14. මුනි සිරිපා කඳුළින් දෙවූ යශෝදරා… !

කිඹුල්වත්පුරයටම රාත්‍රි නින්දක්‌ නොවීය. නුවර ද ගම්දොර ද යන සියලු තන්හිම මැදියම් රැය ඉක්‌ම යනතුරුත් මාතෘකා වූයේ ඒ අසිරිමත් බුදු පෙලහරමය. මෙවන් විස්‌මයක්‌ කිසිවෙක්‌ කිසි දිනක දකිනු තබා අසා තිබුණේවත් නොමැත්තේය. කිඹුල්වත්පුර නරනිඳු සුදොවුන් රජුගේ පුත් සිදුහත් විසින් ක්‍ෂාක්‌ක්‍ෂාත් කරන ලද බුද්ධත්වයේ මහිම මෙබඳු යෑයි ඔවුන්ට සිතා ගැනීම පවා දුෂ්කර විය. ඒ වන විට ද තම තමන්ගේ වන්දනාවට ද බුහුමනට ද පාත්‍රව සිටි කවර හෝ සෘෂිවරයකුට, පරිබ්‍රාජකවරයකුට එබඳු පෙලහරක්‌ පාන්නට නොහැකි වගද ඔවුහු ඉඳුරා දත්හ. කෙනෙක්‌ සිහි කළේ මෙතෙක්‌ තමන් පත්ව සිටි මුළාවය. බුදුන් හා සම කළ හැකි කිසිවෙක්‌ දඹදිව් තලයෙහි තබා මේ ලෝක ධාතුවෙහි කොතැනක හෝ නොවන බවද තවත් කෙනෙක්‌ කීහ. තවුස්‌ වෙස්‌ ගත්තෝද දැන් ඉතින් තම බල පරාක්‍රම හිරු දුටු කදෝපැනියන් සේ දුබල වනු ඇතැයි සිතන්නාහු කම්පාවටද පත් වූහ.

මේ සියලු තතු බුදුහු ඉඳුරා දත්හ. එහෙත් උන්වහන්සේ තුළ අමුතු උද්දාමයක්‌ නොවීය. ඒ බුදුවරුන්ගේ විලාසයයි. ශාක්‍යයන්ගේ අහංකාරය බිඳලූ බුදුහු සුපුරුදු විවේක සුවයෙන්ම රාත්‍රි විහරණය කළහ. යළි උදැසන අවදිව සිරුර කිස නිමවා කුටිය අසල සක්‌මන් කිරීමද ඇරඹිණි. හිරු රැස්‌මාලා උයන පුරා විහිදෙමින් තිබුණි. කුරුලු ගී බුදුගුණ මුමුණන්නාක්‌ මෙනි. පිනි මුතුහර ලිහී යමින් තිබුණි. සොබා දහම මේ සියලු දෙයින් බුදුන් පුදන්නාක්‌ සේය.

බුදුහු යළි කුටියට වැඩ සිවුර සකසා මනාව පොරවා, පාත්‍රය ද උරහිසින් දරමින්ම උයනින් පිටතට වැඩියහ. ඒ හීල් දානය සඳහා පිඬුසිඟා යන අදහසිනි. බුදුන් අනුව පාත්‍ර දරාගත් සංඝයා ද සන්සුන්ව පිඬුසිඟා යැමට පිටත් වූහ. ඒ දසුන කිඹුල්වත්පුරයටම අපූර්ව අත්දැකීමක්‌ විය. ජනයා මඟ දෙපස රැස්‌වෙද්දී කුලවමියෝ සඳලුතල මතට පැමිණ ඒ දසුන් නැරඹූහ. හුදී දන මුවඟින් ගලන සාදු නද මුලින්ම ඇසුණේ යශෝදරා දේවියටය. ඕ වහා සඳලු තලයට පැමිණ අවට බලද්දී කහ මල් ගොමුවක්‌ සේ ඇදෙන සඟ පෙරහැර දුටුවාය. මොහොතක්‌ එදෙස බලා සිටියේ බුදුන් වහන්සේ ඒ සඟ ගණ අතරින් හඳුනා ගන්ට මෙනි. එහෙත් එය අසීරු විය. අනතුරුව ඕ සුදොවුන් රජ මාලිගයට දිව ගියාය. ඒ වන විට සුදොවුන් රජුටද එපුවත සැළවී තිබුණි. ප්‍රජාපතී ගෝතමියගේ මුහුණෙහි ඇඳී තිබුණේද සෝකයකි. සුදොවුන් රජු යශෝදරා දෙස බලමින්ම ළහි ළහියේ අස්‌රියට නැගුණි. දුහුවිලි නඟමින් ගිය අස්‌රිය වීදි කෙලවර නතර විය.
