Skip to main content

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමනී සික්ඛාපදං සමාදියාමි …

මත්වීමටත් ප්‍රමාදයටත් (නොසැලැකිල්ලටත්) කරුණු වන සුරාමේරය පානයෙන් වැළැකෙන ශික්‍ෂාපදය සමාදන් වෙමි.

සුරා – නම් නා නා ලෙසින් බත් – පිටි – ගෙඩි ආදී ද්‍රව්‍ය හා වතුර එක්කොට පල් කරගත් මද්‍යවිශේෂයෝ ය.

මේරය – නම් මල් ගෙඩි ආදියෙන් වාස්වා ගන්නා ලද යුෂ පල් කරගත් මද්‍යවිශේෂයෝ ය.

මජ්ජ – නම් මත්වීමයි. මෙහි මදනීයාර්‍ථයෙන් හෙවත් මත් කරන්නට සමර්‍ථය යන අර්‍ථ‍යෙන් යටැ කී සුරාමේරයත් ලොවැ ඇතිතාක් වෙනත් මද්‍ය විශේෂත් ඇතුළත් වෙති.

පමාද – නම් නොසැලැකිල්ලයි. තමාගේ මනුෂ්‍යකම – බෞද්‍ධකම – පිරිමිබව – ගැහැණුබව – ළදරු තරුණ මහලුබව – උගත් නූගත්බව – දුප්පත් පොහොසත් බව ආදි හැම තත්ත්වයක් ම අමතකවීම, නොසලකා හැරීම මේ ප්‍රමාද පදයෙන් කියැවේ.

සුරාපානය යයි කෙටියෙන් කී විට යටැ සඳහන් හැම මද්‍යවිශේෂයක් මැ ගැනෙන ලෙස සලකා ගත යුතුය. මේ සුරාපානයෙන් වැළැකීම ගිහි බෞද්‍ධයන්ගේ නිත්‍ය ශීලයක් ලෙස වදහළ බුදුරජාණන් වහන්සේ සුරාපානය නිසා මනුෂ්‍යයා දෙලොවින් ම පිරිහෙන අයුරු ද මැනැවින් පැහැදිලි කළහ.

යං මනුස්සා විවජ්ජෙන්තිසප්පං ඝෝරවිසං විය
ලොකේ
විස සමානං තංකෝ නරෝ පාතුමරහති

දරුණු විෂ ඇති සර්‍පයකු මෙන් නුවණැති මිනිසුන් විසින් දුරලන, ලෝකයෙහි තිබෙන මහවහක් බඳු මේ මත්පැන් බොන්නට සුදුසු කවරෙක් ද? මේ ආදී ගාතා විසිහතරෙකින් (24) කුම්භ ජාතකයෙහි මත්පැන් දොස් ප්‍රකාශ වෙයි.

ධම්මික සූත්‍රයෙහි දී, ඒතං අපුඤ්ඤායතනං විවජ්ජයේ උම්මාදනං මෝහනං බාලකන්තං යී මිනිසුන් එකෙණෙහි ම උමතුබවට හා මුළාබවට ද පමුණුවන අඥානයන් පොළොඹවන මේ සුරා නම් පව් උණන උල්පත් විශේෂයෙන් හළ යුතු යයි වදාළහ.

වසල – පරාභව ආදී නොයෙක් සූත්‍රයන්හි ද ධම්මධ්වජ ආදී නොයෙක් ජාතකයන්හි ද සුරාපානයෙහි ආදීනව මැනැවින් ප්‍රකාශ කොට ඇත්තේ ය.

සිඟාලෝවාද සූත්‍රයෙහි දී 1. මෙලොවදී ම ධනහානියට පැමිණීම, 2. සණ්ඩු කෝලාහල වැඩිවීම, 3. නොයෙක් ලෙඩ උපදවන බව, 4. සුරාධූර්තයෙක (බේබද්දෙක) යන අපකීර්තියක් ගෙන දෙන බව, 5. ලජ්ජා නසන බව, 6. දුබල කරන බව දැයි මෙලොව ම සුරාපානයෙන් ලැබෙන ප්‍රධාන ආදීනව හයක් වදාළ සේක.

මේ ආදීනවයන් අතුරෙන් නුවණ දුර්‍වල වීම හා රෝග බහුල වීම ද පිලිබඳව දිනමිණ පත්‍රයෙහි පළවූ ලංකා පුත්‍රගේ ලිපියෙකින් කොටසක් සඳහන් කරනු කැමැත්තෙමි.

ප්‍රඥාව දුර්‍වල කිරීම

සිත එකඟකර ගැනීමක් නොහොත් යම් කිසි දෙයක් ගැන සිත යෙදිය යුතු නම් ඒ දේ ගැන මිස‍ වෙනත් නානා දේවල සිත යා නොදී ස්ථිර ව පිහිටුවා ගැනීමේ ශක්තියක් නැති අයකුට නුවණ දියුණු කරගත් නොහැකිය. මත්පැන් ඒ සිත එකඟ කර ගැනීමේ ශක්තිය නැති කරයි. සමහර යුරෝපීය රටවල බීර බීම සාමාන්‍ය දෙයකි. එය කොතරම් සාමාන්‍ය දෙයක් දැයි කිවහොත් ආහාර ගැනීමේදී සමහර දෙමව්පියෝ ඔවුන්ගේ ළමයින්ටත් බීර පොවති. බොහෝ දෙනා එසේ කරන්නේ බීර ශක්තිය ඇති කරන පානයක් වශයෙන් සැලැකීමෙනි. මේ ගැන පරීක්‍ෂණයක් පැවැත්වූ වියානා නුවර දොස්තර මහතකුට ලැබුණු ප්‍රතිඵල මෙසේය.

කිසි කලෙක මත්පැනක් නොබිව් ළමයින්ගෙන් සියයට 41 දෙනෙක් පාඩම් විභාගවලදී “හොඳ ලකුණු” ගත්හ. කලාතුරකින් බොන ළමයින්ගෙන් සියයට 34 දෙනෙක්ද, දවසකට වරක් බොන ශිෂ්‍යයන්ගෙන් සි‍යයට 27 දෙනෙක් ද, දවසකට දෙවරක් බොන්නන්ගෙන් සියයට 25 දෙනෙක් ද “හොඳ ලකුණු” ලැබූහ. දවසකට තෙවරක් බීර බිව් ශිෂ්‍යයෝ තිදෙනෙක් ඒ පාඨශාලාවෙහි වූහ. එයින් එකකු හැඳින්වූයේ “සාමාන්‍ය” යන නමිනි. අනිත් දෙදෙනා වර්‍ග කෙළේ “නරක” යන විශේෂණයෙනි. මොළයෙන් කරන වැඩවලදී මත්පැන් බල පවත්වන සැටි මෙයින් තේරුම් ගත හැකිය. පිස්සුව වැඩි වශයෙන් වැළදෙන්නේ අධික මත්පැන් පාවිච්චිය නිසාය. එයම මත්පැන ප්‍රඥාව දුර්‍වල කරන බවට සාක්කියකි. මත්පැන් පාවිච්චිය නිසා පිස්සු වැටුණු දරුවන් ද මා දැක තිබේ. ඔවුන්ගෙන් ඇතැම් දරුවෝ කිසි විටෙක මත් පැනක් කටේ නොගෑවෝය. ඔවුන් පිස්සන් වී සිටින්නේ පියාගෙන් ලැබුණු සහජ ගතියක් වශයෙනි. අවුරුදු 11 ක් මුළුල්ලෙහි පැවැත්වූ පර්යේෂණවලින් පසු ඩෙඩ්‍රස්ඩන් උම්මත්තකාගාරයෙහි නේවාසිකයන්ගෙන් සියයට 33 දෙනෙකු අධික මත්පැන් පාවිච්චිය නිසා පිස්සු වැටුණවුන් බව වෛද්‍යාචාර්‍ය ඉල්බග් මහතා තේරුම් ගෙන තිබේ. ප්‍රංශයෙහි මාර්සේල්ස් නුවර සියයට 25 දෙනෙකු මත්පැන් පිස්සන් බව වෛද්‍යාචාර්‍ය මොරින් මහතා තීරණය කරයි. ජර්මනියේ කොලොං නුවර උම්මත්තකාගාරවල වෙසෙන පිස්සන්ගෙන් සියයට 28 දෙනෙකුට පිස්සු රෝගය වැලඳී තිබෙන්නේ අධික මත්පැන් පාවිච්චිය නිසා යයි ආචාර්‍ය ඇස්කපෙන්බග් මහතා කියයි. මෙසේ ලෝකයේ වෙන රටවල ද මත්පැන් නිසා පිස්සු වැටුනෝ බොහෝ වෙති.

