කෙනෙකුට ඊ පහරක් වදී. එය ශරීරය විදගෙන යයි. හිතවන්තයෝ ඔහු වටා රැස්වෙති. අදූරදර්ශීහු තර්ක කරන්නට පටන් ගනිති. මේ ඊ තලය ආවේ කොහෙන් ද? මේ ඊතලය තනා ඇත්තේ තවර දැයෙකින් ද? කවර කම්හලෙක ද? මෙ සේ තර්ක කෙරෙමින් සිටින අතර තුවාලකරුවා මිය යයි. අදූරදර්ශී හිතවන්තයෝ පසු වැ කනගාටු වෙති. මේ පිළිබඳ වැ බුදුරජාණන් වහන්සේ ගේ උපදේශය මීට ඉඳුරා ම විරුද්ධ ය. වැඩක් නැති තර්ක කෙරෙමින් සිටින විට ලෙඩා මැරෙනවා ය. එහෙයින් කළ යුත්තේ තර්ක නතර කොට ඊය ගලවා බෙහෙත් කොට ලෙඩා ගේ ජීවිතය බේරාගැනීම යි යනු උන් වහන්සේ ගේ අවවාදය යි.
ජාතික විපත්තිවල දී දූරදර්ශී ඥානවන්තයන් විසින් ක්‍රියා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට බව නුවණැති කාටත් වැටැහෙනවා ඇත. පුරාණ කාලයෙහි සිංහලයන් ජාතික විපත්ති අවස්ථාවන්හි දී වාද බේද දුර ලා එක්සත් වැ ක්‍රියා කොට රට ජාතිය ආගම හා භාෂාව ආරක්ෂා කළ සැටි ඉතිහාසය කියයි. විශේෂයෙන් දුටුගැමුණු, වළගම්බා, මහා විජයබා, ගජබා ආදී රජවරුන් ගේ කාලයන්හි සතුරු බල මර්දනය කොට සිංහලකම රැකගත් සැටි සිංහලයන් ගේ සිහියට ගන්වමි. මේ හැම අවස්ථාවක දී ම එක්සත් වැ එක්සිත් වැ ක්‍රියා කෙළේ සිංහලකම රැකගන්නට විනා අසිංහලන් නසන්නට නොවන බව නො පැකිළව පවසමි. හැබැයි, ඒ හැම අවස්ථාවක දී ම සිංහලයන් නසන්නට ආ අසිංහලයන් නැසෙන්නට ඇත. එහෙත් මෙකල එබඳු සටන් අවශ්‍ය නැත. උවමනා සිංහලයන් ගේ සමඟිය යි. සිංහලයෝ සමඟි නම් කිසි දු සටනක් නැති වැ සිංහලකම රැකගත හැකි වෙයි. අසිංහලයන් ගේ සාධාරණ අයිතිවාසිකම් රැක දිය හැකි වේ.