Skip to main content

සුරාව නීතියෙන් තහනම් කරන්න බැහැ …

සුරාව නීතියෙන් තහනම් කරන්න බැහැ යන්න හැම රජයක් ම කියන කතාවකි. ටික කලකට පෙර රත්නපුර ප්‍රදේශයෙහි රැස්වීමක දී පැහැදිලිව ම එය ප්‍රකාශ කළා. ඒ අදහස් සනාථ කිරීමට ඇමරිකාවේත් ඉන්දියාවේත් සුරා තහනම් සාර්ථක උණේ නැති බවත් කියනවා.

බුද්ධාගම හේතුඵලවාදයෙකි. ඒ හේතුඵල න්‍යාය අනුව ඒ දෙ රටෙහි සුරා තහනම් සාර්ථක නොවුයේ කවර හේතුන් නිසාදැයි නුවණින් සලකා බැලිය යුතුවේ. ඇමරිකාවේ සුරාපානයෙහි වරද පෙන්‍වන ආගමික පසුබිමක් කලින් තිබුණෙත් නැත. දැනුත් නැත. අළුතින් සොයා ගත් ඇමරිකාවෙහි වාසයට ගියේත් යුරෝපයෙහි රටවලිනි. ඒ රටවල ද මත්පැන් පානය වරදක් කොට නොසැලකුවා පමණක් නොව බොහෝ දෙනා ආගමික පිළිවෙතකින් මත්පැන් පානය පටන් ගෙන දියුණු කැර ගත්තාහුය. ඇමරිකාවේ ක්‍රිස්තියානි මෝමන්වරුන් හැර අන් වැඩි දෙනා මත්පැන් තදින් පානය කරන්නාහු ය. එබඳු රටෙකැ මත්පැනට ඇබ්බැහි වී සිටින අයට අවසර පත්‍ර මාර්ගයෙන් හෝ මත්පැන් ටිකක් බොන්නට ඉඩ නොතබා තහනම් කිරීම කොතරම් අදූරදර්ශී මෝඩ පිළිවෙතක් දැයි ඇමරිකාව හිස මත තබාගෙන සලකන කෙනෙකුට වුවත් වැටහෙනවා ඇත.

ඉන්දියාවේ ද සෝමපානය වැනි මත්පැන් පානය ආගමික පිළිවෙතක් හැටියට තිබුණා. එහෙයින් බුදුරජාණන් වහන්සේ ගේ කාලය වන විට මත්පැන් තදින් පැතිරී තිබුණු බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් පුවත්වලින් පැහැදිලි ය. බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම දේශනා නිසා මත්පැන් පානය හොඳටම අඩු වුවත් ඇතැමුන් තදින් අල්ලා ගෙන තිබුණු වැරදි දෘෂ්ටි නිසා මත්පැන් පානය සම්පූර්ණයෙන් නැති වූයේ නැත. එහෙත් ශ්‍රීමත් ගාන්ධිතුමා හා ශ්‍රීමත් නේරුතුමා ආදී උදාර පුරුෂයන් ගේ සුන්දර වැඩ පිළිවෙල නිසා මත්පැනට විරුද්ධ වැ මහත් උද්ඝෝෂණයක් පැන නැගුනසේය. එහෙයින් ඉන්දියාවට නිදහස ලැබුණාට පසු මත්පැන් තහනමක් ප්‍රකාශයට පත් කරන ලදී. කරුණු තුනක් නිසා එය ද අසාර්ථක විය.

  1. මතුපැනට විරුද්ධ වැ ආගමික විරෝධයන් නියම ලෙස ඉදිරිපත් නොවීම.
  2. මත්පැන් තහනම ප්‍රදේශ වශයෙන් කිරීම. ඒ ප්‍රදේශයෙහි මත්පැන් තහනම් වුවත් අවට ප්‍රදේශවල සුලබ වැ තිබීම නිසා හොර සුරා බහුල වීම.
  3. විදේශිකයන් හට අවසර පත්‍ර මාර්ගයෙන් මත්පැන් බොන්නට ඉඩ දී මත්පැනට හොඳටම ඇබ්බැහි වී සිටින ස්වදේශිකයකුට වත් අවසර පත් නො ලැබීම.