මත්පැන් නිසා ඇතිවෙන ලෙඩ රෝග

මත්පැන් පාවිච්චිය නිසා ඇතිවන ලෙඩ රෝග රාශියක් යුරෝයේ දොස්තරවරුන් විසින් පෙන්වා දී තිබේ. උගුරේ පපුවේ හා ආමාශයේ ආබාධවලින් බොහොමයක් මත්පැන් නිසා උපදින බව දොස්තරවරුන්ගේ අත්දැකීම ය. බ්‍රැන්ඩි අක්මාව නරක් කරන අතර බීර පපුව දුර්‍වල කරයි. අරක්කු මේ දෙකම අනතුරු කරයි. සාමාන්‍යයෙන් සියලු මත්පැන් උගුරේ පමණක් නොව ආමාශයේ ද සෙම් රෝග ඇති කරයි. ආමාශ‍යෙහි සොටු සහිත සියුම් ප්‍රදේශ ඉදිමෙන්නේත් දුර්‍වල වන්නේත් මත්පැන් නිසාය. එයින් ආමාශය ක්‍රමයෙන් ස්වාභාවික ක්‍රියාකාරිත්වයෙන් තොරවෙයි. ඊට අනතුරුව තුවාල සෑදෙයි. ආමාශයේ සුව කළ නොහැකි භයානක පිළිකා සෑදෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ශරීර නිර්මාණයේ හැටියට මේ පිළිකා රෝගයට වැඩි වශයෙන් ගොදුරු විය යුත්තේ ස්ත්‍රීහු ය. එහෙත් සංඛ්‍යා ලේඛන අනුව ස්ත්‍රීන්ට වඩා පුරුෂයෝ මේ රෝගයෙන් මිය යති. ඊට හේතුව කුමක් ද? පුරුෂයන් අධික ලෙස මත්පැන් පානය කිරීමයි. ස්ත්‍රීන් පුරුෂයන් තරමට බොන්නට පටන් ගත්තොත් මේ රෝගයෙන් නොපෙළෙන ස්ත්‍රියක් සොයා ගත නොහැකි තරමට දුර්‍වල විය හැකිය යනු වෛද්‍යචාර්‍ය්‍යවරුන්ගේ මතයයි. මත්පැන් මෙන් පෙනහැලි දුර්‍වල කළ හැකි අන් කිසිවක් නැත. මත්පැන් පාවිච්චි කරන්නන්ගෙන් සියයට 80 ක් ක්‍ෂය රෝගයට ගොදුරු වන බව ඉන්දියානු විශේෂඥයෝ ප්‍රකාශ කරති. මේ සංඛ්‍යා මදක් පරණයි. අළුත් සංඛ්‍යා මීට වඩා ඇතැයි සිතමි.

Clark’s Applied Pharmacology (Eighth Edition) නමැති පොතෙන් උපුටා ගත් කරුණු ස්වල්පයක් ද සඳහන් කරනු ලැබේ.

  1. මොළය ක්‍රියා කිරීමේ ශක්තිය මත්පැන් ගැනීමෙන් අඩුවන බව සෑම පරීක්‍ෂණයෙකින් ම හෙළි වී තිබේ.
  2. මත්පැනින් මනුෂ්‍යයාගේ අත්තානුවාද භය හෙවත් තමාගේ වරද තමාට පෙනීම සහමුලින් ම නැති වී යයි. එබඳු මිනිසකුට නොකළ හැකි වරදෙක් නම් නැත.
  3. මත්පැන් ගැනීමෙන් මොළයේ ක්‍රියාකාරිත්වය තියුණු වන බව ඇතැමුන්ගේ මතයයි. පිටින් බලන්නකුට මෙය සත්‍යයක් හැටියට පෙනෙතත් පරීක්ෂ්‍යකාරීව බලන්නකුට මෙය සම්පූර්‍ණ වැරදි මතයක් බව පෙනෙනවා ඇත. ස්වභාවයෙන් සබකෝලය ඇති කෙනෙකුට මත්පැන් ටිකක් ගැනීමෙන් ඒ සබකෝලය මඟ හරවා ගෙන කිසි පැකිලීමක් නැතිව ඉදිරියට ගොස් කතාවක් වුවත් පවත්වන්නට පිළිවන්කම ලැබෙයි. ඇතැමෙක් මෙය මත්පැන් ගැනීමෙන් කා‍ර්‍යශූරභාවය ඇතිකරවන බවට සාධකයක් වශයෙන් දක්වයි. එහෙත් එහි සත්‍යය නම් සිහිය මඳබවයි. තමාන්ගේ හා ස්ථානයේත් පිරිසේත් ප්‍රමාණය අමතක වීමයි.
  4. ලඝු ලේඛකයනට මත්පැන් දී වැඩෙහි යොදවා පරීක්‍ෂා කළ අවස්ථාවන්හිදී ඒ ලියකියවිලිවල බොහෝ වැරදි දක්නට ලැබී තිබේ. වෙනත් බොහෝ පරීක්‍ෂණවලදී මේ කාරණය පැහැදිලි ලෙස පෙනී ගොස් තිබේ.
  5. යම් යම් කටයුතුවල දක්‍ෂ අය මත්පැන් ගැනීමෙන් ඒ දක්‍ෂභාවය නැති කර ගනී. රිය අනතුරු මීට සාධකයෝ ය.
  6. මද්‍යසාරය අවුන්ස බාගයක් ගැනීමෙන් ම සිහිය (මතකය) අඩුවන බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.
  7. මත්පැන් කායික බලය ද අඩු කරයි. කලින් අඩි 14 ක් දුර පනින්නට පිළිවන් වූ කෙනෙකුට මත්පැන් අවුන්සයක් ගැනීමෙන් පනින්නට හැකි වූයේ අඩි 13 කි.
  8. වෙහෙස ඇති වූ විට මත්පැන් ගැනීමෙන් ප්‍රාණවත් භාවයක් එවෙලෙට දැනුනත් එය තාවකාලික ය. සු‍ළු මොහොතකින් කලින් තිබුණාට වඩා වෙහෙසක් දැනෙන හෙයිනි.
  9. මත්පැන් ගත් පුත්ගලයා වෙනස් වන ආකාරය :-
    1. මේ අවස්ථාවෙහි පුත්ගලයා කෙරෙහි වෙනසක් පිටතින් නොපෙනෙන්නට පිළිවන. එහෙත් ශරීරය තුල ඉතා සියුම් ඉන්‍ද්‍රියයෝ විකෘතියට පැමිණෙති. මේ අවස්ථාවෙහි පරිසරය බලපාන්නට වෙයි. කුල්මත් වීමට හෝ කුපිත වීමට කරුණු යෙදුණොත් වහා කුල්මත් වෙයි. වහා කුපිත හෝ වෙයි.
    2. වාචාලකම වැඩි වෙයි. ආත්ම දමනය අඩු වෙයි. කෙලින් සිටීමට බැරිවෙයි.
  • පෙනහැලි දුර්‍වල වීමෙන් ආශ්වාස ප්‍රාශ්වාසයන් නතර වී මරණය පවා සිදුවිය හැකිය.
  1. ආරෝග්‍යශාලාවල සිටින රෝගීන්ට කලින් දුන් මද්‍යසාර ප්‍රමාණය දැන් බොහෝ දුරට අඩුකර තිබේ. 1900 යේ දී එක රෝගියකුට බ්‍රැන්ඩි අවුන්ස 6 ක් පමණ දුන් නමුත් දැන් (1934) එය අවුන්ස බාගය දක්වා අඩුකර තිබේ. (මෙකල නැතැයි කිව යුතු තරමට අඩු වී ඇත.)
  2. පසුගිය අවුරුදු 40 තුළ දී පවත්වන ළද පරීක්‍ෂණ අනුව බෙහෙතක් වශයෙන් මද්‍යසාරවල ඇති වටිනාකම ඉතා අල්ප බව ඔප්පු වී තිබේ.
  3. මත්පැන් ගැනීමෙන් කාමුක හැඟීම් ඉතා අධික වෙයි. ලිංගික ආශාවලින් තෘප්තියකට නො පැමිණෙයි.

