Skip to main content

සැමට සෙත සලසන ගම්බාර දෙවියෝ…

දෙවියෝ යක්කු නෑ කියලා කියනවනම් ඉතින් බුදු බණත් බොරු වෙන්න ඕන කියලා මට හිතෙනවා . මොකද ආලවක , කාලි , වගේ යක්කුත් සක්‍රයා , උපුල්වන් , වෛශ්‍රවණ වගේ දෙවිවරුත් බුදු හාමුදුරුවන්ගේ දේශනාවල සඳහන් වෙනවා . ඉතින් මෙයාලා දැන් කාලේ කෙසේ වෙතත් ඉස්සර කාලේවත් හිටියා කියලා බෞද්ධ අපිට පිළිගන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ .

උප්පැන්න සහතිකේ ලියවිලා තියෙන හැටියට ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේ කියලා කියන අර්ධදේව තත්වයේ ඉන්න මේ දෙවියන් ගැන ගොඩක් දෙනෙක් ඉන්නේ හරිම බයෙන් . අඩුම තරමේ මේ පොස්ට් එක කියවලාවත් ඒ බය නැති කරගන්න කියලා මම කියන්නේ . මොකද මේ අමනුස්සයෝ මිනිස්සු වගේ නෙවේ . කිව්වොත් කිව්වා , අනික තමයි කොයික කරත් සාධාරණේට වැඩ .

අර්ධ දේව කියන්නේ මනුස්සයින් හෝ යක්ෂයින් වෙලා ඉඳලා වෙන වෙන ලොකු දෙවිවරුන්ගෙන් වරම් අරගෙන දේවත්වයට පත්වෙච්ච අයට .

දෙවියොත් එක්ක ගනුදෙනු වලදී වැඩිපුර ජෝක්ස් මුල් කරගන්න මමනම් කැමති නෑ . ඒක නිසා පෝස්ට් එක කියවන අයට මේක බොරින් නම් සොරි වෙන්න ඕන හොඳේ ………!

ඔන්න එහෙනම් හූනියම් දෙයියන්ගේ කතාව පටන් ගන්නවා . සාධුකාර දීලා බය අය ඉන්නවනම් ඉතිපිසෝ ගාථාවත් කියලා කියවන්න .

පුරාවෘත වල කියන විදියට ඉතාමත් ඈත අතීතයේ , ඒ කියන්නේ අපේ ගෙවල් ගාව ඉඳලා සිංදු අයියගේ ගෙවල් ගාවට විතර දුර ඈත අතීතයේ ඉන්දියාවේ වඩිග කියන දේශයේ වඩිග කියලා රජකෙනෙක් රජකම් කරනවා . මෙතුමාගේ දේවිය තමයි යවුදගිරි බිසව .

මේ යවුදගිරි බිසව ඉතාමත්ම රූමත් දේවියක් . දවසක් අහසේ ගමන් කරන මහේශාක්‍ය දෙවිකෙනෙක් මේ බිසවගේ ලස්සනට මන්මත්වෙලා දේවියගේ ඇඟට ආවේසවෙලා මෙව්වා එකක් කරනවා . ඉතින් දෙවියා ආවේස උන නිසා යවුදගිරි බිසවට සිහිනැතිවෙනවා . සිහිනැතුව ඉන්න බිසව සනීප කරගන්න ඕන නිසා වඩිග රජතුමා කරන්නේ ඍෂිවරු ගෙන්නලා දිව්‍ය මන්තර ජපකරලා දේවියට සිහිය ලබාගනන්වා . පස්සේ තමයි දැනගන්නේ දේවියට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා . රජතුමා ගොඩක් සතුටුවෙලා බමුණන් පිරිසක් මාලිගාවට ගෙන්නලා දේවියට සෙත් ශාන්ති කරවනවා .

