Skip to main content

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමන් ප්‍රධාන ඇමැතිතුමන්ලා වෙතය …

සුරාව ඈත අතීතයේ පටන් ජනතාව අතර තිබෙන පාන වර්ගයකි. එදත් අදත් සමහර ආගම් වල ආගමික පානයක් ලෙස පාවිච්චි කරති. අවුරුදු දෙදහස් පන්සියයකටත් පෙර බුදුරජාණන් වහන්සේ සුරාව අපුඤ්ඤායතන පව් උණන උල්පත යයි වදාරා බෞද්ධයිනට සුරාපානයෙන් වැළකීමට ශික්‍ෂා පදයක්ද දේශනා කළහ. උන්වහන්සේ සුරාපානයෙහි ආදීනව බොහෝ කොට වදාරණ ලදහ. එයින් සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන්ව ඇති ආදීනව සය මෙසේය.

  1. මෙලොව ධනහානියට පත්වීම
  2. කෝලාහල ආදී අපරාධ බහුල වීම
  3. විවිධ රෝගෝත්පත්තියට හේතුවීම
  4. බේබද්දෙක යන අපකීර්තියට පත්වීම
  5. විළිබිය නැත්තෙකුවීම
  6. බුද්ධිය මොටවීම

මෙයින් මුල් කාරණා පහ උගත් ලෝකය පිළිගෙන බොහෝ කල් ගත විය. හය වැන්න මහ උගතුන්ටද තේරුම් ගත නොහැකිව තිබුණි. බොහෝ උගතුන් අතරද තුබුණේ සුරාවෙන් බුද්ධිය දියුණු වෙනවාය යන අදහසයි. එහෙත් අලුත් විද්‍යා පර්යේෂණ අනුව එයද පිළිගෙන ඇත. එහි අලුත්ම පර්යේෂණ වාර්තාවෙහි පිට කවරයේ “නිව් ඩිස්කවරි” යන්න සඳහන් වෙයි. ඔවුන්ගේ අලුත්ම සොයා ගැනීම නම් ලෝකයෙහි අසම සම මහා විද්‍යාඥයා වන බුදුරජාණන් වහන්සේ විසින් දේශිත බුද්ධිය මොට කිරීම යන්නයි.

බුද්ධ ධර්මය අණකිරීමක් බලකිරීමක් නැතිව එවක ලොව පුරා පැතිරිණ. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දහසක් යන විට ලෝක ජන ගහණයෙන් සියයට හැත්තෑවක් පමණ බෞද්ධයන් යයි කිව යුතු තත්වයට පත්ව තිබුණි. එහෙයින් ලෝකයෙහි සුරාපානය හොඳටම අඩුවිය. ඒ අතර ඉස්ලාම් ආගමද සුරාවට විරුද්ධව දේශනා කරන්නට වූයෙන් සුරාපානය තවත් අඩුවිය. එහෙත් බටහිරිකයන්ගේ සංක්‍රමණය නිසා ලොව පුරාම සුරාපානය වැඩිවන්නට පටන් ගන්නා ලදී.

බෞද්ධ සංවර්ධනයෙහි මුල් තැන ලැබෙන්නේ මානව සංවර්ධනයටය. යම්කිසි ව්‍යාපාරයකින් කොපමණ ලාභ ලැබුණත්, මානව සංවර්ධනයට බාධාවක් නම් එය සංවර්ධනයක් හැටියටවත් ආර්ථිකයක් හැටියටවත් පිළිගන්නේ නැත. එහෙයින් සුරා විකිණීමෙන් කොපමණ ලාභ ලැබුණත් සුරා වෙළඳාම බෞද්ධයන් විසින් නොකටයුතු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. බුදුරජාණන් වහන්සේගේ කාලයෙහිත් බෞද්ධ රජවරුන්ගේ කාලයෙහිත් සුරා පානයත් සුරා වෙළඳාමත් තිබුණා. එහෙත් බෞද්ධ රජවරු එය අර්ථක්‍රමයක් හැටියට පිළිගත්තේ නැහැ.

