Skip to main content

හිතවත් ජනාධිපති තුමා වෙතටයි …

 දැන් අපට උවමනා කරන්නේ දේශපාලන පක්‍ෂ නො වැ කවුරුනුත් එකතු වී රට සංවර්ධනය කැරැ ගැනීම යැයි ටික කලකට පෙරැ මැදිරිගිරියේ මහ රැළියේ දී ශ්‍රීමත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළා. මේ ප්‍රකාශය ඉතා වැදගත් බව දෙවියන් සහිත ලෝකයා ම පිළිගන්නවා ඇත‍.

දේශපාලකයෝ ලස්සන කියුම් කියන්නට හරි හපන්නු. ඒ ලස්සණ කියුම් ක්‍රියාත්මක කරවා ගැනීම ජනතාවගේ හපන්කමයි. සියලු භේද අමතක කොට එක්සත් වැ රට සංවර්ධනය කළොත් දස වසරක් ඇතුළත ශ්‍රී ලංකාව දෙව් ලොවක් කැරැගත හැකි වේ. මේ තරම් ස්වාභාවික විපත්තිවලින් මිදුණු ස්වභාවික සම්පත්තිවලින් පිරුණු රටක් කොහින් සොයන්න ද?

බුදු රජාණන් වහන්සේගේ කාලයෙහි රාජාණ්ඩු ක්‍රමය යැ, සමූහාණ්ඩු ක්‍රමය යැයි පාලන ක්‍රම දෙකක් විය. කොසොල් රජතුමා ආදීන් අමාත්‍ය මණ්ඩල පිහිටුවා ගෙන රට පාලනය කළ අතර ලිච්ඡවීන් හා මල්ලයෝ සමූහාණ්ඩු ක්‍රමයෙන් රට පාලනය කළහ. එයින් ලිච්ඡවීහු අන් හැමට ම වඩා දියුණු වැ සිටියහ. එයට ප්‍රධාන හේතුව ඔවුන් තුළැ සමගිය, නීති ගරුකත්වය හා ප්‍රතිපත්ති ගරුකත්වය තිබීමයි. ශ්‍රී ලංකාවට ද ලිච්ඡවී පාලන ක්‍රමය වැනි රජයක් අත්‍යවශ්‍ය බව අනාගතය ගැන මැදහත් වැ නුවණින් සලකා බලන විට වැටහෙනවා ඒකාන්කයි.

ඉංග්‍රීසීන් මේ රටවල් පාලනය කෙළේ අත්හැර යන අදහසින් නොවේ. රට සංවර්ධනය කළා. එහෙත් අත්හැර යන්නට සිදුවුණා. එසේ යනවිට සිතා හෝ නො සිතා හෝ පක්‍ෂ දේශපාලනය දී ගියා. අපේ ජනනායකයන් අදූරදර්ශී වැ හිස් මුදුනින් එය පිළිගත්තා. බෙදා ආණ්ඩු කරනවා යැයි ඉංග්‍රීසීනට දොස් නැගූ අපේ අය බෙදී ආණ්ඩු කරන්නට පටන් ගත්තා. දැන් අපේ රටෙහි පමණක් නො වැ අසල්වැසි රටවල ද භේද භින්නකම් බොහොමයි.

ශ්‍රී ලංකාවට සර්වජන ඡන්දය ලැබී අවුරුදු පනහක් ගත වුණා. පක්‍ෂ දේශපාලනය එනතුරු පැවැති මැතිවරණවලදී වැඩි කලබල තුබුණේ නැත. පක්‍ෂ දේශපාලනයෙන් පසු මැතිවරණ අවසානයෙහි කලබල වැඩි වුණා. 1970 දී මැතිවරණයෙන් පසු කලබල නො වැ දරුණු කෝළහල ඇති වුණා. 1977 දී මැතිවරණයෙන් පසු ද දරුණු කෝළහල ඇති වුණා. මීළඟ මැතිවරණයෙන් කුමකින් කුමක් වේදැයි සිතන්නට බැරි තරම් දරුණු තත්වයක් පෙනෙන්නට ඇත.

