12. අම්බපාලිය හදිසියේම බුදුන් දකින්නට යයි … !

බුදුන්වහන්සේ වේළුවනයෙහි වැඩසිටි සමයෙහි බිම්බිසාර රජු ද බොහෝ සැඳෑවන්හි උන්වහන්සේ බැහැදැකීම සිරිතක්‌ කර ගත්තේය. රාජකීය අස්‌රියෙන් උයන් සීමාවට යන රජු සෙසු ජනතාව සමග පයින්ම ගමන් කිරීමට ප්‍රිය විය. සුදුවැලි අතුරන ලද පටු මාවත් වේළුවනයෙහි ඒ මේ අත විහිද ගොස්‌ තිබුණි. වස්‌සානයෙහි නිබඳ වැටෙන වැසි නිසා තන්හි තන්හි මඩ කඩිතිද සෑදී තිබුණු අයුරු රජුගේ අවධානයට යොමු විය. තෙත සහිත බිම පය තබන රජුට කිසියම් නුහුරු බවක්‌ මෙන්ම අපහසුවක්‌ද ඇතැම් විටෙක දැනුණි. බුදුන්වහන්සේ වැඩසිටියේ කලන්දප දිය පොකුණ අසලම ඉදිකරන ලද කුටියකය. එහි දෙපස තරමක්‌ උසින් යුතු සඳුන් හා වැල්මී ගස්‌ ද වෙනත් ඖෂධ පැළෑටිද විය.

බිම්බිසාර රජු බුදුන් වහන්සේ බැහැදැකීමට ගිය එක්‌ දිනක තරමක වැසි වැටෙමින්ද සුළං හමමින්ද තිබුණි. උයනෙහි හාත්පස ඉදිකර තිබුණු අතු සෙවිලි කළ කුඩා කුටිවල වහල සුළඟින් ඒ මේ අත යන අයුරුදු රජු දුටුවේය. එසඳ රජු තුළ මෙබඳු සිතිවිලි දාමයක්‌ වැඩෙන්ටද විය.
“වේළුවනය තුළ බුදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට වුවමනා විවේක සුවය නොඅඩුව වෙයි. බාහිරව එන සුළු හෝ බාධාවක්‌ එහි නැත. එහෙත් මේ වැසි නිසා උන්වහන්සේලාගේ ඇතැම් දෛනික චර්යාවන් පවත්වා ගැනීමද දුෂ්කර වන්නේය. වැසි වට පොළව තෙත බරිත වන්නේය. එහි පය ඔසවා යැමද අසීරු වන්නේය. බුදුන්වහන්සේට වනවාසී ජීවිතය අමුතු නැත. එහෙත් මෙවන් වස්‌සානයක බැහැර නොගොස්‌ ආරාමයක්‌ තුළම වැඩවසන්නේ නම් එය වඩාත් ඵලදායී විය යුතුය. බුදුන්වහන්සේ අනුදැන වදාරන්නේ නම් දහසක්‌ සංඝයා වහන්සේලාට පහසුවෙන්ම රැඳී සිටිය හැකි ආරාමයක්‌ සාදා පූජා කිරීම වටනේය.”
අනතුරුව බිම්බිසාර රජු බුදුන්වහන්සේට තම අභිනව යෝජනාව ඉදිරිපත් කළේය. රජුගේ අදහස කාලීන බව බුදුහු දුටහ. බුදු දහම ඉගෙන බුදු සසුනට එක්‌වන පිරිස්‌ වැඩිවෙද්දීම භික්‌ෂුන් සඳහා ආරාමයක්‌ උචිත බව උන්වහන්සේට පසක්‌ වූහ. එමගින් ධර්ම ප්‍රචාරක කටයුතු ද සැලසුම් සහගතව ඉදිරියට ගෙන යා හැකි බවද පෙනුණි.
