Skip to main content

සතුටින් සිටින මග …

යහලුවනේ අපි හැමෝම ආසයි නේද සතුටින් ජීවත් වෙන්න. මොනතරම් මිල මුදල් තිබුනත් සතුට කියදේ සල්ලිවලට ගන්න පුලුවන්න. පුලුවන් උනත් ඒ තාවකාලික සතුට පමණයි. ඒ නිසයි බුදුහාමුචුරුවො කීවෙ සතුට පරම ධනය කියල. ලෝකයේ සතුටින්ම සිටින මිනිසා සොයා ගැනීම සඳහා මෙතෙක් සිදුකරන ලද පර්යේෂණ අභිබවා, ලොව සතුටින්ම සිටින මිනිසා භාවනාවුයෝගී බෞද්ධ භික්ෂුවක් ලෙස හඳුනාගැනීමට ප‍්‍රංශ ජාතික විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරථා කලා. බුදු දහම කියන්නෙ දුක ඉවත දමල සතුටු වෙන විදිය කියල දෙන ලොව ඇති එකම දර්ශනය. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අණන සූත්රයත් සතුට ගැන කියවෙන ඉතා වැදගත් සූත්‍ර දේශනාවක්. අද අපි බලන්නෙ මේ සූත්‍රයේ අර්ථ විග්‍රහයක් පිලිබදව. ඉතින් මේක හොදින් කියවන්න ඔබටත් සතුට ලගා කරගන්න පුලුවන්ද කියල.

චත්තාරිමානි ගහපති සුඛානි අධිගමනීයානි, ගිහිනා කාම භොගිනා කාලෙන කාලං සමයෙන සමයං කතමානි චත්තාරි අත්ථි සුඛං, භොග සුඛං , අනන සුඛං, අනවජ්ජ සුඛන්ති’ති
අණන සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ විශේෂයෙන් ගිහි පින්වතුන්ගේ ජීවිතයට සම්බන්ධකර ගන්න ඕන කාරණා හතරක් පෙන්නුම් කරනවා. චත්තාරිමානි, ගහපති සුඛානි …. ගෘහපතිය, ගිහියෙකු විසින් වරින් වර සමයෙන් සමයට අවස්ථාවෙන් අවස්ථාවට, තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගත යුතු, තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු කරුණු හතරක් තිබෙනවා. “කතමානි චත්තාරි, ඒ කාරණා හතර මොනවා ද? අත්ථි සුඛං, භොග සුඛං, අනන් සුඛං, අනවජ්ජ සුඛං, මේ පාලි පාඨයෙන් කියන කරණු හතරේ අදහස කුමක් ද? කාම භෝගී ජිවිතයක් ගත කරන ගිහි පින්වතුන් විසින් මෙන්න මේ කරුණු හතර තමන්ගේ ජීවිතය හා සම්බන්ධ කර ගත යුතුයි.

අත්ථි සුඛය.
තමන් උපයාගත් වස්තුව දැහැමෙන් සෙමෙන් උපායාගත්බවට ඇති සතුට

භෝග සුඛය.
මම ධාර්මිකව ජීවත් වෙමින් දැහැමින් සෙමින් අඹුදරුවන් පෝෂණය කරමින් දාන ධර්මාදී පින්කම්වලත් යෙදෙනවා කියන සතුට

අණන සුබය,
කිසිවෙකුට ස්වල්ප හෝ ණයක් නෑ කියන සතුට

අනවජ්ජ සුඛය.
තිදොර සංවර වීමෙන් ලබන සතුට

මේ සංතෝෂ හතර ගිහි පින්වතුන් වශයෙන් ඔබ හැම දෙනාම ලබාගත යුතුයි. දැන් අපි මේක තව පොඩ්ඩක් විස්තර වශයෙන් බලමු.

අත්ථි සුඛං

අද මිනිස්සුන්ගේ ප්‍රධාන තේමාව මුදල් හම්බ කිරීමයි. ඉඳුරන් පිනවීමයි. ඒක හොඳින් බැරිනම් නරකින්හරි කර ගන්නවා.

ඉතිං ඒ අය කල්පනා කරනවා ඒ වෙලාවට නෝට්ටු කොළ අතට එනවා නම් ඩොලර් අතට එනවා නම්, ඊට වඩා සතුටක් නැහැ කියල. ඒත් ඔලුවෙ කැක්කුමකට පුලුවන් මිනිහෙක් හිගන්නෙක් කරන්න. බුද්ධ දේශනාවේ සඳහන් වන පඤ්චසීල ප්‍රතිපත්තිය ජීවිතයට අරගෙන හිතට එකඟව කටයුතු කරනවා නම් සුගතියට යනවා කියන එක ඉතාම සුළු දෙයක්, නිදා පිබිදියාක් මෙන් සුගතියේ උපදින්න පුලුවන්. භාවනා කරලා නොවෙයි. මහා පරිමාණයෙන් පින්කම් කරලා නොවෙයි පින්වතුනි, පන්සිල් රැකලා.

ඉතිං අද නූතනයේ ජීවත් වන අය මේ පන්සිල් කියන ඒවා බොහෝම පහත් කොට සලකනවා. ශික්‍ෂාපද ටිකක් කියනවා නිකන් ඉන්නවා. ඒත් යමෙක් හදවතින් තමන් එක්රැස්කල වස්තුව ගැන සතුටුවෙන්න පුලුවන්නම් මොනතරම් පිනක්ද?