බටහිරිකයෝ මුල්තැන දුන්නේ මානව සංවර්ධනයට නොව බාහිර සංවර්ධනයටය. එහෙයින් බාහිර සංවර්ධනයෙන් දියුණු වී ඔවුන් හඳට යනකන් ගියා. මිනිස්කම් වලින් පාතාල ලෝකයට යනකන් පිරිහී ඇත. ආදායම් ලැබෙතොත් කවර ව්‍යාපාරයකට වූවද සූදානම්ය. මත්පැන් නිපදවීමත් වෙළඳාමත් ඔවුන්ගේ විශාල ව්‍යාපාරයෝය. එයින් සිදුවන මානව පරිහානියත් ආර්ථික පරිහානියත් කලින් සිතුවේ නැතත් දැන්නම් ඔවුන්ට වැටහී ඇත. බටහිරිකයන්ගේ රටවල කරන ලද පරියේෂණ අනුව සුරාපානය නිසා වෘද්ධයනයටත් වඩා ළමා හා තරුණ පරපුර විනාෂ වන බව වාර්තා වෙයි. මේ සදාචාර පරිහානිය මෙලෙසින් දිගට ගියොත් තව අවුරුදු විස්සකින් විසිපහකින් පමණ ඒ රටවල මිනිසුන් ඇතැම් අංශ වලින් තිරිසනුන් මෙන් ජීවත් වෙනවා ඇතැයි දාර්ශනිකයෝ මහත් කම්පාවෙන් ප්‍රකාශ කරති. ඔවුන්ගේ කම්පාවට මුල් වූ වාර්තා කීපයක් කාගේත් දැන ගැනීමට සඳහන් කරමු.

1974 දී ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අංශය විසින් වයස අවුරුදු 14 හා 21 අතරේ පාසල් සිසුන් මත්පැන් බොන ආකාරය ගැන පරීක්‍ෂණයක් පවත්වන ලදී. එහි ප්‍රතිඵලය වූයේ වික්ටෝරියා මහ නගරයේ පමණක් යට කී වයසේ පාසල් සිසුන්ගෙන් දවසකට අටවරක් බොන අය 1,80,000 ක් ඉන්නා බව දැන ගැනීමය.

1975 දී ඇමරිකාවේ අධ්‍යාපන සෞඛ්‍ය හා සුභ සාධක දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්‍ෂණයකදී 12 වැනි ශ්‍රේණියේ පාසැල් ශිෂ්‍යයන්ගෙන් සියයට 93 කුත් ශිෂ්‍යාවන්ගෙන් සියයට 87 කුත් මත් පැන් රස විඳින්නන් බව හෙළිවී ඇත.

1976 දී ස්කොට්ලන්තයේ සෞඛ්‍ය අධ්‍යාපන අංශ‍ය විසින් කරන ලද පරීක්‍ෂණයක් අනුව එහි 17 හැවිරිදි තරුණයන්ගෙන් සියයට 98 කුත් තරුණියන්ගෙන් සියයට 96 කුත් මත්පැන් රස විඳින බව හෙළි වී ඇත.

දැන් ඒ රටවල බුද්ධිමත්හු කර කියා ගන්නට දෙයක් නැතිව තැවෙති. අපත් නිහඬව සිටියොත් මේ රටෙහිද ළමා හා තරුණ පරපුර සුරා පානයෙන් යට කී තත්ත්වයට පත්වන්නේ නැද්දැයි සිතා බැලිය යුතුවේ. බටහිර රටවල සුරාපානයෙන් යට කී තත්ත්වයට පත්වන්නට අවුරුදු සිය ගණනක් ගතවී ඇත. එහෙත් අපේ පිරිස ඔය තත්ත්වයට පත්වන්නට එතරම් කල් ගත නොවන බවට මෙන්න හොඳම සාධකය.