ඇමරිකාවේත් ඉන්දියාවේත් මත්පැන් තහනම අසාර්ථක වීමට හේතු නුවණින් සලකා බලන්න. මුස්ලිම් රටවල් විශාල සංඛ්‍යාවක මත්පැන් තහනම සාර්ථකවැ ගෙන යන බව අමතක කළ යුතු නොවේ.

තව ද කිවයුත්තක් ඇත. ශ්‍රී ලංකාව අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක් මුළුල්ලේ සුරාපානයෙන් වැළැකීම ශීලයක් කොට සලකන රටකි. විදේශිකයන් පැමිණෙන්නට පෙර ජනගහනයෙන් සියයට අනූනවයකුත් දශම නවයක් පමණ මත්පැන් නොබිව් රටෙකි. අදත් ගැහැණුන් ගෙන් සියයට අනූවකටත් වඩා සංඛ්‍යාවක් මත්පැන් බොන්නේ නැත. අවුරුදු විසිපහෙන් පහළ තරුණයන් ගෙන් සියයට අනූපහක් පමණ බොන්නේ නැත. මේ රටේ සියලුම ආගම් මත්පැන් පානයට විරුද්ධයි. මේ අනුව සලකා බලන විට ජනගහනයෙන් සියයට අසූවක් පමණ මත්පැන් නො බොන අයයි. මේ රටේ සිටින මත්පැන් බොන අයගෙනුත් සියයට අනූවක් පමණ තමන් ගේ දරුවන් මත්පැන් බොනවාට කැමති නැත. ඔවුන්ට මැරෙන තුරු මත්පැන් බොන්නට බාධාවක් නොවනවා නම් අනාගත පරපුර වන ළමයින් හා තරුණයන් මත්පැනින් බේරා ගැනීමට ඉදිරිපත් කරන යෝජනාවකට විරුද්ධ නොවෙනවා ඇත.

මේ කරුණු නුවණින් සලකා බලන විට ශ්‍රී ලංකාවෙහි සුරාපානයෙන් සිදුවන විනාශය වලක්වා ගැනීම අපහසු නොවේ. ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව එකවර සුරා තහනමක් ඉල්ලුවේත් ඉල්ලන්නේත් නැත. ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව ඉල්ලා සිටින්නේ නොබී බැරි අයට බොන්න අවසර දී අනාගත පරපුර සුරා යකාගෙන් බේරා ගැනීමට පාලන ක්‍රමයක් ඇති කරන්නට යනුයි. නියම සුරා පාලනය කිරීමත් හොර සුරා මර්දනය කිරීමත් ඒ දෙක ම සාර්ථක කැර ගැනීමට ප්‍රචාරණය යන ක්‍රම තුන දිගට පවත්වාගෙන ගියොත් අවුරුදු විස්සෙකින් විසිපහකින් සුරා උවදුර තුරන් වෙනවා ඇත. මේ රටෙහි අබිං උවදුර තුරන් කළ ආකාරයට ම යි.

ඉංගිලිසි ජාතිකයන් සුරාපානයටත් අබිං කෑමටත් පෙ‍ළඹෙව්වේ වී නමුත් අමද්‍යප වීරයන් ගේ ඉල්ලීම්වලට කන් දී එදා රාජ්‍ය සභාවල පනත් තුනක් සම්මත කොට අමද්‍යප ව්‍යාපාරයට ආධාර කළ බව කිය යුතුවේ. ඒ මෙසේය.

  1. සුරා පාලනයට පනතක්
  2. පළාත් ඡන්ද විමසීමට පනතක්
  3. අබිං පාලනයට පනතක් යනුවෙනි.