මහරජතුමනි, භික්‌ෂුව යනු නිබඳවම එක තැනක රැඳී සිටිය යුතු නැත. භික්‌ෂුවගේ ජීවිතය සංචාරක එකකි. දුකට පත්ව, අඳුරෙහි ගිලී සිටින ජනයා ඉන් මුදා ගැනීම භික්‌ෂු ජීවිතයෙහි පරමාධ්‍යාශය විය යුත්තේය. එසේ වුවද වස්‌සානයෙහි ගමින් ගම යැමද දුෂ්කරය. එය ගම්වාසීන්ටද බාධාවකි. එහෙයින් මෙවක්‌ පටන් වස්‌ විසීම සඳහා සංඝයාට මම අවසර දෙන්නෙමි.
බිම්බිසාර රජු ඒ වදන් අසා ප්‍රහර්ෂයට පත්ව වහාම මාලිගාවට ගොස්‌ සිය ඇමතිවරුන් කැඳවා වේළුවනයෙහි විශ්‍රාම ශාලාවක්‌ ඇතුළු ඇවැසි අනෙකුත් ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා නියෝග කළේය. ඉනික්‌බිති රාජකීය ඉජිනේරුවෝද ගෘහනිර්මාණ ශිල්පීහුද සියලු කටයුතු සම්පාදනය කරවූහ. ඉදිකිරීම් කටයුතු භාර වූයේ පාබල හමුදාවටය. උරුවේල කාශ්‍යප තෙරුන් වහන්සේද ඒ කටයුතු සඳහා දායක වූහ. සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලාද නිතර නිතර ඒ කටයුතු සොයා බැලූහ. බිම්බිසාර රජු බුදුන්වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ආරාමයක්‌ කරවන්නේය යන පුවත මගධය පුරාම පැතිර ගියෙන් ඒ සඳහා වෙනත් ගහපතියෝද, සිටුවරුද නන් අයුරින් අනුග්‍රහ දැක්‌වූහ. බිම්බිසාර රජු ද එය පොදු පින්කමක්‌ සේ සැලකූහ.
ආරාම නිර්මාණ කටයුතු එලෙස නිම වෙද්දී භික්‌ෂුන්ගේ දෛනික චර්යාවන් කෙලෙස සිදුවිය යුත්තේද යන්න විමසා බලා උචිත සැලැස්‌මක්‌ පිළියෙල කිරීමේ වගකීමද සැරියුත් මුගලන් දෙනමට භාරවිය. උරුවේල කාශ්‍යප තෙරුන්ගේ සහායද එයට ලැබුණි. වේළුවනාරාමයෙහි දිනපතාම ධර්ම සාකච්ඡා භාවනා වැඩසටහන් පැවැත්වීම සඳහා කාලසටහනක්‌ද සැකැසිණි. දිනපතාම වේළුවනාරාමයට පැමිණෙන ගිහියන්ටද විශේෂ වැඩපිළිවෙළක්‌ සම්පාදනය විය. ධර්ම දේශනා පැවැත්වීමේ වැඩි වගකීම පස්‌වග තෙරුන් ඇතුළු දෙටුරහතන් වහන්සේලාට පැවරිණි. බුදුන්වහන්සේද ඇතැම් දිනක විශේෂ ධර්ම දේශනාවක්‌ පැවැත්වූහ. ඇතැම් දිනක සිව් වේදයෙහි කෙළ පැමිණි Rෂිවරුද වේළුවනාරාමයට අවුත් සිදුහත් ගෞතමයන්ගේ අභිනව ධර්මය පිළිබඳව තතු විමසූහ. අනෙක්‌ ශාස්‌තෘවරුන් හා ආගමික නායකයන් ලෙස පෙසී සිටි සියලු දෙනාටම වඩා බුදුන්වහන්සේ වෙනස්‌ බවද අදීන බවද තාර්කික බවද එසේ පැමිණි බුද්ධිමත්හු පසක්‌ කර ගත්හ. කිසිදිනක තමන්ගේ මාලිගාවලින් බැහැර නොගිය ධනීහුද වේළුවනයට පැමිණ ජීවිතය හා යථාර්ථය පිළිබඳ බොහෝ දේ උගත්හ.
