Skip to main content

සදා නොසිඳෙන දහම් ගඟ,බළංගොඩ හාමුදුරුවෝ … !

ග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි.
උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ හෙළි කළහ.

බළංගොඩ මහා නාහිමියෝ ස්වකීය පෙර භවය පිළිබඳ ප්‍රකාශ කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත.
මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය.

“වසවර්ති මාරයාය කියන්නේ කෙළෙස්වලටය කියා සමහරු කියනවා. ඒ මතය වැරදියි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා පුද්ගලයෙක්. දෙවියන් අතර සිටින, කාමයට අධිපති හිතුවක්කාර, තක්කඩි දෙවියෙක්. එයාගේ පිරිවරත් ඒ වගේම අය. චණ්ඩි ගති ඇති අය. මිනිසුන් අතර වගෙම තමයි. ඒ වගෙ අය එනවිට සාමකාමී යහපත් මිනිස්සු මගහැර යනවා. ඒ වගේම අනෙකුත් දෙවිවරුත් මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා හෝ ඔහුගේ පිරිස සමග ගැටෙන්නට කැමති නැහැ.

වසවර්ති මාරයා සමථ භාවනාව දියුණු කරන සෘර්ධි බල වඩන අයට බොහෝම විරුද්ධයි. ඒ කටයුතුවලට බාධා පමුණුවනවා. කඩාකප්පල් කරනවා. මේ ලෝකය කාමයෙන් තණ්හාවෙන් පැතිර යනවාටයි ඔහු කැමති. විපස්සනා භාවනාවට ඔහුගෙන් බාධාවක් නෑ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු පදවි ලබන විට වළක්වන්නත් ඔහු උත්සාහ කළා. පසුව පැරද පළා ගියා.

ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරී යනවිට එය වළක්වන්නටත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට වුවමනා වුණා. බුද්ධාගම කිළිටු කරන්න, හානි කරන්න ඔහුගෙ පිරිසෙන් කණ්ඩායමක් මේ ලෝකෙට එව්වා. නිර්මල බුද්ධ ධර්මය පැතිරයෑම වළක්වන්න බුද්ධාගමේ වේශයෙන්ම කටයුතු කරන පිරිසක් ඔවුන්. බුද්ධාගමේ ආකාරයෙන් මිත්‍යා අදහස් පැතිරවීමයි ඔවුන්ගේ පරමාර්ථය වුණේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාගේ මේ වැරදි වැඩපිළිවෙල දෙව් ලොව සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන ගත්තා.

මේ වැඩ පිළිවෙල වළක්වා බුද්ධ සාසනය ආරක්ෂා කර ගැනීමට මෛත්‍රී බෝධි සත්ත්ව දෙවියන්ට වුවමනා වුණා. එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා. ඒ සාකච්ජාවට එන්න කියා මටත් දැනුම් දුන්නා. ඒ වනවිට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක. මම ආවෙ නෑ. දෙවැනි වරටත් දැනුම් දුන්නා. මම ඒත් ආවෙ නෑ. තුන්වැනි වරටත් දැනුම් දුන්නාම මම ආවා. කැඳවීමට එක්වරම ආවේ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මට තරවටු කළා.

“වසවර්ති මාරයා එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය කර තියෙනවා. බුද්ධාගමේ හැටියටම ඒ ස්වරූපයෙන් වෙනත් එකක් පතුරුවන්න. අන්න ඒක මර්දනය කරන්න අපත් කණ්ඩායමක් යවන්න ඕනෑ කියා ඒ දේව සභාවේදී තීන්දු කළා. දිව්‍ය ලෝකයේ සිටින බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය වුණා. මේ කණ්ඩායම එක්ක මටත් එන්න කීවා. මම “බැහැ” කීවා.

