පුරාණ ශාක්‍ය කෝලිය රටවල් දෙක මැදින් රෝහිණී ගංගාව ගලා බසී. දෙ රටෙහි ම ගොවියෝ රෝහිණී ගඟේ දිය බැඳගෙන ගොවිතැන් කෙරෙති. මේ දිය බැඳීම අරමුණු කැරැගෙන දෙ රටෙහි ගොවියන් අතරැ කලහයක් ඇති විය. අනුවණින් අදූරදර්ශී වැ ක්‍රියා කිරීම නිසා මේ භේදය දෙ රටෙහි පාලකයන් අතරට ද ගියේ ය. අදූරදර්ශී වූ ඒ දෙ පක්‍ෂයෙහි ම පාලකයෝ මහ සටනකට සූදානම් වූහ. ආයුධ සන්නද්ධ වූ දෙපක්‍ෂය ම මහා කෝලාහලයක් කරනු සඳහා රෝහිණී ගඟ දෙ බඩ රැස්වූහ.
මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට දෙ පිරිස් මැද වැඩ සිටිය හ. දෙපක්‍ෂය ම බුදුරජාණන් වහන්සේ දැක සන්සුන් වූහ. මහාකාරුණික බුදුපියාණන් වහන්සේ, “මේ මහා සටනකට සූදානම් වන්නේ කවර දෙයක් අරමුණු කැරැගෙන දැ”යි ඇසූ හ. බොහෝ දෙනා ඒ මහ සටනේ හේතුව වත් දැන සිටියේ නැත. එහෙයින් දෙපක්‍ෂය ම ඔවුනොවුන් මූණ බලන්නට වූහ. ඔවුනොවුන් කසු කසු ගා යම්තම් කාරණය දැනගෙනැ “ගඟේ දිය බැඳීම නිමිති කැරැගෙන ය”යි කීහ. මහාකාරුණික බුදුපියාණෝ “දිය කොපමණ අගනේ දැ යි” දෙපක්‍ෂයෙන් ම ඇසූහ. “ඉතා ස්වල්පයක් අගනේ ය” යි පිළිතුරු ලැබිණි. “ක්‍ෂත්‍රියයෝ මනුෂ්‍යයෝ කොපමණ අගනාහු දැ” යි නැවැතත් බුදුරජාණන් වහන්සේ ඇසූ හ. ස්වාමීනි, මනුෂ්‍යයන් ගේ අගය, වටිනාකම නො කිය හැකි ය”යි ඔවුහු කීහ. “ඉතා ස්වල්පයක් අගනා ජලය නිසා අගය කළ නොහැකි මනුෂ්‍ය ජීවිත නැති කැරැගන්නට සූදානම් වන්නහු දැ”යි මහා කාරුණිකයන් වහන්සේ ඇසූ හ. ඔවුහු කාරණය වටහාගෙන ලජ්ජාවට පත් වැ බිම බලා ගත් හ.