ඇතැමුන්ගේ වැරදි මතයක්

ප්‍රමාණය ඉක්මවා මත්පැන් ගැනීම වැරැදි වුවත් ප්‍රමාණයකට ගැනීම වරදක් නොවේ යයි ඇතැම්හු කියති. මෙහි ප්‍රමාණය හැටියට සැලැකෙන්නේ මත් නොවන තරමයි.

බුද්‍ධධර්‍මය අනුව එබඳු ප්‍රමාණ කතාවක් කළ නොහැකිය. සමහර විට රා ගැළුමක් බීව ද මත් නොවි ඉන්නට පිළිවන් අය සිටිය හැකිය. තවත් කලක් පුරුදු වූ විට රා ගැළුම් ගණනක් බොමිනුත් මත් නොවී ඉන්නට පිළිවන් වෙනුවා ඇත. එබඳු තැනැත්තා මත් වී කෝලාහල ආදිය නොකරන්නේ වී නමුදු දෙලොවින් ම පිරිහීම ළඟාකර ගනී. එහෙයින් කවර මද්‍යවිශේෂයක් වුව ද ස්වල්පමාත්‍රයක් වත් ගැනීමට බුද්‍ධධර්‍මයෙන් ඉඩක් නොලැබෙයි.

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මත්පැන් ස්වල්පයක්වත් නොගත යුතු යයි ප්‍රකාශ කෙළේ බීමට ඇබ්බැහි වූ විට ස්වල්පයකින් නවත්වා ගත නොහැකි හෙයිනි. මේ කාරණය පැහැදිලි කිරීමට අපේ පොත්වල ඉතා අගේ ඇති උපහැරණයක් දක්වා ඇත්තේ ය. ඉතා ස්වල්ප වශයෙන් නමුදු බීමට පටන් ගන්නා තැනැත්තාට ඒ පිළිබඳ කෑදරකම දිනෙන් දින ම අධික වෙයි. උගුර ළඟට එනතුරු බීගත් තැනැත්තා තවත් බොන්නට ඉඩක් නැතත් කෑදරකමේ අඩුවක් නැති නිසා ‍මෙසේ සිතයි. අනේ මේ මහ මුහුද සම්පුර්‍ණයෙන් රා වේවා! එවිට මම මාලුවෙක් ව එහි පීනමි.

ජපන් රටේ පවත්නා කීමක් ද මීට ම සමාන බැවින් මෙහි සඳහන් කරනු ලැබේ.

The man takes a drink – මිනිහා මත් පැන් ගිල ගනී.

The drink takes a drink – මත්පැන් මත්පැන් ගිල ගනී.

The drink takes the man – මත්පැන් මිනිහා ගිල ගනී.

මේ කරණු හොඳින් සලකා බලන විට මත්පැන් ස්වල්ප වශයෙන්වත් පුරුදු කර නොගත යුතු බව වැටහෙනුවා ඇත.

බෞද්‍ධ ලංකාවේ මත්පැන්

මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් ලක්වැසියෝ බෞද්‍ධයෝ වූහ. එවක පටන් ගිහියෝ තමනට අයත් පඤ්චශීලයෙන් සිල්වත් වූහ. එහෙයින් ලංකාවේ මත්පැන් පානය හොඳට ම අඩුවිය. ලංකාවේ ද මත්පැන් පෙරීමත් බීමත් තිබුනේ වී නමුත් එය ඉතා පිළිකුල් කටයුතු දෙයක් වීය. ලංකාරාජාවලියෙහි සිය ගණනක් රජවරුන් අතුරෙන් මත්පැන් ගත් කීපදෙනෙකුන් ගැන සඳහන් වෙතත් සාමාන්‍ය ජනයා එය ඉතා පිළිකුල් කළ බවට නොයෙක් සාධක ඇත්තේ ය. බෞද්‍ධ ලංකාවේ බේබදුකම නොතුබුනු බව යුරෝපීය පඬිවරුන් පවා ප්‍රකාශ කර තිබේ.

සිංහල බෞද්‍ධ රජවරුන්ගේ සමයයෙහි මත්පැන් පෙරීම තහනම් බවත් පෙරා අසුවූවනට දඬුවම් ලැබුණු බවත් ජෝන් ඩොයිලි තුමා කීය.

සිංහල බෞද්‍ධයා මත්පැන් පිළිකුල් කළ බවත් බෞද්‍ධ ලංකාවේ මත්පැන් පෙරා ආපනශාලා (සුරාසැල්) පිහිටුවා ලුයේ පරංගිකාරයන් බවත් නොක්ස් තුමා කීය. මෙහි පරංගිකාරයන් යයි කීවත් කතෝලිකයන් යයි කීවත් වෙනසක් නැත. ඒ නිසා බෞද්‍ධ ලංකාවේ මත්පැන් ශාලා ඇති කෙළේ කතෝලික පරංගිකාරයන් යයි කිව යුතුයි.

