Skip to main content

135 ගොධ ජාතකය

තවද සර්‍වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි වඤ්චා ප්‍රයොග දන්නා භික්‍ෂූකෙනෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වනලද, එහි වර්‍තමාන කථාව යටකියනලද කුහක ජාතකයයෙහි සැලැස්ම සේයයි දතයුතු.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්‍වයෝ ගොයි යෝනියක ඉපිද පිටිසර ගමක බැද්දේ තුඹසෙක වාසය කරන්නාහ, එසමයෙහි සිල්වත් ගුණවත් තාපසකෙණෙක් එකියන පිටිසරගම මනුෂ්‍යයන්ගෙන් සිව්පසය අනුභව කරන්නාහ, බෝධිසත්වයෝ ඒ තාපසයන්ගේ මියුරු ධර්‍මදේශනාව අසන නිසා දවසක දෙවිටක් අවුත් තාපසයන් දැක වැඳ යන්නාහ. කල්යාමකින් උපාසකවරුන්ට කියා ගෙණ ඒ තාපසයන් වහන්සේ හිමාලය වනයට වැඩිසේක. පසුව කූට තපස් කරන්නාවූ තාපසකෙණෙක් එම ගමට අවුත් උහුත් උපාසකවරුන් විසින් දෙන දන් ලබන්නාහු එම පන්සල වසන්නාහ, එසමයෙහි ගොයානෝ පළමු තාපසයන්සේම මුයිත් යහපත් කෙණෙකැයි සිතා දවසකට දෙවිටක් අවුත් දකිනාහ. එසමයෙහි එක් දවසක් නොකල් වැස්සෙක් වට විසින් මෙරු පැණ නැංගාහ, මෙරුන් කණ නිසා බොහෝගොයි ඒ ඒ තුඹස්වලින් එලිබටහ, ඒ දැන මනුෂ්‍යයෝ බැද්දට අවුත් බොහෝ ගොයින් මරාගෙණ යන්නාහු. ගොයිමාලු යහපත් කොට පිසගෙණ ගියාහ, තාපසයෝත් ගෝමාලු කා කුමන මාන්සදැයි විචාර ගෝමස නියාව කියන්නා එහි තෘෂ්ණාව බැඳ මා කරා එන මහාගොයෙක් ඇත, ඔහු මරා මස් කම්යි සිතා උපාසකවරුන්ට කියා ළුනු මිරිස් ආදීවූ දෙයත් අත්පල්ලයකුත් ගෙන්වා පන්සල ඇතුලේ සඟවා තිබා යහපත් පොල්ලකුත් ඉදිකොට ඒ පොල්ල වැහැරී සිව්රෙන් සඟවා ගෙණ සක්මන් කෙළවර ගළ අස්නපිට කර නමාගෙණ ගොස් ගොයානන් එනමග යටැසින් බල බලා අපිස්භාවයක් අඟවා උන්නාහ. ගොයානෝත් තුඹසින් පිටත්ව එන්නාහුමය. මෙතෙක්දා සේ ලඟට නොඅවුත් කොව කොවා තාපසයන් ඉන්නා සැලැස්මෙන් සැකව උඩුසුලඟට ගොස් තාපසයන් හෝමස් කෑ නියාව නාසයෙන් ආඝ්‍රාණකොට දැන දැන ලන් නොවී දුරුව දුරුව ඇවිදිනාහ, ඒ තාපසයෝ තමන් කරා ගොයානන් නොඑන විසින් කොවපුවයි සිතා පොල්ල බලා දමාලා ගසා මරමි සිතා දැමුවාහ. දැමූ පොල්ල වල්ගය අගට වැදගත, දෙවෙනිව ළුහුබඳා පොල්ල ඇරගෙණ ගසනතුරු බෝධිසත්වයෝ වහා ගොසින් තුඹසට වැද අනික් තෙනකින් මූන එලියට ලා තා යහපත් තාපසකෙණෙකැයි සිතා උනිමි, තසේවූවන්ට කාෂායවසත්‍රයෙන් හා දිවිසම් ජටා ආදීවූ දෙය තරම් නොවෙයි කියා බැන තුඹසට වැදගියාහ, ඒ තාපසයෝ මෙවක් පටන් මෙතන උනිනම් ගොයානෝ මාගේ තතු උපාසකවරුන්ට කියයි සිතා එදවස්ම හිමාලය වනයට නික්මුණහයි වදාරා එසමයෙහි කූට තාපසයෝ නම් චඤචායෝග දන්නා භික්ෂූහූය, යහපත් තාපසයෝ නම් ශාරිපුත්‍ර ස්ථවිරයෝය, ගෝව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාරා ගොධ ජාතකය නිමවා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.