Skip to main content

බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනය සඳහා දෙන ලද උපදෙස් අදටත් ඉතා හොඳ ය. අමාත්‍ය මණ්ඩලයක් පත් කැරැගෙනැ දශරාජධර්මයෙන් රජය කරන්නට රජවරුනට උපදෙස් දුන් අතරැ ලිච්ඡවීනට සමූහාණ්ඩු වශයෙන් රාජ්‍ය පාලනය සඳහා අනුශාසනය කළ හ. ලිච්ඡවීන් මහා විනාශ මුඛයකට මූණ පා සිටින අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට ශාන්තිය සලසා දුන්නා පමණක් නො වැ රාජ්‍ය පාලනය ඉහළට මැ දියුණු කැරැගැනීමට අනුශාසනා ද කළ හ. එයින් ලිච්ඡවී රාජ්‍යය කොතරම් ඉහළට නැගී ගියා දැ යි කිව හොත් එවකට පමණක් නො වැ මෙ වකට ද කිසි මැ රාජයයකට දෙ වැනි නොවන තරම් හොඳ පාලන ක්‍රමයක් ඇති විය. බුදුරජාණන් වහන්සේ විසින් ලිච්ඡවීනට දෙන ලද උපදේශයන් අතුරෙන් සප්ත අපරිහානිය ධර්ම මුල් වෙයි.

1.නිතර එක් රැස්වීම. 2.සමඟ වැ රැස්වීම, සමඟ වැ සභාවෙන් නැඟී සිටීම, සමඟ වැ කටයුතු කිරීම. 3.පෙර රජුන් නොපැණැවූ දැයක් නොපැණැවීම, පැණැවු දැ නොසිඳීම, පණවා ඇති පනත් නො පිරිහෙළා රැකීම. 4.වැඩි මහල්ලනට යටත් පැවැත්ම, සුවච බව, ගරු බුහුමන් කිරීම. 5.කුලවමියන් කුල කුමරියන් බලාත්කාරයෙන් තමන් වෙතට නොපැමිණැවීම, 6.පූජනීය ස්ථානවලට කැරැගෙන ආ දැහැමි පූජා අත් නොහැරීම. 7.සිය රටට නොපැමිණි රහතුන් හට එන්නට හා පැමිණි රහතුන් හට සුව සේ ඉන්නට ද සැලැසීම. මේ ප්‍රතිපත්ති එ දාට මෙන් මැ අදට ද හොඳ බව නුවණැති කවුරුනුත් පිළිගන්නවා ඇත.

මගධ රාජ්‍යයෙහි අජාසත් රජතුමා ද එ කලැ සිටි ප්‍රබල රජවරුන් ගෙන් කෙනෙකි. බල තෘෂ්ණාව හා ඊර්ෂ්‍යාව රාජ්‍ය පාලකයන් තුළැ ස්වභාවයෙන් පිහිටි ලක්‍ෂණ දෙකකි. අජාසත් රජුට ලිච්ඡවීන් ගේ දියුණුව ගැන ඊර්ෂ්‍යාවත් ඒ රට අල්ලාගැනීමේ තෘෂ්ණාවත් නොඅඩු වැ තුබුණේ ය. එහෙයින් හෙමින් මහා සටනකට වුවමනා පරිදි යුද හමුදාව ද පිළියෙළ කැරිණි.

මුලින් දාමරික වැ සිටි රජතුමා පසු වැ බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා සැදැහැවත් උපාසකයෙක් විය. මහ සටනට සුදානම් වූ අතර මැ ලිච්ඡවීන් ගේ සමඟියෙහි හා සංවිධානයෙහි බලය දන්නා අජාසත් රජතුමාට මහ බියෙක් ද ඇති විය. මේ කරුණු ගැන සිහියෙන් නුවණින් සලකා බැලූ රජතුමා ගේ අවසාන තීරණය මෙසේ ය: ‘ලිච්ඡවීන් සමඟ සටනට යන බව බුදුරජාණන් වහන්සේට දැන්වූ විට ඉදින් අපට විනාශයක් වෙතොත් උන් වහන්සේ ගෙන් ඒ බව දැනැගන්නට ලැබෙනුවා ඇත’ යනු යි.