බුදුන්වහන්සේගේ සමානාත්මතාව පිළිබඳ විග්‍රහය වේළුවනාරාමයට පැමිණි කුලවාදීන් නිරුත්තර කරන්නක්‌ විය. මහා බ්‍රහ්මයාගේ මුවින් උපන් බව කියන බ්‍රාහ්මණයන් පිළිබඳ මුල්බැස ගත් සමාජ විශ්වාසයට බුදුහු නිර්දය ලෙස පහර දුන්හ. වේදය ඉගෙනීම හා යාග පැවැත්වීම බ්‍රාහ්මණයන්ගේ බඩ ගෝස්‌තරය උදෙසා කෙරෙන ව්‍යාජයක්‌ බවද බුදුහු පෙන්වූහ. ශුද්‍රයන් වහල් මෙහෙවර සඳහා නියම වූයේ කෙබඳු යුක්‌තිධර්මයක්‌ අනුවදැයි බුදුහු විමසූහ. සමාජ මතුමහලේ වැජඹෙන බමුණන්ගේ හිස්‌ බව බුදුන්වහන්සේ සමග වාද කළ අයට පිළිගැනීමටද සිදුවිය.
බිම්බිසාර රජු මෙබඳු ධර්ම සංවාදවලට උනන්දුවෙන් සවන් දුන්නේය. තමන් විසින් තම ජනතාවට මහත් ප්‍රතිලාභයක්‌ අත්පත් කර දී ඇතැයි සිතන රජු තුළ පහන් සිතුවිලිද වැඩුණි. දිනක්‌ බුදුන්වහන්සේ සමග පිළිසඳරෙහි යෙදී සිටිද්දී රජුට තමන්ගෙන් දුරස්‌ව සිටින එහෙත් මහත් සේ ආදරය කරන ජීවක සිහිපත් විය. ජීවකත් ඔහුගේ මව වන අම්බපාලියත් පිළිබඳ සියලු තතු නොවළහා බුදුන්වහන්සේට කිව යුතුය යන සිතිවිල්ලක්‌ද එවේලේම රජු තුළ පහළ විය. බිම්බිසාර රජුගේ අග මෙහෙසිය වන විදේහි බිසව හා පුත් අජාසත් කුමරුද කිසිසේත් අම්බපාලිය හා ජීවක නොඉවසන වග රජුද දනී. අම්බපාලියත් ජීවකත් මාලිගාවේ රඳවා ගන්ට රජුට වුවමනා විය. එහෙත් එය යහපතට වඩා අයහපතට හේතුවන බව රජු ඉඳුරා දත්තේය.
බිම්බිසාර රජු හා අම්බපාලිය ගාන්ධර්ව විවාහයකින් බැඳුණි. මුලදී රහසිගතව සිදුවූ ඔවුන්ගේ හමුව ස්‌වල්ප කලකින් ප්‍රකට රහසක්‌ බවට පත් විය. අම්බපාලිය කෙරෙහි රජුගේ සිත බැඳුණේ ඇගේ රූප සෝබාව නිසාම නොවේ. අභිසාරිකාවක ලෙස සිටි ඕ සූ සැට කලාවෙහිම නිපුණව සිටියාය. සංගීතය, ගායනය, නර්තනය මෙන්ම වෙනත් ක්‍ෂෙත්‍ර ගණනාවක්‌ ඔස්‌සේ ඇගේ කුසලතාව විහිද ගියේය. බිම්බිසාර රජුට හමුවන විටත් ඇය රාජ කුමරුන් හා කුලවතුන් සමග සමීප සබඳතා පවත්වමින් සිටියාය. වෛශාලි නගරය සතු අනර්ඝ සම්පතක්‌ සේ ඇය සලකනු ලැබිණි. කෙසේ හෝ ඇය විසින් බිම්බිසාර රජුට දාව බිහිකරන ලද පුතු ජීවක නිසා ඇගේ ජීවිතයද වෙනස්‌ වූවාය. රජු විසින් මාලිගාවෙහි රැඳීමට කරන ලද ඇරයුම පවා ඇය ප්‍රතික්‍ෂ්ප කළේ නිදහසට බාධා වන නීතිරීති ඇය නො ඉවසූ හෙයිනි. පුරුෂයාගේ සිත අන් ස්‌ත්‍රියක්‌ වෙත ඇදී යැම ඉවසාගත හැකි ස්‌ත්‍රීහු සිටිත්ද? අනෙක්‌ අතට සිය පුතු ජීවක අඬදබරවලට මැදිවනු දකින්ටද ඕ රිසි නොවූවාය.