සුරා බද්ද ආරම්භ කරන ලද්දේ 1910 දී යයි සිතමු. එය 1940 දී කෝටිදෙකක්ද 1950 දී කෝටි 14 ක්ද 1960 දී කෝටි 25 ක්ද 1977 දී කෝටි 52 ක්ද වී ඇත. මුල් අවුරුදු 60 දී වැඩි වූ සුරා බදු ප්‍රමාණයට වඩා පසුගිය අවුරුදු හත තුළ වැඩිවී ඇත. එතරම් ප්‍රමාණයක් වැඩි වූයේ සුරාබදු වැඩිවීමෙන් ම නොවන බව පෙනෙන්නේ පානය කළ සුරා ප්‍රමාණය දෙස බලන විටය. සුරා සොඬුන් මුල් කාලයේ බහුලව පානය කලේ රා ය. රා වල මද්‍ය සාරය ඇත්තේ සියයට හයකි. (6%) සුරා සොඬුන් හට කල් යත් යත්, මද්‍යසාර ප්‍රමාණය මදි විය. එහෙයින් බොහෝ දෙනා වැඩියෙන් අරක්කු පානයට බැස ගති. අරක්කු පානය වැඩිවූ හැටි මෙසේය. 1940 දී අරක්කු ගැලුම් ලක්‍ෂ 4යි. 1950 දී ලක්‍ෂ 13යි. 1960 දී ලක්‍ෂ 14යි. 1970 දී ලක්‍ෂ 46යි. අන්තිම වරට ලබාගත හැකි වූයේ 1973 සංඛ්‍යා ය. ඒ අනුව 1973 දී අරක්කු ගැලුම් පක්‍ෂ 60 ක් අලෙවි වී ඇත. හොරසුරා එනම් කසිප්පු වර්ග වැඩි වී ඇති ප්‍රමාණය කාටවත් කිව හැකි නොවේ.

තවද පොල් අරක්කු, ගල් අරක්කු යයි අරක්කු දෙවර්ගයකි. පොල් අරක්කු වලට වඩා ගල් අරක්කු ඉතා නපුරු බව තතු දන්නෝ කියති. 1973 දී සුරා සොඬුන් පානය කළ අරක්කු ගැලුම් හැට ලක්‍ෂයෙන් (6000000) හතලිස් පන් ලක්‍ෂයක් පමණ ගල් අරක්කුය. ගල් අරක්කු වැඩිම කොටසක් හදන්නේ අප්‍රිකා ආදී රටවලින් ගෙන් වන ස්පීරිත්තු වර්ගයකිනි. එහි මද්‍යසාර සියයට අනූවක් පමණය (90%). වෙනත් දේ මිශ්‍ර කොට මද්‍යසාරය සියයට 30 ට බස්සා බෝතල්වල පුරවා ගල් අරක්කු යැයි කියා දෙයි. ඒවා වැඩියෙන් බොන අයගේ ඇට කටුත් දිරනවා. ඔවුන්ගේ දරුවන්ගෙන් කොටසක් අංගවිකලයන් වෙනවා. කොටසක් මන්ද බුද්ධිකයන් වෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ දූවරුනට තමන්ගේ දරුවන්ට දෙන්නට කිරි එරෙන්නේත් නැති වෙනවා. මේ තරම් ජාතික විපතකට ඉඩ දී සිටීම ප්‍රඥා ගෝචරදැයි සිතා බැලිය යුතුවේ. 1973 දී එකී ස්පීරිත්තු ගැලුම් විසි දෙලක්‍ෂයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත. දැන් කොපමණ ගෙන්වනවා දැයි නොදනිමු.

