඥතියෙකු වන බිම්බිසාර රජු නම් ඒ වනවිටද බුදුන් සරණ ගිය උපාසකයෙකි. මේ රජවරුද දෙමස්‌සිනෝ වූහ. කොසොල් රජුගේ නැගනිය බිම්බිසාර රජුද බිම්බිසාර රජුගේ නැගනිය කොසොල් රජුද විවාහ කර ගෙන සිටි හෙයිනි. කොසොල් රජුගේ නැගනිය කෝසල දේවි නම් වූ අතර බිම්බිසාර රජුගේ නැගනිය මල්ලිකා දේවි නම් වූවාය.
මල්ලිකා දේවිය බුදුන් වහන්සේ පිළිබඳව තතු දැන සිටියා එපමණක්‌ නොව බෞද්ධ උපාසිකාවක බවටද පත්ව සිටියාය. ජීවිතය පිළිබඳව බුදුන් වහන්සේගේ විවරණය ඇසූ ඕ අතිශයින්ම ප්‍රසාදයටද පත්ව සිටියාය. එහෙත් ඇය හා ඇගේ ප්‍රිය සමි¹නන්වන කොසොල් රජු අතර කිසි විටෙක බුදුන් වහන්සේ පිළිබඳ මාතෘකාව සංවාදයට ලක්‌වූයේද නැත. එහෙත් ඇය ප්‍රාර්ථනා කළේ ඉතා ඉක්‌මනින්ම රජතුමා හා බුදුන් වහන්සේ අතර හමුවක්‌ සිදුවේවා යන්නය. මෙම විහාරාරාම කර්මාන්තය එයට නිසැකයෙන්ම කවුළුවක්‌ විවර කර දෙන බවද ඇයට හැඟී ගියේය
කොසොල් රජු කිසිදු ආගමික හෝ ආධ්‍යාත්මික දහමක්‌ වෙත දැඩිව නැඹුරුව සිටියේ නැත. එහෙත් එවක බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍රව සිටි ෂඩ් ශාස්‌තෲන් අතර වූ නිඝණ්‌ඨනාථ පුත්‍ර හෙවත් මහාවීර පිළිබඳව නම් ඔහුගේ සුළු තැකීමක්‌ වූ බවද දේවිය දන්නීය. බුදුන් වහන්සේටත් පෙර සිට විමුක්‌ති මාර්ගයට පිළිපන් පූර්ණ කාශ්‍යප, මක්‌ඛලි ගෝසාල, අජිත කේස කම්බිල පකුද කච්ඡායන, සංජය බෙල්ලට්‌ටි පුත්ත හා මහාවීර මේ ශාස්‌තෲවරු වූහ. මේ කිසිවෙක්‌ අතරද සහජීවනයක්‌ නොවීය. අප්‍රසිද්ධියේ ඔව්හු එකිනෙකා විවේචනය කර ගනිමින්ද සිටියහ. එසේම රජ, සිටු, වෙළෙඳ වැනි පභූන් තමන්ගේ අනුගාමිකයන් බවට පත් කර ගැනීමේ සටනකද ඔව්හු නිරතව සිටියහ.
පූර්ණ කස්‌සප ගත කළේද රහස්‌ ජීවිතයකි. හේ ළමා වියෙහි ධන සිටු ගෙයක මිඩි මෙහෙවර සඳහා යොදා ගැනුණි. එනිසාම ඔහුගේ ජීවිතය ඉතා දුක්‌මුසු විය. එය දරාගත නොහැකිවූ හේ හැඳිවතද උනා දමා පලා ගිය බව ඔහුගේ ප්‍රතිවිරුද්ධ අයගේ අනාවරණය විය. වස්‌ත්‍රයක්‌ නොමැතිව සිටි හේ නිඝණ්‌ඩ ව්‍රතය ගත් බවද කියති. අජිත කේසකම්බිල යනු කෙස්‌වලින්ම සාදන ලද කම්බිලියක්‌ පොරවා ගත්තෙකි. මෙය ඉතා අපිරිසිදු වූද දුර්ගන්ධය වහනය වන්නාවූද ඇඳුමක්‌ විය. එහෙත් එයින් පිළිබිඹු වන්නේ ඔහුගේ නොඇලුණු ගුණය බව අනුගාමිකයෝ කීහ.