මීළඟ මැතිවරණය පවත්වන්න සමානුපාතික නියෝජන ක්‍රමයෙහි හොඳ පැත්තක් ඇත. මහජාතිය වන සිංහලයන් බෙදී සිටින නිසා අපේ රටට හොඳ නැති බව ජනරජ පනත හදන අවස්ථාවෙහි ද කරුණු සහිත වැ පෙන්වා දුන්නා. පාලකයන් බාර ගත්තේ නැත. හැමදා ම එක්සත් ජාතික පක්‍ෂයට ඡන්ද වැ‍ඩි ගණනක් ලැබෙන නිසා සමානුපාතික ක්‍රමයෙන් හැමදා ම බලයේ ඉන්නට පිළිවනැයි සිතන්නට ඇත. එය එසේ සිදුවේ යැයි සිතීම අපහසු වේ. මතු සඳහන් කරුණු මැදහත් වැ නුවණින් සලකා බලන්න.

1970 මැතිවරණයේදී ශ්‍රී ලං. නි. ප. ආසන 91ක් ලබා ශක්තිමත් වැ සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ දෙක ද සහාය කැරැගෙන රජයක් පිහිටෙව්වා. මේ සමානුපාතික නියෝජනය ක්‍රමය තුබුණා නම් ඒ තුන් පක්‍ෂයට ම ලැබෙන්නේ ආසන 70 යි. රජයක් පිහිටුවන්නට නොහැකි ය. 1977 මැතිවරණයෙහිදී එ. ජා. ප. ආසන 140 ක් ලැබුවා. සමානුපාතිකය තුබුණා නම් ලැබෙන්නේ ආසන 93 යි. රජයක් පිහිටුවිය හැකි ය. එහෙත් දුර්වල ය. හැමදා ම එකසිය හතළිහේ ගණන් ලැබෙනවා යැයි සිතනවා නම් එය මහ මුළාවෙකි. ආසන 125ක් ලැබුණත් රජයක් පිහිටුවන්නට නොහැකි වේ.

බටහිර ජර්මනියේ තිබෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයට සෑහෙන තරම් සමාන ආණ්ඩු ක්‍රමයෙකි. එස්. පී. ඩී. සහ සී. ඩී. යූ. යන ප්‍රධාන පක්‍ෂ දෙක හා එෆ්. ඩී. පී. යන සුළු පක්‍ෂයක් ද එ රට ඇත. ගත වූ අවුරුදු තිහට ම තනි පක්‍ෂයකට රජයක් පිහිටු වන්නට නොහැකි විය.

1949 සිට 1969 දක්වාත් 1969 සිට අදවන තුරුත් ප්‍රධාන පක්‍ෂ දෙක රජකම් කෙළේ සුළු පක්‍ෂයේ සහාය ඇති ව ය. ජර්මනියේ සුළු පක්‍ෂයත් ජර්මන්වරුන් ම ය.

ශ්‍රී ලංකාවෙහි මහ ජාතිය වන සිංහලයන් අළුත් පක්‍ෂයත් සමග දහයකට පමණ බෙදී ඇත. ශ්‍රී ලංකාවෙහි ජනගහනයෙන් සියයට පනහක් මසකට රුපියල් තුන් සියයකට අඩු ආදායම් ලබන අය ය. ජීවන අංකය ඉහළ යෑම නිසා මධ්‍යම පන්තියේ ජනතාවගෙනුත් සියයට අනූවක් දුකසේ ජීවත් වන අය යි. එහෙයින් මැතිවරණ ප්‍රකාශ කොපමණ ලස්සනට මුද්‍රණය කැරැ දුන්නත් සියයට අසූවක් පමණ වන දුප්පතුන් ගේ හිතට වදින්නේ කුසගිනි නිවා ගැනීමේ කොටස යි.

1970 මැතිවරණයෙහිදී එක් පක්‍ෂයකින් කීවා හ‍ෙඳන් හෝ ගෙනවිත් හාල්සේරු දෙකක් දෙනවාය කියා. ඉතින් දුප්පත් ජනතාව ඡන්දය දුන්නා දුන්නා දුන්නා තමයි. ඒ පක්‍ෂය රජයක් පිහිටෙව්වා. පොරොන්දුව සම්පූර්ණ වුණේ නැහැ. බලාපොරොත්තු සුන් වී දුකෙන් වේදනාවෙන් තරහෙන් ඉන්නා වි‍ට 1977 මැතිවරණයෙහි දී අනෙක් පක්‍ෂය කීවා ධාන්‍ය රාත්තල් අටක් දෙනවාය කියා. දුප්පත් ජනතාව ඡන්දය දුන්නා දුන්නා දුන්නා තමයි.