අපේ පරණ මිනිස්සු, කෘෂිකාර්මික රටක් වෙච්ච මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සු මොන තරම් සංතෝෂයෙන් හිටියාද? අද මහල්, දෙමහල්, තෙමහල්, සිව් මහල්, විසි තිස් මහල් හදාගෙන ගොඩනැගිලි ගහලා තියෙනවා. නොයෙක් විධියේ සුඛෝපභෝගී භාණ්ඩවලින්, යාන වාහන වලින් අපේ රට පිරිලා තියෙනවා. නමුත් අද මිනිසුන්ට නැත්තේ මොකක්ද සංතෝෂය, අද මිනිසුන්ට සතුට නැහැ. ඔවුන්ට ඇතිවන මානසික පීඩාවලට බෙහෙත් නැහැ. මානසික පීඩා නිසා සිය පණ හානිකර ගන්නවා. අනුන්ගේ ජීවිත නැති කරලා දානවා.

අපි මහන්සි ගන්නට ඕන ධාර්මිකව ධනය හම්බ කරන්නට, මේ පළවෙනි සංතෝසය ටිකක්වත් අපේ ජීවිතවලට ලබා ගත්තේ නැත්නම් අපේ ජීවිතවල ජයග්‍රහණයක් නැහැ. අපේ ජීවිත පරාදයි , සත්ව වෙළඳාමෙන්, අවි ආයුධ වෙළඳාමෙන්, මස් මාංශ වෙළඳාමෙන්, වස විෂ වෙළදාමෙන්, මත්පැන් වෙළඳාමෙන් ඒ වගේම නොයෙකුත් ආකාරයේ කටයුතුවලට දරුවන් විකිණීමෙන් ධනය හම්බ කරනවා නම් ඒ ජීවිතයේ කිසිම සාර්ථකත්වයක් නැහැ. සමහර අය පහසුවට කියලා සත්ව ගොවිපළවල් ඇති කරනවා. ඉතින් ඒවායින් ලබන ධනය පින්වතුනි කිසිසේත් ම ධාර්මික නැහැ. මේව තමන් විසින් කරගන්න අපල.

භෝග සුඛය

දෙවැන්න “භෝග සුඛය”යි. මම ධනය හම්බ කරලා තියෙන්නේ ධාර්මිකවයි. මව්පියන් පෝෂණය කරනවා. ඒ ධනයෙන්, ශාසනික වශයෙන් දාන මානාදී පින්කම් කරනවා, දුගී මගී යාචකාදීන්ට දන් දෙනවා. මම හම්බ කරන ධනය අතහැර දමා යන්න සිද්ධ වෙනවා. මරණින් මතු අහිමි වන ධනය සසරට පරලොවට ගෙන යන්න පුළුවන් විධියේ කටයුතුවලත් යෙදෙනවා කියලා පුදුමාකාර සතුටක් ලබනවා. ඒත් අද මිනිස්සු කෙල ගගා එකතුකරනව. බෝතලේකට මිසක් පිනට යමකක් දෙන්නෙ නෑ. අන්තිමට නිරාදුක් විදල මැරිල පෙරේතයො වෙලා උපදිනව.
මේකෙ මූල බීජය මොකක්ද කියලා හොයල බැලුවොත් නරක් වෙච්ච මානසික තත්ත්වයයි හේතුව, මනස නරක් වීමයි. නූතනයේ වෛද්‍යවරු ප්‍රකාශ කරනව මිනිසුන්ට හැදෙන අසනීපවලින් සියයට අසූවක්ම මනස නරක් වීමෙන් මනස විකෘති වීමෙන් කියලා. පින්වතුනි, මෙච්චර රෝගීන් ඇති වෙන්න හේතුව, ලෙඩරෝග බහුල වෙන්න හේතුව මොකක්ද, මනස විකෘති වීමේ හේතුව නිසයි.
මොකක්ද මේකට හේතුව. අධික තණ්හාව. කාමයට, ධනයට, බලයට තියෙන තණ්හාව. ලංකාවට ආපු සුනාමිය බලන්න‍. මේකෙන් මොකක්ද කියන්නෙ. ස්වභාව ධර්මයට විරුද්ධ වුණොත්, අධර්මවාදී වුණොත්, බලවත් වුණොත්, ස්වභාව ධර්මයට පුළුවන් මේ ලෝකය නැති කරන්න කියන සංඥාවකුත් ඒ තුළින් අපට ලබා දෙනවා.
මේ ස්වභාව ධර්මය පවා කුපිත වෙන්නේ මොකද? පින්වතුනි, මිනිසුන්ගේ මනස නරක් වීමෙන්, ස්වභාව ධර්මය පවා හොඳ වෙන්නේ මොකද, මිනිසුන්ගේ මනස හොඳවීම නිසයි. ඒ නිසා මේ මනුෂ්‍යයා හදන එක තරම් ලොකු දෙයක් මේ ලෝකේ තවත් නම් නැහැ පින්වතුනි, නමුත් ලෝකයේ නොසළකා හැරලා තියෙන්නෙ මොකක්ද? මිනිසා හදන එක. ඒ අය කරන්නේ මොකක්ද? මේ මනුෂ්‍යයාගේ මනස තව තවත් විකෘතිවෙන විධියට , ආවේග වැඩි වන විධියට ඕන කරන දේවල් සපයා දෙනවා. ඇසට, කණට, නාසයට, දිවට, ශරීරයට ඒවා ලබා දෙනවා. දැන් ඇමෙරිකාදී රටවල් බොහොම කැළඹීමට පත්වෙලා ඉන්නවා. මේ අනාගත පුරපුර ගැන.
ඇත්ත වශයෙන්ම මේ දැහැමින් ජීවත්වීම තරම් ලෝකයට යහපතක් කරන්න පුලුවන් දෙයක් තවත් නැහැ. තමන්ට යහපතක් වෙන දෙයක් තවත් නම් නැහැ. ඒ මොකද පින්වතුනි, තමන්ටත් යහපතක්, අනුන්ටත් යහපතක්, ඒ නිසා සිදුවෙනවා, ධාර්මිකව ජීවත් වෙමින්, ධාර්මිකව අඹු දරුවන් පෝෂණය කරමින් දාන ධර්මාදී පින්කම්වල යෙදෙනවා නම් ඒ තැනැත්තාට මේ භෝග සුඛය කියන සැපයත් ලබන්න පුලුවන්. මේක පරලොවදී ලැබෙන දෙයක් නොවෙයි . පරලොව ගියාම මරණින් මත්තේ ලැබෙන දෙයක් නොවෙයි. මේ ජීවිතයේදීම ලබන්න පුළුවන් ඉතා හොඳම තෘප්තියක් අපි හොඳට කල්පනා කරලා බැලුවොත්.