ටික ටික ගැබ මෝරනකොට දේවියගේ තනපුඩු කලුපාටවෙලා කිසිමදෙයක් කන්නේ නැතුව ඇඹුල් වර්ග , දිවුල් කන්න ඕන කියලා දොළදුක් ඇතිවෙනවා . මේ දොළදුක් කොහොම හරි ගොඩ දැම්මා කියමුකෝ . ඒත් තව දොළක් ඇතිවෙනවා . ඒ තමයි ස්වර්ණාභරණයෙන් සැරසිලා නයි, සර්පයින් ඇඟේ පැළඳගෙන නුවර ඇතුලේ ගමන් කරන්න ඕන කියන දොළ දුක . රජතුමාට කේන්ති යනවා . එහෙම වෙලා රජතුමා මේ බිසව මරන්න නියෝග කරනවා . ඒත් යවුදගිරි බිසව කියනවා තමා ගැබ්බර නිසා මරන්න එපා කියලා . පස්සේ රජතුමා කරන්නේ බිසව මාලිගාවෙන් පිටමන් කරලා තියන එක . මාස ගණන සම්පූර්ණවෙලා ඔන්න පුත් කුමාරයෙක් ඉපදෙනවා . රජතුමා මේ කුමාරයට බමුණන් ලවා නමක් දම්මනවා . ඒ තමයි ඔඩ්ඩි වඩිග කුමාරයා කියන නම .

බමුණෝ ඊට පස්සේ මේ කුමාරයාගේ ඇඟේ ලකුණු බලලා කියනවා මෙන්න මෙහෙම

” මහ රජ , මේ කුමරුවා මහානුභාව සම්පන්නය , සොලොස්වස් පිරුණු කල්හී තොපවහන්සේද පරිවාර රාජ්‍යන්වල රජවරුද මරා වඩිග දේශයම අත්පත්කරගනී . පසුව ලංකාවට ගොඩබැස අමු මිනීමස් කා වාසය කරයි ”

රජතුමා මේ ගැන බොහොම උදහස් වෙනවා . මොකද ඒ කාලේ හිටියේ තිරශ්චීන විද්‍යාවෙ කෙල පැමිණි උදවිය . ඒ නිසා රජතුමා දන්නවා එයාලා මෙහෙම අනාවැකි කිව්වොත් අනිවා බඩු හම්බෙනවා කියලා . රජතුමා කියනවා මේ කුමාරයාව මරවන්න කියලා . ඒත් රජතුමාටම දුක හිතෙනවා . තමාගේ දරුවා නිසා කොහොම මරන්නද . රජතුමා ළමයාව හදාගන්නවා .

ඔන්න අවුරුදු දාසයක් ගියා කියමුකෝ . දවසක් මේ වඩිග කුමාරයා කැලයේ ඇවිදින්න යනවා . ඒ යනකොට වේ හුඹහක් දකිනවා . මේ හුඹහේ ඉන්නවා නයි . වඩිග කුමාරයා මේ නයි අල්ලගෙන උන්ගේ දල කඩලා දාලා විස උරා බොනවා . ටික ටික නයි විස මේ කුමාරයාගේ ශරීරයට ඇතුල් වෙනවා . ඔන්න දැන් තමයි වැඩ පටන් ගන්නේ . දල කඩපු නයි , මේ කුමාරයා තමාගේ ඇඟ වටේට ඔතාගන්නවා . පොළොංගු මාපිල්ලු අල්ලගෙන බෙල්ලේ ඔතාගන්නවා .

