134 බබ්බු ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන කාණමාතාව ආය්‍ර්‍යශ්‍රාවක නම්වූ උපාසිකාවක් ඇත්තීය. එකියන උපාසිකාව කාණමාතාවයයි කියන්ට කාරණා කින්දැයි යතහොත්, කාණ නම් දුවක් ඇත්තීය, ඈට මව් විසින් කාණ මාතාවයයි නම් කළේ කාණමාතා නම් දුවට කාණ යයි කියන්නේ ඇස කණ හෙයින් නොවෙයි විශේෂව රූ ඇති හෙයින් ඈ දුටු පුරුෂයෙක් ඇගේ රුවෙහිම තෘෂ්ණාව බැඳී අනික් ස්ත්‍රියක කෙරේ දෘෂ්ටියක් නොයෙලන විසින් කාණවූවා හා සමානයෝයයි කියා කාණාවෝයයි නම් තිබූහ. කාණ නම් දුව ඔබ්බට ඇගේ මෑනියෝ පාවා දුන්හ. ඔබ්බේ කුලයක වැද ඉඳ බොහෝ දවසකින් මෑණියන් දකින්ට මෑණියන් කරා අවුත් දැක උන් ලඟ වැද ඉඳ නොඑන විසින් උන්ගේ ස්වාමි පුත්‍රයා කියා යවන්නේ කාණාවන් දකිනා බොහෝ අභිප්‍රා ඇත්තෙම් වහා එන්නේයයි කියා යවූහ, එපවත් අසා කාණාවෝ තමන්ගේ මෑනියන්ට එපවත් කීවාහ. එපවත් කාණාමාතාවෝ අසා ස්වාමි පුත්‍රයා දකින්ට යන ගමන සිසතින් යාම නපුරුයයි කැවුම් ආදීවූ දෙය පිසවා ගෙණ යායුතුයයි පණත් කළාහ. ඒ අවස්ථාවට වහන්දෑ නමක් සිඟා වැඩිසේක. සෝවාන් උපාසිකාවන් විසින් ගෙයි කැවුම් තිබෙද්දී නැතැයි කියන්ට කාරණා නොවන හෙයින් පාත්‍රය පුරා කැවුම් පිළිගැන්වූහ. ඒ භික්ෂූන් වහන්සේත් අනික් සිඟායෙන භික්ෂුකෙණෙකුන් වහන්සේ දැක උන්වහන්සේට කියනසේක්. කාණාමාතාවන්ගේ ගෙයි කැවුම් ඇත. ඔබ්බට යවයි කීසේක. එපවත් අසා ඒ ගෙට ගොස් පාත්‍රය පුරා කැවුම් ලබාගෙණ අනික් නමකට කීසේක. ඒ නම අනික් නමකට කීසේකැයි කියා මේ නියායෙන් සතර නමකට පාත්‍රා පුරා දීමෙන් කැවුම් නිමා ගියේය.

එසේහෙයින් කාණාව ඒ මුරයේ යන ගමන් තිබා දෙවෙනි වලියේත් ස්වාමිපුත්‍රයා අවමැවනැයි කියා යවන්නා මුරයේත් ගමනට පිසූ කැවුම් එම භික්ෂූන් වහන්සේම පිළිගත් හෙයින් ගමනට බාධාවූ හෙයින් ඔබ්බෙන් කුල ස්ත්‍රියක් ගෙණාහ, එපවත් කාණාවෝ අසා බොහෝ විකේෂ්පව අඬන්ට වන්නාහ. කාණාමාතාවෝත් වික්‍ෂෙපවූහ, එපවත් සර්වඥයන් වහන්සේ දැක කාණාමාතාවන්ගේ ගෙට අවුත් උන් විසින් පණවන ලද බුධාසනමසතකයෙහි වැඩහිඳ උපාසිකාවෙනි තොපගේ දුව අඬන්නේ ඇයිදැයි විචාරා එපවත් අසා ඊට සුදුසු බණ වදාරා උන්ගේ සෝකනිවා ජේතවනාරාමයට වැඩි සේක. එදවස් සවස දම්සභා මණ්ඩපයෙහි රැස්වූ මහළුවරුන් වහන්සේ අසවල් භික්ෂූන් සතර දෙනා නිසා කාණාවන්ගේ ගමණටත් බාධාවීයයි ආය්‍ර්‍ය උපාසිකාවන්ටත් බොහෝ විකෙෂපයයි කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා මහණෙනි දැන් මතු නොවෙයි පෙරත් මෙකියන භික්ෂුහු සතර දෙනා විසින් කාණාමාතාවන්ගේ ලාභය උදුරා ගෙණෙන ලදැයි වදාරා ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාරණලදී.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ගල්වඩු කුලයක ඉපිද ගල් වඩුවන්ට ආචාරීව දවසරිනාසේක, එසමයෙහි සතළිස් කෙළක් සම්පත් නිධාන ගතව තිබෙන්නාවූ පිටිසර සිටාන කෙණෙක් නැසී ගියාහ. උන්ගේ බැදෑනියෝ මිය ගොස් සම්පතෙහි ගත්තාවූ ආසාවෙන් නිධාන භූමියෙහි තුඹසෙක මූසිකා ධෙනුව උපන්නාහ. ඒ අවස්ථාවට බෝධිසත්වයෝ ඒ පාළු ගමට අවුත් ගල් පළා ඉන් කර්මාන්ත කොට ජීවත් වන්නාහ, දවස්විටක් බෝධිසත්වයන් ඒ ගමට එන හෙයින් මූසිකා ධෙනුව බෝධිසත්වයන් කෙරෙහි සෙනහ උපදවා ගෙණ මාගේ සතළිස්කෙළක් සම්පත් ඇත, ඒ සම්පත් ඒ සත් පුරුෂයාට දී මමත් ප්‍රයෝජන විඳිමී සිතා එක් දවසක් කර්‍ෂාපණයක් කටින් ඩැහැගෙණ අවුත් බෝධිසත්වයන්ගේ පාමුල එලාළුව බෝධිසත්වයෝ මේ කීමෙක්දැයි කීහ. මූසිකාව විසින් මේ රත්තරන් නුඹ වහන්සේ විසින් ඇරගෙණ මට රත්තරන් සතර වියටෙක දඩමස් ඇරගෙණ ඉතිරිවා ප්‍රයෝජනගත මැනවැයි කීහ.