පකුධ කච්ඡායනද දැඩි පිළිවෙත් පුරන බව හඟවන්නෙකි. හේ සිහිල් ජලයද පානය නොකරයි. එබඳු ජලය ස්‌පර්ශ කිරීමක්‌ හෝ සිදු නොකරයි. පානය කළේ උණු දියයි. සංජය බෙල්ලට්‌ටිපුත්ත පරිබ්‍රාජකයෙක්‌ ලෙස ජීවත් වූවෙකි. ඔහුට සාමාන්‍ය අනුගාමික පිරිසක්‌ද වූහ.
මක්‌ඛලී ගෝසාල යන නම ලැබී ඇත්තේ ඔහු ගවහලකදී උපන් නිසා බව කියති. මක්‌ඛලීගේ මව්පියන් සංචාරක ගායකයන් බවද කියති. ඔහුද කලක්‌ මහසල් කුලයක මෙහෙකාර සේවයේ සිට පලා ඇවිත් මෙම ජීවිතය ඇරඹු බවද කියති. සංජය බෙල්ලට්‌ඨි පුත්ත නිෂ්ඵල ධර්මතාව අවධාරණය කළ අයෙකි. මහාවීර ජෛන ධර්මයෙහි නිර්මාතෘ විය. වැඩිම අනුගාමික පිරිසක්‌ වූයේද ඔහුටය. හේ පරම අවිහිංසාවාදය අගැයූ නිඝණ්‌ඨයෙකි.
කොසොල් රජු වඩාත් දැනුවත්ව සිටියේද මහාවීර පිළිබඳවය. වෙළඳ, සිටු, බමුණු කුලවල ප්‍රභූහු ඔහුගේ දායකයෝ වී සිටියහ. එනිසාම සිව්පසය නොඅඩුව ලැබුණි. කෙසේ හෝ ෂඩ් ශාස්‌තෲන් අතර වඩාත් පුරෝගාමී නායකත්වයක්‌ තිබුණේ මහාවීරටත් සංජය බෙල්ලට්‌ඨි පුත්තටත් පමණි. මහාවීරට තිබුණේ වඩාත් විශාල රැස්‌ වළල්ලකි. මේ සියලු මතක සටහන් සමඟ අභිනව ශාස්‌තෲවරයා වන බුදුන් වහන්සේ සැසඳීමට රජු වෑයම් කළේ නැත. එහෙත් බුදුන් වහන්සේ මේ අයට වඩා වයසින් අඩුවීමත්, එවන් ළාබාල වියෙහිදි මෙබදු පරම සත්‍යාවබෝධයක්‌ ලද හැකිද යන කුතුහලයත් කොසොල් රජු තුළ විය.
සිය ඥතියකු වන බිම්බිසාර රජු හා බුදුන්වහන්සේ අතර වූ දැඩි සබඳතාවද එවේලේ ඔහුට සිහිවිය. තම දේවිය වන මල්ලිකාද බුදුන් කෙරෙහි අචල භක්‌තියෙන් සිටිනා බවද ඔහු දනී.
කොසොල් රජු එදින වේලාසනින්ම රාජ්‍ය කටයුතු නිමවා රාජකීය පවුලේ සැඳැ විවේකස්‌ථනය වෙත ගියේය. මල්ලිකා බිසව සමඟ රජුගේ විශ්වාසවන්ත ප්‍රධාන පුරෝහිතයාද විය. මල්ලිකා දේවියට මෙන්ම පුරෝහිතටද රජුගේ මෙම හදිසි කැඳවීම කුමක්‌ හෙයින්දැයි සිතා ගත නොහැකි විය. දේවිය නම් මේ සුහද පිළිසරඳකට වඩා අමුතු හමුවක්‌ බව සිතුවාය. කොසොල් රජු අසුන්ගෙන සිටියේ ඉතා සැහැල්ලු අයුරිනි. දෙපසෙහි මිරිවැඩි සඟල හෝ නොවීය.
මං කැමතියි ගිහිල්ල මේ බුද්ධ නමින් හැඳින්වෙන ශාස්‌තෲන් වරයාව බැහැ දකින්න. ඒ වගේම මගේ අනේපිඬු සිටුවරයාගෙ විස්‌මිත ඉදිකිරීම ඇසින්ම දැක බලා ගන්න.