“අප විසින් දිවයින පුරා ශාපයක් පතුරුවා ඇත්තේ ය. අවුරුදු කීපයකට පෙර බීමත් සිංහලයා අනෙක් සිංහලයන් ගෙන් නින්දා ලබයි, එහෙත් අද එබන්දක් නැත. බේබදුකම කොතරම් ව්‍යාප්ත ද යතහෙත් එදා නින්දා ලත් බේබද්දා අද නින්දා නොලබයි” ලංකාවේ කලක් ආණ්ඩුකාර ධුරය දැරූ ශ්‍රිමත් විලියම් හෙන්රි ග්‍රෙගරි තුමා කීය. දුශ්චරිතත් බේබදුකමත් ලක්දිව පැතුරුණේ මෙරට ක්‍රිස්තියානිය පැමිණීමෙන් පසුව බව රීස් ඩේවිඩ්ස් පඬිතුමා කීය. ලංකාවේ පමණක් නොව ඉන්දියාව බුරුමය ආදී රටවල ද බේබදුකම පැතිර වූයේ ක්‍රිස්තියානීන් බව කිව යුතු ය.

මෙසේ අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක් බේබදුකම ඉතා පිළිකුල් කොට සැලැකු සිංහලයා විදේශීනට යටත් වීම නිසාත් ජාතික සිරිත් විරිත් වනසා දැමූ අබෞද්‍ධ අධ්‍යාපන ක්‍රම නිසාත් මිෂනාරීන්ගේ කුටෝපක්‍රම නිසාත් මත්පැනට පුරුදු වීය. එයින් බේබදුකම ලංකාව පුරා පැතිරෙන්නට වීය. මත්පැන් බීම ශිෂ්ඨාචාරයෙහි අංගයක් වීය. එහෙත් වාසනාවකට මෙන් ජාතික විනාශය දුටු නුවණැති පිරිසක් එක්වී අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කරන ලදි.

ඒ අමද්‍යප වීරයන්ගේ බලවත් උත්සාහය නිසා සුරාසැල් රාශියක් වස්වා ගත්තේ වී නමුත් නීතියේ ඇති දුර්‍වලකම නිසා සුරාපානය කරන්නවුන්ගේ සංඛ්‍යාව අඩුකර ගත නොහැකි වීය. මේ අතර සුරාවෙන් ජාතියට සිදුවන විපත හොඳින් අවබෝධ කරගත් ඩඩ්ලි සේනානායක මැතිතුමා ලංකාවේ සම්පූර්‍ණ මද්‍ය තහනම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කෙළේ ය.

ලංකාවේ ජනගහනයෙන් සියයට 75 ක් පමණ පක්‍ෂව සිටින මේ යෝජනාවට ද ඇතැම් අය විරුද්ධ වෙමින් නොයෙක් ප්‍රශ්න හා පුහු තර්‍ක මතු කෙරෙමින් නූගත් මහජනයා මුළා කරන්නට සූදානම් වෙති. ඒ නිසා ඒ හැම ප්‍රකාශයක් හා තර්‍කයක් පිළිබඳව මෙහි සඳහන් කැරෙන කරුණු නුවණින් විමසා බලා සත්‍යය වටහා ගන්නට උත්සාහ ගන්නේ මැනැවි.

ආදායම

මත්පැන් නැවැත්වීමෙන් රජයට විශාල ආදායමක් නැති වී යන බව ඇතැම්හු කියති. එය එසේ ය, සැබෑ ය. මත්පැන් බද්ද වශයෙන් රජයට කෝටි 6 ක පමණ ආදායමක් ලැබෙන බව බැලු බැල්මටම පෙනෙයි. එහෙත් මත්පැන් නිසා ම රජයට වන වියදම් ප්‍රමාණය ගැන බොහෝ දෙනා කල්පනා නො කරති.

මත්පැන් පානය නිසා රෝග බහුල වන බව වෛද්‍යවරු ඔප්පු කොට අවසාන ය. දිනක් ගුවන් විදුලියේ සාකච්ඡාවකට පැමිණි කොළඹ මහාරෝග්‍යශාලාවේ දොස්තර මහත්වරු කිහිප දෙනෙක් රෝග බහුල වන සැටිත් මත්පැන් බොන්නවුනට හටගන්නා රෝග සුව කිරීමට කල් ගත වන බවත් මැනැවින් පැහැදිලි කර දුන්හ. මේ නිගමනය අනුව සලකා බලන විට මත්පැන් බොන්නවුන් නිසා රජයට ආරෝග්‍යශාලා මගින් කොපමණ විශාල වියදමක් කරන්නට වෙනුවා දැයි නුවණැති කාට වුවත් වැටැහෙයි.

විශේෂයෙන් ක්‍ෂය රෝගය පැතිරීමට මත්පැන් ප්‍රධාන හේතුවක් වී තිබෙන බව වෛද්‍යවරු ප්‍රකාශ කෙරෙති. මත්පැන් බොන්නවුන්ගෙන් සියයට 80 ක් ක්‍ෂය රෝගයට ගොදුරු වන බව ඉන්දියානු විශේෂඥයෝ පවසති. මේ කීම ලංකාවටත් සමාන ය. මේ දරුණු ක්‍ෂය රෝගය නැති කිරීමට ලක්රජය කොපමණ ධනයක් වියදම් කරනුවා දැයි මඳක් සිතා බලන්න.

ලංකාවේ අපරාධ බහුල වීමට ප්‍රධාන හේතුවත් මත්පැන් බව ඉතා ප්‍රකට ය. ලංකාවේ කැරෙන නා නා විධ අපරාධවලින් සියයට 90 ක් පමණ මත්පැන් උපයෝගී කොට ගෙන සිදුවන බව කීම අතිශයෝක්තියක් නොවේ. මේ නිසා ම රජයට පොලිස් දෙපාර්තමේන්තුව මගින් කොපමන ධනයක් වියදම් කරන්නට සිදු වෙනුවා ද? උසාවි හා සිර ගෙවල් සඳහා කොපමණ වියදම් කරනුවා දැයි සලකා බලන්න. නිදර්‍ශනයක් වශයෙන් නඩුවක් රැගෙන බලමු. පසුගියදා සිදු වූ රංජනී මිනීමැරුම කොතරම් අපරාධයක් ද? ඒ අපරාධය කළවුන් අරක්කු බෝතල දෙකක් ආධාර කර ගත් හෙයින් රජයට ආදායම වශයෙන් රුපියල් දහයක් දොළොසක් ලැබෙන්නට ඇත. එසේ ම ඒ නඩුව සඳහා රජය රුපියල් තිස් දහසකට වඩා වියදමක් කරන්නට ඇතැයි කීවොත් එය අසත්‍යයක් ද නොවනුවා ඇත. වර්‍ෂයකට මේ ප්‍රමාණයේ වූ හෝ මීට අඩු ප්‍රමාණයේ වූ හෝ මෙබඳු නඩු දහසකටත් වැඩි වෙනුවා ඇත.

තව ද සුරා පරීක්‍ෂක නමින් වෙන ම දෙපාරුතමේන්තුවක් ද රජය මගින් පාලනය වේ. මේ සඳහා වර්‍ෂයකට යන වියදම ගැන ද සිතා බලන්න. මෙසේ අනෙක් කරුණු පසෙකින් තබා ආදායම අතින් සලකා බැලුවත් මත්පැනින් ලැබෙන ආදායමට වඩා විශාල වියදමක් රජයට දරන්නට වන බව නුවණැති කාට වුනත් වැටැහෙනුවා ඇත. මත්පැන් නැවැත් වූ විගස ම මේ වියදම් සියල්ල නතර නොවන බව ඒකාන්ත සත්‍යයෙකි. එහෙත් සුරා තහනම් නීතිය නිසි ලෙස ක්‍රියාවේ යෙදෙව්වොත් අවුරුදු දස දොළසකින් පමණ දැන් ලැබෙන ආදායමට වඩා විශාල මුදලක් ඉතිරි කර ගන්න හැකි වෙනුවා ඇත.

