100 අඝාත රූප ජාතකය

තවද එක්සමයෙක්හි වීතචෙෂීවූ තිලෝගුර බුදුරජානන්වහන්සේ කොධන නම් නිවර නිසා කුඬාධාන වනයෙහි වසනසේක්. කෝලිය රජ්ජුරුවන්ගේ දූ වූ සූපපවාසා නම් උපාසිකාව අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ සුපපවාසා නම් උපාසිකාතොමෝ එසමයෙහි සත්අවුරුද්දක් මුළුල්ලෙහි කුසින් දරුගැබ පරිහරණය කොට සතියක් මුළුල්ලෙහි ගර්භයෙන මූඪව ඉතා මහත්වු වේදනා උපන්නේය. ඒ උපාසිකාව මෙසේ අධික ප්‍රමාණවූ වේදනාවෙන් පීඩිතවත් බුදුගුණ කියන්නී “යම් සර්වඥකෙණෙකුන්වහන්සේ මෙබඳුවූ දුක් තරණය පිණිස ධර්මදේශනා කරණසේක්වීනම් ඒ භාග්‍යවත්වූ බුදුරජානන්වහන්සේ ඒකාන්තයෙන් සර්වධර්මයන් සර්වකාරයෙන් පරොපදෙශ රහිතව දත්තේය. යම් අෂ්ටාය්‍ර්‍ය පුද්ගල භික්ෂූ සමූහයෙක් මෙබඳුවූ දුක් දුරු කරණ පිණිස පිළිපන්නේ වීනම් භාග්‍යවත්වූ බුදුරජානන්වහන්සේගෙ ශ්‍රාවක සංඝයා ඒකාන්තයෙන් මොනවට පිළිපන්නේය, යම් නිර්වාණ ධර්මයෙක්හි මෙබඳුවූ දුක්ඛයෙන් නැත්තේවීනම් ඒකාන්තයෙන් ඒ නිර්වාණ ධර්මය සැප වන්නේය”යන මේ ත්‍රිවිධානුසමඃතියෙන් යුක්තව ඉවසූය. ඒ සූපපවාසා නම් උපාසිකා තොමෝ තමාගේ ස්වාමිපුරුෂයා ලඟට කැඳවා තමාගේ පවතුන් මේ නමස්කාර අස්නත් කියන පිණිස සර්වඥයන්වහන්සේ සමීපයට යවූහ. සර්‍වඥයන්වහන්සේ නමස්කාර අසුන් අසා “සුපපවාසා නම් කෝලිය රජ දූ සුවපත්වේවයි, නිරෝගිවේවයි, පුතකු වදාවයි’ කීසේක. සර්‍වඥයන්වහන්සේගේ ඒ වචනය හා සමගම සුපපවාසා නම්වූ කෝලිය රජදුව සුවපත්ව නිරෝගී පුතෙකු වැදූහ. ඉක්බිත්තෙන් ඒ උපාසිකාවගේ වල්ලභයා ගෙට ගොස් ඒ උපාසිකාව වැදූ නියාව දැක පින්වත්නී, ඒකාන්තයෙන් ආශ්චර්යයයෙකැයි අතිශයින් බුද්ධානුභාවයෙන් ආශ්චර්ය අත්භූතවූ සිත් ඇතිව සුපපවාසා නම් උපාසිකාවත් පුතකු වදා සතියක් මුළුල්ලෙහි බුදුන් ප්‍රධානකොට ඇති භික්ෂු සංඝයා වහන්සේට දන්දෙනු කැමතිව නැවත ආරාධනා කරුණු සඳහා තමාගේ ස්වාමිපුරුෂයා යවූහ. එසමයෙහි මුගලන් මහතෙරුන්වහන්සෙගේ උපාසකයක්හු විසින් බුදුන් ප්‍රධානකොට ඇති භික්ෂු සංඝයා වහන්සේ පවරණ ලදසේක. සර්වඥයන්වහන්සේ සුප්පවාසාවන්ගේ දනට අවසර දෙන පිණිස මුගලන් මහතෙරුන්වහන්සේ ඒ උපාසකයා සමීපයට යවා ඔහු ගිවිස්වා සතියක් මුළුල්ලෙහි භික්ෂූන් වහන්සේ හා සමඟ ඒ සුප්පවාසාවන්ගේ දන් පිළිගත්සේක. සත්වෙනි දවස් සුප්පවාසාවෝ පුතනුවන් සීවලී කුමාරයන් සරහා භික්ෂු සංඝයා වහන්සේ වැන්දවූය. ඒ කුමාරයන් පිළිවෙලින් සැරියුත් මහතෙරුන්වහන්සේ සමීපයට