සුදොවුන් රජු පසු නොබලාම බුදුන් අබියසට දිවගියේය. ඒ වන විටද උන්වහන්සේගේ පාත්‍රයට කිසියම් දෙයක්‌ පිළිගන්වා ඇති බවද රජු තේරුම් ගත්තේය. බුදුහු පිය රජු දෙස ශාන්ත හැඟීමෙන් බලා සිටියහ. මඟ දෙපස සිටි අය ද කුහුලින් යුතුව එදෙසටම නෙත් හෙළා ගෙනම සිටියහ.
“භාග්‍යවතුන් වහන්ස, මේ ඔබ වහන්සේට හුරුපුරුදු රමණීය නුවරමය. ඒ නුවර අධිපති නුඹ වහන්සේට පිය වූ මම වන්නෙමි. කුමක්‌ හෙයින් මට නිගා දෙමින් මෙලෙස පිඬු සිඟා වඩින්නෙහිද? මා අතින් ගරු සරු නැති යමක්‌ සිදු වූයේද? එහෙත් මගේ වංශයට මේසා පරිභවයක්‌ කරන්ට තරම් ළදැඩි වූයේ කෙසේද? මගේ අහංකාර නෑයෝ ඔබ වහන්සේ කෙබඳු උත්තරීතර පුරුෂයාණෝ කෙනෙක්‌ දැයි දනිති. තවද ඔවුහු කිසි දිනක ඔබ වහන්සේට අවමන් ගැරහුම් නොකරන්නාහුමය. ඔබ වහන්සේ ප්‍රමුඛ මේ සංඝයා වහන්සේට ආහාර, ගිලන්පස, ඖෂධ යනාදිය දීමට නොහැකි තරම් මා නිර්ධනයෙකැයි සිතන්නෙහිද? යනාදී වශයෙන් සිතට නැඟුණු සියල්ලම කියමින් සුදොවුන් රජු සිය කනස්‌සල්ල ද පළ කළේය.
එසඳ බුදුහු මෙසේ කීහ. ‘මහරජ ඔබ ක්‍ෂත්‍රිය වංශයෙහි අභිමානවත් රජෙකැයි මම දනිමි. එහෙත් මගේ වංශය එය නොව පෙර බුදුවරුන් අයත් වූ පරම පූජනීය බුද්ධ වංශයයි. ඒ බුද්ධ වංශයේ පූර්ව සිරිත වන්නේද මෙලෙස පිඬු සිඟා යෑපීමය. එහෙයින් ඔබගේ කිසිදු දොසක්‌ නැත. මම මගේ කුල සිරිත අනුගමනය කළෙමි.
සුදොවුන් රජුට ඒ වෙනස ඒ මොහොතෙහි දුරවබෝධ විය. අනතුරුව බුදුහු තම පිය රජුට ඒ පිළිබඳව පැහැදිලි කළහ. තමන් වහන්සේ කිසිවිටෙක ක්‍ෂත්‍රියවරුන්ට තබා මේ මිහිමත සිටින කිසිවකුට අනාදරයක්‌ නොකරන බවද කියා සිටියහ. රජුට කෙමෙන් සත්‍යය වැටහෙන්ටද විය. මොහඳුර දුරුවෙන්නටද විය. රාජ්‍යත්වය හා බුද්ධත්වය අතර වෙනසද වැටහිණි. ඒ වන විට රජු සෝවාන් ඵලයටද පැමිණ සිටියේය.