කොසොල් රජුගේ අදහස අනුමත කරමින් පළමුව කතා කළේ මල්ලිකා දේවියයි.
ඔබ වහන්සේගෙ අදහස හරිම වැදගත්… බුදුන් වහන්සේ දැන් වැඩ ඉන්නේ ඔබතුමාගේ රාජ්‍යයේ. ඉතින් රට වැසියන්ගේ ගෞරවය බුදුන්ට පිරිනැමීම ඔබ වහන්සේගෙ වගකීම හා යුතුකම ඒ වගේම එය ක්‍ෂත්‍රිය වංශිකයකුට දක්‌වන රාජ්‍ය යුතුකමක්‌.
පුරෝහිත කතා කළේත් දේවියගේ අදහස අනුමත කරමින්ය.
මං තරමක්‌ දුරට බුදුන් ගැන තොරතුරු සොයල බැලුවා. ජනතාව වැල නොකැඩී දිවා රෑ ඒ උත්තමයව බැහැදකින්න දුවනව. මේ හැම කෙනෙකුගෙම මුහුණෙ තියෙන්නෙ සතුටක්‌. සන්සුන් බවක්‌. ඒකම ඇති ඔබ වහන්සේට ගිහිල්ල බලන්න. මනුෂ්‍ය පුත්‍රයකුට කරන්න බැරි තරම් ශරීරයට දුක්‌ පීඩා දීල සත්‍ය සොයා ගෙන ගිය මහා අධිෂ්ඨානශීලී තවුසෙක්‌ තමා මෙසේ බුදු බවට පත්වෙලා තියෙන්නෙත්.
කොසොල් රජු සාවධානව සියල්ල අසා සිටියේය. ඔහුගේ මුවගට සිහින් සිනහවක්‌ද නැගුනි.
එතකොට මං තමයි බුදුන් ගැන අඩුවෙන්ම දන්නේ.
කොසොල් රජු අසුනෙන් නැගී සිටියේ.
පුරෝහිත සමගම මල්ලිකා දේවියද නැගී සිටියහ.
“පුරෝහිත මං මේ ගමන යන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්‌ විදිහටයි. ඒත් ඡේතවන උයන් සීමාව දක්‌වා රාජකීය අස්‌රියෙන් යනව. රාජපුරුෂයන්ට එතන ඉන්ට කියලා මා තනිවම ගිහිල්ලයි බුදුන් බැහැදකින්නේ.
ඔහුගේ අදහසට කිසිවෙක්‌ බාධා නොකළහ. රථාචාරියා අස්‌රිය සුදානම් කරගෙන මාළිගාවේ අනෙක්‌ පස දොරටුව ළඟ රැඳී සිටියේය. රජු එදෙසට පිය නැගීය. රියට ගොඩ වූ හෙතෙම මඟ විසිතුරු නරඹමින්ම ඡේතවනාරාමය දක්‌වා ගියේ ය. රියෙන් බැස ඔහු මොහොතක්‌ පහන් වැටින් සුදිලෙන ඡේතවනාරාමය දෙස ඇසිපිය නොහෙළා බලා සිටියේය. මොනතරම් විසිතුරු දසුනක්‌ද? වන උයනට උඩින් තවමත් සැඳෑ අහස විචිත්‍ර සිතුවමක්‌ සේ දිලෙයි. ඔqටුන්න බිම තැබු හිස කෙතරම් සැහැල්ලුදැයි එවේලේ රජුට දැනුණි.
බුදුහුද කොසොල් රජු පිළිබඳව ආවර්ජණය කළහ. කෝසල හා මගධ රාජ්‍යයන් දෙක අතර වූ බැඳීම මෙන්ම රජවරුන් දෙදෙනාගේ නෑ සබඳකම්ද උන්වහන්සේට පෙනුණි. කොසොල් රජු බිම්බිසාර තරම් ශූර නරපතියකු නොවීය. එහෙත් රාජ්‍ය භාණ්‌ඩාගාරය පින්කම්වලට නම් නොමඳව අනුග්‍රහ දක්‌ව බවද බුදුහු දුටුහ.