විදේශික ආක්‍රමණයෙන් පසු මේ රටේ ජනතාව අබිං කෑමට ද ඇබ්බැහි විය. එය මහා ජාතික විපතක් වූයෙන් අමද්‍යප වීරයන් ගේ ඉල්ලීමට කන් දුන් ඉංලිගිසි රජය අබිං පාලනයට අවසර පත්‍ර ක්‍රමය නිකුත් කළේය. එදා 36,000 ක් පමණ නිකුත් කළ අවසර පත්‍ර ක්‍රමයෙන් අඩුවෙමින් අවුත් දැන් වෛද්‍ය අවසර පත්‍ර හැර අන් අවසර පත්‍ර සියයකුත් නැති තරම් වේ. සංචාරක ව්‍යාපාරයෙන් පසු මත් ද්‍රව්‍ය පරිහරණ‍ය ටිකක් වැඩි වී ඇතත් ඒ සුළු කොටස ද නැති කිරීමට රජය තදින් ක්‍රියා කරන බව ප්‍රකටය. සුරා නැති කිරීමටත් අප යෝජනා කරන්නේ අබිං මත්ද්‍රව්‍ය පිළිබඳ රජය අනුගමනය කරන වැඩ පළිවෙල ම බව හැමට පළමු සඳහන් කරමු.

ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව සුරාපාලනය සඳහා රජයට ඉදිරිපත් කරන සැලැස්ම

නියම සුරා පාලනය

  1. විදේශිකයනට හා සුරාවට ඇබ්බැහි වී සිටින ස්වදේශිකයනට ද අවසර පත් දිය යුතුය.
  2. එසේ අවසර පත් ලබන අය වයස අවුරුදු විසිපහ ඉක්මවා ගිය අය විය යුතුය.
  3. සෞඛ්‍ය හා මානසික හේතුන් උඩ සුරාව අවශ්‍ය බවට වෛද්‍ය සහතික දෙකක් තිබිය යුතුය. මසකට අවශ්‍ය මත් පැන් ප්‍රමාණය ද එහි සඳහන් විය යුතුය.
  4. අවසර පත් නිකුත් කළ යුත්තේ නියම වශයෙන් මත්පැන් භාවිත කරන්නන්ට පමණි.
  5. අවසර පත් ඉල්ලන්නා සුරාව ලබා ගත හැකි පහසුම ස්ථානය සඳහන් කළ යුතුය. තමනට නියමිත කොටස ලබාගත හැක්කේ එතැනින් පම
    ණි. ඒ සඳහා සහල් කූපන් පත්‍ර මෙන් කූපන් පත් නිකුත් කළ යුතුය.
  6. මත් පැන් වෙළෙන්දා ද නියමිත පරිදි විකුණා නම ලියා ගත යුතුවා පමණක් නොව ඒ කූපන් තමන් මත් පැන් ගෙනෙන ස්ථානයට ඉදිරිපත් කළ යුතුය.
  7. අවසර පත් ලබා ගැනීමට කාල සීමාවක් නියම කළ යුතුය. එයින් පසුව ස්වදේශිකයන්ට කවර කරුණක් නිසා හෝ අවසර පත් නිකුත් නොකළ යුතුය.
  8. සංචාරක හෝටල් වලට පමණක් අවසර පත්‍ අනුව මත්පැන් විකිණීමට අවසර දිය යුතුය.
  9. සමාජශාලා ලියා පදිංචි කළ යුතුය. එසේ ලියා පදිංචි වූ සමාජ ශාලාවල කූපන් පත් ගණනට පමණක් මත්පැන් විකිණීමට අවසර දිය යුතුය.
  10. තානායම්වල ද මත්පැන් විකිණිය හැක්කේ අවසර පත් ඇති අයට පමණි.
  11. මත්පැන් විකුණන ආයතනවල වුවමනා අයට මත්පැන් බී වෙරි හි‍‍ඳෙන තුරු ඉන්නට ද පහසුකම් සලසා තිබිය යුතුය.
  12. සුරා අවසර පත් සමඟ ඔවුන් හැසිරිය යුතු ආකාරය ඇතුළත් ආචාර ධර්ම මාලාවක් දිය යුතුය. ඒ ආචාර ධර්ම කඩ කරන්නන්හට දැඩි දඬුවම් දිය යුතුය.
  13. විදේශීය තානාපති සේවයට විශේෂ අවසර පත් ක්‍රමයක් ඇති කළ යුතුය. තානාපති නිවෙස්වල විදේශික හිත මිත්‍රයනට පෞද්ගලිකව කරන සංග්‍රහයන්ට මත්පැන් ගැනීමට බාධාවක් නැතත් පොදු උත්සව සංග්‍රහ අමද්‍යප විය යුතුය.
  14. පල්ලිවල සක්‍රමේන්තු මෙහෙය සඳහා අවශ්‍ය වයින් ලබා ගැනීමට විශේෂ අවසර පත් දිය යුතුය.
  15. අවසර පත් ලාභීව හෝ මත්පැන් බී රාජකාර්‍ය්‍ය කරන අයට ද, මත්පැන් බී රිය පදවන අයටද, මත්පැන් බී පාරේ හෝ පොදු වාහනවල හෝ පොදු තැන්වල හෝ නුසුදුසු පරිදි හැසිරෙන්නන්ට ද දඬුවම් කළ යුතුය. මොවුන් මත්පැන් බී ඇති ප්‍රමාණ දැන ගැනීමට බැලූන් පාවිච්චි කිරීම මැනවි.
  16. වයස අවුරුදු 18 න් පහළ අය අවසර පත්‍රයකට හෝ සුරා විකිණීමට යෑම දඬුවම් ලබන වරදක් කළ යුතුය.
  17. වයස අවුරුදු 18 න් පහළ අය අවසර පත්‍රයකට හෝ සුරා ගෙන යෑම දඬුවම් ලබන වරදක් කළ යුතුය.
  18. තල්, පොල්, කිතුල් පැණි හකුරු හැදීමට අවසර පත් දිය යුතුය. ඒවා දියුණු කිරීමට ආධාර කළ යුතුය.
  19. පැණි හකුරු සඳහා දුන් අවසරයෙන් නියම සුරා හෝ හොර සුරා හෝ හදනවා නම් දඬුවම් කළ යුතුය.
  20. සුරා බදු දෙපාර්තමේන්තුව සුරා පාලන දෙපාර්තමේන්තුව කළ යුතුය.

