Skip to main content

112 සකුන ජාතකය

තවද සැවැත් නුවර සර්වඥයන් වහන්සේ වැඩවසන සමයෙහි එක්තරා කුලස්ත්‍රියක් භික්ෂුණී ශාසනයෙහි මෙහෙණිව තෘෂ්ණාවෙහි ගිජුව වසනසේක්. මෙහෙණිතැන් නොකැඩී වීථියක සිඟා වැඩ එහි උපාසකවරුන් විසින් දුන් මිහිරි ආහාර වළඳා දවස්හරණසේක්. මේ වීථියට අනික් මෙහෙණිකෙණෙකුන් වහන්සේ වැඩිසේක් නම් මට ආහාරය මෙබඳු නොලැබෙයි. එසේහෙයින් ඊට මහා කුලක් කෙරෙමි සිතා මෙහෙණිවරට ගොස් අසවල් තැන වීථියේ චණ්ඩවූ ඇතුන් අසුන් කඩා කන බල්ලන් ආදී වූවන්ගෙන් උපද්‍රව ඇත, ඒ වීථියේ කවුරුන් වහන්සේත් නොයන බව යයි කියන්නා එබස් ඇසූ මෙහෙණින් වහන්සේලා කීවේ ඇත්තෙකැයි සිතා වීථියෙන් යන්නා තබා කරකැවී බලන්නකුත් නොකළසේක.

එසමයෙහි ඒ කියන මෙහෙණින් වහන්සේ තනිව සිඟා වළඳා ඇවිදිනා කල්හි එක් දවසක් එක් ගෙයකට සිඟා වඩනා ගමනේ බැටළුවෙක් දිව අවුත් ඇන කළවය ඇටබිඳ එළුකල්හි එතන සිටි උපාසකවරු අල්වා කැඩී ගිය ඇට සන්ධි ගන්වා බැඳගෙණ ඇඳක ලා ගෙණගොස් මෙහෙණිවරළූහ. මේ කථාව භික්ෂූන් වහන්සේ කෙරෙහි ප්‍රකාශ විය. එදවස් දම්සභාමණ්ඩපයෙහි වැඩි උන් සංඝයා වහන්සේ අසවල් මෙහෙණි අනුන්ට අවවාද කියා තමන්ගේ පය බිඳවා ගතැයි කිය කියා උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩමවා මා එන්නාට පළමු කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා මෙහෙණින්නගේ කථාව කිය කියා උනුම්හයි දැන්වූ කල්හි දැන්මතු නොවෙයි පෙරත් අනුන්ට අවවාද කිය කියා තුමූ මළහයි වදාරා ආරාධිත වූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ පක්ෂීන්ට රජව උපන්සේක. ඉන් එක්තරා පක්ෂි ධේනුවක් ගොදුරු බොහෝව ලැබෙයි. මාවතක ගොදුරු කා ඇවිදිනී එක් දවසක් මේ මගට අන්‍ය පක්ෂි කෙණෙකුන් වැද්ද නොදෙමි සිතා පක්ෂීන්ට පලාගොස් අසවල් මාවත ඇතුන් අසුන් රථ අදින ගොන් ආදීන්ගෙන් උපද්‍රව බොහෝයයි කියන්නීය. ඒ ඇසූ පක්ෂීහු ඒ දිසාවට නොගිය විරූහ. තමා අචඡාපරාව ඇවිදිනී එක් දවසක් පවනට බඳු වේගයෙන් රථයක් පදිනවා දැක කරකැවී බලා තවදුරයයි සිතා කරබාගෙණ ගොදුරු කමින් සිටි කළට වහා අවුත් රථය පැමිණි කලට පියාසර කරන්ට අසමත්ව දෙකක්ව තෙරපී මළහ. බෝධි සත්වයෝ පක්ෂි ගණයා පිරිවරා ආකාශයෙන් යන්නාහු පක්ෂීන් සමන්වා මෙකියන පක්ෂි ධේනුව නොදැක අසවල් අවවාද කියන පක්ෂි ධේනුව බලා මහ මාවත මිය පියා මැදහොත්තී දැක අනුන්ට අවවාද කියා තෘෂ්ණාවට වසඟව මළායයි වදාරා වනයට වැඩිසේක.

එසමයෙහි අවවාද දෙන පක්ෂිණී නම් මේ කියන මෙහෙණිය, එසමයෙහි පක්ෂිව උපන්නෙම් වනාහී බුදුහු මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.