අණන සුඛය

තුන්වැන්න “අනන සුඛය”යි. මොකක්ද මේ අනන සුඛය කියන්නේ ණය නැති සැපය. තමන් කිසිම කෙනෙකුට කිසිම ආයතනයකට ස්වල්ප වශයෙන් හෝ විශාල වශයෙන් හෝ ණයක් නැත්නම් ණය තුරුස්වලට බැඳිලා නැත්නම් ඒ තැනැත්තාට කොච්චර සතුටක්ද? පින්වතුනි, දැන් අපි සමාජ රටාව දිහා කල්පනා කරලා බැලවොත් පුද්ගලයා තවත් කෙනෙකුට, පිරිසකට ණය වෙනවා. ඒ වගේම අපේ රට තවත් ලෝකයේ රටවලට ණය වෙනවා. මේ විධියට ණය කියන එක සාමාන්‍ය දෙයක්.
නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා ණය වීම කියන එක හොඳ දෙයක් නොවෙයි. ණයට ගන්නවා කියන එක හොඳ දෙයක් නොවෙයි. ණය ගෙවා ගන්න බැරි වුණොත් ඒකෙන් ලැබෙන විපාකය හොඳ විපාකයක් නොවෙයි.

යහලුවනේ ලංකාවේ මීට අවුරුදු තිහ හතලිහකට උඩින් උන කථාවක් තියෙනව. අහගන්නකො. කොළඹ කෙසෙල් කැන් මාර්කට් එකේ ඉඳලා තිබෙනවා දෙමළ මුදලාලි කෙනෙක් එක්ක ගණු දෙනු කරන සිංහල මුදලාලි කෙනෙක්. කොහොම හරි මේ දෙමළ මුදලාලිගෙන් යම් කිසි ණයක් අරගෙන තිබෙනවා සිංහල මුදලාලි. ඒක ගෙවා ගන්න බැරි වුණා. ඔන්න මූලික අවස්ථාව, මේ සිංහල මුදලාලි මළායින් පස්සේ පුතා මොකද කරන්නේ. තාත්තා ගැන තොරතුරු අහන්න තැන් තැන්වල ගිහිල්ලා තිබෙනවා.

ඉන්දියාවේ මෙහෙම තැනකින්කියල තියෙනවා තාත්තාගේ පුනර්භවය තියෙන්නේ ඔය රටේම යි කියලා. වැඩිදුරටත් තොරතුරු කථා කරනකොට තාත්තා මනුෂ්‍ය ආත්මයක් ලබා නැති බවත් තිරිසන් ආත්මයක් ලබාගෙන මුදලාලි කෙනෙකු ළඟ ඉන්න බව ඔහු කොළඹට කෙසෙල් කැන් ප්‍රවාහනය කරන අහවල් ඉසව්වේ ඉන්න බවත් කියවුණා. හඳුනා ගන්නේ කොහොම අපේ තාත්තා කියා ඇහුවාම, ඔබ ගියාම ඒ තිරිසන් සත්වයා ඔබව පුතා බව හඳුනා ගනියි කියා කිව්වා. හැබැයි බැරිවෙලාවත් එයා එතැනින් ඉවත් කරගෙන ගෙදර ගෙනියන්න හිතන්නවත් එපා කියලත් කිව්වා.

ඉතින් මේ පුතා තාත්තාට පුදුම ළෙන්ගතුකමක් තිබුණා. මේ කියපු තැනට කෝච්චියෙනුයි යන්න තිබුණේ. මේ ළමයා කෝච්චියෙන් ගිහිල්ලා ලොකු කෙසෙල් ඇවරි දෙක තුනකුත් දාගෙන ඔය කියපු තැනට හොයා ගෙන හොයා ගෙන ගියා. ගිහින් අර මුදලාලිට කිව්වා මෙහෙම කෙනෙක් බලන්න ආවා කියලා. මුදලාලි හිතලා තියෙන්නේ විකුණන්න ගෙනියන්න මිලට ගන්න ආවායි කියලා. ගේ පිටුපසට ගිහින් බැලුවායින් පස්සේ ගාල් කරලා ඉන්නවා විශාල ගොන් නාම්බෙක්. මේ තරුණයා දැක්කා විතරයි උඩ පැනලා කෑගහලා නොයෙකුත් විදිහේ දේවල් කරලා ඇඳුනුම්කම අඟවලා තිබෙනවා. ළඟට ගියායින් පසු අත ලෙවකන්න පටන් ගත්තා.