බලාපොරොත්තු සුන් වී දුකෙන් වේදනාවෙන් හා තරහයෙන් සිටින ජනතාවට ඔය දෙපක්‍ෂය ම මෙ‍ානවා ද දෙනවා යැයි කියන්නේ? මොනවා දෙනවා යැයි කීවත් කව්ද බාර ගන්නේ? තවත් මෙබඳු කරුණු නිසා වෙන ජනප්‍රිය පක්‍ෂයක් ඉදිරියට නාවොත් ලබන මැතිවරණයෙහිදී සෑහෙන සංඛ්‍යාවක් ඡන්දය නොදී ඉන්නවා. එසේ වුවොත් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ රජයක් පිහිටුවන්නට නොහැකි වෙනව‍ා ඇත.

මහජාතිය වන සිංහලයන් සමගි වෙනවා නම් මේ ප්‍රශ්නය ඉබේ ම නිරාකරණය වෙනව‍ා. ජනගහනයෙන් සියයට 74 ක් සමගි වූ විට ඉතිරි සියයට 26 මොනවා කරන්නද? අසිංහලයන් වන දමිළ හා මුස්ලිම් දෙපක්‍ෂයට ම තවත් ඉල්ලන්නට දෙයක් නැති තරමට වරප්‍රසාද ලබාගෙන ඇත. තව සුළු සුළු දේ තුබුණත් සිංහලයන් සමගි වුවොත් අසිංහලයන් එකතු වෙනවා ඒකාන්තයි. සිංහල සමගිය ජාතික සමගියේ පදනමයි කියන්නේ එහෙයිනි.

1968 හා 1969 වර්ෂවල සිංහල සමගිය ජාතික සමගියේ පදනමයි යන තේමාව යටතේ ලිපි දොළහක් පුවත්පත්වල පළ කැරැවීමි. එයින් ලිපි හතරක් මුද්‍රණය කරවා පිටපත් දහදාහක් බෙදාහැරියෙමි. ඇතැම් ලිපි අවසානයෙහි සිංහලයන් සමගි නොවුවහොත් සිංහලයාගේ අනාගතය අඳුරුයි අඳුරුයි අඳුරුයි කියා තුන්වරක් සඳහන් කැරැ ඇත.

ආචාර්ය වල්පළ රාහුල තෙරුන් වහන්සේ වයෝවෘද්ධ ශිව සුබ්‍රමනියම් මහතා හමු වී ඇත. සිංහලයන් හා සමගියෙන් වාසය කරන්නට ඉතා කැමති කෙනෙකු වූ එතුමා කියා ඇත්තේ, මේ රටේ සමගියක් ඇති කරන්නට නම් පළමුව සිංහළ බෞද්ධයන් සමගි විය යුතු ය. එවිට මුස්ලිම්වරු සිංහලයන් සමග එකතු වෙනවා ඇත. අනතුරුව ද්‍රවිඩ ජනතාව ද සිංහලයන් සමග එකතු වෙනවා ඇත. ජාතික සමගියේ පදනම සිංහල සමගිය බවයි.

වර්තමාන ලංකාවෙහි මේ සමගිය ඇති කළ හැකි වැ සිටින්නා ශ්‍රීමත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ය. ලබන මැතිවරණයෙන් පසු ජනරජ පනතේ වචනයක්වත් වෙනස් කරන්නට හැකියාවක් නො ලැබෙන්නේ කවර පක්‍ෂයකට වත් තුනෙන් දෙකක ඡන්දයක් ලැබෙන්නේ නැති නිසාය. ශ්‍රීමත් ජනාධිපතිතුමනි, සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට මතු සඳහන් කරුණු අනුව අළුත් මැතිවරණ ක්‍රමයෙකින් රජයක් පිහිටුවන්නට ක්‍රියා කරන මෙන් මේ රටෙහි සමගියත් දියුණුවත් අපේක්‍ෂා කෙරෙමින් කරුණාවෙන් දන්වා සිටිමි.

අළුත් නියෝජන ක්‍රමය විරුද්ධ පක්‍ෂයක් නැති පක්‍ෂ ක්‍රමයෙන් යුක්ත පාලන ක්‍රමයක් විය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය අනුව විපක්‍ෂයක් තිබිය යුතු ය යනු අ‍ැතැමුන්ගේ අදහසයි. එය තර්කානුකූල නො වේ. 1948 සෝල්බරි ආණ්ඩු ක්‍රමය එනතුරු මේ රටේ තුබුණේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම බව කවුරුනුත් පිළිගන්නවා ඇත. ඒ කාලවල විරුද්ධ පක්‍ෂයක් හෝ විපක්‍ෂයක් හෝ තුබුණේ නැත. එපමණක් නො වැ මෙකල ද ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී බොහෝ රටවල විපක්‍ෂයක් නැත. මෙබඳු රජයක් පිහිටුවන්නේ පවත්වන්නේ කෙසේ දැයි සඳහන් කළ යුතු වැ ඇත.