1977 දී සුරා බදු වශයෙන් ලැබුණු ආදායම රුපියල් කෝටි 52 කි. 1978 ගණන හරියට නොදනිමු. එසේ වුවත් කෝටි 55 ක් පමණ වෙතැයි සිතමු. දියුණු වන්නට උත්සාහ දරණ රටකට කෝටි 55 ක් සුලු ගණනක්, අත්හැරිය හැකි ගණනක් නොවන බව අපිදු පිළිගනිමු. මේ රටෙහි සුරාවෙන් ලැබෙන ආදායම ගැන දනිතත් සුරාව නිසා සිදුවන වියදම් ගැන දන්නා කෙනෙකු පිළිබඳව හෝ එබඳු සමීක්‍ෂණයක් පිළිබඳව හෝ අපි කිසිවක් නොදනිමු. එහෙත් අන් රටවල එබඳු සමීක්‍ෂණ හා සන්සන්දනය කොට බලන විට කෝටි 55 ක් ලැබෙන විට ඒ නිසා නොයෙක් අංශ වලින් සිදුවන වියදම් කෝටි 150 ක් පමණ වෙතැයි සිතන්නට ඉඩ ඇත.

ප්‍රංශයෙහි මත්පැන් පානය නිසා රෝගීව මැරෙන සංඛ්‍යාව 30000 ක් පමණ වන බවත් හැම රෝහලකම ඇඳන්වලින් සියයට 40 ක් මත්පැන් රෝගීන් සඳහා වෙන් කරන්නට සිදු වී ඇති බවත් එහෙයින් ප්‍රංශ රජයට සෞඛ්‍ය අංශයෙන් පමණක් වර්ෂයකට වියදම්වන මුදල රන් පවුම් කෝටි සියයක් පමණ බවත් වාර්තා වේ.

ඇමරිකාවෙහි මත්පැන් නිසා සිදුවන අලාභය නොයෙක් අංශවලින් බලා ඇත. එයින් එක් අංශයක් නම් රාජකාරී කටයුතු හරියට කරන්නට බැරි වීමෙන් හෙවත් අඩාල වීමෙන් සිදුවන අලාභයයි. එලෙසින් රජයේ දෙපාර්තමේන්තුවල, කර්මාන්ත ශාලාවල හා වෙළඳ සමාගම්වල පමණක් වැඩ අඩාල වීමෙන් වර්ෂයකට සිදුවන අලාභය ඇමරිකන් ඩොලර් කෝටි 1500 ක් බව වාර්තාවේ.

ඇමරිකාවේ වර්ශයකට සිදුවන පනස් දහසක් පමණ රිය අනතුරු වලින් අඩක් මත්පැන් නිසා බව වාර්තා වේ. ශ්‍රී ලංකාවෙහිද එය එසේමය. සාධකයක් වශයෙන් කියනවා නම් අවුරුදු කිහිපයකට පෙර පිටරටින් ගෙන්වන ලද සංචාරක දුම්රියක් රතු සංඥාවද නොලබා ගොස් නවත්වා තිබුණු දුම්රියක හැප්පීම නිසා සිදුවුනු අලාභය රුපියල් දශ පක්‍ෂයක් බව වාර්තා විය. රියදුරා මත්පැන් බොන්නෙකු බව සැළයි. ඔහුගේ මත් පැන් බෝතලයට රජයට රුපියල් දහයක් ලැබෙන්නට ඇත. එයින් සිදු වූ අලාභය රුපියල් දසලක්‍ෂයකි. මෙබඳු සිද්ධීන් වර්ෂයකට සිය ගණනක් වෙයි. මත්පැන් නිසා මිනිස්කම් විනාශවීමෙන් සිදුවන අලාභය ඉලක්කමෙන් කිවහැකි නොවේ.

කලකට පෙර මදුරාසියේ ප්‍රාන්තයෙහි සුරා තහනම කරන කාලයෙහි භාරතයෙහි අග්‍රාණ්ඩුකාර ධුරට දැරුවේ රාජගෝපාලාචාර්‍ය්‍ය තුමාය. පුවත්පත් වාර්තාකරුවන්ගේ රැස්වීමකදී සුරාවෙන් ලැබෙන විශාල ආදායම පෙන්වා මේසා විශාල මුදලක් නැතිව රට සංවර්ධන කටයුතු කරන්නේ කෙසේදැයි එතුමාගෙන් ඇසූ විට එතුමා දුන් කෙටි පිළිතුර රටේ සංවර්ධනයට මුදල් අවශ්‍ය බව පිළිගනිමි. එහෙත් ජනතාව විනාශ වෙන මාර්ගවලින් මුදල් එකතු කොට රට පාලනය කරන්නට බලාපොරොත්තුවක් නැත යනුයි.