“ඒ ඇයි?” කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මගෙන් ඇහුවා.
“මම ප්‍රබල නෑ. මට වඩා බලවත් කෙනෙක් යවන්න” කියා මම කීවා
“මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?” කියා එවර එතුමා මගෙන් ඇහුවා.
“මට බුදු වෙන්න ඕනෑ” කියා මම කීවා.
“ඇයි? මම මනුස්ස ලෝකයට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න කියා එතුමා මගෙන් ඇහුවා.
“මට බැහැ. මටත් උවමනා ලොව්තුරා බුදු බවට පත්වෙන්න. ඔබත් කවදා හරි ලොව්තුරා බුදු බවට පත්වෙනවා.” කියා මම කීවා.
“ලෝක සත්ත්වයාට පිහිට වෙන්න මටත් ඕනෑ” යි මම නැවතත් කීවා.
“ආ…. නුඹට ඔච්චර ධෛර්යයක් තියෙනවා නම් ඇයි නුඹ මේ කටයුත්තට නොයන්නේ?” කියා මගෙන් ඇහුවා. මට උත්තර නැති වුණා.
“එහෙනම් මම යන්නම්. හැබැයි ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන්න ඕනෑ” ය මම කීවා.
“ඕනෑ වෙලාවක මා සිහිපත් කරන්න. මම උදව් කරනවා” කියා එතුමා කීවා.

ඒ ලෝකෙ මිනිත්තුවක් මනුස්ස ලෝකෙ අවුරුදු සියයක් හමාරක් පමණ වෙනවා. මම තීරණය කරන කොටත් කලින් කණ්ඩායමක් පිටත් වෙලා. මම ඒ පිරිස අතරින් හුඟක්ම බාලයි.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, ඕල්කොට් තුමා වගේ අය මට කලින් මනුස්ස ලෝකෙට එන්න අධිෂ්ඨාන කළ ඇත්තෝ. ඒ අය මට කලින් එහෙන් පිටත් වී සිටියා. මට වඩා බාල අයත් හිටියා. ඔය නාරද ස්ථවිරයෝ ආදී අය කීප දෙනෙක්.
“ඉතින් නායක හාමුදුරුවනේ! අන්තිමටම ආපු එක්කෙනා කව්දැ”යි මීතිරිගල නාහිමියෝ හරස් ප්‍රශ්නයක් ඇසූහ.
“අන්තිමට ආපු එක්කෙනා පියදස්සි.” මේ එව් පිරිස නිසා බුද්ධාගමට සිදුවෙන්න ගිය හානිය වැළකුණා. එංගලන්තය, ඇමෙරිකාව ආදී රටවලත් බුද්ධ ධර්මය පැතිරෙව්වා. එළඹෙන්න තිබූ බාධා වැළැක්වූවා. ඒ අයව එව්වේ ඒ ඒ අංශ පවරලා. සමහරු භාවනා අංශයට. තවත් සමහරු ආශිර්වාද අංශයට. සමහරුන් ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම දූත සේවයට. ඒ ඒ අය බාරගත් වැඩ කොටස් ඒ ඒ අයුරින්ම ඉටු කළා.

ඉතින්, මම බාරගත් වැඩ කොටස දැන් ඉටුකර හමාරයි. ආයෙත් දිව්‍ය ලෝකෙ යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ලෝකෙ ලංකාවෙම උපදින්නයි මට වුවමනා. මගෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න නම් වුවමනාව තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්‍. ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස් ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිණෙනවා

ඉන්දියාවේ හිමාලයේ “ගෞරි බාබා” නමැති යෝගියෙක් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරයේත් අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝග භාවනා කළ කෙනෙක්. පසුව ගෞතම බුදු හාමුදුරුවන් දැක බෞද්ධ වෙලා. එයත් සමථ භාවනාව දියුණු කළ කෙනෙක්‍. විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළවෙනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිතෙන් ශරීරය පාලනය කරන්න, ඉන්ද්‍රියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීමේ ආශාව තියෙන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්වෙන්න පුළුවන්.
මටත් මැරෙන්න නියමිතව තිබුණේ 1983. භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප වෙන්න.

බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්නේ ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහියෙන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ එළැඹ සිටි සිහියෙන් සිටියා නම් ඒක සිදුවෙන්නේ නෑ. මාරයා බාධා කළා. වේලාව මගහැරුණා. බුදු හාමුදුරුවොත් ඒ ගැන ක්‍රියාකළේ නෑ.