පුතා කෙසෙල්කැන් ඇවරිය මේ සතාට දුන්න. පුතාගේ සැකය සන්සිඳුණා මේ තාත්තා තමයි කියලා. ඉතින් මේ ළමයාට අර ශාස්තර කාරයා කියපු දෙය අමතක වුණා මේ සතාව දුටුවම. සෑහෙන මුදලකුත් ළඟ තිබුණ නිසා මුදලාලිත් සමග කථා කරගෙන ලොකු මුදලක් දීලා මේ සතාව අරගෙන කෝච්චියට ගොඩ කරගෙන කොහොම හරි ගෙනිහිල්ලා තියෙනවා. මේකව කෝච්චියෙන් අරගෙන සුළු වේලාවකදී මැරිලා තියෙනවා. පුතා ලොකු ශෝකයකින් මේ සතාව අරගෙන ගිහින් මිහිදන් කරලා තියෙනවා.
මේවා පින්වතුනි මේ රටේදී සිද්ධ වුණ දේවල්. නමුත් අපි මේවා ගණන් ගන්නේ නැති තැනට අද ඇවිල්ලා තියෙනවා. නමුත් අපි කාගෙන් හරි රුපියල් දාහක් ණයට අරගන ගෙවාගන්න බැරිව මරණයට පත්වුණොත් සමහර විට කෝටි ගණනින් තමයි ණය ගෙවන්න වෙන්නේ.
අපේ ගමේගොඩේ මේවගෙ කථාවල් තියෙනව ඔයාල අහල ඇති. “ ඕක පන්සිය පනස් වාරයක් කඹුරපන්,” “ ඕක රට මීහරකෙක් වෙලා මට කඹුරපන් ” මේවගෙ කථා ඔයාලට ඕනිතරම් ඇහිල ඇති. බලන්න දැන් ඔය ඉන්නවා නිවෙස්වල දාසකම් කරන මිනිස්සු ඔවුන් මැරිගෙන වැඩ කරනවා. සතුන් ඉන්නවා උන්ගෙන් වැඩ ගන්න එකේ ඉවරයක් නැහැ. මේවා ඇත්ත වශයෙන්ම බැලුවොත් සියයට වැඩි ප්‍රමාණයක් ණය තුරුස් වෙච්ච ණය තුරුස් ගෙවා ගන්න බැරිව සිදුවුණ දේවල්, තිලෝගුරු බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ණය නොවි ජීවත් වෙන්න. යම් යම් අවස්ථාවල ණය වෙන්න සිද්ධ වෙයි. නමුත් අපි කොහොම හරි ඒ ණය ගෙවන්න ඕනි. ඒ ණය ගෙව්වේ නැත්නම් ඒ ණය ගෙවන්නේ කවුද? තමන්ගේ පවුලේ කෙනෙක් නොවෙයි. ඒක ගෙවන්න වෙන්නේ තමන්ටමයි. ඒ නිසා ලෞකික වශයෙන් ජීවත්වන ගිහි පින්වතුන්ලාට මේ අණන සුඛය ඉතාම වැදගත් දෙයක්. අද අපි බැලුවොත් ඇත්ත වශයෙන්ම සමාජ ජීවන රටාව සකස් වෙලා තිබෙන්නේ ණය මතයි. ණයෙන් තොරව ජීවත්වන කෙනෙක් සොයා ගන්න බොහොම අමාරු තත්ත්වයකට තරම් ණය කියන එක සාමාන්‍ය දෙයක් වෙලා. එම නිසා ණය නැති සැපය පරලොවදී ලබන එකක් නොවෙයි. මෙලොවදීම ලබන එකක්.

අනවජ්ජ සුඛං

අත්ථි සුඛං, භෝග සුඛං, අණන සුඛං හතර වෙනි එක අනවජ්ජ සුඛං, ඒක අර තුනටම වඩා වැදගත් වෙනවා. නිවැරදිව ජීවත්වෙනවා කියන සංතෝෂය.

කයෙන් වැරදි නොකිරීමත්, වචනයෙන් වැරදි නොකිරීමත්, සිතෙන් වැරදි නොකිරීම ත්, කියන මේ තුන් දොර සංවර කරගන්න පුළුවන් නම් ඒක තමයි මේ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්ත කෙනෙක් විසින් ලබා ගන්න තියෙන ඉහළම සතුට කියලා මට කියන්න පුළුවන්. මේ ජීවිතයට පමණක් ඒක සීමා වෙන්නේ නැහැ. සාංසාරික ජීවිතයටත් උපකාරි වෙනවා. බෞද්ධයෙක් වශයෙන් සාංසාරික ගමන කොට කර ගන්නත් හේතු වෙනවා. මොකක්ද මේ තුන්දොර සංවර කරගැනීම, එච්චර අමාරු දෙයක් නොවෙයි.

කය වචනය සංවර කර ගන්නවා කියන එක. මිනිස්සු හිතට ගත්තොත්, ඕනකම් කළොත්, එච්චර දෙයක් නෙවෙයි. කය වචනය සංවර කරගන්නවා කියන එක. මිනිස්සු හිතට ගත්තොත් ඕනෑකම් කළොත්, එච්චර අමාරු දෙයක් නොවෙයි. සතුන් මැරිමෙන්, සොරකම් කිරීමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින්න බැරිද? මේ වැරදි තුනෙන් වළකිනවා නම් පින්වතුනි කෙනෙකුගෙ ජීවිතය කොයි තරම් ගෞරවනීයද ? කොච්චර පිරිසිදු ද ඒ ජීවිතය. අද අපි සාමාන්‍යයෙන් සතුන් කියනකොට පොඩි සතුන් ගණන් ගන්නේ නැහැ.

ඒ වගේම මසට සතුන් මරණවා. බිත්තර පාවිච්චි කරනවා. අපි ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බැලුවොත් මේ මිහිපිට ජීවත් වන සෑම කෙනෙකුටම මනුෂ්‍යයෙකුට පමණක් නොවෙයි. තිරිසන් සතෙකුට පමණක් නොවෙයි. කුරා කුහුඹුවාට පවා ජීවත්වීමේ අයිතිය තිබෙනවා. හොඳට කල්පනා කරලා බලන්න මේ විශ්වය අයිති අපට පමණක් නොවෙයි. සෑම දෙනාටම පොදුවේ මේක අයිතියි.

යම්කිසි කෙනෙක් යම් සතෙකුගේ ජීවත්වීමේ අයිතිය. උදුරාගන්නවා නම්, පැහැර ගන්නවා නම් පින්වතුනි ඒක මනුෂ්‍යකමට ගැළපෙනවාද? කිසිසේත් ගැළපෙන්නේ නැහැ.