මැතිවරණයකට හයමසකට පෙර දේශපාලන විද්‍යාව හොඳින් දන්නා නා නා විෂයයන්හි නිපුණ දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නැති උගතුන්ගෙන් මණ්ඩලයක් පිහිටුවිය යුතු ය. ඔවුන් විසින් ඉදිරි වර්ෂ පහේදී කළ යුතු, කළ හැකි සංවර්ධන සැලැස්මක් රටෙහි සංස්කෘතිය පසු බිම් කොට හැදිය යුතු ය. එය සපුරාලීමට සුදුසු මැතිවරණ ප්‍රකාශයක් ඔවුන් විසින් ම පිළියෙළ කොට දේශපාලන පක්‍ෂවලට හා මහජනතාවට ද ඉදිරිපත් කළ යුතු ය. එය පිළියෙළ කිරිමට පෙර හැම දේශපාලන පක්‍ෂවල ම අදහස් විමසීම ද කළ යුතු වේ.

ඒ මැතිවරණ ප්‍රකාශනය පිළිගන්නා පක්‍ෂවලට මහජනයා ඡන්දය දිය යුතු ය. ඒ මැතිවරණ ප්‍රකාශනයෙහි තිබෙන කාරණා තම පක්‍ෂයට බලය දුන්නොත් හොඳින් සපුරන බව මැතිවරණ ප්‍රකාශනය පිළිගත් හැම දේශපාලන පක්‍ෂයක ට ම රැස්වීම්වල දී ප්‍රකාශ කළ හැකි වේ. පක්‍ෂ කිහිපයක් එසේ ප්‍රකාශ කරනවා නම් මහජනයාගේ වැඩි විශ්වාසය දිනා ගන්නා පක්‍ෂයකට ජයග්‍රහණය කළ හැකි වේ.

අභිනව රජය පිහිටුවීමේ දී එක ම ප්‍රකාශනය පිළිගෙන තරග කොට ජයගත් හැම පක්‍ෂයක් ම එක්විය යුතු වේ. වැඩි ආසන ගණනක් දිනූ පක්‍ෂයෙහි ප්‍රධානියා අගමැති විය යුතු ය. ආසන දහයකට එක්කෙනා ගණනේ ඇමතිවරු තෝරා ගත යුතු වේ. ආසන දහයකට වඩා දිනූ අනෙක් පක්‍ෂවලට ද ආසන ගණන අනුව ඇමතිකම් දිය යුතු ය. ඇමතිවරුන් ගණනට මන්ත්‍රීවරුන් බෙදා කමිටු හදා ගත යුතු ය. මැතිවරණ ප්‍රකාශනය පිළිගත් අයට නිදහස් මන්ත්‍රීවරුන් වශයෙන් පෙනී සිටිය හැකි ය.

මෙබඳු කරුණුවල දී භික්‍ෂූනට අයිති නැති දේ කතා කරනවා, ලියනවා යැයි ඇතැම් අය දොස් කියන බව දනිමි‍. බුදුරජාණන් වහන්සේටත් අනන්ත දොස් නැගූ සමාජයෙක ජීවත්වන විට දොස් ඇසීමට සූදානම් විය යුතු බව හොඳින් දනිමි. බුදුරජාණන් වහන්සේට ලැබුණු දෝෂාරෝපණවලින් දහයෙන් පංගුවක් වත් තව ම අපට නො ලැබෙයි. ඔය දෝෂාරෝපණ තව නවසිය අනූ නවයෙකින් වැඩි වූවිට මඳක් සලකා බලන්නම්.

ශ්‍රීමත් ජනාධිපතිතුමනි, සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට මේ මැතිවරණ ක්‍රමය හෝ මීට සමාන ක්‍රමයක් හෝ ඔබතුමා සලකා බැලුවොත් මේ රටෙහි සමගියත් සාමයත් සංවර්ධනයත් ඉහළට ම නැගී ගොස් ශ්‍රී ලංකාව නැවැතත් ධර්මද්වීපයක් හා පෙරදිග ධාන්‍ය‍ාගාරයක් වනු ඇත. ඔබතුමා මේ ගැන නො සලකා සිටියොත් සිංහලයාගේ අනාගතය අඳුරුයි අඳුරුයි අඳුරුයි !

 

රිවිරැස 1982.02.21

ප්‍රඥාප්‍රභා 5

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.