තමා උරා බීපු නයි විස වැඩ කරලා මේ කුමාරයා එකපාරටම යක්‍ෂාවතාරය බවට පත්වෙනවා . තමා නයින්ගේ කඩා දාපු දල , පොලොන් දල , කරවැල් දල , මාපිල් දල , උගුරැස්ස කටු , දෙහි කටු , තිබොල් කටු අරගෙන මාලයක් වගේ අමුනගෙන බෙල්ලේ එල්ල ගන්නවා . දැන් යක්‍ෂාවතාරය ගත්ත මේ කුමාරයා කරන්නේ තමාගේ පියා සහ පරිවාර ප්‍රාන්ත රජවරු මරා දමන එක . වඩිග දේශය සහමුලින්ම මේ යක්ෂයාගේ ක්‍රියාවෙන් බයට පත්වෙනවා . කුඩා දරුවන් මුල කාලේ ආහාරයට ගත්තත් පස්සේ පස්සේ මිනිස්සු මර මර කන්නත් මේ යක්ෂයා පටන් ගත්තා . මෙන්න මෙහෙමයි සූනියම් යක්ෂයා ඇතිවෙන්නේ .

දැන් යකාට තමාගේ සේනාව වැඩි කරගන්න ඕන . ඉස්සෙල්ලම මේ යකා යනවා වෙසමුණි රජ්ජුරුවෝ හම්බෙන්න . වෙසමුණි විමානයේ තියෙනවා ඇතුල්වෙන තැන ගල් දොරක් . මේ යකා මේ ගල් දොරට පයින් ගහලා කඩලා දානවා . ඒ සද්දෙට වෙසමුණි රජ්ජුරුවොත් භය වෙනවා . වෙසමුණි රජ්ජුරුවෝ අහනවා මෙච්චර ලොකු සද්ද දාලා වැඩ පෙන්නන්න කාරණාව මොකක්ද කියලා . සූනියම් යකා කියනවා ” වඩිග දේසේ වඩිග රජ්ජුරුවන්ට ජාතක උන යවුදගිරි බිසවගේ කුසෙන් උපන් ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් යක්ෂයානම් මමය . මට නරලොව මිනීමස් කන්නට වරමක් ඕනය ” කියලා . වෙසමුණි රජුරුවෝ වරම දෙනවා . ඊට පස්සේ මේ යක්ෂයා යනවා මහකෙල නාගරාජයා හම්බෙන්න . ඒ නාගරාජයාගේ දල හතරේ වාසය කරන යක්ෂ දූවරු හතරදෙනෙක් ඉන්නවා . තකරී , මකරී , යාමී , යමදූතී කියන්නේ ඒ හතරදෙනා .

සූනියම් යකා මේ හතරදෙනා තමාගේ සේනාවට එකතු කරගන්නවා .ඊටපස්සේ තව යක්ෂණියෝ අටදෙනෙක් ඉන්නවා අයිලක් කණ්ඩී , මයිලක් කණ්ඩී , වචක්කණ්ඩී , තොටක්කණ්ඩී , අසේනි , විසේනි , කාලරාත්ති , තස්මාදේවි කියලා . මේ අයත් ඒ අයගේ පිරිවරත් තමාට එකතු කරගන්නවා . මෙහෙම කරලා මෙයා යනවා තවුතිසාවට ; ගිහින් එහෙ දෙවිවරුත් බියගන්නවලා සිරාට්ටා , වාරට්ටා , ගොරාට්ටා කියන දෙවිවරුත් තමාගේ සේනාවට එකතු කරගන්නවා .

දැන් සූනියම් යකාට හොඳ සේනාවක් ඉන්නවා . මෙයා දැන් පොලවට එනවා . ඇවිත් කරන්නේ විශාලා මහනුවර ගම් නියම් ගම් හැම එකකම ඉන්න මිනිස්සු ළදරුවෝ ගෑණුලමයි මර මර මිනීමස් කනඑක . ගෙවල් වල ඉන්න අත දරුවෝ හිටි හැටියේම අතුරුදහන් වෙනවා . තනියම පාරවල් වල යන එන අය අතුරුදහන් වෙනවා . අන්තිමට ඇටකටු විතරයි ඉතුරුවෙන්නේ .