සුරාපානය තහනම් කිරීම මානව නිදහසට බාධාවක් යයි මෙරටත් පිටරටත් ඇතැමුන්ගේ මතයයි. නියම මානව ගති ඇත්තනට මෙබඳු එකද නීතියක්වත් අවශ්‍ය නැත. නියම මානව ගති නැත්තනට මෙබඳු හැම නීතියක්ම මානව නිදහසට බාධාවකි. මානවකයා හෝ මනස හෝ වර්ධනයට අවශ්‍ය දෙයක් නම් නැතිවම බැරි දෙයක් නම් තහනම් කිරීම මානව නිදහසට බාධා‍වෙකි. මත්පැන් එබන්දක් නොවේ. මත් ද්‍රව්‍ය පාවිච්චිය තහනම් කරන නීති හැම රටකම පනවා ගෙනයයි. මත් ද්‍රව්‍ය පාවිච්චි කරන අය එයද මානව නිදහසට බාධාවක් යයි කියනු ඇත. මෙලෙසින් මානව නිදහස සලකන්නට ගියොත් රටක් පාලනය කරන්නට ලැබෙන්නේ නැත. බුදුරජාණන් වහන්සේ මානව නිදහස ගැන ඉහළින්ම කථා කළ උත්තමයෙකි. එහෙත් මිනිස් කම් නැතිවන නිදහසක් ගැන දේශනා කෙළේ නැත.

සුරාපානය තහනම් කළ විට හොර සුරා වැඩි වෙනවා යයි සිතන කියන අයද සිටිති. හොර සුරා තිබෙන්නේ සුරා තිබෙන රටවලය. සුරා තහනම් රටවල හොර සුරා තිබෙන්නට ඉඩක් නැත. සුරා තහනම් ඉස්ලාම් රටවල් එයට සාධකය. සුරා තහනම් කළ විට හොරසුරා බහුල වෙනවා නොවේ දැයි රාජගෝපාලාචාර්‍ය්‍ය තුමාගෙන් පුවත්පත් වාර්තාකරුවෝ ප්‍රශ්න කළහ. එයටද එතුමාගේ කෙටි පිළිතුර, හොර සුරා බහුල වන්නේ සුරා තහනම නිසා නොව පාලනයේ වරද නිසාය යනුයි. හොර සුරා වළක්වන වැඩ පිළිවෙලද සූදානම්කර ඇති බව සතුටින් සඳහන් කරමු.

බුදුරජාණන් වහන්සේ සුරාවෙන් වැළකෙන්නට ධර්මදේශනා කළා විනා සුරා තහනම් කරන ලෙස රජවරුන්ගෙන් ඉල්ලූවේ නැත. එහෙයින් සුරා තහනම් කිරීමට රජයෙන් ඉල්ලීම බෞද්ධයින්ට ගැලපෙන්නේ නැතැයි සිතන කියන අයද සිටිති. බුදුරජාණන් වහන්සේගේ කාලයත් මේ කාලයත් අතර විශාල පරතරයක් ඇති බව අමතක කළ යුතු කරුණක් නොවේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අසංඛෙය්‍ය ගණන් සත්ත්වයෝ රහත් වූහ. බොහෝ රජවරුද සෝවාන් ආදී ආර්‍ය්‍යයෝ වූහ. එදා බුදුරජාණන් වහන්සේ යම්කිසි සූත්‍රයක් දේශනා කළ විට දහසක් දෙනා රහත් වුවද අද එම සූත්‍රය ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකොට දහස් වරක් දේශනා කළත් සෝවාන් වත් වන කෙනෙකුන් නැත. එබඳු කාලයක ධර්‍ම දේශනාවෙන් පමණක් දුරාචාරය මර්දනයවත් සදාචාර වර්ධනයවත් කළ හැකි නොවේ. රජයේ ආධාරය අවශ්‍යය. ධර්මාශෝක රජතුමන්ගේ කාලය පටන් බෞද්ධ රජවරුන්ගේ කාලය අවසන් වන තුරුම ශාසන වර්ධනයටත් සමාජ වර්ධනයටත් කතිකාවත් හා රාජ නියෝගද අවශ්‍ය විය. එලෙසින් රාජ නියෝගද ලැබිණි.