හොර සුරා මැඬලීම

  1. අවසර පත් ඇති අයට තමන් ගේ මත්පැන් කොටස පහසුවෙන් ලබා ගන්නට කටයුතු සැලැසිය යුතුය. ලබා ගැනීමට අපහසු වුවහොත් පහසුවෙන් ලබාගත හැකි කසිප්පු පළට යනු ඇත.
  2. හොර සුරා හදන්නන්ට ද තද දඬුවම් නියම කළ යුතුය. දඩ ගැසීමෙන් වැඩක් නොවේ.
  3. හොර සුරා සෑදීමට උපකාර කැර ගන්නා ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීමත් බෙදා හැරීමත් රජය විසින් පමණක් කළ යුතුය.
  4. ස්ප්‍රීත්තු වෙළදාම බලපත්‍ර පිට පාලනය කළ යුතුය.
  5. අමද්‍යපාන වර්ගවලට ගෙන්වන සාර එසෙන්ස් හැර මත්පැන් හදන්නට පිළිවන් සාර ගෙන්වීම වැළැක්වීමට නීති පැනවිය යුතුය.
  6. හොර සුරා ගෙන යන වාහන රාජ සන්තක කළ යුතුය. රියැදුරන්ගේ බලපත්‍ර අවලංගු කළ යුතුය. වාහනය අයිතිකරුගේ සම්බන්ධයක් නැති නම් උසාවිය මගින් නිදහස් කර ගන්නට ඉඩ දිය යුතුය.
  7. හොර සුරා හදන ඉඩම රාජ සන්තක කළ යුතුය. අයිතිකරුගේ සම්බන්ධයක් නැතිනම් උසාවිය මගින් නිදහස් කර ගන්නට ඉඩ දිය යුතුය.
  8. හොර සුරා ගෙන යන විකුණන ස්ත්‍රී – පුරුෂ වැඩිහිටියනට සිර දඬුවම් දිය යුතුය. අවු: 15 න් පහළ පිරිමි ළමයිනට විනිශ්චයකාර තුමා කැමති නම් තැලීමට ඉඩ තිබිය යුතුය. ගෑණු ළමයිනට සුදුසු දඬුවමක් දිය යුතුය. ඉදින් ළමයින් හොර සුරා මුදලාලි අල්ලා දෙනවා නම් ඔවුන් නිදහස් කොට මුදලාලිට සිර දඬුවම් ලබා දිය යුතුය.
  9. රාජකාරිය සඳහා යන නිළධාරීන් අල්ලස් ගන්නවා නම් හෝ රාජකාරිය හරියට නොකරනවා නම් හෝ වැඩියෙන් දඬුවම් කළ යුතුය.