අද මානව හිමිකම් කියලා තියෙනවා. වෙන වෙනත් සංවිධාන තියෙනවා. මනුෂ්‍යයා විසින් මනුෂ්‍යයෙකුට එරෙහිව කරන යම් යම් කටයුතුවලට නීති රීති දාගෙන කථා කරනවා. නමුත් තිරිසන් සතුන් ගැන හිතන්නේ බොහොම අඩුවෙන් ඉතින් ඔය වනගතව ඉන්න අලි ඇතුන් වැනි සතුන් පිළිබඳව තරමක් සොයා බලනවා. නමුත් කුඩා ගණයේ තිරිසන් සතුන් පිළිබඳව තැකීමක් ඇත්තේම නැහැ.

තමන්ගේ ජීවිතයට ආදරේ නම් බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා කිසිම කෙනෙක් අනුන්ගේ ජීවිතයක් නැති කරන්නේ නැහැ කියලා. ඉතින් අපි අකල් මරණයක් සිදුවුණායින් අනතුරුව, දුවා දරුවෙකුගේ අකල් මරණයක් සිදුවුණාම, තමන්ගේ ඥාතිවරයෙකුගේ අකල් මරණයක් සිදුවුණාම අපි බලවත් ;ස් කම්පාවට පත්වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය මනුෂ්‍ය ගතියක්. නමුත් යථාර්ථවාදීව කල්පනා කරලා බැලුවොත් මොනවා හරි සංසාරයේදී කරන ලද කර්මයකුත් ඔතනට ඇවිල්ලා තියෙන්න බොහෝ විට පුලුවන්.

සියයට සියයක් නොවුණත් බොහෝ විට පුලුවන්. ඉතින් මිනිස්සු මොනතරම් සත්ව ඝාතන කරනවාද? ඒ වගේම තමන්ගේ වෙනත් අවශ්‍යතාවයන් සඳහා භක්‍ෂණය සඳහා මොනතරම් සත්ව ඝාතනය කරනවද? මිනිසුන්ගේ ජීවිත නැති කරනවද? මේවයේ විපාක විඳින්නේ කවුද? තම තමන් විසින්ම යි. සමහර විට තමන් නැති කළේ එක ජීවිතයක්. නමුත් එක ජීවිතයක් නැති කිරීමේ විපාකය අපට විඳින්න වෙනවා.

සමහර විට දස දහස් කෝටි වාරයක් ජීවිතවලදී වන්දි ගෙවන්න සිදු වෙනවා. ලෝවැ සගරාවේ තියෙනව කවියක් ඔයාල අහල ඇති එලුවකුගේ හිස සිදි ගෑණියක් ඒ එලුවගේ අගේ ලෝම ගනනට හිස් කැපුම් ලැබුව කියල.

තවත් නොයෙකුත් පීඩා, රෝගබාධ ලබා දීමේ ශක්තිය, ප්‍රවෘත්ති විපාක ලබාදීම් වශයෙන් ඇතිවෙනවා. මේවා හොඳට අපි කල්පනා කළොත් කර්මය සහ විපාකය හොඳින් පිළිගන්නවා නම් පින්වතුනි මැස්සෙක් තරම් එකෙක්වත් කෙනෙක් මරන්නේ නැහැ. අර කාන්තාව කරපු අකුසල කර්මයෙන් විපාක වින්දේ ආගන්තුකව පැමිනි මනුෂ්‍යයා ද, ඒ මාංශ රසය අනුභව කළ තමාගේ ස්වාමි පුරුෂයා ද? නැතිනම් දරුවන්ද? නැහැ තමන්මයි ඒ විපාකය වින්දේ, ඇයි ඉතින් අපි ඒ විධියට අනර්ථකාරි ක්‍රියාවල යෙදෙන්නේ . එම නිසා ප්‍රාණඝාතය පිළිබඳ හොඳට කල්පනා කරලා තාවකාලික සතුට සඳහා හෝ වෙන හේතුවක් නිසා හෝ කිසිම සතෙකුගේ ජීවිතයක් අපි නැති කරන්න හොඳ නැහැ.
සොරකම ගැනත් ඒ වගේමයි . මේ අපි හැම දෙනාටම තම තමන් සතු වස්තුවක් පරිහරණය කරන්න. ඒවා තමන්ගේ පාවිච්චියට තියා ගන්න අයිතියක් තියෙනවා. තව කෙනෙක් ඒ අයිතිය උදුරා ගන්නවා නම් ඒක කිසිසේත් මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැහැ.
කාමයෙහි වරදවා හැසිරීම පිළිබඳව කියන්න දෙයක් ඇත්තේ නැහැ. අද බටහිර රටවලට එහා ගිහින් සමහරවිට. අද අපේ රට මිනිසුනගේ ජීවිත කඩාකප්පල් වෙන තැනට ගිහිල්ලා. මොකද සෑහීමකට පත්වෙන්න බැහැ. සෑහීමට පත්වෙන්න බැරිකම. ඒ නිසා අපි සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕනි බෞද්ධයන් වශයෙන් අපට කොච්චර හොඳ දහමක් ද තිබෙන්නේ කාමයෙහි වරදවා හැසිරිමෙන් වළකින්න ඕනි. අරම මුස්ලිම් මනුෂ්‍යයෙක් පසුගිය දිනවල කියලා තිබුණා රැස්වීමකදී, උඹලා කාමේසුමිච්ඡාචාරා කියලා කොච්චරවත් සමාදන් වෙනවා නමුත් උඹලගේ රටේ මුහුදු වෙරළේ හැම තැනම මොනවාද කාමේසුමිච්ඡාචාරය, උඹලා සුරාමේරය මජ්ජපමාදට්ඨානා කියලා නිතරම කියනවා.