බිම්බිසාර රජු මතක පත්ලේ රැඳුණු අම්බපාලිය පිළිබඳ සැමරුම් සෙමින් අවදි වදි කළේය. සිතට මහා බරක්‌ද දැනුණි. මගධයේ අධිපති වුවද මෙහිදී තමන් හුදෙකලා මිනිසකු වන අයුරු ඔහු යළිත් සිහි කළේය. සමාන සුඛ දුක්‌ඛ ගුරුවරයකු බඳු බුදුන් වහන්සේට මෙහිදී ඒකාන්තයෙන්ම පිහිට විය හැකි බවද රජුට හැඟිණි. හුදු මනුෂ්‍යයකු පමණක්‌ නොව ප්‍රඥ බල සපිරි ආධ්‍යාත්මික මහා පුරුෂයකුගේ උපදේශය හැර වෙනත් පිළිසරණක්‌ නොමැති බවද රජුට සිහි විය.
අනතුරුව බිම්බිසාර රජු තමන්ගේ සිතට වධ දෙමින් සිත් පතුලේ වූ අම්බපාලිය පිළිබඳ සියලු තතු බුදුන් වහන්සේට නොවලහා කීවේය.
භාග්‍යවතුන් වහන්ස මට ඔබ වහන්සේගෙන් කිසියම් උපදේශයක්‌ අවශ්‍යය. මට අජාසත් කුමරුන් හැර තවත් කුමාරයෙක්‌ ඉන්නවා. ඔහු දැන් දහනව වැනි වියෙහි පසුවනවා. ඔහු මගේ වෙනත් බිසවකගේ පුතෙකි. ඇගේ නම අම්බපාලි, ඇය ඉන්නේ වේශාලි නුවරයි. අම්බපාලි ඉතා ස්‌වාධීන ලියක්‌. ඇයට මාලිගාවක ගෙවන ඒකාකාරී ජීවිතය රුචි නෑ. එමෙන්ම වෙනත් ගැටුම් වලටත් ඇය මනාප නෑ. නිදහස්‌ව, නිස්‌කලංකව ජීවත් වීමට තිබෙන වුවමනාව ඇය මා සමග කීවා. මා ඔවුන්ට රමණීය අඹ උයනක්‌ කරවා එහි සියලු පහසුකම් නිමවා පරිත්‍යාග කළා. ඇත්තටම මට වුවමනා වුණේ ජීවක මගේ හමුදා ක්‍ෂෙත්‍රයට එක්‌කර ගන්න. ඒත් ඔහු වඩාත් ප්‍රිය වූයේ වෛද්‍ය ශාස්‌ත්‍රය. ළමා වියේ සිටම ඔහු සතුන්ටත් කරුණාව දැක්‌වූවා. මෘදු සිතක්‌ තිබෙන කෙනෙක්‌ හමුදා සේවය වැනි රළු දේවලට හුරු කරවීමත් සුදුසු නෑ. ඔහු වෛද්‍ය ශාස්‌ත්‍රය, සැත්කම් යනාදිය පිළිබඳ විශේෂ පුහුණුවක්‌ ලබනවා. ඔබ වහන්සේ හමුවීම සඳහා ජීවකට හා අම්බපාලියට අවස්‌ථාවක්‌ ලබාදිය හැකි නම් එය මට දක්‌වන විශාල ගෞරවයක්‌. ඒ වගේම එය මගේ සිතට අප්‍රමාණ සැනසිල්ලක්‌.