අනතුරුව බුදුන්ට නමස්‌කාර කළ රජු පාත්‍රය දෝතින් රැගෙන ආපසු මාලිගාවට පැමිණ වළඳන ලෙසද ආයාචනා කළේය. බුදුහු එය පිළිගත්හ. සැරියුත් – මුගලන් දෙනම සමග තවත් කීපනමක්‌ ඒ ගමනට එක්‌වූ අතර සෙසු සංඝයාවහන්සේලා ආපසු නීග්‍රෝධ උයන බලා වැඩියහ. පිය රජු සමගම සුදොවුන් මාලිගාවට පිවිසි බුදුහු එහි වූ සිහසුන මත හිඳගත්හ. සුදොවුන් රජු දැඩි ස්‌නේහයෙන් හා ගෞරවයෙන් පැන් නුමුසු සුවඳැල් හාලේ කිරිබත් සමග හකුරු ස්‌වල්පයක්‌ ද පාත්‍රයට බෙදුවේය. අනෙක්‌ සංඝයා වහන්සේටද එලෙසම පුජා කර, සියලු දෙනාම වළඳන අයුරු බලමින් රජු පසෙකට වී සිටියේය. මාලිගාවෙහි සිටි සියල්ලෝම උන්වහන්සේට නමස්‌කාර කළහ. පිරිස්‌ අතර යශෝදරාවන් නොදුටු රජු වහාම සේවකයකු අත ඇයට පණිවිඩයක්‌ යෑවීය. එහෙත් යශෝදරා සිතන්නී උන්වහන්සේ මට යම් බඳු ප්‍රේමයක්‌ දැක්‌වීද, දැන් එසේම මා කෙරෙහි පවත් නේද, එසේනම් මා වෙනුවෙන් නිසැකයෙන්ම බුදුහු මෙහි වඩිති යනුවෙනි. එකෙණෙහිම බුදුන් වහන්සේ ඇගේ සිතැඟි දත්හ. යශෝදරාවන් තවමත් මා කෙරෙහි අපමණ ස්‌නෙහයකින් පසුවන්නීය. යම් හෙයකින් මා ඇය අබිමුවට නොයන්නේ නම් එදුක තුනී කරගැනීමට නොහැකි වනු ඇතැයි නිශ්චය කර සුදොවුන් රජු දෙසට හැරුණි.
මහ රජතුමනි, මම නුඹගේ දියණිය දකිනු රිසිමි. ඕ මේ සංසාරයෙහි මා වෙනුවෙන් උසුලන ලද දුක්‌ ගිනි ද කරන ලද පරිත්‍යාග ද බොහෝය. එහෙයින් දැන්ම ඇගේ මාලිගාවට යා යුත්තේ යෑයි වදාළහ. ඉක්‌බිති දැගසව්වන් අමතා මෙසේ කීහ. මා ප්‍රිය දැගසව්වනි, මම සියලු කෙලෙස්‌ නසා බුද්ධත්වයට පත්වීමි. කිසිවෙක්‌ හෝ කිසිවක්‌ පිළිබඳ මා තුළ අබැටක තරම්වත් ඇල්මක්‌ නොවේ. සියලු සංස්‌කාරයන් අනියත බව ඔබද දන්නෙහිය. එහෙත් යශෝදරාවෝ ඒ කිසිවක්‌ නොදනිති. ඇය තවමත් පෙර සේම ලෞකික බැඳීම් අතර සිරවී සිටින්නීය. ඉතා සුළු කරුණකින් කම්පිත වන්නීය. යමක්‌ යථාර්ථවාදීව දැනගත හැකි නුවණින් යුතු ඕ සසර පුරා මට අනුග්‍රහ කළාය. එහෙත් දැන් ඇගේ සිත බොළඳය. සියුමැලිය. සංවේදීය. එහෙයින් මා දුටු කල්හි ඇය ඒ ස්‌නේහයෙන්ම ආතුර වන්නීය. ඇයට රිසි සේ ඇගේ දුක්‌ තැවුල් දුරුකර ගැනීමට ඉඩක්‌ නොලද්දී නම් ළය පැලී මියෙනු ඇත. එහෙයින් ඇයට රිසි ලෙස, ඇගේ සිත් සනහා ගන්ට අවකාශ වන්නේ නම් මේ ගොරතර සසරින් ඇය එතෙර කිරීම පහසු වන්නේය. මා ලද මෙම ප්‍රඥ ධනය නොලැබ ඇයට විපතක්‌ වීමට ඉඩ නොදිය යුත්තේය. ස්‌ත්‍රීත්වය සතු සියලු දුබලතා ද ප්‍රබලතා ද ඇය තුළ ද වන්නේය. එහෙයින් ඇයට යහපතක්‌ සෑදීම මගේ අරමුණය.
සුදොවුන් රජු තුළ නම් වූයේ කුමක්‌ සිදුවිය හැකිද යන කුහුල් සිතකි. ප්‍රජාපතී මාතාවටද කිසිවක්‌ නිශ්චය කරගත නොහැකි වූවාය. සිය මව බැහැදැකීමට පැමිණෙන බුදුන් වහන්සේගේ දසුන රාහුල කුමරුටද ප්‍රිය විය. හේ ඊට වඩා යමක්‌ නොදත්තේය. බුදුහු යශෝදරාවන් සිටින මාලිගාවට පැමිණ එහි පනවා තිබුණු උස්‌ අසුනෙහි වැඩ සිටිසේක. සැරියුත් – මුගලන් දෙනමද මඳක්‌ මෑතින් අසුන් ගත්හ. සුදොවුන් රජුද කුඩා අසුනකට බර විය. යශෝදරාවන්ගේ පරිවාර ලියෝද තුෂ්ණිම්භූතව සිටියහ.
