Skip to main content

114 තිත්තිර ජාතකය

තවද ජේතවනාරාමයෙහි සර්වඥයන් වහන්සේ වැඩවසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන්ගේ දක්ෂිණ ශ්‍රාවකවූ කෝකාලික ස්ථවිරයන් නිසා මේ ජාතකය දක්වන ලදී.

එහි වර්තමාන කථාව තෙරස නිපාතයෙහි විස්තර වශයෙන් එයි. සර්වඥයන් වහන්සේ මහා කෝකාලික ස්ථවිරයෝ බොහෝ කොට බස් කීමෙන් පෙරත් ජීවිතක්ෂයට පැමිණියෝම වේදැයි වදාරා,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ප්‍රසිද්ධ බ්‍රාහ්මකුලයක ඉපද වැඩිවිය පැමිණ සෘෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව බොහෝ තාපසවරුන්ට ගණනාසකව හිමාලය වනයෙහි වසනසේක. එසමයෙහි පාඬු රෝග ඇති තාපස කෙනෙක් ගිණිතපිනා නිසා පොරවක් ඇරගෙණ වලට ගොස් දර පලන්නාහ. එතනට තාපසකෙනෙක් ගොසින් මෙතන පලවයි මෙතන පලවයි යනාදීන් නොයෙක් පරිද්දෙන් කියන්නා කිපී දර පැලුම් උගන්වන්ට ආචාරී කෙණෙක්දැයි තියුණු මුවහත් ඇති පොරවින් පළා එක පහරිම්ම ජීවිතක්ෂයට පැමිණවූහ. බෝධිසත්වයෝ ඒ තාපසයන් කළ පවත් අසා මළ තාපසයන්ට කළමනාකෘත්‍යය කර වූහ. තවද බෝධිසත්වයන් වසන පන්සල කෙරේ ආසන්නවූ තුඹ ගස තිත් වටුවෙක් දවස් පතා මහත්කොට අඬයි. ලිහිණි වැද්දෙක් උගේ අඬ අසා අල්වා මරා හැරගෙණ ගියේය. බෝධිසත්වයන් වහන්සේ උගේ හඬ නාසා මෙතෙක් දා අඬන තිත් වටුවා කොයිදැයි විචාරා එපවත් අසා තිත් වටුවාගේ කථාව හා තාපසයන්ගේ කථාව එක්කොට ගාථාව ගළපා ඒ ගාථාවෙන් ඒ තාපසයන්ට අවවාද කොට සතර බ්‍රහ්ම විහාර භාවනා කොට තාපසවරුන් හා සමග නොපිරිහුණු ධ්‍යානයෙන් බ්‍රහ්ම ලෝකප්‍රාප්තවූහයි ජාතකය නිමවා වදාරා එසමයෙහි බොහෝ කොට බස් කීමෙන් හිස පලවා ගත් තාපසයෝ නම් කෝකාලික ස්ථවිරයෝය, ගණ ශ්‍රේෂ්ටව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.