අජාසත් රජතුමා ගේ මෙහෙයීමෙන් වස්සකාර අමාත්‍යයා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් වැඳැ පුදා මහා යුද්ධය ගැන කරුණු ද දැන්වී ය. එයට කිසිවකුදු ප්‍රකාශ නො කළ බුදුරජාණන් වහන්සේ පසෙකින් සිටි අනඳ මා හිමියන් සමඟ කථාවට බැසගත් හ. ‘ආනන්ද, ලිච්ඡවීන් තුළැ මේ සමඟිය, මේ ප්‍රතිපත්ති තිබෙනුවා නො වේ දැ’යි සප්ත අපරිහානිය ධර්ම එකිනෙක ගෙන දැක් වූ බුදුරජාණන් වහන්සේ ‘ආනන්ද, ලිච්ඡවීන් තුළ මේ සමඟිය, මේ ප්‍රතිපත්ති තිබෙන තුරු කවරකුට වත් ලිච්ඡවීන් පැරැදැවිය නොහැකි යැ’යි ද ප්‍රකාශ කළ හ. එකී සමඟිය හා ප්‍රතිපත්ති නිසා ලිච්ඡවීන් කොපමණ දියුණු වූවා දැයි කිව හොත් එක් අවස්ථාවකැ දී බුදුරජාණන් වහන්සේ ලිච්ඡවීන් තව්තිසා දෙව් ලොවැ දෙව් පුතුනට ද සමාන කොට දේශනා කළ හ. එ තරම් දියුණු වැ බලවත් වැ සිටි ලිච්ඡවීහු අදූරදර්ශී වැ කථා කිරීමෙන් හා ක්‍රියා කිරීමෙන් භේද භින්න වැ පිරිහී විනාශයට පත්වූ හ. දූරදර්ශී වැ ක්‍රියා නො කළොත් අනාගතයෙහි සිංහල බෞද්ධයාට සිදුවන්නේත් ලිච්ඡවීනට සිදු වූ දේ මැ ය.

සමාජයෙහි දියුණුව ගැන කතා කරන විට අද පෙරඅපර දෙදිගැ මැ උගතුන් එය ආරම්භ කරන්නේ ආර්ථික දියුණුවෙනි. අවුරුදු දෙදහස් පන්සියයකට පෙරැ බුදුරජාණන් වහන්සේ ද ගිහියන් ගේ දියුණුව ගැන කථාව ආරම්භ කළේ ආර්ථික දියුණුවෙන් මැ යැ. ආර්ථික දියුණුව ලබා ගන්නා මඟ ද උන් වහන්සේ ප්‍රකාශ කළ හ. එය මුඳුනින් පිළිගෙනැ සමඟියෙන් හා නුවණින් හා ඒ මඟැ ගමන් කළ සිංහල බෞද්ධයා එ වකට ලෝකයෙහි කිසි ම රටකට දෙ වැනි නොවන තරමට ආර්ථික වශයෙන් දියුණුවට පත් වීය. එහෙත් වර්තමාන සිංහල බෞද්ධයා ආර්ථික වශයෙන් අන්ත පරිහානියට පත් වී ඇත. ආර්ථික වශයෙන් රොඩ්ඩක් වී ඇත. දූරදර්ශී වැ ක්‍රියා නොකළොත් තව අවුරුදු දහයෙකින් හපාපු උක් දණ්ඩක් මෙන් රොඩ්ඩට වැටෙනු ඒකාන්ත යි. නුවණින් සිතා බලන්න. මේ කරුණු ලියන කියන විට ජාති භේද අවුස්සනවා, ආගම් භේද අවුස්සනවා ය යි වරදවා නොසිතන්න. කවරකුට හෝ මගේ හිත දිවැසින් හෝ අන් කවර ලෙසකින් හෝ බලන්න පිළිවන් නම් මෙ සේ ලියන්නේ කියන්නේ නියම ජාතික සමඟියක්, ආගමික සමඟියක් ඇති කොට එක්සත් ලංකාවක් ඇති කරන උදාරාධ්‍යාශයයෙන් බව පැහැදිළි වැ වැට‍ැහෙනුවා ඇත. මා සඳහන් කරන සංඛ්‍යාවල මඳ වෙනස් කම් සිටින්නට පිළිවන. ඒවා වරද කොට නො ගෙනැ කාරණය පමණක් සලකන්නේ මැනැවි.

පිටර‍ට ධනය සියයට අනූවක් ලංකාවට ඇදී එන්නේ වතුවල මාර්ග යෙනි. තේ වලින් 60. රබර් වලින් 15. පොල් වලින් 15. ගම්වලැ අක්කර දහයක වත්තක් තිබෙන තැනැත්තාට ‘වත්තේ මහත්තයා’ යැ යි කියන සිරිතක් ඇතත් නියම වශයෙන් වතු ය යි කිය යුතු මහ වතුවලින් සියයට අසූවක් පමණ අසිංහල අබෞද්ධයන් සතු වැ ඇත. මේ රටෙහි උපදින ධනය තිබෙන්නේ කොහි දැ යි සිතා බලන්න. සපයන කා ගේත් ධනයෙන් සියයට අනූපහක් යන්නේ වෙළෙන්දා අතට ය. ගමෙහි වෙළෙන්දාට දුන්නත් ඒවා යන්නේ කා අතට දැ යි සිතා බලන්න. මහ වෙළෙදාමෙන් සියයට අනූවක් පමණ අසිංහල අබෞද්ධයන් සතු වැ ඇත. පසුගියදා බලපත්‍ර තහනම් කළ වෙළෙඳුන් අතරැ බෞද්ධ හෝ අබෞද්ධ හෝ සිංහලයන් කී දෙනෙකුන් සිටියා දැ යි නුවණින් සිතා බලන්න. ලංකාවෙහි ලොකු ලොකු ව්‍යාපාර ගෙන යන වෙළෙඳ සමාගම් ඇත. එයිනුදු සියයට අසූවක් පමණ අසිංහල අබෞද්ධයන් සතු වැ ඇත. ගමේ ගෙදර හකුරු මුල් දහයක් දොළහක් හැදීමත් හකුරු කර්මාන්තය යැ යි කියන සිරිතක් ඇතත්, ඇත්ත වශයෙන් කර්මාන්ත යැ යි කිය යුතු මහා කර්මාන්තවලින් සියයට අනූවක් පමණ අසිංහල අබෞද්ධයන් අතේ නො වේ දැ යි සිතා බලන්න. මේවා ලියන්නේ අපේ රටෙහි මැ සිටින අන්‍යයන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නො වේ. සිංහල බෞද්ධයා ගේ, අවිශේෂයෙන් සිංහලයා ගේ ආර්ථික තත්ත්වය පෙන්වීමට පමණෙකි. මෙ සේ වීමට හේතුව කුමක් දැ යි සිතා බැලිය යුතු වැ ඇත. සිංහලයා ගේ අසමඟියත් අලසකමත් ක්‍රමවත් සංවිධානයක් නැති කමත් මීට හේතුව යැ යි කීවාට වරදක් නැත. කලින් සිංහලයා බෙදී සිටියේ කුල – පන්ති – පළාත් හා ආගම් වශයෙනි. මෙකී භේද ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර පක්‍ෂ දේශපාලනය අනුවැ ඉතා භයානක ලෙස සිංහලයා බෞද්ධයා භේද භින්න වැ යන බවක් පෙනෙන්නට ඇත. සමහර එක පවුලේ අය පවා පක්‍ෂ දේශපාලනය අනුවැ බෙදී සිටින බව රහසෙක් නොවේ. අන්‍ය ජාතිකයන් ගේ සමඟිය දිනෙන් දින මැ දියුණු වන අතර සිංහල බෞද්ධයන් ගේ භේදය දිනෙන් දින ම දියුණු වන බව පෙනෙයි. නුවණින් සිතා බලන්න.