අනේපිඬු සිටුවරයාගේ නිමැවුමේ විස්‌කම් බව වටහා ගැනීමට කොසොල් රජුට අමුතු විස්‌තර වුවමනා නොවීය. බලන හැම තැනකම වූයේ මනා පිළිවෙලකි. තුරු වදුලු අතරින් ඇදෙන මඳනල ආරාම පරිශ්‍රයෙහි සක්‌මන් කරන්නකුගේ දාහය නිවයි. සිත ප්‍රබෝධමත් කරවයි. රජු ක්‍රමයෙන් බුදුන් වහන්සේ වැඩ සිටින තරමක්‌ විශාල ගඳ කිළිය දෙසට ළං වෙමින් සිටියේය. නමාගත් හිසින් යුතුව සක්‌මන් කරන හිමි නමක්‌ අමතන්නට රජුට සිතක්‌ නැත. හේ සියල්ල හඳුනා ගත්තේ නිරීක්‍ෂණයෙනි.
රජු කෙමෙන් කෙමෙන් ගමනාන්තයට ළඟාවෙමින් සිටියේය. ගඳකුටිය ඇතුළත දිස්‌වූයේ ඡායාවකි. මොහොතක්‌ විමසිල්ලේ බලා සිටි රජුගේ දැසට හසුවූයේ මනාව සිවුර පොරවා ගත් සන්සුන් ඉඳුරන්ගෙන් පිරිපුන් ශාන්ත රුවකි. රජු එදෙසට ළංවිය. ඡායාව ඉතා පැහැදිලිය. ඒ බුදුන් වහන්සේය. ඒ රුව දකිත්ම රජුට හිටි පියවර සිට ගත නොහැකි විය. රජෙකුගේ හිස පහසුවෙන් නොනැමෙන නමුදු මෙහිදී සිදුවූයේ වෙනත් දෙයකි. රජ පසඟ පිහිටුවා බුදුන් වහන්සේට වැන්දේය.
“මං ඔබ බලාපොරොත්තුවෙන් මයි සිටියේ. මෙවන් නිශ්චල රාත්‍රියක ඔබ වැනි නරපතියකු හමුවීම යහපත් දෙයක්‌. එන්න ඇවිත් මෙහි අසුන් ගන්න.
රජු දරුවෙකු මෙන් බුදුන් පසු පසු යයි ගඳ කිළියෙහි පසෙකට වන්නට සාදා තිබුණු තරමක්‌ විවෘත ආලින්දයට රජු ඇතුල් විය. වඩා උස්‌ නොවූ විල්ලුද මෙට්‌ටවලින් සෑදුණු අසුන් කීපයක්‌ම විය. රජු එක්‌ අසුනක පහසුවෙන් හිඳ ගත්තේය. නිහඬතාව පැවතුනේ සුළු මොහොතකි. රජුගේ කට හඬ නැගුණි.
භාග්‍යවතුන් වහන්ස මේ නුවර විවිධ වර්ගයේ ශාස්‌තෲවරු සිටිති. නොයෙක්‌ ආකාරයේ ධර්මයන්ද දේශනා කරති. බොහෝ ජනයා ඒවාට සවන් දෙන බවක්‌ද දනිමි. එහෙත් ඒ කිසිම ධර්මයක්‌ ජනතාවට දැඩි බලපෑමක්‌ කර ඇතැයි සිතන්නට තරම් හේතු මට නොමැත. මේ අය අතර උග්‍ර තපස්‌ රක්‌නා අයද දැඩිවත් පිළිවෙත් රක්‌නා අයද සිටිති. ඔවුන් හා ඔබ වහන්සේ අතර වෙනස කුමක්‌ද?
බුදුහු මෙසේ කීහ.