ඉනික්‌බිති යශෝදරා දේවිය දිව අවුත් බුදුන් පා මුළ වැතිර ගත්තී රන් ලියක්‌ සේය. දුඹුරු පැහැගත් දළ රෙදිවලින් සැකසුණු ඇගේ ඇඳුම උපශාන්ත විලාසයක්‌ ඇයට ලබාදී තිබුණි. වරලස මනාව සකසා බැඳි අතර කිසිදු ආභරණයක්‌ නොපැළඳ සිටියාය. ඕ සිය හද තුළ සිර කර ගත් ස්‌නේහය නමැති ගංගාවෙහි ඉවුර බිඳ හැර නෙතු පුරා වැටෙන කඳුළින් බුදුන්ගේ ශ්‍රී පතුල දොවන්නාක්‌ මෙන් හඬන්ට වූවාය. බුදුන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි ගොප් මස අල්ලා ගත් වනම සුසුම්ද, ඉකි බිඳුම්ද වර්ෂාවක්‌ ගලා බැස්‌සීමටද වූවාය. ස්‌වල්ප වේලාවක්‌ ගෙවී ගියේය. මහා කුණාටුවකට පසු ඇතිවන සන්සුන් බවක්‌ ඇති විය. හිස ඔසවා බැලූ යශෝදරාවන්ට තමන් වට කර ගෙන සිටි පිරිස පළමුව ද බුදුන් වහන්සේගේ කරුණාබර මුහුණ දෙවනුව ද දැකගත හැකි විය. තමන් විසින් කරන ලද්දේ කුමක්‌ දැයි ඕ නොදන්නීය. වහා නැඟිට පසෙකට වී එහි වූ පලස්‌ මතම හිඳගත් ඕ පිය රජු දෙස අසරණ බැල්මක්‌ හෙලුවාය.
සුදොවුන් රජු තරමක්‌ කැළඹී සිටි නමුදු ඇගේ ප්‍රතිචාරය මැනවැයි ඔහුට සිතිණි. ඇගේ සිත අස්‌වසාලීමටත්, ඇගේ පරිත්‍යාගශීලී ගුණය පැවසීමටත් රජුට වුවමනා විය. හේ නිහඬතාව බිඳිමින් කටහඬ අවදි කළේ එහෙයිනි.
“බුදුන් වහන්ස, මේ ලිය ඔබ වහන්සේට දක්‌වන ගෞරවය ද ප්‍රණාමය ද බොහෝය. ඕ කිසිවිටෙක සිදුහත් නාමයට මඳ හෝ අනාදරයක්‌ නොකළ වග මම ඉඳුරා දනිමි. ඔබ වහන්සේ අබිනික්‌මන් කළ දිනයෙහි පටන්ම යශෝදරා නිබඳවම ඔබ යහපතම පැතු ලියකි. ඔබ වහන්සේ දුකට කිරියක නිරතව සිටින වග දැනගත් වේලේ පටන් ඕ යම්තම් දිවි රැකෙන තරමට වඩා වෙනත් අහරක්‌ නොලද්දීය. මෙනුවර මොනතරම් සල්පිල්, සැණකෙළි සිදු වුවද ඕ එබඳු දේ මෙහි සිදුවන බවක්‌වත් නොදත්තීය. කිසිදු රාජකීය අමුත්තකු හෝ බැහැ දැකීමට ඕ රිසි නොවූවාය. නුඹ වහන්සේගේ සොහොයුරු නන්ද කුමරුන් සමග වුව සමාගමකට නොගියාය. ඇය අභිමානවත් පතිනියක වූවාය. පෞඪ ගුණයෙන් නොඅඩුව, ප්‍රඥවෙන් ද අපේක්‌ෂාවෙන් ද ජීවත් වූවාය. සංවර ශීලය නොබිඳ කුලගෙයි හුදෙකලාව පැවතීම පවා ලියකට අසීරුය. එහෙත් හශෝදරා පරමාදර්ශී ලියකි. නැටුම්, ගැයුම්, වැයුම්, කිසිවක්‌ ඇයට නොරිසි වූවාය. නුඹ වහන්සේ විමුක්‌තිය හා සත්‍ය මාර්ගය සොයා ගන්නා බව ඇය සහතිකවම දැන සිටියාය. මෙසේ ඇසට දකින තුරු භාවනාවෙන් ද සමාධියෙන් ද පසු වූ ඇගේ සිත මෙවේලෙහි සසල වීම ගැන කමා කරනු මැනවි. සුදොවුන් රජු නිහඬ වූ පසු බුදුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහරජ ම විසින් මේ ලොව සිටින සියලුම සත්‍රීන් අතර වඩාත් ධෛර්යවත් වූද අධිෂ්ඨානශීලීවූද ස්‌ත්‍රීහු දෙදෙනෙක්‌ දකිමි. එක්‌ අයෙක්‌ මට සුළු මව් වූ ප්‍රජාපතී ගෝතමියයි. අනෙක්‌ තැනැත්තී යශෝදරා නම් වූ මැයයි. ඇය මගේ සංසාර සෙවණැල්ල වූවාය. මගේ සියලු පාරමිතාවන් සපුරා ගැනීම් වස්‌ මට නිබඳ දිරි දුන් ලියක්‌ වී නම් ඒ මේ යශෝදරාවන්ය. අසෝබන පරිභවද මා නිසා ඇය ලද බව මම දනිමි. මගේ අවසන් ආත්මභාවය වූ වෙස්‌සන්තර සමයෙහි ඇය මද්‍රී දේවිය වූවාය. පියකු සේ උදැඩි නොවන මවක්‌ කිසිසේත් තම දරුවන් දන්දීමට තරම් නොවන බව සැබෑය. එහෙත් එකල මා ප්‍රිය දේවිය වූ ඇය ඇගේ කුසින් වැදූ දරු දෙදෙනාම දන්දී මට දැක්‌වූ අනුග්‍රහය නොවන්ට මගේ දාන පාරමිතාව සපුරා ගත නොහැකි වන්නේය. පුරුෂ ධෛර්යෙන් මා ඉවසා ගත් අයුරින්ම ඇයද දරු දුක ඉවසා සාදු සාදු යෑයි පින් අනුමෝදන් වූවාය. එවැනි ගුණැති ලියක මහිම සිහි කරමින්ම මම ඇය බැහැදැකීමට පැමිණියෙමි. තවද ඇය කිසි දිනෙක සරාගී නෙතින් මදෙස නොබැලුවාය. සියපතක්‌ සේ පිවිතුරු සිතින් යුතුව, යෙහෙලියක, මවක, ගුරුවරියක යනාදි විවිධ අයුරින් ඇය මා කෙරෙහි නොබිඳීම විසුවාය. මම ගිහිගෙය හැර යන බව මෙන්ම මගේ සිත තුළ වූ කලකිරීම ද ඕ සක්‌සුදක්‌ සේ දැන සිටියාය. විෂය ලොව කලකිරී සිටි හැම මොහොතකම ඕ මට අස්‌වැසිල්ලක්‌ වූවාය. සරල බවද, චාම් බවද, ගරු සරු බවද ඇගෙන් දුරු නොවීය. නෑර කැටුව සංසාර ගමනේ මා අසලම සිටි ඇයට කෘතවේදී නොවී නම් එය නොමැනවි.
සුදොවුන් රජු ද යශෝදරාවෝ ද ඒ සියලු තතු සාවධානව අසා සිටියහ. ඇගේ සිත සියලු දුක්‌ දොම්නස්‌ දුරුව යන අයුරු ඇයට දැනිණ. එසේ වුවද තමන් බුදුන්ට දැක්‌වූ ප්‍රතිචාරය පිළිබඳව ඇය තුළ සුළු කනස්‌සල්ලක්‌ද වූවාය. ඉක්‌බිති බුදුන් වහන්සේට පසඟ පිහිටුවා යළිත් වන්දනා කළ යශෝදරා මුළුතැන්ගෙට ගොස්‌ සියතින්ම ගිලන්පස බඳුනක්‌ සාදා පළමුව බුදුන්ටත් දෙවනුව අගසව් දෙනමටත් පිළිගැන් වූවාය. බුදුහු එය වළ¹ සුදොවුන් රජු දෙස බැලූ සේක. රජු වහා නැඟිට බුදුන් වහන්සේගේ පාත්‍රය දෝතින් රැගෙන මාලිගාවෙන් පිටත් විය.
සුදොවුන් රජ තෙමේද බුදුන් හා සමගම මාලිගාවේ බාහිර දොරටුව තෙක්‌ පැමිණියේය. එවේලෙහි රජුට සිහි වූයේ පසු දිනට යෙදී තිබෙන නන්ද කුමරුන්ගේ තෙමඟුලට බුදුන්ට ද ඇරයුම් කළ යුතු බවය. රජු යළිත් උන්වහන්සේට වැඳ නමස්‌කාර කර නන්ද කුමරුන්ගේ මංගල්ලය පිළිබඳ දන්වා දහවල් දානයට වැඩ නන්දට ආශිර්වාද කරන ලෙසද ඉල්ලා සිටියේය.