මේ ගමේ අයට මේක හරිම ප්‍රශ්නයක් . ගමේ ඉන්න මන්තර ගුරුකම් දන්න අය මොකක් කලත් මේ යකාව බන්ධනය කරන්න බෑ . අන්තිමට ගමේ අය තෙලිඟු රටෙන් අතිදක්ෂ , මන්තර ගුරුකම්වල කෙල පැමිණි ඇදුරෙක් එක්ක එනවා .

මේ ඇදුරා යකාව බන්ධනය කරන්න මන්තර අලුතෙන් හදනවා . ඔය අපේ සිංදු අයියා සොෆ්ට්වෙයා ලියනවා වගේ වැඩක් මේක . මන්තර හද හද පුස්කොල පොත්වල ලියනවා . යකා අල්ලන සොෆ්ට්වෙයාර් එක මෙහෙම ලියලා ලියලා බලනකොට මන්තර ලක්ෂ ගණනක් ඒ ඇදුරා අතින් ලියවිලා .

දැන් මේ මන්තර ජප කර කර අදාළ ක්‍රියාව කරගෙන යනකොට සූනියම් යකා එකපාරටම මේ පුස්කොල පොත අතරට ඇදිලා ගියා හරියට ඇලඩින්ගේ පහනේ බූතයා පහනට යනවා වගේ . දැන් යකා හිර උනා . මේ පොත දිගෑරුනොත් යකා ආයෙත් එලියට එනවා . ඒක නිසා කරන්නේ රත්තරං හුයකින් ( නූලකින් ) මේ පොත තදට ගැටගහලා ගැට හිර කරන එක .

එදා ඒ ඇදුරා මේ පුස්කොලපොත යකත් එක්කම මුහුදේ පාකරලා යවනවා . පුස්කොලපොත ලංකාවේ දකුණු වෙරළට පාවෙලා එනවා .අන්න එහෙමයි සූනියම් යකා ලංකාවට සැපත් වෙන්නේ . මේ පුස්කොල පොත මාතර ප්‍රදේශයේ පුද්ගලයෙක් අරගෙන ගිහින් ගෙදර තියාගන්නවා . එයාට දෙවිවරු හීනෙන් කියනවා මේ පුස්කොල පොත වීවෘත කරන්න එපා කියලා . ඒත් හේතුව කියන්නේ නෑ . මේ පුද්ගලයත් පොත විවෘත නොකර රහසේම තියාගන්නවා .

මේ අතරේ කුලියාපිටිය කියන ගමේ ඉන්න බොහොම දැහැමි උපාසක කෙනෙක් දෙවිනුවර දේවාලයට වන්දනා ගමනක් යනවා . මේ උපාසක මහත්තයට අර පුස්කොල පොත හම්බෙච්ච පුද්ගලයා මීට් වෙනවා . පස්සේ උපාසක මහත්මයා මේ පුස්කොලපොත තියෙන ගෙදර රෑ නවතිනවා .

පුස්කොලපොත ගැන මේ උපාසක මහත්තයට කිව්ව අර පුද්ගලයා මේ පොත දිගාරින්නේ නෑ කියන පොරොන්දුව පිට පොත උපාසක මහත්මයාට ගෙනියන්න දෙනවා . එහෙම දෙන්නේ තමාට වඩා උපාසක මහත්මයා සිල්වත් කෙනෙක් නිසා මේ පොත පරිස්සම්කරන්න උපාසක මහත්මයා තමාට වඩා ගැලපෙන නිසා . උපාසක මහත්මයාත් මේක ගෙනිහින් තමාගේ ගෙදර පෙට්ටගමක දාලා යතුරුදාලා උම්මා දීලා පරිස්සමට තියාගන්නවා .

