106 උදංචනී ජාතකය - IFBC Organization | Dhamma

තවද එක්සමයෙක්හි කරුණාස්පදවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. ථුල්ල කුමාරිකා පලෝහනයක් අරභයා මේ ජාතකය වදාළසේක. මෙහි වර්තමාන කථාව තෙරස නිපාතයෙහි චුල්ල නාරද කාශ්‍යප ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය. සර්වඥයන් වහන්සේ භික්ෂුවහට මහණ තා උකටලී වූයේ සැබෑදැයි විචාරා සැබව ස්වාමීනි කීකල්හි මහණ තාගේ සිත කා කෙරෙහි පිළිබඳවීදැයි විචාළසේක. ස්වාමීනි පුරුෂ සමාගමකට නොපැමිණියාවූ බාල වයස ඉක්මව සිටි ඒ කුමාරිකාව කෙරෙහි සිත් පිළිබඳවීයයි දැන්වූසේක. එකල්හි සර්වඥයන් වහන්සේ ඒ භික්ෂුහට වදාරණ සේක්.

මහණ තට මේ ස්ත්‍රිය අනත්‍ර්‍ඵකාරිය. පෙරත් තෝ මේ ස්ත්‍රිය නිසා ශිලවිපත්තිය පැමිණ වෙව්ලමින් ඇවිදිනේ නුවනැත්තන් නිසා සැපලද්දේ වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි යනාදීවූ අතීත කථාවත් චුල්ලනාරද කාශ්‍යප ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය. එසමයෙහි වනාහී අප මහබෝසතානෝ සවස් වේලෙහි පලාඵල ඇරගෙණ අවුත් පන්සලට වැද දොරහැර පුතනුවන් චුල්ලතාපසයන්ට කියන්නේ පුත තෙපි මෙතෙක් දවස් දර ගෙණෙව නහණ බොණ පැන් ගෙණෙව ගිණිදල්ලව අද වූ කලී කිසිවකුත් නොකොටම කුමක් නිසා දුර්මුඛව සිතිවිලි ගෙණ හුන්නාදැයි විචාළේය. එබස් ඇසූ චුල්ල තාපසයෝ කියන්නෝ පියානන් වහන්ස නුඹ වහන්සේ පලාඵල ගෙණෙන්ට ගිය කල්හි එක් ස්ත්‍රියක් ඇවිත් පොළඹවා හැරගෙණයන්ට පටන්ගත. මම නුඹ වහන්සේගෙන් අවසර ගෙණ යෙමි සිතා නොගියෙමි. අසවල්තැන ඒ ස්ත්‍රී හිඳුවා ආමි පියානන් වහන්ස මම දැන්යමි කිවූය. එබස් අසා මහබෝසතානෝ මොහු නවතන්ට නොපිළිවනැයි සිතා එසේවීනම් දරුව යව මේ ස්ත්‍රිය තොප ගෙණ ගොස් යම් දවසෙක මත්ස්‍යමාංස කනු කැමති හෝ වේදැයි තෙල් තලතෙල් එනු සාල් ආදියෙන් හෝ ඈට ප්‍රයෝජනයක්වේද එදවස් මේ මේ දෙය ගෙණෙවයි කියා තොපට පීඩා කෙරේ ද එකල මාගේ ගුණ සිහි කොටලා අවුත් මෙතනම වාසය කරවයි කියා අවසරදී යවූහ, චුල්ල තාපසයෝ ඈ හා සමග මනුෂ්‍ය පථයට ගියෝය. එකල ඒ ස්ත්‍රී ඒ තාපසයන් තමා වසඟයට පමුණුවා මස් ගෙණෙවයි කියා යමකින් යමක් ප්‍රයෝජන ඇත්නම් ඒ මත්ස්‍යමාංසාදිය ගෙන්වන්නීය. එකල්හි චුල්ලතාපසයෝ මෝතොමෝ තමාගේ කොල්ලකු ලවා බැල මෙහෙකරවන්නෙක් මෙන් නොයෙක් දෙය ගෙන්වා පීඩා කරන්නීයයි එතනින් නික්ම පියානන් සමීප යට ගොස් නමස්කාර කොට සිටිපලම සිට මෙසේ කිවූය. පියානන් වහන්ස නුඹ වහන්සේ සමීපයෙහි හිඳ සැපසේ ජීවත් වන්නාවූ මා වසඟයෙහි පමුණුවා සිතට තැවුල් කරමින් තමා හා කැටිව කැඳවා ගෙණ ගොස් නැවත මට පීඩා කරන්නියක් මෙන් යමක් යමක් කැමති වීනම් ඒ් මත්ස්‍ය මාංසාදිය මා ලවා ගෙන්වමින් ලිඳෙන් පැන් උකාගන්නනා වූ තුලාවක් මෙන් ද සැලින් පැන් උකාගන්නා වූ දාලුවක් මෙන් ද කැමති කැමති ඒ වස්තු මා ලවා අද්දන්නීය. තවද මෙසේ වූ ස්ත්‍රී මා කෙරෙහි සෙනඟ ඇත්තීය, කාමයෙන් මියුරුවූ වචනයෙන් පොළඹවා ගෙණ තමා වසනතෙනට ගොස් තෙල් හා ලුනු ඇඹුල් සහල් ආදීවූ සෙසු යමක් යමක් කැමතිවී නම් ඒ සියල්ලම මා අතින් ඉල්ලා කොල්ලෙකු මෙන් බාලයෙකු මෙන් කොට මා ලවා ඒ සියල්ලම ගෙන් වන්නීයයි. ඒ ස්ත්‍රියගේ නුගුණ කීවාහුය, එකල්හි මහබෝසතානෝ චුල්ල තාපසයන් අස්වසාලා වන්නාට පුත මෙසේ එව තෙපි මෙතැන් පටන් මෛත්‍රී වඩව කරුණා වඩවයි සතර විහාර භාවනාවන් කීවාහුය, චුල්ල තාපසයෝ නොබෝ දවසකින්ම පඤචාහිඥා අෂ්ට සමාපත්ති උපදවා චතුර්විධ බ්‍රහ්ම විහාර භාවනාවන් කොට පියානන් හා සමඟ ගොස් බ්‍රහ්ම ලෝකයෙහි උපන්නාහුය.

ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා දුඃඛසත්‍යය සමුදය සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යයයි කියන ලද චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට මේ උදංචනී ජාතකය නිමවා වදාළ සේක.

චතුසසත්‍ය ධර්ම දේශනාවගේ කෙළවර ඒ මහණ සෝවාන් පෙලෙහි පිහිටියේය. එසමයෙහි ථුල්ල කුමාරිකා නම් දැන් ථුල්ල කුමාරිකාය චුල්ල තාපසයෝ නම් උකටලී මහණය. එසමයෙහි චුල්ල තාපසයන්ගේ පියවූ තාපසයෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

107 සාලික ජාතකය
105 ඛඛල කුඨ ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.