Skip to main content

සසර ගමනේ අප පෙලන අපායයන් හදුනාගනිමු‍ …

යහලුවනේ අපි බොදුනුවො විදිහට මොනතරම් කථා කලත් අපාය කියන සංකල්පය ‍බොදුනුවට විහිලුවක් වෙලා. මේ නිසාම පව් කරන්න මිනිස්සු එතරම් බයක් දක්වන්නෙත් නෑ. බුදුදහම පදනම්වෙලා තියෙන්නෙ අපාය දුක ඇතුලු සසර දුකින් නිදහස්වීම කියන කරුණ මත. මොකද මේ සසර වැඩිපුරම බියකරු අපායගාමී වීම නිසයි. අපි හැමෝම සසර දුකින් නිදහස් වෙන්න උත්සාහ කරනව. නමුත් අපායත් එක්ක සාපේක්ෂව ගත්තම මිනිස්ලෝකෙ තියෙන දුක් ප්‍රමාණය හරිම අඩුයි. ඒ බව ඔයාලට මේ ලිපිය කියවද්දි පැහැදිලි වෙයි. ඉතින් මේ අනුව ගත්තම සසර දුක තුල වැඩිම හරියක් තියෙන්නෙ අපාදුක නේද? අන්න ඒනිසයි මම කිව්වෙ බුදු දහම නිතරම අපාය පිලිබද විස්තර මතක් කරල දීල තියෙන්නෙ. යාලුවනේ මෙතන විස්තර කරන්නෙ අපායයන් ගැන. මේ මම උපුටාගත්තේ බුද්ධරශ්මි කියන බ්ලොග් අඩවියකින්. ඒකෙ ලින්ක් එක පහල දාල තියෙනව.

සත්වයන් තමන් කළා වූ කර්මයන් ට අනුරූප ව කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය යන ස්ථානවල උපදිති. මෙයින් අපායන් සතර අයත් වන්නේ කාම භූමියට ය. මීට අමතර ව දිව්‍යලෝක සය සහ මනුලොව අයත් වන්නේ ද, කාම භූමි අතරට ම ය. අපායන් සතරක් ඇති බව පෙර සඳහන් කරන ලදී. නරකය ය, තිරිසන් යෝනිය ය, ප්‍රේත නිකාය ය, ඇසුර නිකාය ය, යනුවෙනි. ඇතැම් දෙනා අපායක් නැත, අපායන් ඇත්තේ මේ මිනිස් ලෝකය තුළ ම බව ආදී වශයෙන් මිථ්‍යා අදහස්වල එළඹ සිටිති. ඔවුන් ඒ සේ කියන්නේ අපායන් බොහොමයක් මිනිස් ඇසින් නො දැකිය හැකි බැවිනි. නමුත් අද වනවිට නුතන විද්‍යාවෙන් පවා සිදුකරන පරීක්ෂණවල දී අපාය යනු සංකල්ප මාත්‍රයක් නො වන බව පිළිගැනීමට ඔවුනට ද, සිදු වී ඇත.
අපාය භූමි අතරින් පළමුවෙන් “නරකය” නමින් හැඳින්වෙන අපාය පිළිබඳ විමසා බලමු.

01. සඤ්ජීව නරකය
02. කාල සුත්‍ර නරකය
03. සංඝාත නරකය
04. රෞරව නරකය
05. මහා රෞරව නරකය
06. තාප නරකය
07. ප්‍රතාප නරකය
08. අවීචි මහා නරකය

වශයෙන් නරකයන් අටක් ඇති බව දැක්වේ. මේවා සතරැස් ය. එක් මහා නරකයක් එක් පසෙකින් සතර බැගින් වු ඔසුපත් නරක නමැති කුඩා නරකයෝ සතර බැගින් ඇත. ඒ අනුව එක් මහා නරකයක් හාත්පස කුඩා නරකයෝ දහසයක් වෙති.

සඤ්ජීව නරකය

යමපලුන් විසින් ඒ හි උපන් සත්වයන් ගිනියම් වූ පොළොවෙ හි පෙරලා කඩ කඩ කොට කපන විට දී පවා ඒ සත්වයන් නො මැරෙමින් නැවත නැවත ජීවත් වන බැවින් සඤ්ජීව නරකය ය යි හඳුන්වයි. අධික ක්‍රෝධයෙන් සහ මානයෙන් අනුන් හා කෝලහාල කළ සත්වයෝ ද, දුබලයන් පෙළු රජවරු, නිලධාරීහු ද, දිළින්දන් පෙළු පොහොසතුන්, මැරයින් සහ සතුන් මරන්නන් ආදී පාප කාර්ම කළ සත්වයෝ මරණින් මතු සඤ්ජීව නරකයේ උපති.

