Skip to main content

සොබාදහමින් පවා ආශිර්වාද ලැබෙන ගාථාවක අසිරිය විදගන්න …

මේ ලෝකයට පතළ වූ නොයෙකුත් ශාස්තෘවරුන් අතර මහෝත්තමයාණන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ මුවින් දේශිත සෑම වචනයක්ම සෑම අක්‍ෂරයක්ම බුදු රුවක් හා සමාන බව ධර්මයේ ඉගැන්වේ.

“අක්ඛරා ඒක මේකංච බුද්ධ රූප සමංසියා…”

යනුවෙන් බුදු මුවින් දේශිත සෑම අක්‍ෂරයකම බුද්ධ රූපයක ඇති ශාන්තිය ගැබ්ව පවතින බව එහි අදහසයි. තථාගතයන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත කරුණාවෙන් දේශනා කළ අවවාද 2කි.

  1. ඕවාද ප්‍රාතිමෝක්‍ෂය
  2. ආනා ප්‍රාතිමෝක්‍ෂය.

ලොව්තුරා සියලු බුදුවරු සත්ත්වයා හික්ම වීම පිණිස මෙම දේශනාවන් දෙක සිදු නොකොට පිරිනිවන් පාන්නේ නැත.

මෙසේ ලෝක සත්ත්වයාට නිසි අවවාදය නොදී ලොව කිසිදු බුදුවරයකු පිරිනිවන් පාන්නේ නැත. එය බුද්ධ නීතියකි.

ගෞතම බුදුන් වහන්සේද ලෝක සත්ත්වයා වෙත මෙම අවවාදය ඒකාන්තයෙන්ම ලබාදී මිස පිරිනිවන් නොපාන ලද බව සනාථ කරමින් තථාගතයන් වහන්සේ ආනන්ද හිමියන්ට අවවාදය මෙසේ දේශනා කළ සේක.

“ආනන්ද, අද මම නුඹට ලෝකයේ සියලු බුදුවරයන් වහන්සේ විසින්ම දේශනා කළ අවවාදය දේශනා කරමි. මාගේ මේ බුද්ධ අවවාදය මනා කොට සිහි තබාගෙන සිට ආරක්‍ෂා කරන්න” යනුවෙන් උන්වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්‍ෂය පද සතරකින් දේශනා කළ සේක.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං

“සියලු පව්වලින් වැළකීමද, කුසල් ඉපද වීමද, තම සිත පාලනය කරගැනීමද යන මෙය සියලු බුදු වරුන්ගේ අනුශාසනයයි” යන්න මෙහි අදහසයි.

පසුගිය වර ඔබට දුන් තරුපති පුවත්පතෙහි බලන්න එම ගාථාව මුලින්ම ඇති. මේ තමයි සතර මහා නිධාන ගාථාවලින් පළමු ගාථාව. මෙම ගාථාවෙහි අවසාන පදයෙහි බුද්ධාන යන තැන සමහරු බුද්ධානු යනුවෙන්ද කියනු අප අසා ඇත. නමුත් එතැන බුද්ධානු නොව බුද්ධාන වශයෙන් කියවිය යුතුය.

බුදුරජාණන් වහන්සේගේ පිරිත් ආනුභාවය පිලිබද ධර්මය පුරාම සටහන්ව ඇත. විශේෂයෙන්ම දීඝායු නම් කුමාරයෙක් මරණයෙන් ගලවා ගැනීම මෙන්ම, අංගුලිමාල පිරිත මගින් ගැබිණි මවුන් සුව කිරීමද, බොජ්ජංග පිරිත මගින් ලෙඩ රෝග සුව කර ගැනීමද එවන් ආශ්චර්යයන්ය.

මෙම ගාථාව මගින් අපේ ගොවි මහත්වරු කුඹුරුවල කරදරකාරී සතුන් ඉවත් කරගැනීමටත් කුඹුරු සරුසාර කරගැනීමටත් ආශිර්වාද ලබාගත් බව අපි දනිමු.