තව ද රටක් පාලනය කිරීමට මුදල් අත්‍යාවශ්‍යක නමුත් කෙසේ හෝ මුදල් සැපයීම ම රජයක ප්‍රතිපත්තිය නොවේ. දැනුදු ඇතැම් දෙපාර්තමේන්තු නිසා රජයට වන පාඩුව අතිවිශාල ය. එහෙත් මහජනයාගේ ශුභසිද්‍ධිය සඳහා ඒ සියලු පාඩු විඳ ගෙන ඒ දෙපාර්තමේන්තු පවත්වාගෙන යනු ලැබේ. ගණිකානිවාස පැවැත්වීමෙන් ද රජයට විශාල ආදායමක් ලැබිය හැකි වුවත් එසේ නොකරන්නේ රටට වන විපත්ති සලකා ගෙන නොවේ ද? එසේ නම් කොතෙක් ආදයම් ලැබුනත් රටේ ජාතියේ යහපත සලකා ගෙන මේ සුරාව සම්පූර්ණයෙන් නතර කළ යුතු නොවේ දැයි මඳක්වත් කල්පනා කරන කෙනෙකුට වැටහෙනුවා ඇත.

ඉන්දියාව වැනි මහා රටකට සුරාවෙන් විශාල ආදායමක් ලබාගත හැකිය. සමහර විට සුරාවෙන් ලැබෙන ආදායම එකතු කළොත් අවුරුදු කීපයකදී ලංකාව මිලයට ගතහැකි තර‍මේ මුදලක් වෙනුවා ඇත.

මහත්මා ගාන්ධි, භාරතරත්න ශ්‍රි නේරු ආදී උතුමන් මේ සුරාවට විරුද්ධ වූයේ මේ ආදායම ගැන නොදැනීමෙන් ද? අදුරදර්‍ශ මූඩ කල්පනාවෙන් ද?

ඉන්දියාවේ සුරා විරෝධි මහාව්‍යාපාරය ආරම්භ වූයේ ඉංග්ලීසීන් රජ කරන කාලයේ දීය. එකල ඔවුන් කියා සිටියේ ද ආදායම පිළිබඳව ම ය. නුඹලාගේ දරුවන්ට අධ්‍යාපනය දීමට පමණක් මෙතරම් ධනස්කන්ධයක් උවමනාව තිබියදී ආදායම් ලැබෙන්නේ කෙසේ ද? යනු ඔවුන්ගේ ප්‍රශ්නය විය. එවිට දූරදර්ශී අවංක ජාති හිතෛෂී ගාන්ධි තුමා කීවේ එසේ නම් අපේ මුළු ජාතිය ම අවුරුද්දක් ඉගෙනගන්නේ නැතිව ඉන්නට සූදානම් ය. මුළු ජාතිය ම ඒ පාඩුව විඳින්නට සූදානම් ය. තමුසෙලා ඒ මුදල් ඉතිරි කර ගෙන අපට සුරාව නතර කර දෙන්න යනුයි. ගාන්ධි තුමා කල්පනා කළේ ඉගෙනීම නැවැත්වීමෙන් ජාතියට සැලැසෙන පාඩුව එක අවුරුද්දකටය. සුරා රටේ තිබුණොත් ජාතියට සැලැසෙන පාඩුව සර්‍වකාලිකය යනුයි.

ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු අවංක ජාතිහිතෛෂී ජනනායකයන් ආරම්භ කළ යහපත් ව්‍යාපාරයන්ගෙන් සුරා නැවැත්වීම ද එකෙකි. එකල අග්‍රාණ්ඩුකාර ධුරයේ සිටි රාජගොපාලාචාර්‍ය තුමාගෙන් ඇසූ ප්‍රශ්න මාලාවකට පිළිතුරු දෙමින් එතුමා ප්‍රකාශ කළේ ජාතිය වනසා මුදල් ලබාගෙන ආණ්ඩු කරන්නට බාලාපොරොත්තුවක් නැති බවයි.

බොම්බායේ සුරා තහනම් කරන විට එරට ආණ්ඩුවට එයින් රුපියල් 13 කෝටියක ආදායමක් ලැබුණේය. එය මුළු ලංකාවේ සුරා ආදායම මෙන් දෙගුණයෙකි. එය අස්ථිර ආදායමකි. ඉන්පසු සාමාන්‍ය මහජනයාට කරදරයක් නොවන පරිදි “සේල්ටැක්ස්” නම් බදු ක්‍රමයක් ඇති කෙළේ ය. එයින් ලැබෙන ස්ථිර ආදායම කෝටි 15 ක් පමණ බව ප්‍රකාශ කෙරෙයි.

මේ කරුණු හොඳින් කල්පනා කරන විට මෙබඳු කරුණුවල දී ආදායම ගැන පමණක් කථා කිරීම කිසි ලෙසකින් සුදුසු නැත. එපමණෙක් ද නොව රටට ජාතියට කරන මහා විපත්තියෙකි.

රැකීරක්‍ෂා

සම්පූර්‍ණ සුරා තහනමෙන් විශාල පිරිසකට රැකීරක්‍ෂා නැති වේ යනු තවත් කරුණෙකි. සුරා තහනමට විරුද්ධ අය ඉදිරිපත් කරන තර්‍කවලින් මදක් සිතා බැලිය යුතු එකම කාරණය මෙය පමණයි.

විශාල සංඛ්‍යාවකට රැකීරක්‍ෂා නැති වී යෑම නම් සැබෑ ය. එහෙත් ඒ සංඛ්‍යාව සමහරු කියන තරම් විශාල නැත. ගස් ඈඳීමට ලණු හා රා පෙරීමට මුට්ටි ද උවමනා කෙරෙයි. ඒ නිසා ලණු අඹරන අය – කොහු තලන අය – මුට්ටි හදන අය හා ඒ සඳහා මැටි අනන අය ද එකතු කර සංඛ්‍යාව ලොකු කොට පෙන්වති.

රා මදිනවුන්ගෙන් එක්තරා ප්‍රමාණයක් ඉන්දියානු ජාතිකයෝ ය. ඔවුන්ට ආපසු ඉන්දියාවට යා හැකිය. ලණු කර්‍මාන්තකාරයනට ඒ ලණු පිටරට යැවිය හැකිය.

තව ද, ලංකාවට පැණි හා හකුරු ඉතා අවශ්‍ය ය. ඒ නිසා අන්‍යයනට කොන්ත්‍රාත් නොදී රජයට ම අවංක නිලධාරී මණ්ඩලයක් යටතේ ගස් මැදීම එසේ ම කොට පැනි හකුරු තැනිය හැකිය. එයින් ආදායමක් ද ලැබිය හැකි වේ. ඉදින් පාලකයින්ගේ නොසැලැකිල්ල නිසා හොර රා ටිකක් ඇති වුවත් එය එතරම් විපත්තියක් වන්නේ නැත. එසේ ම වංක ලෙස ක්‍රියා කරන නිලධාරීන්ටත් හොරා රා තනන අයටත් තද දඬුවම් කළොත් හොර රා ඇති වන්නේ ද නැත.