බුදුහු බිම්බිසාර රජුගේ පසුතැවිල්ල දුටහ. එසේම අම්බපාලිය හා ජීවක මතු දින තමන් වහන්සේ සමග සමීප සබඳතා ගොඩනඟා ගන්නා ආකාරයද දිවැසින් දුටහ. ඇගේ පුත් ජීවකද තමන් වහන්සේට භක්‌තිමත් අයෙක්‌ මෙන්ම වෛද්‍ය ශාස්‌ත්‍රයෙහි පාරප්‍රාප්තව රාජකීය වෛද්‍යවරයකු සේ කීර්තියට පත් වන බවද බුදුහු සිහි කළහ.
බුදුන්වහන්සේ තමන්ට පිහිටවන බව පසක්‌ වූ බිම්බිසාර රජු මහත් ප්‍රමෝදයටද පත් විය. ඉක්‌බිති බුදුන් වැඳ ආපසු මාලිගාවට පැමිණි හේ තමන්ගේ විශ්වාසවන්ත දූතයකු කැඳවා ඔහු අත අම්බපාලියට හසුනක්‌ යෑවීය. ඒ අප්‍රමාදව පැමිණ බුදුන් වහන්සේ බැහැදකින ලෙසය.
අම්බපාලියද තමන්ට ලැබුණු රාජකීය රහස්‌ තල්පත විමසා බලන්නී එය සිය ප්‍රියයා වූ බිම්බිසාර රජුගෙන් බව දැක මහත් සතුටට පත් වූවාය. රජු දුරස්‌ව සිටියද තමන් වෙත ස්‌නේහයෙන් පසුවන බවද ඇය සිහි කළාය. ඒ වන විට ඇයටද බුදුන් වහන්සේ පිළිබඳව තොරතුරු ලැබී තිබිණි. බුදුහු රජුට අයත් වේළුවනයෙහි වැඩසිටිතියිද ඇය දැන සිටියාය. අනතුරුව ඇය තුළ ද බුදුන් දැකීමේ දොලක්‌ උපන. ඇගේ සිත පිබිඳිණ. තමා දකින්නේ සිහිනයක්‌ නොවන බව සිහිකරන ඇය අප්‍රමාදව පුත් ජීවික සමග වේළුවනයට යැමටද සනිටුහන් කර ගන්නීය.
බුදුහු නම් ලෝක විෂය කෙරෙහි නොඇලෙති. එහි යථා ස්‌වභාවය දැන ඉන් මිදෙන ලෙස සියලු දනන් හට අනුශාසනා කරති. ඉදින් බුදුන් දකින්නට යන ගමනද ජනපද කල්‍යාණියකගේ විලාසයෙන් නොයා යුත්තේය. නිබඳ මලින් ගවසන්නා වූ මේ වරලස චාම්ව බැඳ සියලු ස්‌වර්ණාභරණද මුදාහැර යැම වඩාත් උචිත වන්නේය. සුවඳ විලවුන් ගැල්වීමද නොමැනවි. මට සුපුරුදු නුපුර, ගිගිරි යනාදිය ද උන්වහන්සේ වැනි විරාගි මුනිවරයකු වෙත යන ගමනකදී උචිත නොවන්නේය. මේ ආකාරයෙන් මඟට බැස යන මා දකින යම් කෙනෙක්‌ වේ නම් අප මන බඳනා අම්බපාලි නොවන්නී යෑයි විස්‌මයෙන් තිගැස්‌සෙනු නිසැකය යනාදී වශයෙන් සිතන්නට ද වූවාය. එදා රාත්‍රියම ඇය ගත කළේද නිදි වර්ජිතවය. නැත හොත් ඇයට නිද්‍රdවක අවශ්‍යතාවක්‌ නොදැනුණි.