නන්ද කුමරුන්ගේ අභිෂේක මංගල්ලය ද සරණ මංගල්ලය ද අභිනව මාලිගාවට ගෙවැදීමේ මංගල්ලය ද පසු දිනට නියමව තිබුණි. කිඹුල්වත්පුරයම උත්සව සිරි ගත්තේය. සුදොවුන් මහ රජු මෙන්ම ප්‍රජාපතී දේවියද නන්දගේ තෙමඟුලට බුදුන් වහන්සේ වඩමවා ගැනීමට අවකාශ ලැබීම මහත් භාග්‍යයක්‌ සේ සිතූහ. නන්දට නම් එහි අමුත්තක්‌ නොවූ සේය. තම සොහොයුරු සිදුහත් සක්‌විති රජකම අතහැර දමා ගොස්‌ ලද බුදු බව පිළිබඳ වුවද ඔහුට ගැඹුරු වැටහීමක්‌ නොවූ සේය. නන්දගේ ලෝකය තුළ වූයේ සුරූපී ජනපද කල්‍යාණිය පමණි. ඔහු ඇගේ රුසිරෙන්ද මියුරු සරයෙන්ද මෝහනයට පත්ව සිටි සෙයකි. එනිසාම ඔහු ඇය පිළිබඳ කල්පනා ලොවක අතරමංව එයින් ආශ්වාදයක්‌ ලබමින් සිටියේය.
සුදොවුන් රජුටද එදින අතිශය කාර්ය බහුල විය. සිය පුතුගේ මංගල්ලය සඳහා මාලිගාව සූදානම් වෙද්දීම එහි බුදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දානමය පිංකමක්‌ ද නියමිතව තිබුණි. මංගල කටයුතු බුදුන්ගේ උපදෙස්‌ හා සහභාගිත්වය මත සිදු කිරීමට ඉඩ ලැබීම පිළිබඳ ප්‍රජාපති ගෝතමිය වඩාත් ප්‍රසාදයට පත්ව සිටියාය. කුඩා රාහුල කුමරුන් තුළද වඩාත් සමීපව බුදුන් වහන්සේ දැක ගැනීමේ සිතක්‌ පහළව තිබුණි. හේ සිය මවට ද පෙරැත්ත කර වේලාසනින්ම සුදොවුන් රජුගේ මාලිගාවට පැමිණ ප්‍රජාපතී මිත්තණිය අසලම දැවටි දැවටී සිටියේය.
ඉර මුදුන් වීමට හෝරාවකට වඩා නොවීය. බුදුහු සංඝයා වහන්සේද පිරිවරා ගෙන පා ගමනින්ම මාලිගාවට වැඩම කළහ. ප්‍රජාපති මාතාවගේ අදහසක්‌ අනුව දානය සඳහා සූදානම් කර තිබුණේ නන්ද කුමරුන්ගේ අභිනව මාලිගාවය. එහි වියන් බැඳ පාවඩ දමා දන් පිළියෙල කර තිබුණි. රාජකීය පවුලේ සියල්ලෝම මාලිගාව දෙපසට වී සිටියහ. බුදුන් වහන්සේ මාලිගාවට පැමිණ දන් වළ¹ අනුමෝදනා බණක්‌ද දේශනා කර නන්ද කුමරුන් සමග ස්‌වල්ප වේලාවක්‌ කතාබහකද නිරත වූහ. බුදුන් වහන්සේට සවන් දෙන විලාසයෙන් සිටියද නන්ද කුමරුන් සිටියේ සිත නැති ලොවකය. ඒ මන්ද යත් ඔහු තුළ වූයේ මේ කටයුතු නිමවා සිය ප්‍රියාවිය වූ කල්‍යාණිය දැක ගැනීමේ සිතය. නන්දගේ මේ විලාසය බුදුහු දත්හ. තම සොහොයුරාගේ සිතට තමන් වහන්සේ පවසන වදනක්‌ හෝ නොවැටෙන වගද බුදුහු පසක්‌ කළහ. එහෙත් ඒ බවක්‌ නොහඟවමින්ම, එසේ නම් නන්ද අපි යමු දැයි ඔහු දෙස බලා විමසූ සේක. නන්ද ඉන් සතුටු වූයේ සිය මංගල නිමිති ඉටුකර ගැනීමේ ලෝභ සිතිනි.
බුදුහුද එසේ නම් පිටත් වෙමුයි කියමින්ම පාත්‍රය නන්ද කුමරුන් අත තැබූහ. ඔහු එය ගෞරවයෙන් දෝතින්ම රැගෙන මාලිගාවෙන් පිටතට පැමිණියේ එය ආපසු බුදුන්ට දෙන ෙච්තනාවෙන්ය. එහෙත් බුදුන්වහන්සේ කෙරෙන් එබඳු ප්‍රතිචාරයක්‌ පළ නොවීය. නන්ද කුමාරයාද දැන් දැන් පාත්‍රය ඉල්ලනු ඇතැයි සිතමින්ම නීග්‍රෝධ උයන දක්‌වාම පැමිණියේය. උයනට පැමිණි ඉක්‌බිති බුදුහු නන්ද කුමරුන්ට මෙබඳු ආරාධනාවක්‌ කළහ.