මේ රටෙහි ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකක් ඇත. එනම්, එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යි. 1965 මහ මැතිවරණයේ දී මේ දෙපක්‍ෂය බලවත් සටනෙක යෙදුණා, දෙ පක්‍ෂයට මැ තනියම රජයක් පිහිටුවන්නට තරම් ආසන ගණනක් දිනාගන්නට බැරි වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් ද්‍රවිඩයන් අල්ලාගැනීමට පෙඩරල් කාරයන් පස්සේ දිවුවා. එක්සත් ජාතික පක්‍ෂයත් ද්‍රවිඩයන් අල්ලාගන්නට පෙඩරල් කාරයන් පස්සේ දිවුවා. ද්‍රවිඩයන් ඔවුන් වඩා කැමැති පක්‍ෂයට එක් වුණා. ඉදිරියට කියන ගණන්වල අඩු වැඩි කම් තිබෙන්නට පිළිවන. ඒවා වරදක් කො‍ට සලකන්න එපා. කිසි මැ පුද්ගලයකුට හෝ පක්‍ෂයකට හෝ අගෞරව කරන අදහසක් සිහිනෙන් වත් නැත, අපේ ජනතාව ගේ ඇස් ඇරවීම පමණ යි මෙහි අරමුණ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා පෙඩරල් පක්‍ෂයේ ප්‍රතිපත්ති සියයට අනූවක් පමණ එකිනෙකට විරුද්ධ ය. එක්සත් ජාතික පක්‍ෂයේ හා පෙඩරල් පක්‍ෂයේ ප්‍රතිපත්ති ද සියයට හැත්තෑවත් පමණ එකිනෙකට විරුද්ධ ය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත් එක්සත් ජාතික පක්‍ෂයේත් ප්‍රතිපත්ති සියයට විස්සකුත් එකිනෙකට විරුද්ධ නැතැ යි සිතමි. එසේ වී නමුත් එ දෙපක්‍ෂය එකතු වන්නට සිහිනෙන් වත් සිතූ බවක් පෙනෙන්නට තුබුණේ නැත. ඉතින් මේ ස්වභාවය ඉදිරියටත් ගියොත් සිංහලයා‍ ගේ අනාගතය කෙබඳු වේ ද? මේ ගැන සලකා මේ දෙ පක්‍ෂයට සමඟි වන්නට යැ යි බලකරන මහජන මතයක් ඇති කළ යුතු කාලය දැන් පැමිණ ඇත.

මධ්‍යස්ථ වැ කල්පනා නොදෙන භක්ත්‍යොන්මාදය එක්තරා පිස්සුවකි. තමන් ගත් දේශපාලන පක්‍ෂයට ඇති භක්තිය නිසා අපට තනියම රජ කම් කරන්නට පිළිවන්කම තිබිය දී ඔය කියන සමඟිය කුමට දැ යි ඇතැමුන් සිතන්නට පිළිවන. ඉතින් නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ජය ගන්නට ලැබෙන්නේ නැතැ යි එක්සත් ජාතික පක්‍ෂය සිතනුවා විය හැකි ය. ඉදිරි මැතිවරණයේ දී අපට ජය ඒකාන්ත යැ යි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිතනුවා විය හැකි ය. කවුරුන් හෝ එ‍ෙස් සිතනුවා නම් එය මහ මුළාවකි. දැනට පෙනෙන්නට තිබෙන කරුණු අනුවැ ඉදිරි මැතිවරණයේදීත් එක පක්‍ෂටකට වත් තනියම රජයක් පිහිටුවන්නට තරම් ආසන ගණනක් නොලැබෙනු ඇත. ඊ ළඟට වන්නේ කුමක් ද? මැතිවරණ පෙ‍ාර පිටියේ ඔවුනොවුන් විවේචනය කැරැගෙන බැනැගෙන සිටින අවස්ථාව නිසා මේ දෙපක්‍ෂය එකතු වන අදහසක් හීනෙන් වත් ඇති වන්නේ නැත. ඉතින් සිදු වන්නේ කුමක් ද? වැඩි ආසන ගණනක් දිනා සිටි පක්‍ෂය නැවැතත් ද්‍රවිඩයන් පස්සේ දිවීම යි.

මේ සෙල්ලමෙන් සිංහලයා අඳුරෙන් අඳුර‍ට පත් වෙනව‍ා, පිරිහී මෙන් පිරීහීමට පත් වෙනව‍ා. අනාගත සිංහලය‍ාට ඔළුව උස්සන්න බැරි වෙනවා. කවුරුන් වත් වරදවා සිතන්න එපා. අන්‍ය ජාතියකට ද්වේෂ කරනවා නොවේ. ලංකාව සිංහල රට යි. සිංහලයාට ලංකාව හැර අන් රටක් නැත, සිංහලයෙනි, ඥානවන්ත වැ සලකා බලන්න. සිංහලයෙනි, කුල භේද, පංති භේද, පළාත් භේද, ආගම් භේද, දේශපාලන භේද අමතක කරන්න. සිංහලයෙනි, සමඟි වන්න. සමඟි වන්න. සමඟි වන්න. සිංහලයා‍ ගේ සමඟිය එක්සත් ලංකාවක් ගොඩනැංවීමේ අත්තිවාරම යි.

ශ්‍රී ලංකාදීප 1966.07.02

ප්‍රඥාප්‍රභා 2

 යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.