ගෙණගිය කල්හි තෙරුන්වහන්සේ ඒ කුමාරයන් සමග කිමෙක්ද සීවලීනි තොපට සැපදැයි සුවදුක් කථා කළ සේක. එවිට කුමාරයෝ කියන්නෝ ස්වාමීනි මට සැපයෙක් නම් කොයින්ද? මම සත් අවුරුද්දක් මුළුල්ලෙහි ලොහෝකුඹුනිරයක් වැනිවූ මව්කුස විසූයෙම් වේදැයි තෙරුන්වහන්සේ හා සමඟ මෙබඳු කථාවක් කළෝය, සුප්පවාසාවෝ ඒ කුමාරයන්ගේ බස් අසා උපන් සතියෙන්ම මාගේ පුතනුවෝ අනු බුද්ධවූ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ හා සමග කථා කෙරෙයි සොම්නයට පැමිණියෝය. සර්වඥයන් වහන්සේ සුප්පවාසාව අතින් මෙබඳු වූ දරුවන් කැමැත්තේදැයි විචාළසේක. ස්වාමීනි ඉදින් මෙබඳුවූ සෙසුත් දරුවන් සත්දෙනෙකු ලද්දේවීන්නම් මම කැමැත්තෙම් වේදැයි කිව්ය. සර්වඥයන් වහන්සේ උදම් අනා අනුමෙවෙනි ධර්ම දේශනාකොට වැඩිසේක. සීවලී කුමරුවෝත් සත් ඇවිරිදිකලම ශාසනයෙහි ලැදිව මහණව විසි වයස පිරුණ කල්හි උපසම්පදාව ලැබ පිනැතව ලාභයෙන් අග්‍රප්‍රාප්තව මහී කම්පාකරවා අර්හත්ඵලයට පැමිණ පිනැත්තවුන් අතුරෙන් ඒතදගග තනතුරට පැමිණිසේක. ඉක්බිත්තෙන් එක් දවසක් භික්ෂූන් වහන්සේ ධම්සභා මණ්ඩපයට රැස්ව “ඇවැත්නි සීවලී ස්ථවිරයන්වහන්සේ සත් අවුරුද්දක් මුලුල්ලෙහි මව්කුසෙහි වැස සත් දවසක් ගර්භමූඪ බවට පැමිණිසේක. අනේ දෙපුතු මව් මහාදුක් අනුභව කළාහුය. කෙබදු කළෝදැ”යි කථාවක් උපදවා උන්සේක. ශාස්තෘවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ එතනටම වැඩ වදාරා මහණෙනි දැන් කවරනම් කථාවකින් යුක්තව හුනුදැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි මහණෙනි මහපිණැත්තාවූ සීවලී ස්ථවිරයන්ට සත් අවුරුද්දක් මුළුල්ලෙහි ලෝකුඹුනරකාදිය හා සමාන මව්කුස වාසයද සතියක් මුළුල්ලෙහි ගර්භමූඪ බවට පැමිණීමත් ඔවුන් විසින්ම කළ කර්මය මුල්කොට ඇත්තේද සුප්පවාසාවන්ට සත්අවුරුද්දක් මුළුල්ලෙහි කුසින් දරුගැබ පරිහරනය කරන්නාවූ දුකුත් සතියක් මුළුල්ලෙහි ගර්භමූඪවූ දුකුත් තමන් කළ කර්මය මුල්කොට ඇත්තෙයයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහබෝසතානෝ රජ්ජුරුවන්ගේ අග්‍රමහේසිකාවන්ගේ කුස පිළිසිඳ ගෙණ වැඩිවිය පැමිණ තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් සමීපයෙන් සිල්ප ඉගෙණ පියානන් ඇවෑමෙන් දැහැමෙන් රාජ්‍යය ගෙණ රජ්ජුරුවන් ජීවිතක්ෂයට පමුණුවා රජ්ජුරුවන්ගේම අගමෙහෙසුන් තමන්ට අගමෙහෙසුන් කළෝය. බරණැස්නුවර රජ්ජුරුවන්ගේ පුතනුවෝ පියානන් මළ කල්හි වාරි