Skip to main content

109 කුඩ්ඩක පූව ජාතකය

තවද එක්සමයෙක්හි භාග්‍යවත්වූ බුදුරජානන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි සැවැත් නුවර වාසීන් එක්ව බුදුපාමොක් මහ සංඝයා වහන්සේ පවරා දනක දෙනගමනේ නුවර වසන මහා දුගී නම් එකෙක් තමා ඒ දානයෙහි මුසුවන පිණිස තමාට සැපවුනු කුඩුපූවක් සකසා ඉදිකොට බුදුන්ටම පිළිගන්වමියි සිතා සිටියකලට උපාසකවරුන් කැඳ පිළිගන්වා අවුළුපත් පිළිගන්වයි කී බස හා සමඟ පෙරතුයෙන් තමා ගෙණ ගිය කුඩුපූව බුදුන්ට පිළිගැන්වීය. බුදුහුත් සෙසු මිහිරි අවුළුපත් පිළිගැන්වූවත් නොපිළිගෙණ දුගියා කෙරේ කරුණාවෙන් එම වළඳා වදාරා ජේතවනාරාමයට වැඩ වදාළසේක. එපවත් රජ යුවරජ සෙනෙවිරත් ආදීවූ ප්‍රජාව අසා මහ දුගියා කරා ගොස් මිළ අරගෙණ පින්දෙවයි පින් ඉල්වූහ, එවිට මහ දුගියා සිතන්නේ මා දුකින් කොටගත් කුසලය බුදුන් විචාරා දෙමි සිතා බුදුන් කරා එළඹ මිළ ගෙණවත් නොගෙණ වත් පින්දීම යහපතැයි වදාළ බස් අසා එනුවර වාසීන්ට මිළගෙණ පින් දීමෙන් නවකෙළක් වස්තුව ලද ඒනියාව අසා කොසොල් රජ්ජුරුවෝ ඕහට සිටුසේසත් නැංගවූය, එදවස් දම්සභා මණ්ඩපයෙහි වැඩ උන් සංඝයා වහන්සේ දුගියා කුඩුපූ පිළිගන්වා සිටු සේසත් ලත් නියාව කිය කියා උන්සේක. එතනට තුන්තරා ගමනින් එක්තරා ගමනකින් සර්වඥන් වහන්සේ වැඩ වදාරා පනවන ලද බුද්ධ ශාසනයේ වැඩහිඳ මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළ කල්හි නොකියන්ට වදාළ දෙතිස් කථාවෙන් එක්තරා කථාවකින් යුක්තව උනුමෝ නොවම්හ, නුඹ වහන්සේට දන් දී මහදුගියා මහා සම්පත් ලත්නියාව කිය කියා උනුම්හයි දැන්වූ කල්හි මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් කුඩුපූවක් දී මහා සම්පත් ලද්දේවේදැයි වදාරා ජාතකයට මුඛමාත්‍රයක් දක්වා තුෂ්ණිම්භූතව වැඩ උන්කල්හි හැමදෙනා වහන්සේගේ අනුමැතියෙන් එක් නමක් නැගී සිට සුපිළිසන්ව හැඳ පෙරව භක්ති ප්‍රේමයෙන් බුදුන්ට බඬාංජලීව දොහොත් මුදුනේ තබා වැඳ සිට ස්වාමීනි දැන් වනාහී මොහු සම්පත් ලත් නියාව අප හැම දෙනාට ප්‍රකාශව දැනෙයි පළමු කුඩුපූවක් දී මහ සම්පත් ලත් නියාව තෙකල් දත් බුදුන්ට මිසක් අපට නොදැනෙයි දක්වා වදාළොත් යහපතැයි ආරාධිත වූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් දැහැමෙන් රාජ්‍යය කරණ සමයෙහි බරණැස් නුවර වාසීන් ඒ ඒ වෘක්ෂ දේවතාවන්ට පූජා කොට දවස්හරණා කල්හි එනුවර දුක්පත් පුරුෂයෙක් එඬරු ගසක් වට කසල හැර ඒ රුක් දෙවියන්ට ගඳ දුම් මල් පහන් ඛාද්‍යාහොද්‍යාදිවූ දෙය හැරගෙණ යන්නවුන් දැක තමාගේ එඬරු ගස දෙවියාට අනික් පුදන්ට නිසි උපකරණයක් නැතිහෙයින් තමාට සැපවුනු කුඩුපූවක් දෙවියාට පුදමි. ගෙණගොස් ගස මුලදී සිතන්නේ දෙවියෝ නම් දිව්‍යහාරය අනුභව කෙරෙති. එසේහෙයින් මෙසේවූ කුඩුපූ මාගේ දේවතාවා අනුභව නොකරන්නේ යයි සිතා කවර කාරණාවකින් ගෙණයෙම්දැයි සිතා මම්ම ප්‍රයෝජන විඳිමි සිතා ආපස්සේ නික්මුණු කල්හි ඒ ගස වසන දේවතාවා කියන්නේ තමාගේ අර්ධ ශරීරයක් දක්වා සිට පුරුෂය තා ලබන්නේ යම් දෙයක් වේද තාගේ දෙවියාත් ලබන්නේයයි කියා දෙවෙනිව ඒ කුඩුපූව දේවතාවාටම පිදීය. එවිට දේවතාවා කියන්නේ තොප මා ආශ්‍රය කෙළේ කුමක්නිසා දැයි කීකල්හි ස්වාමීනි මා දුප්පත් විසිනැයි කීකල්හි එසේවීනම් මේ එඬරු ගස වටකොට කරින්කර ගසා නිධාන සැලවල් තිබෙන්නේය. ඒ නිධාන සැලවල් හාරාගෙණ රජ්ජුරුවන්ට කී ලෙස සම්පත් උල්පවාගෙණ රජ්ජුරුවන්ට පෑකල්හි මෙතෙක් සම්පත් ඇති තැනැත්තෙකුට සේසත් දිය යුතුයයි කියා සිටුසේසත් දුන්හ. එසඳ මහා සම්පත් ලදින් දානාදීවු කුසල් කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. සර්වඥයන් වහන්සේ දෙකල් ගළපා මේ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි දුඃඛිත පුරුෂයා නම් මෙසමයෙහි දුඃඛිත පුරුෂයාමය, එඬරු ගස දේවතාව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.