ඒත් උඹලාගේ රටේ හැම තැනම සුරා සැල්. අපිට දැන් බණ කියන්නේ කවුද? හාමුදුරුවරු නෙවෙයි. මුස්ලිම් මිනිස්සු. ඉතින් හාමුදුරුවරු කියනදේ අහන්නේ නැත්නම් අපට මුස්ලිම් මිනිහා කියන දේවත් අහන්න වෙනවා. ඇත්තක් නම් ඒ කියන්නේ ඒ තරමටම අපේ ජාතිය වඳවෙලා යන, විනාශ වෙලා යන ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ මොකද? ධර්මයක් පිළිගන්නේ නැහැ. ඇහුවොත් මොකක්ද ආගම කියලා බෞද්ධ . දැන් මුස්ලිම් මිනිස්සු ගැන අපි පොඩ්ඩක් හිතලා බලමු.
අපි සමීපයේ ඉන්න මිනිස්සු. අපේ දහමේ හැටියට ඒ මිනිස්සුන්ගේ ධර්මය ඇත්ත වශයෙන්ම සම්‍යක් දෘෂ්ඨික දහමක් කියලා අපට කොහොමවත් කියන්න පුලුවන් කමක් නැහැ. නමුත් බලන්න ඒ මිනිස්සුන්ගේ කැපවීම. ඒ ධර්මය පිළිබඳව ඔවුන්ගේ තිබෙන කැපවීම පොඩ්ඩක් හිතලා බලන්න. ඉන් ඔබ්බෙහි තිබෙන ආගම් දිහා හිතලා බලන්න. ඒත් යහලුවනේ මේතරම් පිවිතුරු ආගමක් ඇති අපි කොයිතරම් කැපවෙන්නඕනිද?

හරි. බලන්න කොච්චර ලස්සන කරුණු අටක්ද මේ කථා කළේ කියලා. මේවා අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තා කියලා ඔය අයගේ ජීවිතවලට ,, ව්‍යාපාරවලට කවදාවත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ගිහියන් වශයෙන් තමන්ගේ ජීවිතය තව තවත් ඒවායේ දියුණුවක්, අභිවෘද්ධියත් මිස කවදාවත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ..
අනුන් නැසේවා, වැනසේවා කියලා හිතන ව්‍යාපාදය සහ මිථ්‍යා අදහස් ගැනීම, මේවා මුලින් සඳහන් කළ ඒවාට වඩා ටිකක් සංකීර්ණයි. ඒවත් අපිට යම් ප්‍රමාණයකින් තුනී කරගන්න පුලුවන්. සීලාදී ගුණ වලට බර වෙනකොට, භාවනා පැත්තට අපේ හිත නැඹුරු කරනකොට අපිට මහත් වූ සහනයක් ඇති කර ගන්නට පුලුවන්කම තිබෙනවා.

ඉහතින් විස්තර කළ අත්ථි සුබය. භෝග සුඛය, අනන සුඛය. අනවජ්ජ සුඛය, කියන මේ සැප හතර පින්වතුනි තථාගතයන්වහන්සේ වදාරණවා කාටද? ආර්ය පුද්ගලයෙක් වෙච්ච සුදත්ත සිටුතුමාට , අනේ පිඬු සිටුතුමාට පෙන්වනවා මේවා වරින් වර ඇතිකරගත යුතුයි කියලා, ආර්ය පුද්ගලයෙක් කොහොම වුණත් සත්ව ඝාතනාදී කටයුතු කරන්නේ නැහැ. ඒත් ණය තුරුස්වීම් ආදී දෑ වෙන්න පුළුවන්. ඒ වගේම වචනයෙන් කෙරෙන වැරදි වෙන්නටත් පුලුවන්කම තිබෙනවා.

එහෙත් නියත මිථ්‍යා දෘෂ්ඨියක් ගන්නේම නැහැ. ඒත් ඒවා සේරම අළලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මොකද, මේ අනේපිඬු සිටුතුමා මුල්කර ගෙන මේවා කියන්නේ, එයාට පමණක් නොවෙයි අනාගතයට ඇතිවන අනාගතයේ ඉන්න අපටත් එක්කයි මේ බණ කියලා තියෙන්නේ. ඒ නිසා මේක අනේ පිඬු සිටුතුමා පිරිසුදු කරන්න දේශනා කළා නොවෙයි.

කිසිම කෙනෙකුට වාද විවාද කරන්න පුලුවන් කමක් නැහැ මේ කරුණු හතර අපේ ජිවිතයට සම්බන්ධ කරගත්තොත්, අපිට මේ අලාභහානි, පාඩු වෙනවා කියලා. කිසිම කෙනෙකුට තර්කාණුකුලව කරුණු ඉදිරිපත් කරන්න ඉඩක් නැහැ පින්වතුනි, යම් කෙනෙක් තමන්ගේ ජීවිතය පිළිබඳ කල්පනා කරනවා නම්, කර්මය ඵලය විශ්වාස කරනවා නම් වරින් වර මේ ධර්ම කරුණු තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගන්න පුලුවන්.

මොකද ගිහි ජීවිතය කියන එක හරිම සම්බාධ සහිතයි. අද වැනි සංකීර්ණ සමාජ තලයක ජීවත්වන ඔයගොල්ලන්ට නොයෙකුත් ප්‍රශ්න, ගැටලු , අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම අවස්ථාවලදී ඔයගොල්ලන්ගේ අතින් සුලු සුලු අඩුපාඩුකම් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒකනේ පෘථග්ජන කියන්නේ. පුහුදුන් කියලා කියන්නේ ඒකයි.