තව ද, කලපනා කළ යුතු කරුණක් වේ. සුරා තහනමෙන් රැකීරක්‍ෂා නැති වන්නේ ජනගහනයෙන් ඉතා සුළු පිරිසකටය. එහෙත් සුරා තිබුණොත් හානි සිදු වන්නේ මුළු රටට ම ය, මුළු ජාතියට ම ය. මේ දෙකෙන් වඩා වැදගත් කුමක් දැයි සිතා බැලිය යුතු ය. යම් කිසි කර්‍මාන්තයෙකින් රජයට පාඩු නම් රැකීරක්‍ෂා නැතිවන අයගේ ගණන් නොබලා එය වසා දැමීම සිරිතෙකි. එසේ නම් මේ කාරණයේදීද සලකා බැලිය යුත්තේ මුළු ජාතියට වන පාඩුව ද? නැතහොත් ටික දෙනෙකුට රැකීරක්‍ෂා නැති වීමෙන් වන පාඩුව ද?

සුරා තහනම නීතියෙන් බැහැ

සුරා තහනම නීතියෙන් කළ නොහැකි බවත් එය සිතින් කළ යුතු බවත් ඇතැම්හූ තියති. මේ කීම බේබද්දන් කියනුවා නම් ඉවැසිය හැක්කාක් මෙන් ම සමාව ද දිය හැකිය. මේ බොළඳ කතාව කියනුවන් අතර උසස් යයි කියා ගන්නා පන්තියේ බොහෝ දෙනෙක් ද වෙති. සෙනෙට් මන්ත්‍රණසභාවේ මේ ගැන සාකච්ඡා වූ අවස්ථාවෙහි දී උසස් යයි පිළිගත් මන්ත්‍රීවරයෙක් තමා සුරා තහනමට එකඟවුවත් එහෙත් එය නීතියෙන් නොකළ හැක්කක් බවත් මහහඬින් ප්‍රකාශ කෙළේය. නීතියෙන් පමණක් එකම අපරාධයක් වත් වැළැක්විය නොහැකිය. මිනීමැරුම – සොරකම හා සූදු ආදියට විරුද්ධව නීති පනවා කොපමණ කල් ගත වූවා ද? එහෙත් වැරදිවල අඩුවක් තිබේ ද? එකී වැරදි දිනෙන් දින ම වැඩිවන බවත් නුවණැති කාටත් වැටහෙනුවා ඇත. එසේ නම් කළයුත්තේ කුමක් ද? මේ වැරදි නීතියෙන් වැලැක්විය නොහැකි යයි එකී නීති නැතිකර දැමීම ද නැතහොත් නීතියත් තිබිය දී එකී වැරදිවලට තිබෙන මාර්‍ග නැතිකර දැමීම ද? කළ යුත්තේ කුමක් දැයි නුවණැතියනට නම් වැටහෙනුවා ඇත.

මහජනයා තුළ කාමකෝප ඉවසීමේ ශක්තිය ඇති කරන තුරු එසේ ම අපරාධවලට පොළඹවන සූදුව සුරාව හා හොර මැරකම් උගන්වන නරක චිත්‍රපට පෙන්වන තුරු නීතියෙන් පමණක් අපරාධ නැති කළ නොහැකිය. ඒ නිසා නීතියත් සමඟ ම අපරාධ කිරීමේ සිත දමනය කිරීමට ද මහජනයාට ඉගැන්විය යුතුය. එහෙත් මත්පැන් නම් නීතියෙන් පමණක් වුව ද නතර කළ හැකි වේ.

කෙනෙකුට මිනී මරන්නට සිතක් පහළ වෙයි. එවිට කොපමණ නීති තිබුණත්, ඔහුට අත්පා තිබේ නම්, අවි ආයුධ තිබේ නම් මැරුම් කන්නට කෙනෙකු සිටී නම් ඒ අපරාධයට ඇති බාධාව කුමක් ද? එහෙත් ඔවුගේ අත්දෙක බැඳ තිබේ නම් අවි ආයුධ කිසිවක් නැත්නම් ඒ අපරාධය කළ නොහේ ම ය. ඒ එසේ වී නමුත් මිනිසුන්ගේ අත් බැඳ තැබීමවත් දඬු මුගුරු අවි ආයුධ නැති කිරීමවත් නොකළ හැකිය. ඒ නිසා එබඳු අපරාධ නැති කිරීමට නීතියත් සමඟ තවත් කළයුතු දෑ ඇත්තේය.

සුරාව නම් නීතිමාත්‍රයෙන් වුව ද නැති කළ හැකිය. යම්කිසි රටෙක සුරා පෙරීමත් පිටරටින් ගෙන්වීමත් සම්පූර්ණයෙන් තහනම් නම් සුරාපනයට හිතක් පහළ වූවත් බොන්නට සුරා ලැබෙන්නේ කොහෙන් ද? හොර සුරාත් අනියම් විශ පාන වර්‍ගත් ලබා ගත හැකැයි කිව හැකිය. නීතිය තද නම් දඬුවම බරපතල නම් රජයේ නිලධාරීන් නිසි ලෙස ක්‍රියා කරනු ලැබේ නම් හොර සුරා ආදිය ඇති නොවේ. ඉදින් හොර සුරා තිබුණත් ලබා ගත හැක්කේ ටික දෙනෙකුට පමණය. ඒ නිසා නීතිය අවශ්‍ය ම ය. සුරා සුලබව තිබියදී එහි වැරදි ම කීමෙන් පමණක් සාමාන්‍ය මිනිහා එයින් මුදවා ගැනීම දුෂ්කරය. කල්පනා කිරීමට උපමාවක් සඳහන් කරනු ලැබේ.

කුඩා ළමයින් සමූහයක් මැද විෂපානයක් වෙයි. මෙය දුටු කෙනෙක් “ළමයිනි, මේ පානය නපුරු වහක්, ඒ නිසා බොන්නට එපා” යයි අවවාද කෙරෙති. මේ අතරට තව කෙනෙක් පැමිණ, “වහක් නම් බැහැර කරනුවා විනා ඔතරම් කතා කරන්නේ කුමට දැ” යි කියමින් විෂපානය සම්පූර්ණයෙන් බැහැර කෙරෙති. මේ දෙකින් වඩා කරුණාවන්ත ඥානවන්ත හිතවන්ත ක්‍රියාව කුමක් දැයි නුවණැති සෑම දෙනාට ම වැටහෙනුවා ඇත.

මත්පැන් පානය කරන්නවුන් මේ කරුණෙහි ලා කුඩා දරුවන් හා සමාන ය. ඔහුන්ට එහි වැරදි කියමින් සිටිනුවාට වඩා එය නැති කර දැමීම ම උසස් වේ. ඒ නිසා බොරු තර්‍ක ඉදිරිපත් නොකොට රටට ජාතියට හිතවත්ව ක්‍රියා කිරීමට අපේ පාලකයෝ සිතට ගනිත්වා.

මනුෂ්‍යයාගේ නිදහස

සුරාව නීතියෙන් තහනම් කිරීම මනුෂ්‍යයාගේ නිදහසට බාධාවක්ය යනු තවත් බොළඳ කතාවෙකි.

මේ කීමේ කිසිම වටිනාකමක් නැත. එලෙසින් සලකා බැලුවොත් මිනිසාගේ නිදහසට බාධා නොවන එක ද නීතියක්වත් නැත. මිනී මැරුමට විරුද්ධව තියෙන නීති මිනීමරුවාගේත් සොරකම් කිරීමට විරුද්ධව තිබෙන නීති සොරාගේත් නිදහසට බාධාවක් නොවේ යයි කිව හැකි ද?