කාලසුත්‍ර නරකය
උපන් සත්වයෝ ගිනියම් වූ යපොළොවේ පෙරලා දැලි නුල් ගසා සසින්නා වූ ස්ථානය කාලසුත්‍ර නරකය නම් වේ. මාපියන් සහ මිතුරන් ට ද, ගුණවත් මහණ බමුණන් ආදීන් ට ද, අපරාධ කළාහු ඒ නරකයෙ හි පැසෙන්නේ ය.

සංඝාත නරකය
මේ නරකයේ උපන් සත්වයෝ නවයෝදුන් ඝන පොළොවේ එරී නිශ්චල ව සිටිති. එ හි අහස ගුගුරවන්නාක් මෙන් මහා හඬ නංවමින් එරී සිටින නිරිසතුන් අඹරවමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙති. ඒවාට යට වී සත්වයෝ සුනු විසුනු වී යති. ඇත්, අස්, ගවාදී සතුන් පෙළමින් වැඩගත්තෝ හා සතුන් මරුවෝ ද, එ හි උපදිති.

රෞරව නරකය
මේ නරකයේ උපන් සත්වයන් ගේ සිරුරු තුළ ට වැද ඇතුළති දවන්නා වූ නපුරු දුමක් පිළිබඳ සඳහන් වේ. ඇතුලත පිටත දෙක ම දවනු ලබන නිරිසතුන් ගේ හඬ එ හි නිරතුරු ව ම ඇසෙන බැවින් රෞරව නරකය ය යි කියනු ලැබේ.

මහා රෞරව නරකය
අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්වයන් ගේ නිරතුරු පවත්නා මහා හඬ ඇති නිසා ද, නිරිසතුන් ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද, මහා රෞරව නරකය ය යි කියනු ලැබේ.

තාප නරකය
මේ නරකයෙ හි යමපලුන් විසින් ගිනියම් වූ යපොළොවේ ගිනියම් වූ යහුල්වල අමුණා තබනු ලැබූ සත්වයෝ ගින්නෙන් දවමින් සිටිති. සතුන් පණපිටින් දවා මරණයට පත් කළෝ ද, අනුන් ගේ ගෙවල් ගිනිබත් කළෝ ද, එ හි උපදින බව ප්‍රකට ය.

ප්‍රතාප නරකය
මෙ හි ද, තාප නරකයේ සත්වයෝ පසෙන අන්දමින් ම දීර්ඝ කාලයක් සත්වයෝ පැසෙති. මහා තාපන යනු ද, මේ නරකය ට නමකි. මරණින් මතු ඉපදීමක් නැත, කර්ම විපාක නැත ආදී මිථ්‍යාදෘෂ්ටික ව පව්කම් කළ සත්වයෝ මේ ප්‍රතාප නරකයේ උපදිති.

අවීචි මහා නරකය
මේ නරකයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අනෙක් පස බිත්තිය දක්වා ම ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩුපියන්පත දක්වා ම නගින්නේ ය. උඩුපියන්පතින් නික්මෙන ගිනි ජාලාව පොලව දක්වා ම බසින්නේ ය. සත්වයෝ නිතර ම සතර දිශාවෙන් එන ගිනි ජාලාවන්ගෙන් වෙලී දැවෙන්නෝ ය. අතරක් නැති ව එ හි සත්වයෝ වෙසෙන බව ද, ප්‍රකට ය. ගිනිදැල්වලින් හා දුක්වලින් ද, සත්වයන්ගෙන් ද, අතරක් නැති බැවින් එ නරකය අවීචි නම් වේ.

ආනන්තරීය පාප කාර්ම කළෝ ද, බෝසතුන් නැසුවෝ ද, ගුණවතුන් නසුවෝ ද, චෛත්‍යයන්,පිළිම ආදිය බිඳුවෝ ද, බෝරුක් නැසුවෝ ද, රත්නත්‍රය ට අයත් වස්තුව පැහැර ගත්තෝ ද, මිත්‍රද්‍රෝහීහු ද, භාර්යාවන් ට අපරාධ කළෝ ද, බොරු කීවෝ ද, සුරා පානය කළෝ ද, මිථ්‍යා දෘෂ්ටික ව පව්කම් කළෝ ද, මේ අවීචි මහා නරකයේ උපති.

ඔසුපත් නරකයෝ (කුඩා නරකයෝ)

කුඩා නරකයන් වර්ග සතරක් ඇත.
01. ගූථ නරකය
02. කුක්කුල නරකය
03. අසිපත්‍ර වන නරකය
04. සිම්බලීවන නරකය යනුවෙනි.

ගූථ නරකය යනු කැකෑරුණු අසුචිවලින් යුක්ත, එ හි පතිත වූ නිරිසතුන් ගේ සහරීර ඇටමිදුළු දක්වා විදින උණගස්, පොල්ගස්, පමණ විශාල පණුවන් ගැවසී ගත් ස්ථානයකි.

