143 කාක ජාතකය

තවද එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මහළු උපසකවරු මොත්තමක්ව පින්කොට ඇවිදිනාහු. එක් දවසක් සමඟවා හිඳ සිතන්නාහු. මහළුව සිටිනා බලාත් තපස්කොට මහණව රහත්ව කෙළෙසුන් නසාපුවොත් යහපතැයි සිතා බුදුන් කරා අවුත් ස්වාමීනි මහණ කරවා වදාරන්නේ යහපතැයි කියා මහණ කරවා මහණවුගමණෙත් ජේතවනාරාමයෙහි කෙළවර එක්තැනක පන්සල් ඉදිකොට ගෙණ වාසය කරන්නාහ, මහළුව මහණවූ විසින් අකුරක් කොටගතත් නොහෙනසේක. බුදුන් වදාළ බණ භාවනා කොටත් රහත්ව ගතනොහෙනසේක. වීථියේ සිඟා වඩනාකලත් තමන් වහන්සේ අඹුදරුවන්ගේ ගෙටම සිඟා වඩනාසේක.

මෙසේ ඉන්නා අවදියට ඒ උපාසිකාවෝ එක්තරා ව්‍යාධියකින් නැසීගියහ. එපවත් ඒ මහළුවරුන් වහස්සේත් අසා හස්ත කර්මාන්තයෙහි සපන් ස්ත්‍රී නැසී ගියාහයි උනුන් කරා අත්වැල බැඳ අඬන්ට වන්නාහ. එපවත් සංඝයා වහන්සේ අසා එතනට අවුත් අඬන කාරණා විචාරා යහපත් කොට බත් මාළු පිසන ස්ත්‍රිය මළහෙයින් අඬම්හයි කී විසින් එපවත් ඇසූ මහළුවරුන්වහන්සේ දම්සභා මණ්ඩපයෙහි රැස්ව හිඳ මේ කථාව කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා, මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථවකින් යුක්තව උනුදැයි වදාරා එපවත් අසා පළමුත් මූ අඹුවන් මලගමනේ අඬා මහ මුහුද පැන් ඉසීන්ට බැරිහෙයින් අඬා මියන්ට වන් ගමනේ උත්තමයන්ගේ සහයෙන් ගැළවුනේ වේදැයි වදාරා ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ සමුද්‍රයෙහි දේවතාව, ඉපද වාසය කරණසේක. එසමයෙහි බොහෝ මනුෂ්‍යයෝ රැස්ව සමුද්‍රයේ වසන දේවතාවන්ට හා නයින්ට බලි පිණිස බොහෝ රා මස් බත් මුදුවැල්ලේ තිබුවාහ, ඒ අවස්ථාවෙහි කැවිචියක් හා කපුටෙක් මූදුවැල්ලේ ඇවිදිනාහු ඒ බත් හා රා මස් කා රා මතින් මත්ව මුහුද නාම්හයි කියා රලගසන සමීපයෙහි නාමින් සිටිකල මහත්වූ රල ඇවිත් කැවිඩිය රලෙන් අරගෙණ ගිය කලට වහා මතස්‍යයෙක් කාපිය, ඒ දැක කපුටුවා තමාගේ බිරින්ද රැලින් අරගෙණ ගියහෙයින් ඇඬීය. ඒ අඬ අසා එතනට රැස්වූ කපුටුවෝ දුක්මුසුව කින්දැයි විචාරා තොප ඇමගේ යෙහෙලිය මහ මුහුද ඇරගෙණ ගියේයයි කීකලට බොහෝ කපුටුවෝ ඒ අසා වික්‍ෂෙපව අප මෙතෙක්දෙනා එක්වූ කළ මහමුහුද පැන් ඉසපිය නොහැක්කදැයි සිතා මහ මුහුද පැන් කටින් උක උකා දමන්ට වන්නාහ. මේ නියායෙන් බොහෝ වේලාවක් උත්සාහ කොට සැතපී ඉන්නාහු යම්තම් අඩුවකුත් නුදුටුහෙයිනුත් ළුනුදිය කටින් භයන විසින් උගුරවියලින, හුඹුක්ක පුප්පා පැන්ගෙණෙන හෙයින් හනුවත් ඉගිලින, බොහෝ විට පැන් ගැළෙන හෙයින් දෑසුත් රතුව බොහෝ ආයාසයට පැමිණ පැන් ඇදීම් තිබා රැකියයි කියා අඬන්නාහු. ගිරා කටක් සේ කටක් ඇති මොණරපිටක් සේ පෑය ඇති කුරවිකෙවිල්ලක හඬබඳු කටහඬ ඇති අපගේ යෙහෙලිවන කැවිඩිධෙනුව සොරහු මුහුදු ඇරගෙණ ගියේ වේදැයි කිය කියා එකරාවයෙන් බොහෝ කපුටුවෝ අඬන්ට වන්නාහ. එවිට බෝධිසත්වයෝ එපවත් දැන භයන්කාර වේෂයක් පෑ උන්ගේ සෝක නිව්හයි වදාරා එසමයෙහි කැවිඩී නම් මෙසමයෙහි යහපත් මාළු පිසූ උපාසිකාය. ඒ ඇඬූ කපුටුවෝ මොතතම නම් මේ මහළු භික්ෂු මොතතමය, උන් ඇමට භයගන්වාසෝක සන්සිඳවූ සමුද්‍ර දේවතාවා නම් ලොව්තුරා බුදුවූ මම්මයයි වදාරා කාක ජාතකය නිමවා වදාළ සේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

144 රිතීය පුෂ්ප රත්න ජාතකය
142 රාධ ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.