මත්පැන් පානය සොරකම වැනි අපරාධයක් නොවන බවත් විනෝදයට කරන දෙයක් බවත් කිව හැකිය. සුරාපානය කෙළින් ම මහාඅපරාධයක් නූනත් ලොව ඇතිතාක් අපරාධ කිරීමට ප්‍රධාන හේතුව බව කවුරුත් පිළිගන්නා කාරණයෙකි. විනෝදයට බාධාවක් යයි කියතොත් ගංජා පානය කරන්නේත් ගණිකා නිවාස කරා යන්නේත් විනෝදය සඳහා නොවේ දැයි ඇසිය යුතුය.

ගොනාට ද දුරබැහැර සිට වුව ද තමාගේ ගෙදර සොයා ගෙන ආව හැකිය. එහෙත් මත්පැන් බී මත් වූ තැනැත්තාට නම් ගෙදර වත් සොයා ගත නොහැකිය. ගොනාටත් වඩා පහත් වේ. ඒ නිසා සුරා තහනම මිනිසා තිරිසන් තත්ත්වයට වැටීමේ නිදහසට නම් බාධාවෙකි.

තවද පළාත් ඡන්ද විමසීමෙන් සුරාසැල් වැසීමට නීතියෙන් අවකාශ ඇත්තේය. එලෙසින් ඡන්දය විමසා හෝ සුරසැල් වැසීම බොන අයගේ නිදහසට බාධාවක් නොවන්නේ කෙසේ දැයි සිතා බලන්න. ඡන්ද විමසීමෙකින් සියයට හැටක කැමැත්තෙන් සුරාසැල් වැසුවොත් ඉතිරි සතලිස් දෙනාගේ නිදහසට සිදුවූයේ කුමක් ද? සමහරවිට එය වැඩිදෙනාගේ කැමැත්ත නිසා සාධාරණයයි කිව හැකිය. එසේ නම් මුළු ලංකාවේ ම ඡන්ද විමසීමෙන් කැමැත්ත සොයා බැලිය යුතුය. පුරුෂ පක්‍ෂයෙන් සියයට හැත්තෑපහකුත් ස්ත්‍රී පක්‍ෂයෙන් සියයට අනූපහකුත් සුරාවට විරුද්ධව ඡන්දය දෙනුවාට කිසිම සැකයක් නැත. පුහු තර්‍ක ඉදිරිපත් කොට මහ ජනයා නොරැවටිය හැකි බව සිතට ගත යුතුය.

හොර සුරා බහුලවීම

මත්පැන් සම්පූර්‍ණයෙන් තහනම් කළොත් හොර සුරා වැඩි වේ යනු තවත් කීමකි. ඉන්දියාවේ මේ ප්‍රශ්ණය ඇති වූ අවස්ථාවෙහිදී රාජගෝපාලාචාර්‍ය්‍ය තුමා ඊට ඉතා කෙටි වූ ද නියම වූ ද පිළිතුර දුන්නේය. හොර සුරා වැඩි වන්නේ මත් පැන් තහනම් කිරීම නිසා නොව රජයේ වරද නිසාය. රජයේ නිලධාරීන් නිසි ලෙස තමන්ගේ රාජකාර්‍යය කරනුවා නම් හොර සුරා ඇති වන්නේ නැත යනුයි. ලංකාවේ වුවද හොර සුරා යයි යමක් ඇතොත් ඊට හේතුව පාලනයේ දුර්‍වලකම නොවේ ද? සුරා පරීක්‍ෂක දෙපාර්තමේන්තුවත් පොලීසියත් ගම්මුලාදෑනිවරුත් නිසි ලෙස රාජකාර්‍යය නොකරන නිසා යයි කීම වරදක් නොවේ.

තව ද, හොර සුරා බහුල වන්නේ සම්පූර්ණ මැත්පැන් තහනම නිසා නොව අර්ධ තහනම නිසා ය. යම් කිසි ගමක මත්පැන් තහනම් කොට අල්ලපු ගමේ මත්පැනට ඉඩදුන් විට තහනම් ගමේ හොර රා වැඩි වීම පුදුමයක් ද? තහනම් ගමේ සිටින අය රා බොන්නට තහනම් නැති ගමට යෑම පුදුමයක් ද? කොළඹ නගරයේ මත්පැන් තහනම් කළත් නගරයෙන් පිට දෙහිවල හෝ අන් ගමක හෝ මත්පැන් තිබේ නම් එහෙන් මත්පැන් ගෙනවුත් නගරයේ හොරෙන් විකිණීම වත් නගරයේ සිටින බේබද්දන් එහි යෑම වත් පුදුමයක් ද? මෙය අර්ධ තහනමේ අනිෂ්ට විපාක නොවේ දැයි නුවණැති කාටත් වැටහෙනුවා ඇත.

යම් කිසි රටෙක සම්පූර්ණයෙන් සුරා තහනමක් ඇතොත් හොර රා ඇති වන්නේ කෙසේ ද? හොර රා ගෙනෙන්නේ කොහෙන් ද? විශේෂයෙන් ලංකාව වැනි මුහුදෙන් වටවූ රටකට හොර රා ගෙන්නන්නේ කෙසේ ද? ඉතා අමාරුවෙන් ගෙනාවත් පාලන සංවිධානය හොඳ නම් එය දියුනු වන්නේ කෙසේ ද? සඟවා ගෙන කෙතෙක් කල් සිටිය හැකි ද?

නා නා විධ සුරා

මත්පැන් තහනම් කළ විට ඒ වෙනුවට නා නා විෂ පාන බහුල වන බව ද ඇතැම්හු කියති. එය ද මත්පැන් තහනම නිසා නොවන බව ඉතා ප්‍රකට කාරණයෙකි. මෙකල මෙරට හා පිටරට මත්පැන් ඉතා සුලබය. ඒ අතර එකී විෂපාන වර්‍ග ද 26 ක් වී තිබේ. මෙතෙක් මෙය දියුණුවී ගියේ මත්පැන් දුර්‍ලභ නිසා නම් මුලින් කී කාරණය පිළිගත හැකිය. මීට ප්‍රධාන හේතුව පාලකයින්ගේ දුර්‍වල කමයි. පාලකයන්ගේ කාර්‍ය්‍යාල සමීපයෙහි ම එබඳු විෂ පාන තිබුනත් ඒ ගැන සොයා බලන්නේ කී දෙනෙක් ද? දැන ගත්තත් යම් වාසි නිසා නොදන්නා ලෙසට ඉන්නා පාලකයන් සුලබ නැද්ද? බොහෝ පාලකයන් කරනුයේ කලබල ඇති වූ විට සඟවා ගත නොහැකි නිසා ම සොයා බැලීම ය. මෙබඳු අක්‍රමිකතා නිසා ම විෂ පාන වැඩි වෙනුවා විනා සුරා තහනම නිසා නොවේ.

