බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනය සඳහා දෙන ලද උපදෙස් අදටත් ඉතා හොඳ ය. අමාත්‍ය මණ්ඩලයක් පත් කැරැගෙනැ දශරාජධර්මයෙන් රජය කරන්නට රජවරුනට උපදෙස් දුන් අතරැ ලිච්ඡවීනට සමූහාණ්ඩු වශයෙන් රාජ්‍ය පාලනය සඳහා අනුශාසනය කළ හ. ලිච්ඡවීන් මහා විනාශ මුඛයකට මූණ පා සිටින අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට ශාන්තිය සලසා දුන්නා පමණක් නො වැ රාජ්‍ය පාලනය ඉහළට මැ දියුණු කැරැගැනීමට අනුශාසනා ද කළ හ. එයින් ලිච්ඡවී රාජ්‍යය කොතරම් ඉහළට නැගී ගියා දැ යි කිව හොත් එවකට පමණක් නො වැ මෙ වකට ද කිසි මැ රාජයයකට දෙ වැනි නොවන තරම් හොඳ පාලන ක්‍රමයක් ඇති විය. බුදුරජාණන් වහන්සේ විසින් ලිච්ඡවීනට දෙන ලද උපදේශයන් අතුරෙන් සප්ත අපරිහානිය ධර්ම මුල් වෙයි.
1.නිතර එක් රැස්වීම. 2.සමඟ වැ රැස්වීම, සමඟ වැ සභාවෙන් නැඟී සිටීම, සමඟ වැ කටයුතු කිරීම. 3.පෙර රජුන් නොපැණැවූ දැයක් නොපැණැවීම, පැණැවු දැ නොසිඳීම, පණවා ඇති පනත් නො පිරිහෙළා රැකීම. 4.වැඩි මහල්ලනට යටත් පැවැත්ම, සුවච බව, ගරු බුහුමන් කිරීම. 5.කුලවමියන් කුල කුමරියන් බලාත්කාරයෙන් තමන් වෙතට නොපැමිණැවීම, 6.පූජනීය ස්ථානවලට කැරැගෙන ආ දැහැමි පූජා අත් නොහැරීම. 7.සිය රටට නොපැමිණි රහතුන් හට එන්නට හා පැමිණි රහතුන් හට සුව සේ ඉන්නට ද සැලැසීම. මේ ප්‍රතිපත්ති එ දාට මෙන් මැ අදට ද හොඳ බව නුවණැති කවුරුනුත් පිළිගන්නවා ඇත.
මගධ රාජ්‍යයෙහි අජාසත් රජතුමා ද එ කලැ සිටි ප්‍රබල රජවරුන් ගෙන් කෙනෙකි. බල තෘෂ්ණාව හා ඊර්ෂ්‍යාව රාජ්‍ය පාලකයන් තුළැ ස්වභාවයෙන් පිහිටි ලක්ෂණ දෙකකි. අජාසත් රජුට ලිච්ඡවීන් ගේ දියුණුව ගැන ඊර්ෂ්‍යාවත් ඒ රට අල්ලාගැනීමේ තෘෂ්ණාවත් නොඅඩු වැ තුබුණේ ය. එහෙයින් හෙමින් මහා සටනකට වුවමනා පරිදි යුද හමුදාව ද පිළියෙළ කැරිණි.