නන්ද කුමරුනි, ඉතින් නුඹට මාලිගාවට යැමට හදිසියක්‌ නොවන්නේ නම් අප සමග නතර විය හැකියි. අපට විවේකීව බොහෝ දේවල් කතා බහ කිරීමට ද හැකි වෙයි.
ඒ ඇසූ නන්ද කුමරු මඳක්‌ සැළිණ. අදට නියමිත වූ තෙමඟුල් උළෙල පිළිබඳව බුදුන්ට කිව යුතු යෑයිද ඔහුට සිතිණි. එහෙත් බුදුන්ට තිබෙන ගෞරවය නිසාම හේ මුවින් නොබැණ ඉවසූහ. බුදුන් වහන්සේ සැරියුත් හිමියන් කැඳවා උයන් තෙර කෙලවර කුටියක්‌ ඔහුට ලබාදෙන ලෙසද උපදෙස්‌ දුන්නේය.
සැරියුත් හිමියෝ නන්ද කැටුව එහි ගියහ. නන්ද කුමරුන්ට කුටියත්, අවට පරිසරය පිළිබඳවත් පැවසූ හිමියෝ ආපසු වැඩියහ. නීග්‍රෝධ වනය නන්දට නුහුරු තැනක්‌ නොවුවද එවේලෙහි නම් ඔහුට දැනුනේ දැඩි අපහසුවකි. තමන් විසින් ප්‍රාර්ථනා කරන ලද ජීවිතය සිහිනයක්‌ මෙන් බිඳී යන අයුරු දකින නන්දට දැඩි සෝකයක්‌ද ඇති විය. එහෙත් ඒ කිසිවක්‌ පිටතට නොපෙන්වා තනිව විඳ දරා ගැනීමට අද ඔහුට සිදුවී තිබේ.
නන්ද කුමරුන්ට සිහිවූයේ ජනපද කල්‍යාණියයි. බුදුන් වහන්සේ සමග ආපසු එද්දී ඇය සී මැදුරු කවුළුව හැර උතුරා යන සිනහවකින් තමන් දෙස බැලූ අයුරු ඔහුට සිහි විය. හමා එන සිහිල් මඳ නළ සමග මුසුව ඇදී එන කල්‍යාණියගේ හඬ සෝ ගීයක්‌ ලෙස ඔහුට දැනුණි. ඇයගේ වියෝගය ඔහුට රිදුම් දෙන්නකි. අනපේක්‍ෂිත ලෙස බිඳී ගිය ප්‍රථම ප්‍රේමයේ කඳුළු දෙනෙතින් ගලා යනු වැලැක්‌වීමට ඔහු අසමත් විය. සුදොවුන් රජු මෙන්ම ප්‍රජාපතී ගෝතමියද ඔහුගේ මතකයට නැඟුණි. ඒ කිසිවෙක්‌ තමන් සොයා නොපැමිණීම ගැන ඔහුට සෝකයක්‌ද දැනුණි. සිත එකඟ කරගත නොහැකි වූ නන්ද කුමරු කුටියෙන් එළියට පැමිණියේය. මලින් බර වූ රුක්‌ පෙළ ඔහු දිටීය. ජනපද කල්‍යාණිය මල්වලට දක්‌වන ඇල්ම ඔහුට සිහි විය. රාත්‍රිය උදාවන තුරුම එහි සිටි ඔහු අනතුරුව කුටියට පැමිණියේය. නින්ද ඔහුගෙන් ඈත් විය.
බුදුහු නිබඳවම නන්ද පිළිබඳ අවධානයෙන්ම සිටියහ. ඔහුගේ මනස වසා ගත් සෝකාන්ධකාරය දුරු කිරීමේ අවශ්‍යතාව එවේලෙහි උන්වහන්සේ දුටහ. නන්ද සිතින් පමණක්‌ නොව කයින්ද දුබල වන අයුරු බුදුහු සිහිපත් කළහ. ප්‍රිය විප්‍රයෝගය යනු පුහුදුන් සිතට දරා ගත නොහැකි බව උන්වහන්සේ දනිති. නන්ද පිළිබඳ උපන් දයාවෙන් උදැසනම ඔහුගේ කුටිය දෙසට ගිය බුදුන් වහන්සේ ඔහුගේ සුව දුක්‌ විමසූ සේක. නන්දගේ දැස්‌ මළානික විය. මුහුණ සෝබරය. ඔහු ඒ තතු සඟවා බුදුන්ට නමස්‌කාර කළේය.