ඔය පුහුදුන් කියන වචනය ධර්ම දේශනා කරන නොයෙකුත් හාමුදුරුවරු එක එක විධියට විස්තර කරන හැටි පේනවා. නමුත් බුද්ධ දේශනාවේ හැටියට පුහුදුන් කියන්නේ මොකක්ද? හුඟක් කෙලෙස් ඇති වෙනවා කියන එක. හුඟක් වැරදි සිද්ධ වෙන ජීවිතවලට යි පුහුදුන් කියලා කියන්නේ. හැබැයි පෘථග්ජන කියන එකෙත් තිබෙනවා කොටස් දෙකක්. අන්ධ පෘථග්ජන සහ කළ්‍යාණ පෘථග්ජන කියලා.

පිනක් දහමක් ගැන හිතන්නේ නැති, සීලයක් ගුණයක් නැති, මව්පියෝ ගැන හිතන්නේ නැති. එහෙම බෞද්ධයෝත් ඉන්නවා. ඒ අයට අපි කියනවා අන්ධ පෘථග්ජනයෝ යි කියලා. ඔයගොල්ලෝ දන්නවා තමන් ඇසුරු කරන සමාජ තලය තුළ ඉන්නවා නේද? මත්පැන් ටිකක් බිව්වට ඇති වරද මොකක්ද? ඔය සුලු පාපයක් කළාම ඇති වැරැද්ද මොකක්ද? එයින් නොනැවතී යමු යමු කියලා තමන් ඇසුරු කරන අයත් ඒවාට ගාව ගන්නවා. ටිකෙන් ටික පටන් ගත්ත එක හතර ගාතෙන් යන්න බැරි තැනටම බොනවා. සූදුව කියන එක හිඟාකන තැනටම වැටිලා . අද හිඟාකන ධනපතියෝ කොච්චර ඉන්නවාද ? ඒවා උදව් උපකාර කරන අයට කියන්න තියෙන්නේ අන්ධ පෘථග්ජනයෝ කියලා.

සමහර අය බණ ටිකක් අහලා හරි, හාමුදුරුවෝ කෙනෙක් ආශ්‍රය කරලා හරි, පොතක් පතක් කියවලා හරි ඇත්ත නේන්නම් අපි ජීවිතය හදා ගන්න ඕන නේද? අපේ වැරදි අඩු කරගන්න ඕන නේද? අපේ හොඳ පැත්ත ටිකක් වැඩි කරගන්න ඕන නේද? කියලා කල්පනා කරලා පිනට දහමට, දනට පැනට බර වෙනවා. තවත් අය බණ භාවනා පැත්තට නැඹුරුව කටයුතු කරනවා. අන්න ඒ විධියට කටයුතු කරන පුද්ගලයා කළ්‍යාණ පෘථග්ජනයා නමින් කථා කරනවා. එමනිසා මේ පින්වතුන් අයත් වන්නේ කළ්‍යාණ පෘථග්ජන කියන කොටසටයි.

මේ කළ්‍යාණ කියන තත්ත්වය අරිහත්වය දක්වාම ගෙනයන්න පුලුවන්කම තිබෙනවා. ඒ නිසා අපි මහන්සි ගන්න ඕන අපේ ජීවිතවල හොඳ පැත්ත වැඩිකර ගන්න. අඩුපාඩු නැති ජිවිතයක් නම් කවදාවත් හොයන්න බැහැ. සෝවාන් වෙච්ච පුද්ගලයාගේ ත් අඩුපාඩු තිබෙනවා. සකෘදාගාමී වෙච්ච පුද්ගලයාගේත් අඩුපාඩු තියෙනවා. සමහරවිට රහත් වුණායින් පසුවත් භව පුරුදු තියෙන්න පුලුවන්. කථා බස් කිරීමේ අඩුපාඩු තිබෙන්න පුලුවන්. චේතනාව නැතිවුණත්. ඉතින් එම නිසා කවුරුත් හිතන්න එපා අඩුපාඩු නැති ජීවිතයක් හදා ගන්න ඕන කියලා. අපේ ජීවිතවල තිබෙන අඩුපාඩු ටික ටික සකස් කර ගන්න ඕන. බුදුරජාණන්වහන්සේගේ ධර්මය තරම් කෙනෙකුට ජීවත්වෙන්න නිදහස, තමන්ගේ ජීවිතය සකස් කරගන්න නිදහස ලබාදී තිබෙන ආගමක් නම් වෙන ආගම් අතර තිබෙනවාදකියල ඔයාලම හිතල බලන්න.
වැරදි කළොත් එයා අපායට යන පුද්ගලයෙක්. අපේ බුදුපියාණන්වහන්සේ ධර්මයේ කොතැනකවත් දේශනා කරල නැහැ සතෙක් මරපු තරමින් අනිවාර්යයෙන්අපායට යනවා කියලා. “ පාණාතිපාතා භික්‍ඛවේ ආසෙවිතාය. භාවිතාය, බහුලීකතාය “ වැඩි වැඩියෙන් ඒවායෙහි යෙදෙන තැනැත්තා යි අපායට යන බව දේශනා කරලා තියෙන්නේ. දැන් බලන්න අංග්ලිමාල කියන සොරා මිනිසුක් නවසිය අනූ නවයක් මරලත් රහත් උනා. සොරකමක් කළ පමණින් අපායට යන්නේ නැහැ. ඒක දිගින් දිගටම කරනවා නම් කෙළින්ම ඒ පුද්ගලයා අපායට බරවුණු පුද්ගලයෙක් වෙනවා. ඒවා ආසන්න අවස්ථාවේ සිහියට ආවොත් දුගතියට යන්න ඒක හේතුවක් වෙනවා. මෙතනදි විසුතර කරන්නෙ ඒ පව් කරන්න කියල නෙවෙයි. යම් විදියකින් ඔබ පවක් කරල තියෙනවනම් ඒගැන දැන් පසුතැවෙන්න එපා. ඒ පව යටපත්වෙන විධියෙ කුසල් දහම් වඩන්න. එතකොට අර පව යටපත්කරල දාන්න පුලුවන්. අපිට කියන්නෙ නිතරම නූපන් කුසල් ඇතිකරගන්නත්, උපන් කුසල් වැඩිදියුණු කරගන්නත්, උපන් අකුසල් යටපත් කරන්නත්, නූපන් අකුසල් ඉපදීම වලක්වන්නත් පියවර ගන්න කියලනෙ.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා “ අත්තානංචෙ පියං ජඤ්ඤා – රක්ඛෙය්‍යනං සුරක්‍ඛිතං .. “ ආදී වශයෙන්. තමන්ගේ ආත්ම භාවය රැක ගන්න අවස්ථා තුනක් තිබෙනවා කියලා. තරුණ කාලයේදී යම් කිසි කෙනෙකුට හොඳ නරක තේරුම් බෙරුම් කරගෙන පිනට දහමට බරවෙන්න සුචරිත ජීවිතයක් ගත කරන්න බැරි වුණා නම් ඒ තැනැත්තාට මධ්‍යම වයසට ආවාට පස්සේ පුලුවන් අනේ මම තරුණ කාලෙදී ප්‍රමාද වුණා. මට හොඳ දේවල් කර ගන්න බැරි වුණා. මට අම්මා තාත්තා වෙනුවෙන් කරන්න තිබෙන දේවල් කරන්න බැරි වුණා. මම දැන් ඒ හොඳ දේවල් කරන්න ඕන කියලා. මැදුම් වයසේදී ඒ තැනැත්තාට හැදෙන්න පුලුවන්.
අපි හිතමු යම් කිසිකෙනෙකුට ඒ අවස්ථාවත් මග ඇරිලා ගියා කියලා. මහලු වයසට පත්වුණායින් පසුව ඒ තැනැත්තාට පේනවා මම තරුණයෙක් වශයෙන් හිටියා. දැන් ඉතිං කෙස් ගස් ටිකත් පැහීගෙන එනවා. ශරීර ශක්තිය පවා හීන වේගෙන යනවා. ලෙඩ රෝග වැඩිවීගෙන යනවා. මම දැන් පැසුණු වයසේ මහලු වයසේ ඉන්නේ. දැන් ඉතින් මම වැරදි වලින් වළකින්න ඕන කියලා. ඒ තැනැත්තාට එතනදීත් හැදෙන්න ඉඩක් තියෙනවා. ඒකයි කියන්නෙ වයස ගිහින් හරි ආගමට දහමට යොමුවෙන එක වටින දෙයක් කියල.