බුදුවන වෙලාවේ වසවත් මරු ආරාධනා කළ විට “සාසනය පිහිටුවනතුරු” කියා මාරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළානෙ. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා.

1896 අගෝස්තු මස 23 වෙනි දින රාත්‍රී 12 පසුවී විනාඩි 05 ට බළංගොඩ කිරිඳිගලදී නාරංගොඩ ආරච්චිගේ මෙතියස් හාමි නොහොත් මද්දුම හාමිට හා හීන් මැණිකේට දාව උපන් විලියම් නොහොත් පුංචි මහත්තයා පසුකලකදී ප්‍රකාශ කරන ළද පෙර භවයේ සටහනයි ඒ.

ඒ අන් කිසිවෙකුත් නොව,පසු කලකදී බුරුම රජයෙන් පිරිනමන අභිධජ මහා රට්ඨ ගුරු සංඝරාජ පදවියෙන් හා තවත් බොහෝ ගෞරව  බහුමානයන් ගෙන් පිදුම් ලද,ලක් දෙරණට පසලොස්වක සඳ මඬල මෙන් වූ,අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහිමියන්  ය.

විශ්ව කෝෂයකටත් වඩා වැඩි දැනුමකින් පරිපූර්ණ වූ බළංගොඩ හාමුදුරුවෝ,කිසිදිනපිරිවෙන් අධ්‍යාපනය නොලැබූ කෙනෙකි.උන්වහන්සේ,සිය ගුරු දේවයාණන් වූ දෙණිහේනේ සීලානන්ද නාහිමිටත් එහා ගිය දැනුම් සම්භාරයක් දරා සිටි උතුමෙකි.

විද්‍යොදය විශ්ව විද්‍යාලයේ මහායාන බෞද්ධ අංශයේ පීඨාධිපති ධූරය හා උපකුලපති ධූරයද,දඹදිව ඉසිපතනයේ මූලගන්ධකුටි විහාරාධිපති ධූරයද,උන්වහන්සේ දැරූ තනතුරු අතරින් කිහිපයකි.ඒ අතර උන්වහන්සේ ඉතා නිහතමාණී ලෙස ප්‍රතික්ෂේප කල තනතුරු ඉතා බොහෝය.නාලන්දාවට ඒ නම තැබුවේද,ආදර්ශ පාඨය නිර්මාණය කළේද උන්වහන්සේ විසිණි.

බෞද්ධ ග්‍රන්ථ,භාෂාන්තර භික්ෂක ග්‍රන්ථ,පරිවර්ථන කෘති,ජෝතිෂ ග්‍රන්ථ,වෛද්‍ය ග්‍රන්ථ,ඉංග්‍රීසි බාෂාවෙන් ලියැවුනු ග්‍රන්ථ සහ වෙනත් බොහේ වටිනා ග්‍රන්ථරත්ණයන්  රාශියක් උන්වහන්සේ අතින් ලියැවී ඇත.

ස්වාමි නාරායනාදන්,අරුණාචලයේ රමණ මහර්ෂි වැනි ඉන්දියානු යෝගීන්ගෙන් යෝග බාවනාව පිළිඹඳව පර තෙරටම හදාරා ඇති උන් වහන්සේ,අනගාරික ධර්මපාල තුමා,ඕල්කට් තුමා,ක්‍රිශ්ණමූර්ථි තුමා වැනි බුද්ධාගමේ උන්නතියට කටයුතු කළ බොහෝ ඇසූ පිරූ ඇත්තන් ලඟින් ඇසුරු කළ කෙනෙකි.

බළංගොඩ හාමුදුරුවෝ ඉන්දියාව මෙන්ම ප්‍රංශය,එංගලන්තය,ඇමෙරිකාව,වැනි අබෞද්ධ රටවලට වැඩම කරමින් අප ලොව්තුරා බුදුන්වහන්ස්වගේ ශ්‍රී සත්ධර්මය ව්‍යාප්තියට අනගි මෙහෙයක් ඉටු කළ  පුරෝගාමීන් අතර මුල්තැන ගත් උත්තමයෙකි.