ලංකාවේ ගණිකා නිවාස පැවැත්වීම නීතියෙන් තහනම් ය. එහෙත් අනියම් ගණිකාවාස නොතිබුණා ම නොවේ. ඒ අතර පසුගිය යුද්ධ කාලයෙහි අනියම් ගණිකාවාස බහුල විය. මෙය වැළැක්වීමට ප්‍රතිකර්‍මයක් සිතූ එක්තරා මන්ත්‍රීවරයෙක් එවකට තුබුණු රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී අනියම් ගණිකා නිවාස නැති කිරීමට රජය විසින් නියම ගණිකාවාසවලට අවසර දිය යුතු යයි යෝජනා කෙළේය. එයට විරුද්ධ වූ අනෙක් මන්ත්‍රීවරුත් රට වැසියාත් ඒ යෝජකයාට තදින් දෝෂාරෝපණය කළහ. ඒ ගැන රජයේත් වැසියාගේත් අදහස වූයේ අනියම් ගණිකාවාස නැති කිරීමට නියම ගණිකාවාස ඇති කිරීම නොව තිබෙන එබඳු තැන් ද නැතිකර ගත යුතුය යනුයි.

සුරා තහනම අසාර්‍ථකයි

ඇමරිකාවේ ත් ඉන්දියාවේ ත් සුරා තහනම අසාර්‍ථක වීය. ඒ නිසා ලංකාවේ ද අසාර්‍ථක වෙනවා ම යි ඇතැම්හු අනාගත වාක්‍ය කියති.

ඇමරිකාවේ සුරා තහනම සාර්‍ථක වූවා නම් එය ලොව මහා පුදුම වලින් එකක් වෙනුවා ඇත. සුරාපානය රුචි කරන සෘතුගුණයක් හා එබඳුම පරිසරයක් ඇති සුරාවෙහි දොස් නිසිලෙස නොඋගන්වන ආගමක් අදහන ඇමරිකානුන් අතර සුරාව වළක්වා ගන්නේ කෙසේ ද? එහෙත් ඔවුන්ගේ බලවත් උත්සාහ නිසා එක්තරා සැනසිල්ලක් ලබා ඇත්තේය.

ඉන්දියාවේ සුරා තහනම අසාර්‍ථක යයි කීම අසත්‍යයෙකි. එසේ කියන්නේ මෙරට සිටින මත්පැන් මිතුරන් ය. බොම්බායේ සියයට අසූපහක් පමණත් මදුරාසියේ ආදී අනෙක් පලාත්වල ද ඊට සමාන ප්‍රමාණයක් සාර්‍ථක වී තිබෙන බව එරට පාලක පක්‍ෂය කියයි. ඒ රටේ අය එකවරට ම සම්පූර්‍ණ ප්‍රතිඵල බලාපොරොත්තු නොවන්නාක් මෙන් ම එසේ නොවීමට ප්‍රධාන හේතු ද කීපයෙකි.

ඉන්දියාව විශාල රටෙකි. සුරා තහනම් කර තිබෙන්නේ ප්‍රදේශ කීපයක ය. ඒ තහනම් ප්‍රදේශයන් වටේට ම සුරා තිබෙන හෙයින් හොර සුරා හා අයථාක්‍රම ද බහුල වීය. එහෙත් අසාර්‍ථක නොවේ. එකී ප්‍රදේශවල සුරාපානය සඳහා අවසර පත්‍ර දීමෙක් ද තිබේ. විශේෂයෙන් විදේශිකයින්ට අවසර පත්‍ර දෙනු ලැබේ. අවසර පත්‍ර ඇති අයට මත්පැන් සුලබය. ලංකාවෙන් යන සුරා මිත්‍රයෝ ද එහිදී අවසර පත්‍ර ලබා ගෙන මත්පැන් බොති. ඔවුන්ට මත්පැන් උවමනා තරම් ලැබුණු නිසා ආපසු පැමිණ ඉන්දියාවේ සුරා තහනම අසාර්ථක යයි කියති. ඉදින් ඉන්දියාවේ එය අසාර්‍ථක නම් මුළු රටේ ම සුරා නැති කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට එරට පාලකයෝ සිතන්නාහු ද?

භාරතරත්න ග්‍රී නේරු තුමා ආදී ජනනායකයෝ දූරදර්ශී කල්පනාකාරයෝ ය. ඒ අය සුරා තහනමෙන් හදිසි ප්‍රතිඵල බලාපොරොත්තු නො වෙති. අවුරුදු විස්සෙකින් හෝ ප්‍රතිඵල ලැබෙතොත් ප්‍රමාණවත් ය යනු ඔවුන්ගේ අදහස ය. එය එසේ වෙනුවාට කිසි ද සැකයක් නැත. ඒ නිසා ඉන්දියාවේ ආණ්ඩුව මුළු රටේම සුරා නැති කිරීමේ ව්‍යාපාරයක් සකස් කොට අවසාන ය. මේ ව්‍යාපාරය 1957 වර්‍ෂයෙහි ආරම්භ කරන්නට ද නියම කර‍ගෙන තිබේ.

ඇමරිකාවේ හෝ ඉන්දියාවේ හෝ සුරා තහනම අසාර්‍ථක වීම ලංකාවේ ද අසාර්‍ථක වීමට කාරණයක් නොවේ. ලංකාවේ සෘතුගුණය ද පරිසරය ද ශිෂ්ටාචාරය ද ප්‍රධාන ආගම ද සුරාවට තදින් ම විරුද්ධ ය. ලංකාවේ බොහෝ කලෙක පටන් වාසයකරන හින්දූන් හා ඉස්ලාම් භක්තිකයෝ ද සුරාවට පක්‍ෂ නැත.

සුරාවට තදින් ම විරුද්ධ බුද්ධාගම හා බෞද්ධ ශිෂ්ටාචාරය ලංකාවේ පැතිරෙන්නට වී අවුරුදු දෙදහසකටත් අධික ය. පුරාණ කාලයේ ද සුරාපානය කරන්නවුන් සිටියත් මෙකල මෙන් බේබදුකමක් කිසි විටෙක තිබුණේ නැතැයි කිව යුතුය. බෞද්ධයාගේ නිත්‍ය ශීලයෙහි රහමෙර පානයෙන් වැළැකීම ද එක සිල්පදයෙකි. මෙබඳු රටෙක සුරා තහනම සාර්‍ථක කර ගැනීම ඉතා පහසු ය.

සුරා තහනමේ ප්‍රතිඵල

සුරා තහනමේ ප්‍රතිඵල ඉක්මනින් ලබා ගත නොහැකිය. සමහර විට අවුරුදු දහයක් දොළසක් ගතවන්නටත් පිළිවන. නොබීම බැරි අයට අවසර පත්‍ර දීමේ වැඩපිළිවෙළක් ද ඇතිවිය යුතුය. මුලදී අවසර පත්‍ර වලින් සුරා බොන්නන් දහස් ගණනක් විය හැකිය. එහෙත් එය ක්‍රමයෙන් අඩු වෙනුවා ඇත. අබිං කෑමට විරුද්ධව නීති පැනෙව් කාලයේ දී අවසර පත්‍ර මගින් අබිං කෑවවුන්ගේ සංඛ්‍යාව තිස්තුන් දහසක් (33000) ටත් අධික විය. එහෙත් එය ක්‍රමයෙන් අඩු වී ගොස් දැනට තිහට (30) බැස තිබේ. සුරාව පිළිබඳ ප්‍රතිඵල ද බලා පොරොත්තු විය යුත්තේ මෙ ලෙසිනි.

 

1956 දී පළ කැරුණු ‘සුරාපානය හා විවිධ මත’ පොතෙනි

ප්‍රඥාප්‍රභා 8

 

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.