අනතුරුව බුදුහු නන්ද සමග නිග්‍රෝධ උයනෙහිම ඈත කෙලවරට වැඩියහ. ඒ යන අතර නන්ද කුමරුන්ට පමණක්‌ පෙනෙන පරිදි අලංකාර උයනක්‌ මවා එහි දෙව්ලියන් සදිසි ලියන් ගැවසෙන ආකාරයක්‌ද දැක්‌වූහ. කිසිවක්‌ කෙරෙහි සිත නොරැඳුණු නන්ද ඒ දසුනෙන් නම් මඳක්‌ කලබල විය. බුදුහු ඒ තතු දුටහ. නන්ද තමන් වහන්සේගෙන් ඒ පිළිබඳ නොවිමසන වගද බුදුන්ට පසක්‌ විය.
නන්ද අර පෙනෙන ලියන් අතර නුඹගේ ප්‍රියාවිය වන කල්‍යාණිය හා සමාන වන අයෙක්‌ සිටිත්ද?
බුදුන්ගේ ඒ පැනය නන්දට මහත් අස්‌වැසිල්ලක්‌ විය.
නැත භාග්‍යවතුන් වහන්ස. මේ ලියෝ මිනිස්‌ ලියන් සේ නොවෙති. බොහෝ රූමත්ය. දැකුම්කලුය. සිත් බඳනා සුළුය.
නන්දගේ මුවගින් ගලා ගිය වදන් බුදුන්වහන්සේ අපේක්‍ෂා කළ පරිදිම විය. බුදුහු මෙසේ ඔහු විමසූහ.
නන්ද නුඹ එහි සිටිනා යම් ලියක්‌ කෙරෙහි සිත් වේ නම් නුඹට නිසැකයෙන්ම කල්‍යාණිය අමතක කරන්නට සිදුවනවා නොවේද?
එබසට පිළිතුරු දෙන නන්ද කුමරා එසේය ස්‌වාමීනි, මේ ලියන් සමග සසඳන කල මගේ ජනපද කල්‍යාණිය වඳුරු මැහැල්ලක්‌ වැනි යෑයි ද කීහ.
අනතුරුව බුදුහු නන්ද කුමරුන්ට මෙබඳු උපදෙසක්‌ දුන්හ. එනම් දින දෙකක්‌ ඇතුළත නියම කරන භාවනාවක්‌ සම්පූර්ණ කරන්නේ නම් ඒ රුසිරු ලියක්‌ද කැටුව ආපසු මාලිගාවට යැමට අවකාශ ලබා දෙන බවට උන්වහන්සේගෙන් ප්‍රතිඥවක්‌ ද ලැබුණි. ඒ නන්ද කුමරු කිසිසේත් අපේක්‍ෂා කළ දෙයක්‌ නොවීය. ඔහු ආපසු කුටියට පැමිණියේ ද ඉතා සැහැල්ලු සිතින් ය.
ඉක්‌බිති බුදුහු සැරියුත් හිමියන්ගේ කුටියට වැඩ නන්ද උන්වහන්සේට බාර කළහ. නන්දට භාවනාව සඳහා කමටහන්ද ලැබිණි. සිත සන්සුන්ව බවුන් වඩද්දී ඔහු මුල්වරට ජීවිතයෙහි අනියත ස්‌වභාවය දුටුවේය. පසිඳුරන් පිනවීමේ විපාක ද දුටුවේය. බුදුන් වහන්සේ එදා ඒසා ආශ්චර්යවත් ජීවිතයක්‌ අත්හැර යැම කෙතරම් අර්ථවත් දැයි නන්ද කුමරු සිතුවේය.
පසුදින උදැසනම නන්ද කුමරු බුදුන් බැහැදැකීමට පැමිණි තමන්ද පැවිදි කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. බුදුහු ඒ කාර්යද සැරියුත් හිමියන්ට බාර කළහ. නන්දගේ හිස කෙස්‌ බූ ගා දැමිනි. ගිලිහී යන කෙස්‌ තරමටම තම සිතද විවිධ අරමුණු වලින් බරවී තිබුණු බව එවේලෙහි ඔහුට මතක්‌ විය. නන්ද භික්‌ෂු වෙසින්ම බුදුන් දැකීමට ගියේය. එහිදී බුදුහු නන්දට අනිත්‍ය පිළිබඳ ධර්මය දෙසූහ. නන්ද රහත් භාවයට එළැඹිණි.
ගාමිණී සුමනසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.