Skip to main content

සිංහල සමඟිය ජාතික සමඟියේ පදනම යි …

කෙනෙකුට ඊ පහරක් වදී. එය ශරීරය විදගෙන යයි. හිතවන්තයෝ ඔහු වටා රැස්වෙති. අදූරදර්ශීහු තර්ක කරන්නට පටන් ගනිති. මේ ඊ තලය ආවේ කොහෙන් ද? මේ ඊතලය තනා ඇත්තේ තවර දැයෙකින් ද? කවර කම්හලෙක ද? මෙ සේ තර්ක කෙරෙමින් සිටින අතර තුවාලකරුවා මිය යයි. අදූරදර්ශී හිතවන්තයෝ පසු වැ කනගාටු වෙති. මේ පිළිබඳ වැ බුදුරජාණන් වහන්සේ ගේ උපදේශය මීට ඉඳුරා ම විරුද්ධ ය. වැඩක් නැති තර්ක කෙරෙමින් සිටින විට ලෙඩා මැරෙනවා ය. එහෙයින් කළ යුත්තේ තර්ක නතර කොට ඊය ගලවා බෙහෙත් කොට ලෙඩා ගේ ජීවිතය බේරාගැනීම යි යනු උන් වහන්සේ ගේ අවවාදය යි.

ජාතික විපත්තිවල දී දූරදර්ශී ඥානවන්තයන් විසින් ක්‍රියා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට බව නුවණැති කාටත් වැටැහෙනවා ඇත. පුරාණ කාලයෙහි සිංහලයන් ජාතික විපත්ති අවස්ථාවන්හි දී වාද බේද දුර ලා එක්සත් වැ ක්‍රියා කොට රට ජාතිය ආගම හා භාෂාව ආරක්‍ෂා කළ සැටි ඉතිහාසය කියයි. විශේෂයෙන් දුටුගැමුණු, වළගම්බා, මහා විජයබා, ගජබා ආදී රජවරුන් ගේ කාලයන්හි සතුරු බල මර්දනය කොට සිංහලකම රැකගත් සැටි සිංහලයන් ගේ සිහියට ගන්වමි. මේ හැම අවස්ථාවක දී ම එක්සත් වැ එක්සිත් වැ ක්‍රියා කෙළේ සිංහලකම රැකගන්නට විනා අසිංහලන් නසන්නට නොවන බව නො පැකිළව පවසමි. හැබැයි, ඒ හැම අවස්ථාවක දී ම සිංහලයන් නසන්නට ආ අසිංහලයන් නැසෙන්නට ඇත. එහෙත් මෙකල එබඳු සටන් අවශ්‍ය නැත. උවමනා සිංහලයන් ගේ සමඟිය යි. සිංහලයෝ සමඟි නම් කිසි දු සටනක් නැති වැ සිංහලකම රැකගත හැකි වෙයි. අසිංහලයන් ගේ සාධාරණ අයිතිවාසිකම් රැක දිය හැකි වේ.

මෑත යුගයෙහි ජාතික විපත්ති අවස්ථාවල දී වාද බේද දේශපාලන ප්‍රතිපත්ති ආදි සියල්ල ම අමතක කොට සමඟි වැ ක්‍රියා කළ අවස්ථා කිහිපයක් සඳහන් කරන්නේ සිංහලයනටත් දූරදර්ශී වැ කල්පනා කිරීමට ය. දෙ වැනි ලෝක යුද්ධය ආරම්භයේ දී හිට්ලර්ගේ ආක්‍රමණය යුරෝපයෙහි අන්‍ය ‍ජාතිකයනට බලවත් තර්ජනයක් විය. එවකට එංගලන්තයෙහි ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකක් විය. අන්‍ය රටවල ද විවිධ දේශපාලන වාද රාශියක් විය. එහෙයින් දූරදර්ශී ඔවුන් කල්පනා කළේ දැන් දේශපාලන වාද හෝ දේශපාලන ප්‍රතිපත්ති හෝ ගැන තර්ක කෙරෙමින් සිටීම නො වැ වාද බේද අමතක කොට ජාතිය බේරාගැනීම ගැන ය. පළමු වැ එංගලන්තයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ විසින් ප්‍රතිපත්ති අමතක කොට සමඟි වැ සභාග රජයක් පිහිටුවා ගන්නා ලදි. අනතුරු වැ අසල්වැසි රටවල් ද වාද භේද අමතක කොට සමඟි වැ මිත්‍ර සංවිධානයක් පිහිටුවා ගන්නා ලදි. දේශපාලන ප්‍රතිපත්ති අතින් ඇමරිකාව, එංගලන්තය හා රුසියාව ඉඳුරා ම වෙනස් ය. එහෙත් දේශපාල ප්‍රතිපත්ති ගැන තර්ක කිරීමට වඩා ජාතික විනාශය වළක්වාගැනීම උසස් කොට සැලැකූ රුසියාව ද මිත්‍ර සංවිධානයට එකතු විය. දේශපාලන ප්‍රතිපත්ති රකින්නට ගොස් ජාතිය විනාශ කැරැගැනීමට තරම් මෝඩයන් නොවූ ඇමරිකානු එංගලන්ත හා රුසියානු රටවැසියෝ හතුරු ආක්‍රමණ මර්දන කොට විජයග්‍රහණය කළ හ.