ධර්මානුශාසනාත් රාජ්‍ය සහායත් නිසා මර්දනය වී තිබුණු සුරාපානය විදේශිකයන්ගේ සංක්‍රමණය නිසා නැවතත් මතුවිය. එය ක්‍රමයෙන් වැඩි වී යන සැටි දුටු ගිහි පැවිදි උතුමෝ එකතු වී 1912 දී අමද්‍යප මහා සභාව පිහිටුවාගෙන සුරාවට විරුද්ධව මහ සටනක් ආරම්‌භ කළහ. ඔවුන්ගේ හඬට ඇහුම්කන් දුන් රජය මහජන ඡන්දයෙන් සුරාහල් වසන්නට නීති සකස් කරන ලදී. එයින් උද්‍යෝගයට පත් අමද්‍යප වීරයෝ රට පුරා රැස්වීම් තබා මහ ජනතාවට කරුණු කියා ඡන්දයෙන් සුරා හල් වැසීමේ කටයුතු ආරම්භ කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන කාලය වන විට සුරාහල් 7931 ක් වස්වා ගන්නට හැකි විය.

නිදහස ලැබීමෙන් පසු වඩාත් උද්‍යෝගි වූ වීරයෝ සුරාව පිටු දැක්ම සඳහා සුරා සූදු විරෝධී මණ්ඩලය පිහිටුවා ගත්හ. එහි සභාපති වූයේ අමද්‍යප මහා සභාවේ සභාපතිව සිටි අති පූජ්‍ය කලුකොඳයාවේ පඤ්ඤාසේඛර මහානායක ස්වාමීන්ද්‍රයෝය. උප සභාපතිවරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා හා ඩඩ්ලි සේනානායක මැතිතුමාත්ය. වර්තමාන අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාද එහි මූලිකව ක්‍රියා කළ කෙනෙකි. සුරා සූදු විරෝධී මණ්ඩලය විශේෂයෙන් අසනීප කම් නිසා විවේකව සිටි ඩඩ්ලි සේනානායක මැතිතුමා එකල එක්සත් ජාතික පක්‍ෂ රජයෙන් සුරා තහනම් කරන ක්‍රියා මාර්ගය සම්පාදනය කරන්නට රාජකීය කොමිසමක් පත් කරන ලෙස ඉල්ලීමක් කරන ලදී.

