Skip to main content

144 රිතීය පුෂ්ප රත්න ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි උකටලීවූ වහන්දෑ නමක් දැක වදාරා මහණ කුමක් නිසා උකටලීදැයි විචාරා පියමන් ආදියෙහි දක්ෂවූ මාගේ පුරාණ දූතිකාව නිසා උකටලීවීම් දන් වන්නා පළමුත් මහණ ඈ නිසා උල ඉඳුවා අවීචිමහනරකයට ගියෝවේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ ආකාශස්ථ දේවතාව උපන්සේක. එසමයෙහි කාර්තික උත්සව දවසෙක දුක්ඛිත පුරුෂයෙක් තමාගේ ඇති රෙදි කඩ පොළු දෙකක් යහපත් කොට අපුල්ලා සියයක් දෙසියයක් විවර පටබිඳ ගෙයි තබා උත්සව දවස් අඹුවන් විසින් ළඟට අවුත් වනුක් මලෙහි පෑය ඇති කඩක් ඇඳගෙණ තොප හා මා හා සිපගෙණ වීථියේ කෙළින්ට උවමැනවැයි කීහ. එවිට පුරුෂයා කියන්නේ මා දුක්ඛිතවුව මට වනුක්මලේ පෑය ඇති පිළි කොයින් දැයි මාගේ අපුල්ලා තිබූ සුදුකඩ ඇත. ඒ ඉනකඩ ඇඳගෙන කෙළුවයි කීහ. එසේ කීවත් ඕතොමෝ කියන්නී වනුක්මලේ පෑය ඇති ඉන කඩක් ලදොත්විනා මා කෙළිනා කෙළිනැත, සුදුකඩ ඇඳගෙණ කෙළින්ට අභිප්‍රාය ඇත්නම් අනික් බිරින්දක් ඇරගෙණ කෙළයවයි කීහ. එපවත් පුරුෂයා අසා නැවත යාචඤාකොටත් ස්ත්‍රිය විසින් කියන්නී පිරිමින් විසින් සිතුකල කුමක් බැරිද රජ්ජුරුවන්ගේ වනුක්මල් වත්තට ගොසින් මල් කඩා ගෙණ එවයි කියන්නා ඊට පුරුෂයා කියන්නේ රජ්ජුරුවන්ගේ වනුක්මල් වත්තට ගොසින් මල් කඩාගෙණ එන්නා තිබා කර ඔසවා බලන්ටත් මට බැරියයි කියන්නා රාත්‍රියෙහි ගොසින් කරණ සොරකම් බැරිදැයි කියා තත්පර විසින් ස්ත්‍රියගේ අභිප්‍රාය මැඩගත නොහෙන පුරුෂයා විසින් යහපතැයි ගිවිස නුවරින් පිටත ගොස් වැට පැන වත්තට වන්නාහ. වත්ත බලන මනුෂ්‍යයෝ ඔහු වැට පැණි නියාව අසා ගොස් සොරෙක්වනැයි යුහුව එතනට ගොස් ඔහු අල්වා පිටිතල භයා බැඳ රෑ උයනේ රඳවා පාන්වූ ගමනේ රජ්ජුරුවන්ට පෑකල්හි රජ්ජුරුවෝ උයනේදී අල්වාගත්කල මට පානේ කින්දැයි දිවස් උල ඉඳුවයි කීහෙයන් වද බෙරගස්වා ගෙණගොසින් දිවස් උල ඉඳවූහ. දිවස්උල ඉඳවූ වේදනාද කඩවුන් විසින් තියුනු මුවහත් ඇති තුඩින් ඇස සරණා වේදනා හා මේ එකක්කොට නොසිතා මාගේ සොඳ බිරින්ද වනුක් මලින් රැඳුනු කඩක් ඇඳගෙණ කාර්තික උත්සව කෙළිසට සිතුවානුවූයේ වේදැයි වික්‍ෂෙපය උපන් අවස්ථාවට ප්‍රාණය නිරුඬව අවීචි මහ නරකාදියෙහි උපන්හයි වදාරා එසමයෙහි දෙමහල්ලෝ නම් මෙසමයෙහි දෙමහල්ලෝමය, ඒ කාරණය ප්‍රත්‍යක්ෂව දුටු ආකාශයට දේවතාව නම් ලොව්තුරා බුදුවූ මම්මයයි වදාරා මේ පුෂ්පරත්න ජාතකය නිමවා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.