හේතු කාරණා මොකක්ද කියලා දැන නොගත්තත් මහා බලගතු මන්තර තියෙන පුස්කොල පොතක් උපාසක මහත්මයාගේ ගෙදර පෙට්ටගමේ තියෙනවා කියලා කුලියාපිටියේ උපාසක මහත්මයාගේ ගෙවල් කිට්ටුව කෙනෙක්ට ආරංචි වෙනවා . දැන් ඉතින් ඕක ගන්නකන් නිවනක් නැති නිසා ඒ මිනිහා කරන්නේ උපාසක මහත්තයා නැති වෙලාවේ ගෙදරට පැනලා පෙට්ටගමෙන් පොත උස්සන එක .

පොත රත්තරං නූල් වලින් ගැටගහලා තිබ්බ නිසා මේ හොරත් හිතන්නේ පොතේ වටිනා මන්තර ඇති කියලා . පොතේ නූල් ලිහලා පොත දිගෑරියා විතරයි සූනියම් යක්‍ෂයා තමාව බන්ධනය කරලා තිබ්බ පුස්කොල පොතෙන් නිදහස් උනා . එතකොටම දෙවිවරු ඝෝෂා කළා ” කඹ ලා හිර කරනු , කඹ ලා හිර කරනු ” කියලා . ඒත් එතකොට යකා එලියට පැනලා ඉවරයි .

විසාලා මහා නුවර කාබාසිනියා කළා වගේම සූනියම් යකා ලංකාවෙ කුලියාපිටිය පැත්තෙත් මිනිස්සු මර මර කන්න පටන්ගත්තා . ඒ ප්‍රදේශය යක්ෂ භීතියෙන් ඇලලී ගියා . දැන් මේකට මොකද කරන්නේ ? . ඒ පැත්තේ හිටියා තව බොහොම සිල්වත් මන්තර ශාශ්ත්‍රය වගේම දෙවියන්ගෙන් වරම් ගත්ත රාජපද්ම මුදියන්සේ කියලා උපාසක මහත්මයෙක් ,

මුන්නැහේ තමන්ගේ දේව වරම උපයෝගී කරගෙන පත්තිනි දෙවියන්ට මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා . දවසක් පත්තිනි දේවිය මේ උපාසක මහත්තයට පේන්න වැඩලා කියනවා නවගුණ මන්ත්‍රයෙන් ලක්ෂ වාරය ගනනේ ජීවන් කරපු නවගුණ වැල් හත් පොටක් ලබා දෙන්න කියලා . ඒ කියන්නේ ලක්ෂහත් පාරක් මතුරන්න ඕන . ඒත් මේ ප්‍රශ්නේ බැරෑරුම් කම තේරුම් ගත්ත රජපද්ම උපාසක මහත්මයා මේ නවගුණ වැල් හත්පොට හදලා පත්තිනි දේවියට ලබා දෙනවා .

පත්තිනි දේවිය අහසට පැන නැගලා ටිකක් අමාරුවන් මේ සූනියම් යකාගේ බෙල්ලට නවගුණවැල් හත්පොට දැම්මා . යකත් මේ මන්තරේ බලේට ඉවසාගෙන ඉන්න බැරුව අහසට පැන නැගලා පොටවල් හතෙන් හතර පොටක් කඩලා දානවා . ඒත් තුන් පොටක් කඩාගන්න බැරි උනා . යකා බිමට වැටුනා .

පස්සේ රාජපද්ම මුදියන්සේ උපාසක මහත්මයා ඇතුළු පිරිස , යකාව මතුරපු කඹ වලින් බන්ධනය කරලා හිර කරා . එදා ඉඳලා ඒ ප්‍රදේශය කඹලෑව කියලා ප්‍රසිද්ද උනා . දැන් ඔය කබලෑව කියලා කියන්නේ එතන තමයි .

