Skip to main content

සාම්ප්‍රදායික කෙම් ක්‍රම …

කෙම් ක්‍රම යනු සාම්ප්‍රදායික පැරණි ගැමි විශ්වාස මෙන්ම අත්දැකීම් මත පදනම් වූ සුවිශේෂී ආරක්ෂක ක්‍රමවේදයකි. විශේෂයෙන් සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ රහස් වෛද්‍ය ක්‍රමයක් ලෙසද බොහෝ විට කෙම් ක්‍රම භාවිත වේ. එසේම කෘෂිකර්මාන්තයේදී ගොඩ,මඩ මෙන්ම හේන් ගොවිතැනේදීද භාවිතවන කෙම් ක්‍රම ගණනාවකි. මේ සියල්ලට අතිරේකව ගුප්ත විද්‍යාව තුළද යම් යම් කෙම් ක්‍රම භාවිතා වනු දැකිය හැක

කෙම් ක්‍රමවල මූලාරම්භය අවිනිශ්චිතය. දුර ඈත දඩයම් යුගයේ පවා කෙම් ක්‍රම භාවිත වූ බවට පැරණි පොත්පත්හි සඳහන් තොරතුරු සාක්ෂි දරයි. කෙම් ක්‍රම සියල්ලම පාහේ මුඛ පරම්පරාගත ගුරුමුෂ්ඨිය සහිතය. මේ නිසාම වර්තමානය වන විට අතීතයේ බහුලව භාවිතා වූ ඉතා වටිනා කෙම් ක්‍රම රාශියක් සහමුලින්ම වැළලී අභාවයට ගොස් අවසානය. ඒ අවාසනාවන්ත ඉරණම වටිනා කෙම් ක්‍රමවලට උදාවූයේද එකී වටිනා කෙම් ක්‍රම අනාගත පරපුරට දායාද නොවූයේ ද පටු ආත්මාර්ථයන් හීනමානයන් මත පදනම් වූ ගුරු මුෂ්ඨි නිසාවෙනි.

බොහෝ කෙම් ක්‍රම සිදු කළ යුතු නිසි ක්‍රමවේදයක් පවතී. ඉන් පරිබාහිරව කෙම් ක්‍රම සිදු කරණ කල ප්‍රථිඵල සාර්ථකව ලබා ගැනීම උගහටය. විශේෂයෙන් බොහෝ කෙම් ක්‍රම සඳහා කිළි කුණුවලින් තොරව දිය නා පිරිසිදු විය යුතුය. එසේම වත් පිළිවෙත් රැකිය යුතුය. දැනට භාවිතයේ පවතින කෙම් ක්‍රම විවිධ වූ ක්ෂෙත්‍ර අනුව සංඛ්‍යාත්මකව අති මහත්ය. ඉන් අපට ජීවිතයේ එදිනෙදා අත්‍යාවශ්‍ය වන වටිනා අත්දුටු ප්‍රත්‍යක්ෂ පැරණි ගුරුමුෂ්ඨි ලෙස පැවති රහස්‍ය කෙම් ක්‍රම ගණනාවක් මෙසේය.

.කුඩා දරුවන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරණවිට දරුවාගේ ආහාර සහිත කෑම පිඟාන දරුවාගේ හිස වටා හත් වරක් කරකවා දරුවාගේ කෙළ මිශ්‍රකර කථා නොකර ළිපට දැමීම.

කොස්, අඹ, දෙල්, තැඹිලි වැනි ශාකයක ඵලදාව පුපුරා තැලී කුණු වී යා නම් එම ගසේ ගෙඩි කඩා දෙකට, තුනට, හතරට පලා සැමට දර්ශනය වනසේ කථා නොකර ගස මුල විසුරුවා හරින්න. මෙය පලතුරු බෝග සඳහා අත්දුටු ප්‍රත්‍යක්ෂ කෙමකි.

පොල්ගස්වල පුහු ගෙඩි හට ගැනීම මෙන්ම පොල්ගස් නූපූදින කළ ද කථා නොකර උදෑසන පොල්ගසේ කඳ වටා පොල්ලෙලි මාලයක් සේ සකසා බඳිනු ලැබේ.

කැලෑවකදී ආරක්ෂාව පිණිස කැලෑවට ඇතුල්වීමට පෙර කථා නොකර අත්තක් කඩා ගසක එල්ලයි.

කැලෑවකදී මං මුලා වැල් හෙවත් බැදි වැල් පයට පෑගුණ විට කැලෑව තුළ වල්මත් වී අතරමංව පාර සොයාගත නොහැකි වේ. එවැනි අවස්ථාවක කථා නොකර මදු වැලක් සොයා පෑගූ විට පහසුවෙන් ආපසු යෑමට පාර සොයාගත හැකිය.

අලි ඇතුන්ගෙන් වගාවලට මෙන්ම නිවෙස්වලටද මනුෂ්‍යයන්ටද වන හානි වළකා ගැනීමට අති දුර්ලභ මදාරා ගසේ කෝටුවක් හෝ ලීයක් ගෙන කථා නොකර ආරක්ෂා සහිත ස්ථානයක, දුරක සිට අලි ඇතුන්ට දර්ශනය කරන්න. අලි ඇතුන් මදාරා ලීයට බිය බැවින් ආපසු හැරී පලා යයි.

ඇඳිරියේ ආරක්ෂාව පිණිස කළුව කෙටීම යනු ඝණ කළුවරේ ගමනක් යෑමට පිටත්වීමට ප්‍රථම ‘ඉතිපිසෝ’ ගාථාව කියා බුදු ගුණ සිහිකර කථා නොකර අතේ දබර ඇඟිල්ලෙන් ඉරි 3ක් සමාන්තරව පො‍ළවේ ඇඳීම.

