161 නකුල ජාතකය

තවද පරදුක්ඛ දුක්ඛිත වූ සර්වඥයන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන්ගේ සේනානායක මහා අමාත්‍යයන් දෙන්නෙකුගේ කෝපයක් නිසා මේ ජාතකය දක්වන ලද, මෙහි වර්ථමාන කථාව යටකියන ලද උරඟ ජාතකයෙහි විස්තර වශයෙන් බස්නේය. මහනෙනි මේ මහා අමාත්‍යයන් දෙන්නාගේ කෝපවෛරය පළමුත් ඇරවුවෙම් වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බ්‍රහමණ කුලයක උපන්සේක, පංච කාමයෙහි ආදීනව දැක ඍෂි ප්‍රව්‍රජ්ජාවෙන් පැවිදිව පන්සලක වාසය කරණ සේක. එසමයෙි පන්සල සමීපයෙහි සක්මන් කෙළවර තුඹසක මුගටියෙක් වාසය කෙරෙති. එතනට සමීපයෙහි ගස්බිලයක සර්පයෙක් වාසය කෙරෙයි, එසමයෙහි ඒ කියන නාගයා හා මුගටියා දවස්පතා උනුන් කඩා කා උනුන් කන්නාහ. එසමයෙහි තාපසයෝ සිතනුයේ මාසේවූ තාපසකෙණෙකුන් සමීපයෙහි ඉන්නා මුන්දෙන්න උනුන්කෙරේ වෛරව ඉදින්ට සුදුසු නොවෙයි සිතා අවවාද කියා සමගි කළහ. එසමයෙහි එක් දවසක් සර්පයා ගොදුරට යාදී මුගටියා තුඹසින් කරමැත්කොට දත් පෙණනතුරු කට දල්වාගෙණ වැදහෙව නිදමින් සිටියේය. ඒ වෙලාවට තාපසයෝ එතනට අවුත් ඌ දැක ඇයි තා ඉතා භයංකාර කොට පියා ඉන්ට තාගේ අසත්පුරෂ වූ සර්පයාත් සත්පුරුෂව ගියාවුව කුමක් නිසාදැයි විචාළහ. එවිට මුගටියා කියන්නේ අමිත්‍රයා කෙරෙහිත් සංකා කලයුතුමය මිත්‍රයා කෙරෙහිත් සංකා කළයුතුමය, එසේ හෙයින් පසමිතුරා කෙසේ විශ්වාසවුත් සංකා කලයුතුයයි කීහ. එබස් අසා බෝධිසත්වයෝ තොපසේවූ සිතක් සර්පයා කෙරේ නොසිතවයි කියා භාවනා කොට නොපිරිහුනු ධ්‍යානයෙන් ගොස් බ්‍රහ්මලොකයෙහි උපන්නාහ. මුගටියා හා නාගයත් කම්වූපරිද්දෙන් මියපරලොව ගියාහයි වදාරා මේ නකුල ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි මුගටියා හා නාගයා නම් මේ සමයෙහි වෛරී වූ අමාත්‍යයෝ දෙන්නාය. තාපසය උපන්නෙම් ලොවුතුරා බුදුවූ මම්මයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

162 උප සාල්හක ජාතකය
160 සුසීම ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.