129 කෝසිය ජාතකය - IFBC Organization | Dhamma

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා බ්‍රාහ්මණයෙක් උපාසකව තුරුනුවන් මමායන ඇතිව වාසය කෙරෙයි එසමයෙහි ඔහුගේ ගෙයි වසන බැමිණි දුරාචාරව වාසය කරණ විසින් රාත්‍රී මානයෙහි නිදි නොලැබ දහවල් ගෙයි කළමනා කිසි කර්මාන්තයක් නොකොට වැදහෙව නිදන්නීය. බමුණා අවුත් ඇයි තොප වැදහෙව නිදන්නේ කුමක් නිසාදැයි විචාළේය. එවිට ලෙඩවීම කියන්නා කුමක් ලෙඩදැයි විචාරන්නා රුජාවෙක කී විසින් කළමනා කවරේදැයි බමුණා විචාරන්නා ප්‍රණීත ආහාරය ලබන්නා යහපතැයි කී විසින් දවස්පතා සිඟා සොයා ගෙණෙන්නේය. මේ නියායෙන් තමාගේ දවස්පතා ලත් රුජාව සන්සිඳීමක් නැති විසින් ඒ බව බුදුන්ට දන්වන නියාත් කීපදවසක් නොගිය විසින් ගඳ දුම් මල් පහන් ගත් අත් ඇතිව බුදුන් කරා ගොස් බුදුන් වැඳ පුදා එකත්පස්ව උන්නේය. බුදුහු බමුණා දැක මෙතෙක් දවස් නොආයේ ඇයිදැයි විචාළසේක. බමුණු එවිට කියන්නේ තමාගේ ගෙයි බිරින්ද රුජාවක් විසින් බෙහෙත් සපයන නිසා පමාවීමියි කියා නැවත කියන්නේ රුජාව පමණක් මිසක් සර්‍වාඞගයෙන් වැහැර ගිය කෙණෙක්වත් ශරීර වර්ණයෙන් අඩුවත් වූයේත් නැත, එසේ පමණක් මිසක් කෙතෙක් ප්‍රණීත ආහාර දුන්නත් රුජාවෙන් අඩුවක් නැත. ඊට කළමනා කුමක්දැයි සර්වඥයන් වහන්සේගෙන් විචාළෝය. සර්වඥයන් වහන්සේ වදාරණසේක් භවයෙන් ප්‍රතිචඡනතව තිබෙන හෙයින් තට නොදැනෙන්නේ පමණක් මිසක් පළමුත් ඊට බෙහෙත් කීවෝ වේදැයි වදාරා බමුණා විසින් ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ දිසා පාමොක් ආචාරීව එසියයක් නුවර කුමාරවරුන්ට හා බ්‍රාහ්මණ කුමාරවරුන් ආදීවූ බොහෝ දෙනාට ශිල්ප දී වාසය කරනසේක. එක් බමුණෙක් දිසාපාමොක් ආචාරීන් අතින් ත්‍රිවෙදය හා අක්ෂර ලිඛිත ගණිත තර්ක ව්‍යාකරණාදීවූ අෂ්ටාදශ ශිල්පයෙහි පාරප්‍රාප්ත විය. ඒ බමුණාද දවස තුන්විටක් ආචාරීන්ට සේවය කොට ශිල්ප ශාස්ත්‍රයෙහි අඩුවැඩිය අරවාගෙණ යෙයි එසමයෙහි ඒ බමුණාගේ බිරින්ද දුශ්ශීල නියාව පළමුව වර්තමාන කථාවෙහි පණතසේම බමුණා අවුත් ආචාරීන්ට කී කල්හි ආචාරී එපවත් අසා ප්‍රණීත ආහාර කැවීමෙහි කම්නැත. ගොමුදියෙහි පස්පළා කකාරා ඇරගත් පැන් හා තිකුළු තිපල් කකාළ කෂාය ඉදිකොට තඹ භාජනයෙහි වත්කොට කීපදවසක් තිබා තඹ ගඳ වෙඬරුවූ කල්හි ඒ කෂාය ගෙණ ගොස් වැලක්වත් ලනුවක්වත් ඉපලක්වත් ඇරගෙණ සිට මේ බේත් බී රුජාව සංහිඳුවා ගනුව. එසේ නැත්නම් මාගෙන් දෙන ප්‍රණීත ආහාරය කණ බොන නියාවට ගෙයි මේවර හෝ කරවයි කියව, මෙකී දෙයකට කැම්මැලිවූනම් ඉසකේ පත අල්වාගෙණ අත තුබූ ඉපල වුවත් වේවැල වූවත් ලනුව වූවත් තුනින් එකකින් යහපත් කොට ඇන මේ නියායෙන් කරන්නා ලෙඩ සුවවෙයි කියා ආචාරී කීහ. බමුණා ගෙට ගොසින් එලෙස කරන්ටවූ දින උපාය කීවේ කවුරුදැයි විචාරන්නා ආචාරීන් වහන්සේ කීසේකැයි බමුණා කී විසින් ආචාරීන් මාගේ තත්ත්වය දත් නියාව වේදැයි සිතා එවිට මේ වධ මා විඳින්නේ ඇයිදැයි සිතා ඇඳින් නැඟීසිට කළමනා මෙහෙවර කළහ. එතැන්පටන් කරණ දුස්සීලය හැර පතිව්‍රතා ධර්මය රැක්කාහ. වර්තමාන කථාවෙහිත් බුදුන් ඇසූ නියාව දැන මේ කියන බැමිණිත් තමා කරණ ලද දුස්සීලය හරණලද්දීය.

එසමයෙහි දෙමහල්ලෝ නම් මෙසමයෙහිත් දෙමහල්ලෝමය, දිසාපාමොක් ආචාරීව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාරා දෙකල් ගළපා මේ කොසිය ජාතකය නිමවා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

130 අසපදාන ජාතකය
128 අග්ගිදත්ත ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.