කුක්කුල නරකය යනු යටින් ගිනියම් වූ අඟුරු ඇති අළුවලින් පිරුණු තැනකි.
අසිපත්‍ර වන නරකය යනු කඩු මෙන් කැපෙන පත්‍ර සහිත ගස් හා දැලිපිහියා මෙන් කැපෙන පත්‍ර සහිත තෘණ ද, අති නරකයකි.

සිම්බලීවන නරකය යනු දොළොස් අඟුල් කටුවලින් ගහණ ඉඹුල් වනයක් අති තැනකි.

තිරිසන් අපාය
මීළඟට තිරිසන් අපාය පිළිබඳ කරුණු කිහිපයක් සැකෙවින් විමසා බලමු.
මිනිස් ඇස ට නො පෙනෙන තරමේ ඉතා කුඩා සත්වයන් ගේ සිට, යොදුන් ගණනක් දිගු ශරීරවලින් යුත් සත්වයන් දක්වා ම සිටින, පා නැති, දෙපා ඇති, සිව් පා ඇති, බොහෝ පාද ඇති නොයෙක් ආකාර ඇත්තා වූ සත්ව සමුහය තිරිසන් අපාය ට අයත් වේ. මොවුන් ට ඉපදීම සඳහා විශේෂිත වෙනම තැනක් නැත. ඔවුන් උපනුපන් ඒ ඒ තැන්වල ම කා ගනිමින් කිසිඳු පිළිසරණක් නැති ව නිරන්තරයෙන් බියෙන් ත්‍රස්ත ව වාසය කරති. මිනිස් ඇසින් දැකිය හැකි එක ම අපාය වන්නේ තිරිසන් අපාය යි. මේ පිළිබඳ ඔබ අප බොහෝ දෙනා දන්නා බැවින් තවදුරටත් විස්තර කිරීම අවශ්‍ය නො වේ.

අසුර අපාය
අසුර අපායට අයත් සත්වයෝ ද, මිනිස් ඇසට විද්‍යමාන නො වන ධාතුවර්ගයකින් සෑදී ඇති රූප කායක් දරති. අසුර යන නමින් දේව කොටසක් ද, අයත් ය. නමුත් මෙ හි දී දැක්වෙන අසුර අපාය වෙනත් එකකි. ඒ දෙක පටලවා නො ගත යුතු ය. මොවුන් ගේ ශරීර ද, ප්‍රේතයන් ගේ වැනි ම ශරීර ඇති බව කිව යුතු ය. අසුර අපාය පිළිබඳ කතා පුවතක් දීඝ නිකායේ පාථික සුත්‍රයේ කොරක්ඛත්තිය වස්තුවේ සඳහන් වේ. බුද්ධ දේශනාව තුළ අසුර අපාය පිළිබඳ විස්තර දැක්වෙන සුත්‍රයක් ලෙස එය සලකිය හැකි ය.

සසර සැරිසරන සත්වයන් සුගතියෙ හි ද, උපදින නමුත් බොහෝසෙයින් උපදින්නේ දුගතියෙ හි ය. එ බැවින් ම ඔවුනට සතර අපාය සිය නිවස බඳු ය. එක් එක් සත්වයකු විසින් වර්ෂ සියගනනකට වරකුදු පිපාසාව සංසිඳෙන පමණට අහරක් ද, නො ලබා ඉතා දුකසේ කල්යවන ප්‍රේත ව අතීතයේ උපන් වාරවල ප්‍රමාණයක් ද, නැත්තේ ය. භයානක රූප අති යමරකුසන් විසින් පොරෝවලින් කපමින් යහුල්වලින් අනිමින් ගිනියම් ලෝහගුලි ලෝදිය මුව බහාලමින් අපමණ දුක් දෙන සඤ්ජීව ආදී නරකවල පැසුණු වාරයන් ගේ ද, ප්‍රමාණයක් නැත්තේ ය. නිවන ට නො පැමිණ සසරේ රැඳුනහොත් සත්වයා ට මතු ද, එ සේ ම කටුක දුක් බොහෝ විඳින්නට සිදු වන්නේ ය. කරුණු මෙ සේ හෙයින් සසර රැඳී සිටීමේ භයානක බව කියා නිමකළ නො හැකි ය. ඒ බව දත් බුද්ධාදී උතුමන් සංසාර බන්ධනයන් සිඳ සසරින් එතෙර ව නිවන් පුරයට පිවිසෙන්නාහු ය. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ නිවන ට පැමිණීම සඳහා වීර්යය කරත් වා!

තෙරුවන් සරණ යි!

උපුටාගැනීමකි.

මේ ලිපිය සකස්කල අයට අපමණ පින් අත්වේවා. මෙපින් බලෙන් ශ්‍රී සම්බුදු සාම සංදේශය ලොව පුරා පතුරවමින් සසර කතරේ අපමණ දුක් විදින අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.