පත්තිනි දේවිය මේ යකාගේ බලය දැකපු නිසා තීරණය කරනවා දේව වරමක් දීලා දේවත්වයට පත් කරන්න . කිසිම දවසක ආයෙත් මිනීමස් කන්නේ නෑ කියලා පොරොන්දු කරගත්තට පස්සේ පත්තිනි දේවිය සූනියම් යකාට දේව වරමක් දීලා කියනවා සූනියම් වීදියට අරක්ගෙන දොළ පිදේනි ගන්න , ලෙඩ්ඩු සුවපත් කරන්න , ආතුරයින්ට වැහෙන යක්ෂ දෝෂ දුරු කරන්න , සෑම මන්ත්‍රයකටම අරක්ගෙන ඉන්න කියලා .

මෙන්න මෙහෙමයි සූනියම් දෙවියෝ ලංකාවේ දේවත්වයට පත්වෙන්නේ . එදා එතුමා වැටිච්ච කබලෑව
කියන ප්‍රදේශයේ තමයි එතුමාට කැප වෙච්ච ප්‍රධාන දේවාලය පිහිටලා තියෙන්නේ .

අපේ සබරගමුව මහා සමන් දේවාලයේත් මෙතුමාට කැපවෙන පොඩි දේවාලයක් තියෙනවා .

මේ වගේම ලංකාවේ හැම දෙවාලයකම වගේ සූනියම් දෙවියන්ට කැපවෙන ස්ථානයක් ඉදිකරලා තියෙනවා . මොකද සූනියම් දෙවියන් තමයි ගුප්ත ශාස්ත්‍රයට අධිපතීත්වයෙන් කටයුතු කරන්නේ . සූනියම් දෙවියන් ගම්භාර දෙවියන් කියලත් හඳුන්වනවා . ඒ කියන්නේ ලංකාවේ ගම් බිම් සියල්ලම පාහේ මෙතුමාට භාර වෙනවා .

සූනියම් දෙවියෝ දවසේ භාගයක් යක්‍ෂ අවතාරයෙනුත් අනිත් භාගය දේව අවතාරයෙනුත් ඉන්නවා කියලා මතයක් තියෙනවා . හැමදාම රාත්‍රී 9 30 ට මෙතුමා යක්ෂ අවතාරයෙන් මිදිලා දේව අවතාරය ගන්නවා කියලා කියනවා . මේ වෙලාව රාත්‍රී 10 හෝ 10.45 කියලත් විවිධ මත දරන අය ඉන්නවා . හැබැයි ඔන්න මම අහලා තියෙන්නේ 9 30 තමයි . තවත් මතයක් තියෙනවා සූනියම් දෙවියෝ අව පක්ෂයේදී යක්‍ෂාවතාරය විදියටත්

ගුරුකම් මන්ත්‍ර කරන අය මෙතුමා වෙනුවෙන් පහන් දල්වනවා . මේ පහන වෙනුවෙන් හැමදාම සූනියම් දෙවියෝ ඒ පහන් පලට වඩිනවා කියලත් එතුමා එන ඉඩමේ බල්ලන් ඇතිකරන්න බෑ කියලත් කියනවා . බල්ලන්ට මේ දෙවියන් පේනවලු . ඒ දැක්කම බල්ලන් බුරනවලු . ඒ බිරුවම සූනියම් දෙවියන් තමාගේ අතේ තියෙන වේවැලෙන් බල්ලාට පහර දෙනනිසා බල්ලාගේ කකුල් පන නැතිවෙලා මිය යනවා කියලා මතයක් තියෙනවා . මතේ කෙසේ වෙතත් එහෙම ගෙවල් නම් මම දැකලා තියෙනවා . මොකක් හරි ඇත්තක් ඇති .