ඒ නියාවට දවස්පතා කර්‍ෂාපණයක් මී දෙන්නීය බෝධිසත්වයෝ රත්තරන් සතර විටටෙක දඩමස් ඇරගෙණ ලා මේ නියායෙන් දවස් අරණා සමයෙහි එක් බළලෙක් ගොදුරු සොයා ඇවිදිනේ මූසිකා ධෙනුව දැක අල්වාගත, එවිට මූසිකාව කියන්නී මා ඇරපියාවයි කීය. ඊට බළල් කියන්නේ ගොදුරු සොයන්නෙමි කී විසින් මා ඇල්ළුයේ කුමටදැයි විචාරා මාංස කන්ටයයි කී විසින් එකදා කණමාංසය යහපත්ද ඇමදාකණමාංසය යහපත්දැයි විචාරන්නා හැමදා කණ මාංසය ලැබේ නම් යහපත්වෙයි බළලා කියන්නා එසේවීනම් මා ඇරපියන්නා දවස්පතා මාංස ලබමි මූසිකාව කී විසින් අසා බළලා කියන්නේ යහපත ඒ නියාවට මස් දෙවයි පමාවූ දවසෙක දන්නෙම් වේදැයි භය ගන්වා අලහ. එතැන්පටන් මූසිකා ධෙනුව තමා ලත් මාංස දෙකොටසක් බළලාට කොටසක්දී කන්නීය, මේ නියායෙන් අනික් බළලෙක් ඇල්විය උන්ටත් මාංස කොට්ඨාසයක් දෙන නියායෙන් කියා ගැලවුනාහ. මේ නියායෙන් බළලුන් සතර දෙනෙකු ඇල්වූ ගමනේ සතර දෙනාම මේ නියායෙන් ගිවිස තමා එකතැනැත්තිය බඩපුරා මාංස පස් කොටසක් කොට සතර කොටසක් බළලුන්ටදී තමා කොටසක් කණ හෙයින් බඩපුරා කන්ට නොලත්තීය. දවසින් දවස දුර්වලභාවයට පැමිණියාහ. එපවත් බෝධිසත්වයෝ දැන මෙසේවන්ට හේතු කවරේදැයි විචාරා එපවත් අසා මෙතෙක් දවස් මට නොකීවේ ඇයිදැයි කියා විචාරා ඒ නියාවට දෑවාන ගුහාවක් ඉදිකොට ඉන්ට සලස්වා තී විසින් මස් ඉල්ලා ආ බළලුන්ට පරිභව බණවයි සලස්වාළූහ. ඒ නියාවට මූසිකාව දෑවාන කරඬුවේ උන්කලට පළමුකොට බළලෙක් ඇවිත් තී විසින් මට දෙන මස් කොයිදැයි විචාරන්නා ඇයි තොපට මස් දෙන්ට එකෙක්ද තොපට මස් උවමනාවීනම් තොපගේ දරුවන්ගේ මාංස කවයි කියා කිපෙන ලෙස බස්කීව එවිට බළල් කෝපව තොපිත් මෙසේවූදැයි දෑවාන කරඬුවට පැණ ලයතලාගෙණ ඉවත ගොස් බැද්දේ ලැග මිය ගියේය, මෙම නියායෙන් අනික් බළලුන් තුන්දෙනත් මූසිකාවගේ බසට කෝපයෙන් දෑවාන කරඬුව පැණ ලයපලාගෙණ මළාහ, එතැන් පටන් මූසිකාව බෝධිසත්වයන් කෙරේ සමාධියෙන් පැහැද කර්‍ෂාපණ දෙකක් දවසකට දෙන්නීය, මේ නියායෙන් තමාගේ සතළිස් කෙළක් සම්පත් දුන්නීයයි වදාරා බළලුන් සතරදෙන මස් කෑමෙන් මූසිකාවට වූ අලාභයසේම උපාසිකාවන්ටත් වූ අලාභයයි වදාර අදවක් පටන් පවරා දුන් දනක් විදා නොපවරා දුන් දනක් ගෙට ගොස් ඇරගණිම අකැපයයි සික්ෂාපද පණවා වදාළසේක.

එසමයෙහි බළලුන් සතරදෙනා නම් මේ භික්ෂුහු සතරදෙනය, මූසිකා ධෙනුව නම් කාණාමාතාවූ උපාසිකාවෝය. එසමයෙහි ගල්වඩුව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්මයයි දෙකල් ගළපා මේ බබ්බු ජාතකය නිමවා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

135 ගොධ ජාතකය
133 ස්වර්ණ හංස ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.