සමථ බාවනාවෙන් පරචිත්ත විචාරණ සහ පුබ්බේනිවාසානුස්මෘති ඥාණය ද,විදර්ශණා බාවනාවෙන් සංකාර උපේක්ඛා ඥාණය දක්වාද සිත දියුණු කරගත් උන්වහ්සේට සෝවාන් වීම මගහැරී ගියේ බුදුවීමට තිබූ ප්‍රාර්ථනය හා අධිෂ්ඨානය නිසා බව මතුගම මහින්ද විජේතිලකගේ බලංගොඩ හාමුදුරුවෝ ග්‍රන්ථයේ සඳහන් වේ.

“මා දන්නව,මට විශ්වාසයි.ඉක්මනින්ම මා පරලොව ගියොත් ඉතාම ශ්‍රද්ධාවත් භක්තිමත් පවුලක දරුවෙකු වෙලා උපදින බව.මේ ආත්මේ කළාට වඩා ශාසනයේ දියුණුවට කටයුතු කිරීමට මට හැකිවෙනවා ඇති.ඒ නිසා මේ දුර්වල ශරීරයකින් යුක්තව තව තවත් ජීවත් වෙන්න මගේ ආශාවක් නෑ.නමුත් වෙන එකක් වෙච්චාවෙ.කොයි දවසෙ මැරුනත් මම  භය නැහැ.මම දන්නව,මීලඟ ආත්මෙයේ ජාතිස්මරණ ඥානයෙන් යුක්ත  වූ පැවිද්දෙක් මහජනයා ඉදිරියට අවුරුදු කිහිපයකින්  එන බව,මගේ ප්‍රාර්ථනය ඒකයි.”

සිය චිත්ත ශක්තියෙන් 1983 තිබූ මාරක අපළය මගහැර ගත් උන්වහන්සේ වසර 102 වන තෙක් ලාංකික හා සියලු ලෝක වාසී බෞද්ධයන්ගේ හිතසුව පිනිස ජීවත් ව, 1998 ජුලි මස 18 වෙනිදා සිය කුළුණු බර දෙනෙත් පියා ගත්හ.

උන්වහන්සේගේ ගුණ කදම්බය මෙවැනි කුඩා ජේද කිහිපයකට හකුළුවා ලීම ඉතාමත් අසීරුය.එහෙත්  උතුම් සඟ ගුණයෙන් පරිපූර්ණ  බුදුපුතෙකුගේ වත ගොත මෙසේ සටහන් කරමි.

ප.ලි

චීවරයට මුවාවී සියලුම අවැඩ සිදුකරන,දේශපාලනය කරන,දහස් ගණනට උතුම් සත්ධර්මය විකුණන,පංසල් වෙනුවට  සත්මහල් ප්‍රාසාද ඉදි කරන,මිථ්‍යාදෘෂ්ඨීන් පතුරවන,ගෞතම බුද්ධ ශාසනයේ විනාශයට උඩගෙඩි දෙන චීවර ධාරින් මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ පයට පෑගුන වැලි පිඩකටවත් සමාන කිරීමට නොහැක.

මතු බුද්ධත්වයම පතන ඔබ වැනි බෝදිසත්වයන් වහන්සේ කෙනෙකු පාමුල දොහොත් මුදුන් තැබීමට මා කළ පින් නොසෑහුන බැවින්,බුදුන් වැඩි දේශයෙන්,ධර්මය රැකෙන දේශයෙන්,නිර්මල බුදුදහම මැකී යන්නට ප්‍රථම,ඔබවනසේගේ කරුණා බර දෙනෙත් නැවතන් මගේ ලක්මෑනියගේ තුරුළේ විකසිත වේවා!

මූලාශ්‍ර ග්‍රන්ථ,

මතුගම මහින්ද විජේතිලක:-සසුන’ඹර ගුරු තරුව බළංගොඩ හාමුදුරුවො

සමුද්‍ර වෙත්තසිංහ:-ආනන්ද මෛතීය මහනාහිමිගේ අප්‍රකට ලිපි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.