සූනියම් දෙවියන්ට අයිති එතුමාගේ ඇල්ම බැල්ම වැටෙන ගුරුකම් වලින් ටිකක්

# රුහුණු මායා පිහිටි ඔඩ්ඩි වඩිග පාන්ඩේ සොලී අංග නිලංග වංග කාලිංග බෙන්ගාල පරංගී ඕලන්ද ආදී දහ අට දේස භාෂා මන්තර

# රට යකුම් වීදිය , තොට යකුන් වීදිය , තොටුපල වීදිය , කුමාර වීදිය , නාග වීදිය , ස්වර්ණ වීදිය , වටුන වීදිය , ගොපලු වීදිය , සල්ලි වීදිය , දෙමල වීදිය , ඔඩ්ඩි වීදිය ආදී සියලුම වීදි

# අන්ද සමයන් , මන්ද සමයන් , පාන්දර සමයන් , සැන්දෑ සමයන් , ඉරමුදුන් සමයන් , මහසොහොන් සමයන් , ඔඩ්ඩි සමයන් ආදී සියලුම සමයන්

# අරිච්චි සන්නි , කාල සන්නි , ගොළු සන්නි , බිහිරි සන්නි , කොර සන්නි , ඇඳිරි සන්නි , වෙඩි සන්නි , මල් මදන සන්නි , නාග සන්නි , දේව සන්නි , දෙමල සන්නි , ඔඩ්ඩි සන්නි , වාත සන්නි , පිත් සන්නි ,සෙලෙස්මා සන්නි ,කොළ සන්නි , ඇවුලුම් සන්නි , කණ සන්නි ආදී සියලුම සන්නි

# වස විස අන වින කටුගැසුම් වැල්පැන්නුම් රැක්කටුගැසුම් පෙතලිසූනියම් ඇතුළු හාරසහස් හාරසිය හැත්තෑ දෙකක් හූනියම් වින

# අරින අංගම් ,දුවන අංගම් , පිඹීන අංගම් , පනින අංගම් , බිහිරි අංගම් ,පිල්ලේ අංගම් , ඔඩ්ඩි අංගම් ආදී සියලුම අංගම්

# දෙහි තීන්දු , අල තීන්දු , නලකිරි තීන්දු , තැඹිලි තීන්දු , අන්නක්ක තීන්දු , මහා තීන්දු ආදී සියලුම තීන්දු

මෙන්න මේවගේ තව ගොඩක් ගුරුකම් වලට අධිපති විදියට මෙතුමා කටයුතු කරනවා . ඇදුරන් සියලුදෙනාම ආරක්ෂා කරන්නෙත් මෙතුමා තමයි . කතරගම දෙවියන් සහ ඇදුරන් අතර පණිවිඩ හුවමාරු කරන්නා විදියටත් මෙතුමා කටයුතු කරනවා . කොඩි වින හූනියම් වලදී ඒවා වලට අරක්ගෙන කටයුතු කරන්නත් මෙතුමා ඉදිරිපත් වෙනවා . වින කපනකොට ඒවා ආපස්සට හරවන්නත් මෙතුමා ඉදිරිපත් වෙනවා .

හූනියම් දෙවියන් වසඟයට ගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි . මගේ ආච්චිඅම්මා නැතිවෙන්න කලින් දවසක් මට කිව්වා එයාලා පොඩි කාලේ ඒ කිව්වේ 1920 විතර කාලේ එයාලගේ ගමේ හිටියලු හූනියම් දෙවියෝ වසඟයට ගත්ත දක්ෂ ඇදුරෙක් . එයා පාරේ ඉස්සරහට එනකොට කවුරුත් පාරෙන් අයින් වෙලා එයාට ආයුබෝවන් කියලා ආචාර කරන්නත් පුරුදුවෙලා හිටියලු . එහෙම උනත් එයා වැඩිය ලොකු ලයින් දාපු කෙනෙක් නෙවෙයිලු . ගමේ හොඳින් ජීවත් උනාලු . ගමේ කාවහරි නයි , පොළොංගු, සර්පයෝ කාලා විස බස්සන්න බැරි උනාම මේ කියෙන කෙනාට මන්තර මතුරලා නයි විස බස්සන්න අරුම පුදුම හැකියාවක් තිබුණා කියලත් ආච්චි අම්මා මට කිව්වා . ඒ හැකියාව ලැබුනේ හූනියම් වසඟය නිසා කියලා ගමේ පිළිගැනීමක් තිබුනලු .