සමහර අනුවණ, අධම, පාපි අදහස් තියෙන මිනිස්සු කල්පනා කරනවා දැන් ඉතිං මට හැදෙන්න කාලයක් නැහැ. ඔය ටිකත් ඔහේ ගියාවේ කියලා. එහෙම කල්පනා කරන මෝඩ මිනිස්සුත් මේ සමාජයේ ඉන්නවා. පිංවත් යාලුවනේ වරක් වයසට ගිය වධකයෙක් (රජ්ජුරුවන්ගෙ අලුගෝසුවෙක්) සැරියුත් හාමුදුරුවන්ගෙ මගපෙන්වීම යටතේ හිත විදර්ශනා භාවනාවට හිත යොමුකරල සුගතියට ගියා. අපි අහල තියෙනව සමහරු කියනව “ කරන්න පුලුවන් කාලෙ බලුවැඩ කරල දැන් බෝපැල වෙන්න හදනව”යි කියල. ඒත් එහෙම හරි මිනිහෙක් හැදෙනවනම් මොනතරම් දෙයක්ද?

පින්වතුනි, මතක තියාගන්න අපේ ජීවිතයේදී මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුරදුන්ගේ ඇඟේ ලේ සෙලවීම, සංඝයා භේද කිරීම කියන පඤ්චානන්තරිය කර්ම සිද්ධවෙලා නැත්නම් මොනතරම් වැරදි සිද්ධවෙලා තිබුණත් අපට උත්සාහ කළොත් පුලුවන් සුගතියට යන්න. උත්සාහ කළොත් අපට පුලුවන් නිවන් මගකට යන්න. නිවන්මග එලිපෙහෙලි කර ගන්න පුලුවන්. ඒ නිසයි පින්වතුනි මා ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේගේ දහම තරම් විවෘත දහමක්, යථාර්ථවාදී දහමක් මේ ලෝකයේ කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්වතුන් හිතන්න ඕන බෞද්ධකම කියන එක නමට සීමාකර නොගන්න. අපි හැමෝම මිනිස්සු. වැරදි නොවන කෙනෙක් නෑ. සමහර අයට යම් යම් මානසික ගැටලු නිසා වැරදි කරනව. මම වැරදි කරන නිසා බුදුන් වදින්න බෑ. මට මේව වලක්වගන්න බෑ කියලත් සමහරු කියනව. පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො කොතනකවත් කියල නෑ කාටවත් උන්වහන්සේ අදහන්න වදින්න පුදන්න එපා කියල. දේවදත්තට පවා අනුකම්පා කලානෙ. හරක් මරණ මිනිහෙකුටවත් බුදුන් වදින්න තහනමක් නෑ. ඔයාලට යම් යම් වැරදි පාලනය කරගන්න බැරිවෙන්න පුලුවන්. ඒත් පුලුවන් හැම වෙලාවෙම බුදුන් වදින්න. ධර්මය අදහන්න. ඒ අනන්ත පුණ්‍යස්කන්ධයෝ ඔබව ඉබේම වරදින් මුදවාවි. ඔබව නිවැරදි පාරට ගනීවි. මේක සහතික ඇත්තක්. ඔයාල නොදැනුවම ඔයාල සිල්වතෙක් කරාවි.

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.