යන්ත්‍රවලට කිලි අසුවීම වැළකීමට මාවී ඇටයක් සුරය තුළට කථා නොකර දමයි. මෙය පුර පක්ෂයේ උදය වරුවක ශුභ මුහුර්ථයකින් සිදු කිරීම වඩාත් ප්‍රතිඵල දායකය.

කැලේදී ඉසේ ඇම්මක් ඇති වුවහොත් දෙඇස වසාගෙන කථා නොකර අතට අසුවුනු ගසක කොළයක් කඩා හොඳින් පොඩිකර නළල දෙපස ගානු ලැබේ.

ගොම්මනේ ඇසට කුඩා කෘමියෙකු ඇතුල් වී දැවිල්ල , වේදනාව ඇති වූවහොත් ඒ බව දැනුණු විගසම එතනම නැවතී එතැන් සිට පියවර 7ක් නොහැරී කථා නොකර පසු පසට ගමන් කිරීම තුළ කෘමියා ඉවතට පැමිණේ. ‍වේදනාව දැවිල්ල සමනයවේ.

කුහුඹුවන් පලවා හැරීමට විනාකිරි 1:3 අනුපාතයට ජලය සමඟ මිශ්‍රකර හිමිදිරි පාන්දර කුහුඹුවන් සිටින දෙසට කථා නොකර ඉසීම කළ යුතුවේ.

කුඹුරේ මීයන් මර්දනයට මීයන් තලා දැමූ ගොයම නියර මත දමා මල්වර වූ අවිවාහක තරුණියක ලවා පාගවන්න. මෙය පාවහන් රහිතව කථා නොකර කළ යුතුය.

මීවද ඇති ඉසව් සොයා ගැනීමට බඳුනකට ජලය පුරවා ගස් දෙබලක තබන්න. මී මැස්සෝ එයට පියාසර කර පැමිණෙන දිශාව බලා මී වද ඇති ඉසව් තීරණය කළ හැක..

කක්කල් කැස්සට හිඟමනේ ගොස් ගෙවල් 7කින් සිඟාගෙන ආ කැකුලු සහල් කුණු ගොඩක තබා උයා කුඩා ගුලි 7ක් ගසා කථා නොකර රෝගියාට කන්න දීම.

කිරි දරුවන් නින්දෙන් හැඬීම වැළකීමට දකුණු අත වෙදඟිල්ලෙන් දරුවාගේ නළලේ කළු තිලකයක් තැබීම කළ යුතුවේ.

ඇසේ එන නගන සඳහා බත නටන විට එන බත් පෙන ගාන්න. එසේම නගනයට තුත්තිරි ගසේ ඉස්මද කථා නොකර ගාන්න. තවද උදෑසන නැඟිට කථා නොකර ගෙය පිටුපසට ගොස් තමාගේම මුත්‍රා නඟනය මත ආලේප කළ යුතුයි.

කිළි නැති වීමට කථා නොකර දෙහි කොළ පොඩිකර හිසෙහි ගා ගැනීමත් කථා නොකර අමු ගොම ගොඩක් පාවහන් රහිතව පෑගීමත් කථා නොකර ළි‍ඳෙන් වතුර ඇද මුහුණ කට සේදීමත් කිරීම.

ඇස්වහ කටවහ දුරු කිරීමට කථා නොකර ළිපේ අළු හෝ වළඳක දැලි මුහුණේ තවරා ගැනීමද කුඩා දරුවන්ගේ මුහුණේ කම්මුල ප්‍රදේශයේ ලොකුවට කැපී පෙනෙන සේ කළු තිලකයක් තැබීමද , කපුටන් නාන තැනකින් ගත් වතුරෙන් මෙන්ම කම්මලේ ආයුධ පණ පෙවූ පසු ආයුධ නිවෙන්නට දැමූ වතුරෙන් මුහුණ සේදීමද , මිරිස් පුච්චා දුම් ඇල්ලීමද ‘තුක්… තුක්…’ කියා තුන් පැත්තට කෙළ ගැසීමද මළ හිරු යාමයේ කථා නොකර නිවසේ දොරකඩ පොල්කටු පුච්චා එම පොල්කටු අඟුරු මතට අබ දමා පිළිස්සීමද අලුයම කපුටන් හැඬීමට පෙර කථා නොකර ළිඳෙන් වතුර කළයක් ගෙන ඇට ඇටි පස් වර්ගයද, කොළ නවයකට නොඅඩු නිරෝගී දෙහි අත්තක්ද දමා කඩ වැස්ම බැඳ ගුප්ත ශාස්ත්‍රය හොඳින් දත් ඇදුරු තුමෙකු ලවා මතුරවා එම ජලය ස්නානය කිරීම හා එසේ ස්නානය කළ ජලය නොපිහිදා ඇඟටම ‍ වේලෙන්නට හැරීම පසුව හිස් කළය කිරි ගසක ගසා බිඳ දැමීම. කථා නොකර පැඟිරි තෙල් ඉසීමෙන් මැස්සන් පලවා හැරිය හැක. දත් කැක්කුමට කථා නොකර බෝධියක් ළඟට ගොස් බටහිර පැත්තට ගිය අත්තකින් දලුවක් කඩාගෙන දත්කැක්කුම ඇති පැත්ත 108 වරක් ඉහළ සිට පහළට පිස දමන්න.

 

මහේන්ද්‍ර පල්ලෙබැද්ද

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.