Skip to main content

165 අරක ජාතකය

තවද ශාක්‍යසිංහවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මෙත්ත සුත්‍රය නිසා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

මහණෙනි පුරුදු කරණ ලද්දාවූ වඩනලද්දා වූ මෙනෙහිකරන ලද්දාවූ මෛත්‍රි සිතින් උපලක්ෂිත වූ සත්වයන් මට එකොළොස් වැදෑරුම් වූ ඉෂ්ටවිපාක ඇත්තේයයි ඒ කවරේද යත්, ඒ සත්වතෙමේ යෙහෙන් නිදන්නේය. යෙහෙන් පුබුදින්නේය. භයංකර ස්වප්නාදියක් නොදක්නේය. සියලු සත්වයන්ට ප්‍රියකරු වන්නේය. යක්ෂ රාක්ෂාදින්ටත් ප්‍රියකරු වන්නේය. දෙවියන් විසින් රක්නාලබන්නේය. ඕහට ගින්නෙන් හෝ විෂයෙන් හො ආයුධයෙන් හෝ උපද්‍රවයක් නැත්තේය.කිපියාවුත් ඔහුගේ සිත වහාම තැනෙන්නේය. ඔහුගේ මුඛය ප්‍රසන්ත ජවිවර්ණ ඇත්තේය. සිහිමුළාව නොමියන්නේය. මරණින් මත්තෙහිත් නොපිරහුණු මෛත්‍රී ඇත්තේය.බ්‍රහ්මලෝකයෙහි උපදින්නේයයි මෙත්තා නිශංස ගෙණහැර දක්වා වදාරා මහණෙනි භික්ෂූන් විසින් තමා සියළු සත්වයා කෙරෙහි පිරිසිඳ හෝ සාමාන්‍යයයෙන් හෝ සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වයි කියා මෛත්‍රි භාවනාවද දුක්ඛිත සත්වයෝ දුකින් මිදෙත්වයි කියා කරුණාභාවනාවද සුවපත් සත්වයන් දැක සත්වයෝ සුඛිත මුදිතාවෙත්වයි කියා මුදිතාභවනාවද, සියළු සත්වයන් කෙරෙහි උත්කර්ෂවත් නෙකොට සමතින්දැකීමෙන් උපෙක්ෂා භාවනාවදැයි චතුර්විද බ්‍රහ්මවිහාර භාවනායෙහි අභියෝගකල යුත්තේ යයි සම්ප්‍රපත පර්ෂිදට ධර්මදේශනාකොට වදාරා මහණෙනි පෙරත් උත්තමයෝ මෛත්‍රි භාවනාව කොට සංවර්තීස්ථායි, කප්සතක් වනතුරු බ්‍රහ්මසම්පත්තියෙන් නොපිරි හුණෝවේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස එක්තරා කපෙක බ්‍රාහ්මණකුලයෙක ඉපිද පඤකාමයෙහි ආදීනම දැක ඍෂි ප්‍රව්‍රජ්ජාවෙන් පැවිදිව බොහෝ තාපසවරුන්ට නායකව අරක මහාශාස්තෘව වාසය කරණසේක. තුමුත් මෛත්‍රි කරුණා මුදිතා උපෙක්ෂා යන සතර බ්‍රහ්ම විහාර භාවනාකොට තමන්ගේ තාපසවරුන්ටත් අවවාද කරන්නෝ මෙසේ කියාත් තාපසවරු නම් යම්සේ සත්වයෙක් සතරදිගය සතර අනුදිගය උඩය යටය යන දශ දිශාවෙහි ඇත්තාවූ සත්වයාකෙරෙහි මෙත්සිත් පතුරුවාද, ඒ සත්වයාගේ සන්තානයෙහි ඉන් අටගත් අකුශල ධර්මකෙණෙක් ඇත්නම් අධික වූ මෛත්‍රි ආනුභාවයෙන් යුක්ත වූ හෙයින් විපාකදායක නොවි ඒ අකුශලයෝ වන්නාහුයයි බෝධිසත්වයෝ ඒ සෂීගණයාට ධර්මදේශනා කොට සතර බ්‍රහ්මවිහාර භාන කොට එයින් චුතව බ්‍රහ්මලෝකයෙහි ඉපිද සංවර්තී විවර්තීස්ථායි කප්සතක් බ්‍රහ්ම සම්පත් වින්දාහයි කකන්ටක ජාතකය උමන්දාවෙන් දැක්ක යුතුයයි වදාරා එසමයෙහි අරකනම් ශාස්තෘවූයෙම් ලොව්තුරා බුදුවූ මම්මයයි වදාරා අරක ජාතකය නිමවා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.