පසුගිය දා උතුරේ දෙමළ සහෝදරයන් යාපනේ නගරාධිපති උපනගරාධිපති තෝරා පත් කැරැගත් සැටි සිහියට ගන්න. ද්‍රවිඩ සංගමයත් පෙඩරල් පක්‍ෂයත් දේශපාලන ප්‍රතිපත්ති වශයෙන් ඔවුනොවුනට විරුද්ධ පක්‍ෂ දෙකකි. පසුගියදා පැවැති යාපනේ නාගරික මන්ත්‍රී තරගයේ දී යට කී දෙපක්‍ෂයට ම තනි පාලනයත් ගෙන යන්නට තරම් ආසන ගණනක් දිනාගත නොහැකි විය. වැඩි සංඛ්‍යාවක් නිදහස් අපේක්‍ෂකයෝ වූ හ. සිංහලයනට තරම් හොඳ මොළ නැති වුවත් ද්‍රවිඩයෝ තමන්ගේ මොළ හොඳින් පාවිච්චි කරන්නෝ ය. එහෙයින් ද්‍රවිඩ සංගමයත් පෙඩරල් පක්‍ෂයත් ඔවුනොවුන් ගේ දේශපාලන මතභේද අමතක කොට එකමුතු වී නගරාධිපති තෝරාගන්නා ලදි. ඔවුනට උවමනා කරන්නේ තමන්ගේ ජාතිය, පළාත, නගරය හා ගම දියුණු කැරැගන්නට යි. එහෙයින් නිදහස් අපේක්‍ෂකයන් ද පිට යන්නට ඉඩ නොදී ඔවුනතුරෙන් උපනගරාධිපති තෝරා ගන්නා ලදි.

ජාතික විපතෙහි දී ඇමරිකා – එංගලන්ත – රුසියා වැසියනට හා ලංකාවේ ද ද්‍රවිඩයනටත් මුස්ලිම්වරුනටත් දේශපාලන මතභේද දුර ලා සමඟි වැ කටයුතු කරන්නට පිළිවන් නම් ජාතික විපතෙහි දී සිංහලයනට පමණක් දේශපාලන මතභේද දුර ලා සමඟි වැ කටයුතු කරන්නට නොහැකි මන් දැයි සිංහල දේශපාලකයන් ගෙන් සිංහල ජනතාව ඇසිය යුතු ය. පින්වත් සිංහලයෙනි, ද්‍රවිඩ – මුස්ලිම් සහෝදරයන් සමඟ අපේ කිසි ම විරුද්ධකමක් නැති බව පැහැදිළි වැ ම කියන්න. සිංහලයන් ගේ සමඟිය අනුන් හට පහර ගැසීමට නෙ‍‍ා වැ සිංහලයාට ඇති එක ම රට රැකගැනීමට බව කියන්න.

පින්වත් සිංහල සහෝදර සහෝදරියෙනි, සිංහලයන් භේද භින්න වැ සිටිමින් කවර සිංහල පක්‍ෂයක් හෝ අසිංහලයන් ගේ සහායයෙන් ඉදිරි අවුරුදු පහත් ලක් රජය කළොත් ඔබේ දරුවනට මේ සිංහල රටෙහි හිස ඔසවා වසන්නට ලැබෙන්නේ නැත. හීන දීන නිවටයන් වැ වාසය කරන්නට සිදු වෙනව‍ා ඒකාන්න යි. ඉදින් ඔබේ දරුවන් හීන දීන නිවටයන් වැ වාසය කරනවාට කැමැති නම් දේශපාලන පක්‍ෂ බදාගෙන සිටින්න. ඉදින් ඔබේ දරුවන් මේ සිංහල රටෙහි සිංහයන් මෙන් වාසය කරනවාට කැමැති නම්, සදහට ම නෙ‍ාහැකි නම් ටික කලකට වත් දේශපාලන මතභේද දුර ලා සමඟි වැ කටයුතු කරන්නැ යි සිංහල ජනතාව එක හඬින් කියා සිටිය යුතු ය. මේ කරුණු හොඳින් නුවණින් සලකා බලා පහත සඳහන් යෝජනාව මන්ත්‍රයක් මෙන් මතුරා එක ම සිංහල හඬ මෙන් සිරිලක පුරා පැතිරවිය යුතු ය.

කවර සිංහල පක්‍ෂයක් හෝ ලබන මැතිවරණයෙහි දී ආසන හැත්තෑ පහක් දිනාගෙන තනියම රජයක් පිහිටුවන්නට පිළිවන් නම් සිංහල ජනතාව සතුටු වෙයි. එසේ හැකි වේවා යි ප්‍රාර්ථනා කරයි. ඉදින් එසේ නොහැකි වුවොත් වැඩි ආසන ගණනක් දිනන සිංහල පක්‍ෂය පළමු වැ ඉතිරි සිංහල පක්‍ෂවලට අඬ ගහනවා ය යි ද, දෙවනු වැ ද්‍රවිඩ හා මුස්ලිම්වරු ද සහාය කරගන්නවා යයි ද, එසේ අඬ ගැසූ විට ඉතිරි සිංහල පක්‍ෂ ද ඒ ඉල්ලීම පිළිගෙන රජය පිහිටුවීමට සහාය දෙනව‍ා ය යි ද මැතිවරණයට පෙර පොරොන්දු කරවාගත යුතු ය යනු යි.

සිංහලයෙනි සමඟි වවු, සමඟි වවු, සමඟි වවු, සිංහලයා ගේ සමඟිය ජාතික සමඟියේ අත්තිවාරම යි.

1969 දී සම්පාදිත ප්‍රකාශනයෙකිනි.

මෙහි මුල් ලිපිය ‘ප්‍රඥා ප්‍රභා’ ආශිර්වාද කලාපයෙහි පළ විය.

ප්‍රඥාප්‍රභා 2

 යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.