Skip to main content

126 කලණ්ඩුක ජාතකය

තවද සර්‍වඥයන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කලණ්ඩුක ජාතකය දක්වනලද එහි වර්තමාන කථාවද බරණැස් සිටානන්ගේ පුතනුවන් හා කෙල්ලකගේ පුතා එක්ව අකුරුකළ නියාවද සිටානනගේ ගෙයි ගේ බැලුනියාවද, සිටානන් ලිව්වා බඳු බොරුපතක් ලියූ නියාවද, ඒ පත ගෙණගොස් පසල් සිටානන්ගේ දුවට දුන් නියාවද යන සියල්ල පළමු කියන ලද කටාහක ජාතකයෙහි පණතමයයි දතයුතු

මේ ජාතකයෙහි වෙනස නම් කටාහක නම් කොළු සිටුදුව පාවාගෙණ වාසය කරණ සමයෙහි බරණැස් නුවර සිටානෝ තමන්ගේ කොල්ලා අපවත්ව ගිය හෙයින් තමන් ගේ වසන ගිරවාට කියන්නාහු ගිරාපෝතකයෙනි තොප විසින් කලණ්ඩුකයා උන් තෙනින් බලා ඇවිත් කියවයි කියන්නා යහපතැයි නික්ම ඒ ඒ තැන්හි බලාගෙණ යන්නේ කලණ්ඩුකයා වසන ගමට අවුත් පැමිණියේය. ගිරා පෝතකයා පැමිණි දවසම කලණ්ඩුකයා සන නය කරන්ටයි ගඟට ගියේය. ගිරාපෝතකයාත් ගඟ සමීපයෙහි දිඹුල් ගසක කොලතුරේ සැඟවීගෙණ උන්නේය. කලණ්ඩුකයන් ජලක්‍රීඩාව කරණ හෙයින් සිත නොවදින්ට සිටුදුව විසින් කුළුබඩු කකාරණලද කිරි අතට දුන් කල්හි කලණ්ඩුක කිරි කටක් ඇරගෙණ කට සෝදා සිටුදුවගේ ඉස වත්කරන්නා දුටු ගිරාපෝතකයා කියන්නේ ඇයි කලණ්ඩුකයෙනි අප බැද්දේ වසන පක්ෂීන් පමණ මිසක් තොප අප හා එකගෙයි වාසය කළෝය. තොපි තොපගේ තරම්නොදනුද එසේ විසින් මෙසේවූ ජාතිසම්පන්න සිටුදුවගේ ඉසද කිරි වත්කරන්නේය, කටට ඇරගත් කිරි බීපියන පමණක් විනා නොදනිමි කීහ. එබස් ඇසූ කලණ්ඩුක සිතන්නේ ගිරවානන් දැන් මාගේ තත්වය එලියේ කිව්වොත් නපුරැයි සිතා ගිරවානෙනි මෙසේ ඇවිත් සාමීචිකථා කොට හිඳුවයි කීහ. එබස් ඇසූ ගිරවා තමාගේ තත්වය කී හෙයින් මාගේ බොටුව මඩීන්ට මූ කැන්දන්නේයයි සිතා ආකාශයට නැගී බරණැස් නුවරටම ගොසින් සිටානන්ට මේ තත්වය කීයේය. ඒ ඇසූ සිටානෝද එකියන කලණ්ඩුකයා ගෙන්වාගෙණ ආවොත් මෙසේ සලසාගත හැකිය වදාරා එසමයෙහි කලණ්ඩුක නම් මේ පිත්තු කියන භික්ෂූහුය, බරණැස් සිටානෝ නම් බුදුවූ මම්ම වේදැයි වදාරා කලණ්ඩුක ජාතකය නිමවා වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.