කියන්න අමතක උනා තව පොඩි කතාවක් . හූනියම් දෙවියන්ට පහන් තියන අය ඉන්නවනම් මේක මතක තියාගෙන්න ඕන . කරනවානම් කරන වැඩේ හරියට කරන්න . මොකද වෙන දෙවිවරුවගේ හූනියම් දෙවියන් ගාව සෞම්‍ය ගතිගුණ නෑ . කවදත් තියන පහන එක දවසක් හරි අතපහු වෙනවානම් ඒ මොකද කියලා මෙතුමා හොයලා බලනවා කියලා කියනවා . පහන අතපහු උනේ නොසැලකිල්ල නිසානම් දඬුවම් ලැබෙනවා කියලත් මතයක් තියෙනවා . සමහර ඇදුරන් නයි දෂ්ට කරලා මිය ගිහින් තියෙනවා . එයාලට එහම උනේ තමා තියන හූනියම් දෙවියන්ට කැප උන පහන අමතක කරපු නිසා කියලත් කියනවා .

කියන්න නම් තව ගොඩක් දේවල් මතක් උනාට දැනටමත් පොස්ට් එක රෙඩ් ලයිට් පහු කරගෙන ගිහිල්ලා . ඒ නිසා හැමෝටම සෙත් පතලා නවතිනවා .

සාධු සාධු සාධු……………………..!

තෙදවරම් පස්වාන් දහසකට ආයු ලැබ ඉරන්ද නම් වනයේ අජාසත්ත පර්වතයේ යහතින් වැඩ සිටින සිරසමත ධවල ජටාවකින්ද සැඩපලු දහතුනකින්ද පොලොඟුන් දහතුනකින්ද රකුසු මුහුනකින්ද බඳවට නයින් ජාලයක්ද එක උරයක කරවැලුන් හතර දෙනෙක්ද සුරතට වඩිග කඩුවක්ද වමතට ගිනිකබලක්ද ගෙලවට නයෙකුද හිස සිට දෙපතුල දක්වා නාගයන් දෙදෙනෙකුද දරා දිවිසම් වතින් සැරසුන නිල්වන් දේහයකින් යුතුව නිල්වන් අසෙකු පිට පැන නැගී යක්ෂ රාක්ෂ නාග රාජ කුමාරාදී දස අවතාරයකින් පෙනී සිටින දස දෙස විපුල කීර්ති සත්‍යානුභාවයෙන්ද තවද මෙම ශ්‍රී ලංකාද්වීපයේ සහ එක්ලක්ෂ හතලිස්දහසක් ගණ කෝවිල්වලට යහතින් දිවස් ලූ කබලෑවට අරක් ගත් ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේට දෙපා වැඳ මා කරන කන්නලවුව ඔබගේ දිව කනින් අසා දිව නෙතින් බලා ඔබවහන්සේ නමින් ඔප්පු කරන සුවඳ දුම් මල් පහන් පුද පූජා පිළිගෙන මේ ආතුර ප්‍රාණ කාරයන්ට වැදී ඇත්තාවූ සකලවිද උවදුරු දුක්ඛාන්ධකාරයන් දුරින් දුර නසා මොවුන් වෙත බැල්ම දිෂ්ටිලා විනකර අම්ලාකර සිටින්නාවූ යක්‍ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ ආදීන් සැනෙකින් පලවා හැර සෙත් සාන්තිකර සකල රෝගාබාද ධූරීභූතකර ආයු රක්ෂාකර දී වැඩ වදාරන සේක්වා !!!

ශිව මස්තු නමෝ රාමඃ
කන්ධ සේනා සමාගමඃ
වඩිගතන්ත්‍ර මණී කණ්ඨ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.