එසේම මෙම ගාථාව තුළින් මෙලොව කෙනකුට කළ නොහැක්කක් නොමැති තරම්ය. මෙම ගාථාව රන් පතක හෝ රිදී පතක හෝ තඹ පතක යන්ත්‍ර විද්‍යානුකූලව ලියා අදාළ ගාථාවෙන් හැකි තරම් ජීවම් කොට පැලඳ ගැනීමෙන් තමන්ගේ අනුශාසනය හෙවත් තමන්ගේ වචනයට ලෝකයෙහි අවනත නොවෙන කෙනකුත් නොමැති වෙයි. මන්ත්‍ර ශාස්ත්‍රයේ මෙය උගන්වන්නේ මෙම ගාථාව උදයට සහ සවසට 108 බැගින් ජප කරන පුද්ගලයා සත් අවුරුද්දකදී ඉරු සඳු දපනයට සමතෙක් වෙයි යනුවෙනි.

එනම් මෙය පුරුද්දක් වශයෙන් තම ජීවිතයේ අඩුම තරමින් 21 වරක් හෝ කිව හැකි නම් අපට බොහෝ විස්කම් පෑ හැකි වෙයි. දිනකට 108 වර බැගින් උදේ සවස කියනු ලබන පුද්ගලයකුට නොවසින වැසි වස්සවා ගත හැකිය. වසිනා වැසි නවතා ගත හැකිය. පල නොදරන ගස්වල පලදාව උදාකර ගත හැකිය. සුව නොවන රෝග සුව කළ හැකිය.

මෙම ගාථාව උදේ සවස මෙසේ කරන කල්හි තමාගේ අවවාදය හෝ තමාගේ ඉල්ලීම ඉටුනොකොට සිටීමට සොබා දහමට පවා බැරිය. මෙම ගාථාවෙන් සිතූ පැතූ ඕනෑම සුබ දෙයක් අවනත කර ගැනීමට අප්‍රමාණ වූ ශක්තියක් පිහිටනු ලබන බව අපද අත්දැකීමෙන් දන්නෙමු. මෙම ගාථාව සිද්ධි කරගත් පුද්ගලයාට මෙලොව ජීවත් වන ඕනෑම සතෙකු අවනත කර ගැනීමට හැකිය.

යම් තැනක සතෙකුගෙන් තමාට විපතක් වුවහොත් එවිට මෙම සිද්ධි කරගත් ගාථාව එක් වරක් හෝ කීමෙන් අදාළ සත්ත්වයාගේ මුඛය බන්ධනය වේ. සැක ඇති ජලය සහිත තැනක ජලයට අත තබා මෙය මැතිරූ කල්හි ජලයෙහි සැඟවී සිටින සතෙකු වේ නම් ඒකාන්තයෙන්ම උඩට මතුවේ.

ඔබට මෙම මා කියන කතාව සත්‍ය බැලීමට වුවමනාම නම් නොපෑගුණු වැලි හෝ ගල් කැට ගෙන මින් 1000 වරක් මතුරා මාළු අල්ලන තැනට දමා බලන්න. කිසිවකුට තුන් වරුවක් යන තුරු එක මාළුවකුවත් අල්ලා ගැනීමට හැකිවන්නේ නැත. මෙය ඉතා හොඳින් සිද්ධි කරගත් විට වැසූ දොරගුලු පවා විවර කළ හැකි බව ඉපැරැණි පිටපත්වල සඳහන්වේ.

කිරි ඇති දලුවට මෙයින් මතුරන විට තමා දෙසට නැමී එයි. එය අනිවාර්යයෙන්ම සිදුවන බව අප දැක ඇත. තමා යුක්තියෙහි සිට තමාට විරුද්ධව යමකු බොරු කියයි නම් ඔහුගේ හෝ විනිසුරුගේ මුහුණ සිහි කරනු. තමාට ඒකාන්තයෙන්ම යුක්තිය ඉෂ්ට වෙයි.

අද බෙහෝදෙනකු මේවා තමා විසින්ම සිද්ධි කර ගැනීමට අකැමැතිය. කාලයක් නැත. පේ වෙන්නට බැරිය ආදී වශයෙන් ඒවාට විවිධ හේතු දක්වයි. නමුත් මෙම ගාථාව සිද්ධි කර ගැනීමට දරුවන්ට ඉගැන්විය යුත්තේ කුඩා කල සිටය.