1955 දී එකල අගමැතිව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා සුරා තහනම ප්‍රතිපත්තියක් හැටියට පිළිගෙන එය ක්‍රියාත්මක කරන හැටි වාර්තා කිරීමට රාජකීය කොමිසමක් පත් කරන ලදී. ඒ කොමිසම මෙරටත් පිටරටත් කරුණු සොයා බලා යෝජනා 51 ක් සමඟ අගනා වාර්තාවක් නිකුත් කරන ලදී. එහි යෝජනා 45 කට එකඟ වූ සුරා සූදු විරෝධී මණ්ඩලය ඉතිරි යෝජනා වල සංශෝධන සහිතව පිළිගන්නා ලදී. ඒ යෝජනා වල සඳහන් කරුණු ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. 1. ස්වදේශීය හා විදේශීය සුරා සොඬුනට අවසර පත්‍ර දීම. 2. සියලු ආගම්වල සහාය ඇතිව සංස්කෘතික අමාත්‍යංශය විසින් ළමා හා තරුණ පරපුර සුරාවෙන් බේරා ගැනීමට දීපව්‍යාප්ත ප්‍රචාරක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. මෙයින් සම්පූර්ණ සුරා තහනමක් එකවර බලාපොරොත්තු වන්නේ නැත. බොන්නන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවී ගොස් අවුරුදු 25 කින් පමණ සුරාපානය නැතිවී යාමයි. මේ ක්‍රමයෙන් සුරා බද්ද අවුරුදු 10 ක් පමණ යන තුරු අඩුවීමක් වන්නේ නැත. අබිං කෑම වැළැක්වීමට ගත් ක්‍රියා මාර්ගයමයි. කලකට පෙර අබිං කන්නන් හොඳටම බහුල වී ඇත. ඒ අවස්ථාවෙහි කරන ලද උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් එවකට තිබු
ණ විදේශීය ආණ්ඩුව අබිං කන්නන් සඳහා අවසර පත්‍ර නිකුත් කරන ලදී. ඒ අවස්ථාවෙහි අවසර පත්‍ර 36000 ක් පමණ නිකුත් කළත් දැන් සියයකුත් නැති තරම්ය. කවදත් හොර අබිං ටික ටික තිබුණා. එහෙත් මහා විනාශයකින් ජාතිය බේරුණා.

සුරා සූදු කොමිසමේ වාර්තාව පිටවුණ කාලයෙහි අග්‍රාමාත්‍යව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා සමඟ කළ සාකච්ඡාව අග්‍රාමාත්‍ය ප්‍රේමදාස මහතාටද මතක ඇතැයි සිතමු. එතුමා ඒ යෝජනා ක්‍රියාත්මක කරන්නට පොරොන්දු උනා. එහෙත් ක්‍රියාත්මක උණේ නැත.

මේ කරුණු හොඳින් සලකා බලා ශ්‍රී ලංකා සුරා විරෝධී ඒකාබද්ධ බල මණ්ඩලය වර්තමාන රජයෙන් ඉල්ලා සිටින්නේ අනාගතයේදී සම්පූර්ණ සුරා තහනමක් සිදුවන පරිදි සුරා සූදු කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන ලෙසටය.

මුස්ලිම් රටවල සම්පූර්ණ සුරා තහනම තිබෙන අතර විදේශිකයින්ට අවසර පත්‍ර නිකුත් කරනු ලැබේ. භාරතයෙහි සම්පූර්ණ මද්‍ය තහනම බලාපොරොත්තු වන්නේ අවශ්‍ය විදේශිකයිනට අවසර පත්‍ර දීමත් සමගය. අප ඉල්ලා සිටින්නේ අවශ්‍ය විදේශිකයිනට පමණක් නොව ස්වදේශිකයිනටත් අවසර පත්‍ර ලබා දී ළමා හා තරුණ පරපුර සුරාවෙන් බේරාගෙන අනාගතයේදී සම්පූර්ණ සුරා තහනම ඉබේම සිදුවන පරිදිය. සම්පූර්ණ සුරා තහනම මුස්ලිම් රටේත් පිළිවන්නම්, හින්දු රටේත් පිළිවන්නම් මේ බෞද්ධ රටෙහි බැරියයි සිතීමත් වැරදිය. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නටත් බුද්ධාගම රක්‍ෂණ පෝෂණ කරන්නටත් ජන රජ පනතින් බැඳී සිටින රජයක් විසින් කළ යුතුම වැඩක් බව ඉතා කරුණාවෙන් දන්වා සිටිමු.

 

1979.01.31 දින නියෝජිත පිරිසක් සමඟ ගොස් අග්‍රාමාත්‍යතුමාට බාරදුන් සන්දේශයකි.

ප්‍රඥාප්‍රභා 8

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.