මාර්ගයෙන් පලාගොස් සේනාව රැස්කරවා බරණැස්නුවරට අවුත් නුදුරුතෙනක හිඳ රජ්ජුරුවන්ට රාජජය හෝ දුන මැනව යුද්ධය හෝ කළමැනවැයි පත්යවූහ. එකල කෝසල රජ්ජුරුවෝ යුද්ධ කෙරෙමි පෙරලා පත්යවූහ. රාජකුමාරයන්ගේ මෑණියෝ ඒ අසුන් අසා යුද්ධයන් කම්නැත හැමදිගම සංචාරය සිඳ බරණැස් රජ වටලා ගණුව ඉක්බිත්තෙන් දර පැන්බත් ආදිය නිමාගිය කල්හි ආහාරයෙන් පීඬිතවූ මනුෂ්‍යයන් ඇති නුවර යුද්ධයක් නැතිවම ගන්නාමෝදැයි පතක් යවූහ. ඒ රාජකුමාරයෝ මෑණියන්ගෙන් එවූ අසුන් අසා සත් දවසක් මුළුල්ලෙහි සංචාරය සිඳ නුවර වටලාගත්තුය. නුවර ඇතුළට පැමිණියාවූ සත්වයෝ මැදිරිය හසුවූ පක්ෂීන් පරිද්දෙන් විය. සත්වෙනි දවස් ඒ කොසොල් රජ්ජුරුවන්ගේ හිස ගෙණවුත් කුමාරයන්ට දුන්නාහුය. කුමාරයෝ නුවරට වැද රාජ්‍යය ගෙණ රාජ්‍යශ්‍රී අනුභව කොට කෙළවර කම්වූපරිද්දෙන් මිය පරලොව ගියාහ. ඒ කුමාරයෝ සතුරු රජ්ජුරුවන්ගේ සේනාවට පීඩාකළාවූ අකුසල කර්ම විපාකයෙන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි මව්කුසවැස සතියක් මුළුල්ලෙහි ගර්භමූඪ බවට පැමිණියෝය. තව ද ඒ කුමාරයෝ පියුමතුරා නම් සර්වඥයන්වහන්සේගේ ශ්‍රීපාද මූලයෙහිදී ලාභීන් අතුරෙහි අග්‍රවෙම්වයි කියා මහදන් දී යම් ප්‍රාර්ථනාවක් කළෝද විපස්සි සර්වඥයන් සමයෙහි නුවරවාසීන් සමඟ දහසක් වස්තු අගනාවූ දී උක් සකුරු දන් දී යම් ප්‍රාර්ථනාවක් කළෝද එහි ආනුභාවයෙන් ලාභීන් කෙරෙහි අග්‍රවූහ. සුප්පවාසාවෝත් නුවර වටලාගෙණ නිසසඤචාරය කොට බත් පැන් වැද්දනොදී නුවර අරගණුවයි පුතනුවන්ට කියායවූ බැවින් සත්අවුරුද්දක් මුළුල්ලෙහි කුසින් දරුගැබ පරිහරණකොට සතියක් මුළුල්ලෙහි ගර්භමූඪවූය. ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මහණෙනි ඒ දෙපුතු මවුන් මේ ගර්භ පරිහරණය ගර්භවාස සංඛ්‍යාතවූ දුක්ඛයෙන් පීඩිතවුවන් පෙර තමන් විසින් නුවර වටලා නිසසඤචාර කොට මහජනයාට දුක්දීමෙන් කළ අකුසල කර්මයෙනැයි මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා අඝාතරූප ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි නුවරවටලා රාජ්‍යයට පැමිණි කුමාරයෝ නම් සීවලී ස්ථවිරයෝය, මෑණියෝ නම සුප්පවාසාවෝය, පියවූ බරණැස්නුවර රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවු මම්ව වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

101 රිතීය පරොසහස්ස ජාතකය
99 පරොසහස්ස ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.