ඉනික්‌බිති අම්බපාලිය පුත් ජීවකද කැටුව රජගහ නුවර බලා පිටත් වූවාය. එසේ එන ඇයටද අතීත සැමරුම් මැවී දුක්‌ දොම්නස්‌ සිතිවිලි වැඩෙන්ටද විය. ජීවක පුතු සමග මේ රජගහ නුවරට යන්නී දස වසරක්‌ තරම් දිගු විරාමයකින් බවද ඇයට සිහිවූවාය. රජගහ නුවර පමණක්‌ නොව වේළුවනයද වෙනස්‌ වී ඇති අයුරු ඇය දුටුවාය.
කමක්‌ නැහැ හැම දෙයක්‌ම වෙනස්‌වෙලා. අපේ ජීවිත වුණත් වෙනස්‌ වෙන්ට ඕනෑ. ඇලීම් බැඳීම් කියන්නෙ වේදනාබර දේවල්. ඒත් ගැහැනියකගෙ හිත මලක්‌ වගෙ. සිනිඳුයි. පැහැබරයි. ලෝ දහමේ රළු පහරින් ඒ මල් තැලෙනව. විනාශ වෙනව. ආදරය කියන්නෙ කඳුලට කියන නමක්‌ කියලත් මං හිතුව. විප්පයෝගය දරාගන්න බැරිව මං දිවි නසාගන්නත් ගියා. ඒත් මගේම කුසින් උපන් ජීවකගෙ මුහුණ බලාගෙන මං කොහොමද ඒ වගෙ විනාශයක්‌ කරන්නෙ. ඇත්තටම මං ජීවත් කළේ ඔහු. ජීවක කියන්නෙ මටත් ජීවය දුන්න කෙනෙක්‌. මොනව වුණත් බුදු හාමුදුරුවො දුක දුරලන මඟ අපට කියාවි.
අම්බපාලි සිතිවිලි ඔස්‌සේම වේළුවන උයනට පිවිසෙන දොරටුව අසලටම පැමිණියාය. ජීවකට කිසිවක්‌ පිළිබඳ අමුත්තක්‌ නැත. සිය පියාණන් බිම්බිසාර රජු බව ඔහු දනී. එහෙත් ඒ රාජකීය ජීවිතය පිළිබඳ කිසිදිනක ඔහු තුළ ඇල්මක්‌ නොවීය. මිනිසුන්ගේ දුකට පිහිට විය හැකි වෘත්තියක්‌ ඔහු තෝරා ගත්තේද ඒ සරල චාම් ගතිගුණ නිසාය. ජනාකීර්ණ නගරයක ඝෝෂා මැද ගෙවන ජීවිතයද ඔහුට රිසි නොවීය. සිය මෑණියන් සමග අඹ උයනේ ගෙවන ජීවිතය ඔහුට ආශ්වාදයක්‌ විය. එහි වෙනම ඖෂධ උයනක්‌ද විය. බෙහෙත් පැළෑටි පිළිබඳ ඔහු විසින් කරන ලද අත්හදා බැලීම්ද බොහෝ විය. ජීවක ගිලන් උවැටනට ද ප්‍රිය විය. සත්තකින්ම ඔහු සිය මෑණියන් සමග වේළුවනයට පැමිණියේ ද පරෝපකාරය පිළිබඳ අදහසිනි. වේළුවනය හා අවට පරිසරය දුටු සැණින්ම ඔහුට හැඟුණේ මේ නම් නිසැකයෙන්ම සිය ඉරණම හා බැඳුණු චමත්කාර වන්දනාවක්‌ බවය. බුදුන් දකින තෙක්‌ ඔහුගේ සිතටද අස්‌වැසිල්ලක්‌ නොවූ සේය.

ගාමිණී සුමනසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.