මහරජ සත්‍යය හෙවත් ධර්මය යනු එකම දෙයකි. එහි ප්‍රභේද හෝ වෙනස්‌කම්ද නැත. ඔබ සඳහන් කළ ආකාරයටම ඒ හැම ශාස්‌තෲවරයෙක්‌ම සත්‍ය ධර්මය දේශනා කරන්නේනම් සත්‍යය තෝරා බේරා ගැනීමද අසීරු වනු ඇත. ඔබ සඳහන් කළ උග්‍ර තපස්‌ හා වෙනත් ක්‍රියාකාරකම් කලකට පෙර මගේද අවධානයට ලක්‌ විය. අත්ථකිලමථානු යෝගය යනු මාද මුළින් අනුගමනය කළ පසුව ප්‍රතික්‌ෂේප කළ නිෂ්ඵල පිළිවෙතකි. මා තරම් සිරුරට දරුණු වධ පමුණුවා ගත් අය ඔබ සඳහන් කළ අය අතරද වෙතියි නොසිතමි. එහෙත් එබඳු ශාරීරික පීඩා නිසා මා ලද විශේෂ ඥනයක්‌ නොවීය. එහෙත් එබඳු මායා පිළිවෙත් බොහෝ දෙනාගේ ඇස්‌ මුළා කරවන සුළුය. මම ඒ නිසරු වධ අත්හැර මධ්‍යම ප්‍රතිපදාව තෝරා ගතිමි. මගේ ඒ වෙනස හඳුනා නොගත් මා සමගම සිටි අයද මා හැර ගියහ. එහෙත් මම ධෛර්යෙන්ද වීර්යයෙන්ද සිත කය වචන යන තුන් දොර මනාව පාලනය කළෙමි. ඉනික්‌බිති මම පදරුත් සියල්ල දැන ගතිමි. අභිනව ප්‍රඥවක්‌ ලදිමි.
බුද්ධ යනු මා ලද එම උත්තරීතර තත්ත්වයයි. ලොව හැම දෙයම අනිත්‍ය බවද මගේ දහමෙහි හරයයි. මම එමග ඔස්‌සේ මනස යොමු කළෙමි. දුක මෙබඳුය. ඒ දුකට හේතුව මෙබඳුය. ඒ දුක දුරලීමේ මග මෙබඳුය. දුක නැතිකිරීම මෙබඳුය. යනාදි ලෙස දකින මට සත්‍යාවබෝධය ලැබුණි. දැන් මා තුළ තෘෂ්ණා සිතක්‌ නැත. බැඳීමක්‌ ඇලීමක්‌ නැත. මම ජීවිතය ජය ගතිමි. දුක්‌ මුල් සිඳලීමි. බුදුවීමි. තවද මහරජ ඒ බුද්ධත්වය යනු ලේසියෙන්, පහසුවෙන් පුද්ගලයෙකු පත්වන තත්ත්වයක්‌ද නොවේ. ඒ සඳහා මවිසින් පුරණ ලද පෙරුම් බෙහෙවි. මවිසින් ගත කරන ලද කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ බවද මම ඔබට කියන්නෙමි.
බුදුන් වහන්සේගේ එම විග්‍රහය ආසා සිටි කොසොල් රජ තුළ වූයේ අප්‍රමාණ සතුටකි. මෙතරම් සරලවද තර්කානුකූලවද පෙර කිසිම දිනක ධර්මයක්‌ නො ඇසු වගනම් රජුට පැහැදිලි විය. සකල ශරීරය තුළින්ම පෙර නොවූ විරූ සුවයක්‌ද සැහැල්ලු බවක්‌ද නැගෙන අයුරු රජුට දැනුණි. හේ මහත් සේ පුමුදිතව යළිත් බුදුන් වහන්සේට නමස්‌කාර කර නැගී සිටියේය. බුදුන්ගෙන් අවසර ලබා ගෙන ආපසු මාළිගාව බලා පිටත් වූ රජ බෞද්ධ උපාසකයකු බවටද පත්ව සිsටියේය.
රජ ආපසු එනතෙක්‌ නොඉවසිල්ලෙන් බලා සිටියේ මල්ලිකා දේවියයි. රජු දෙස බැලු දේවියට එක්‌ දෙයක්‌ පැහැදිලි විය. එනම් දැන් තමා අබියස සිටින්නේ හෝරා කීපයකට පෙර ඡේතවනාරාමයට ගිය කොසොල් රජතුමා නොව වෙනස්‌ම කොසොල් රජ කෙනෙකු බවය. සිය ස්‌වාමිදරුවන් හා බුදුන් වහන්සේ අතර ඇතිවූයේ කෙබඳු සංවාදයක්‌දැයි දැන ගැනීමේ දොළක්‌ද දේවිය තුළ වැඩුණි. එහෙත් ඕ සියල්ල මැඬ ගත්තීය.

ගාමිණී සුමනසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.