. කුඩා දරුවන්ට කුඩා කල සිට මේ ගාථාව උදේ සවස කීමට පුරුදු කරන්න. කිසිම දිනෙක කුමන හේතුවක් නිසාවත් එම දරුවා අයාලේ යන්නේ නැත. මෙය මම ඉතාම වගකීමෙන් කියමි. පුරුදු කර බලන්න. මොන තරම් ග්‍රහ අපල ඔහුට අනාගතයේ ඇතිවෙතැයි කීවත් ඔබ බිය වන්න එපා. මෙම ගාථාව සිද්ධි වූ පුද්ගලයාට එම භාවයේදී ග්‍රහ අපලවල විපාක ශක්තිය හීන වී යයි.

ඔබගේ සැමියා හෝ බිරිය මත් පැනට ඇබ්බැහි වී සිටින්නේ නම් හෝ අයථා සම්බන්ධතාවලට පැටලී සිටිනවා නම් මෙයින් වතුර හෝ තෙල් පිරිත් කොට දින 90ක් එක දිගට දී බලන්න. ඒකාන්තයෙන් ඔබට එයින් ප්‍රයෝජන ලැබේ.

මෙම ගාථාව නිධානයක් බව මා ඔබට මුලින් කීවා මතක ඇතැයි සිතමි. සැබැවින්ම මෙය සතර මහා නිධානවලින් එකකි.

ඔබේ කුඩා දරුවාට මෙය උදේට 7 වරක් සහ සවසට 7 වරක් කීමට පුරුදු කරන්න. දරුවාට අවුරුදු 18 – 20 පමණ වන විට ඔහුට හෝ ඇයට මෙම මන්ත්‍රය සිද්ධි වී අවසන්ය. ඔහු එයින් ගනු ලබන ප්‍රයෝජනය කවදා හෝ ඔබ ඔහුට නිධානයක් ඇති තැනක් පෙන්වා දුන්නාටත් වඩා වැඩිවේවි.

මෙම සෑම අක්‍ෂරයකම ඇත්තේ ඔබට යහපතක් වේවා යන අදහසයි. එසේ හෙයින් මෙම ගාථාවෙන් හිතුවාට වඩා යමක් කිරීමට ඔබට හැකි බව මතක තබා ගන්න.

ලක්‍ෂ වරක් මින් පිරිත් කරගත් රන් තැඹිලි තෙල් නළලේත් උරහිස් දෙකෙත් ගාගෙන ඕනෑම බිය උපදවන තැනකට යන්න. ඔබට බිය ගෙනදීමට සමතකු නැත. තමාගේ ස්ථාන ප්‍රධානියා හෝ තම බිරිය අවනත කර ගැනීමට මින් නිසි පරිදි ජීවාම් කරගත් තෙල්වලින් බෝධියක පහන් දල්වා දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. නොවැරැදීම මෙය ලැබේ.

තමාගේ අවවාදයට කෙනකු හෝ පණ නැති දෙයක් හෝ අවනත කර ගැනීමේ අප්‍රමාණ වූ ශක්තියක් මෙහි ඇත. එසේම බුද්ධ ගාථාවලින් ජීවම් කරන යන්ත්‍ර මන්ත්‍රවලට අවශ්‍ය දිෂ්ටි, ප්‍රාණ, පලිප්පු සිද්ධි, පුට යන පංචවිධ මන්ත්‍ර ශක්තියම මෙහි අන්තර්ගත වී තිබේ.

පිටු ගණනාවක් ලියුවත් මෙහි ගුණය අවසන් කළ නොහැකිය. ඔබගේ යහ බසට අවනත කරගත යුතු ඕනෑම කෙනකු මෙයින් අවනත කර ගන්න.

මස් මාංසයෙන් වැළකී ශීලයෙහි පිහිටා කිරීමෙන් ප්‍රතිඵල දෙගුණ තෙගුණ වේ.

යමෙක් මේ සියලුල බොරුයැයි කියන්නට ඉඩ ඇත. එහෙත් ඊට පෙර ඔබ මෙය අත්හදා බලන්න. ඉන් ඔබට සත්‍යය ප්‍රත්‍යක්ෂ වේවි.

මවුබිම ඇසුරිනි

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.