10 හොර හරක් මස් තිබෙන්නේ හරක් මස් තිබෙන රටකමය. එසේ ම හොර සුරා තිබෙන්නේ සුරා තිබෙන රටකමය. සුරා නැති මුස්ලිම් රටවල හොර සුරා ද නැත. එහෙයින් හොර සුරා නැති කරන්නට නම් සුරා නැති කළ යුතුය.

ප්රචාරක අංශය

  1. සංස්කෘතික අමාත්‍යාංශය පන්සලත් පල්ලියත් කෝවිලත් සම්බන්ධ කැර ගෙන දීප ව්‍යාප්ත ප්‍රචාරක වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතුය.
  2. පන්සල් වල පිහිටුවා ඇති ශාසනාරක්‍ෂක සමිති හා මහ නගර වල පිහිටුවා ඇති ශාසනාරක්‍ෂක මණ්ඩල ද මෙහෙයවා සුරාපානයෙහි ආදීනව විවිධාකාරයෙන් ජනතාවට අවබෝධ කරවිය යුතුය.
  3. ධූම පානය, මද්‍යපානය, මත්ද්‍රව්‍ය ගැනීම ආදී උවදුරු වලින් ළමා පරපුර බේරා ගැනීමට දිනපතා පාසල්වල හා දහම් පාසල්වල සම්මා ආජීව සමාජ පිහිටුවිය යුතුය.
  4. ධූම පානය, මද්‍යපානය, මත්ද්‍රව්‍ය ගැනීම ආදී උවදුරු වලින් තරුණ පරම්පරාව ආරක්‍ෂා කර ගැනීමට ව්ශ්ව විද්‍යාලයන්හි සුදුසු ප්‍රචාරක වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතුය.
  5. දිනපතා පාසල් හා දහම් පාසල් පොත් වල ධූම පානය, මද්‍ය පානය, මත්ද්‍රව්‍ය පිළිබඳ ආදීනව දැක්වෙන පාඩම් ඇතුළත් කළ යුතුය.
  6. දිනපතා පාසල් හා දහම් පාසල්වල මුලින් කී උවදුරු පිළිබඳ චිත්‍ර, නාට්‍ය, කවි, කථා, තරඟ පවත්වා ළමයින් තුළ හැඟීමක් ඇති කරවිය යුතුය.
  7. හැම බස් රියකමත්, ලොකු බස්නැවතුම්පළ වලත් මුලින් කී උවදුරු පිළිබඳ ආදීනව දැක්වෙන පාඨ මුද්‍රණය කැර රාමු කැර එල්වා තැබිය යුතුය.
  8. දුම්රිය ස්ථානවලත්, ලොකු බස්නැවතුම්වලත් මුලින් කී උවදුරු පිළිබඳ පෝස්ටර් ඇලවිය යුතුය. එය තුන් මසකට වරක් මාරු කළ යුතුය.

 

රිවිරැස 1982.03.02

ප්‍රඥාප්‍රභා 8

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.