Skip to main content

ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරූ රට්ඨපාල මහරහතන් වහන්සේගේ …

මීට කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර ලෝකනායකයාණන් වහන්සේ ලෝ සතුන් සසර දුකින් එතෙර කිරීම සඳහා දම් දෙසන සමයෙහි රට්ඨපාල මහරහතන් වහන්සේ මහාසාර කුලයක ඉපිද, වැඩිවියට පත් වූ කල්හි දෙමාපියන්ගේ අභාවයෙන් පසුව මහත් ධනස්කන්දයකට හිමිකම් කියන්නට විය. දිනක් මේ කුල පුත්‍රයා තමාට පිය උරුමයෙන් හිමි වූ අපරිමිත ධනය පිළිබඳ මෙසේ සිතීය. මාගේ දෙමාපියන් මෙතරම් වු ධනයක් රැස්කොට කිසිවක් නොගෙන පරලොව ගියහ. එබැවින් මා විසින් මේ සියලු ධනයන් පරලොව ගෙන යා යුතුයැ’යි කල්පනා කොට මේ ධනස්කන්ධය පරලොව ගෙන යා හැකි එකම මඟ දන්දීම යැයි නුවණින් දැන එතැන් සිට දුගී මගී යාචකාදීන්ට මහ දන් දෙන්නට වූයේය.

දිනක් තම යහළුවකු සමඟ දිය නෑම සඳහා යමින් සිටිය දී සෘද්ධිමත් තාපසයෙකු දැක උන්වහන්සේ කෙරෙහි පැහැදී, එම තාපසතුමා නිතිපතා තම නිවසට වැඩමවා දනින් පැනින් උපස්ථාන කරන්නට විය. එසේ නිතිපතා දනට වඩින තාපසතුමා දන් වළදා අවසානයේ පින් දෙමින් ‘ සක් දෙවි රජුට මෙන් ඔබට සම්පත් ලැබේවා’ යි ප්‍රාර්ථනා කරන්නේය. මෙයින් සක්දෙව් සම්පත්තිය පිළිබඳ සිත් අලවාගත් මෙතුමා දිවි අවසානයේ එයින් චුතව දෙව්ලොව සක්දෙවි රජව ඉපිද ඇත.

මෙම සක්දෙවි රජු දිනක් තම මිතුරු වූ පඨවින්ධර නම් රජුගේ මඟ පෙන්වීම යටතේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ බණ අසමින් සිටි අවස්ථාවේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ විසින් තම සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් අතර අගතැන් තබන ලද භික්ෂුවක් දැක ‘ මම ද අනාගතයේ මෙබදුම භික්ෂුවක් වන්නෙමි’ යි අධිෂ්ඨාන කළේය. දින හතක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට අතිශය ශ්‍රද්ධාවෙන් උපස්ථාන කොට අවසානයේ තමාගේ අභිප්‍රාය උන්වහන්සේට දැන්වීය. ඔහුගේ අනාගතය බැලූ බුදුරජාණන් වහන්සේ ඔහුගේ ප්‍රාර්ථනය එලෙසින්ම අනාගතයේ දී මුදුන්පත්වන බව දැන මෙසේ වදාළේ ය.

“දේවේන්ද්‍රය, ඔබ අනාගතයේ බුදුවන ගෞතම නම් සර්වඥයන් වහන්සේගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවන භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලබන්නේය” යනුවෙනි.

මෙසේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලත් ඒ සක් දෙව්රජ බොහෝ කලක් දෙව්ලොව කැමැති පරිදි සැප සම්පත් අනුභවකොට අප ගෞතම බුදුරජාණන් වහ්නසේගේ කාලයේ කුරු රට චුල්ලකොට්ඨික ජනපදයේ, එහි ප්‍රධාන බමුණාට දාව රට්ඨපාල නමින් උපත ලද්දේය. වැඩිවියට පැමිණි රට්ඨපාල කුමරුට දෙමාපියන් විවාහයක් ද කරදෙන ලදී. එහෙත් ගිහි ජීවිතයට ඇලුම් නොකළ රට්ඨපාල කුමරු බුදුරදුන්ගෙන් බණ අසා පැවිදිවීමේ කැමැත්තෙන් සිටියේය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදුණු රට්ඨපාල කුමරු පැවිදි වීමට මහත් රුචියක් දැක්වීය. එහෙත් ඔහුට ඒ සඳහා තම දෙමාපියන්ගෙන් අවසරයක් නොලැබිණි. එයින් මහත් දුකට පත් රට්ඨපාල කුමරු දින දාහතරක් ආහාර නොගෙන සිටින්නට විය. දෙමාපියන් කෙතරම් ඇවිටිලි කරත් ඔහු පැවසුවේ පැවිදි වීමට අවසර නොදුනහොත් ආහාර නොගෙන මිය යෑම ඒකාන්ත බවයි. මෙයින් බියට පත් දෙමාපියන් පැවිදි වුවහොත් තම පුතුණුවන්ගේ දිවි රැකෙන බැවින් පසුව උපවැදි කිරීමේ අදහසින් පැවිදි වීමට අවසර ලබාදුණි.

මෙසේ තම දිවි පරදුවට තබා පැවිදි වීමට අතිශය ආශාවක් තිබූ රට්ඨපාල කුමරු, පැවිදි වූ නොබෝ දිනකින් රහත්වීමේ භාග්‍ය ලත් සේක. දිනක් රට්ඨපාල මහරහතන් වහන්සේ තම උපන් ගම්පියස වූ චුල්ලකොට්ඨික ජනපදයට පිඬු පිණිස වැඩියහ. තම එකම පුතා මහණ වීමෙන් අප්‍රසාදයට පත්ව සිටි චුල්ලකොට්ඨික බමුණා, මහණ බමුණන්ට දන් නොදෙන ලෙස සිය වැසියන්ට දන්වා තිබුණු නිසා රට්ඨපාල මහරහතන් වහන්සේට ගමින් පවා තම නිවසින් වත් ආහාර නොලැබිණි. තම නිවසින් ද පිඬු පිණිස යමක් නොලැබුණු රට්ඨපාල මහරහතන් වහන්සේ සිය නිවසෙහි වූ දාසිය විසින් ඉවත් කිරීමට ගෙන යන පිට්ටු ගෙඩියක් දැක එයට අයිතිකාරයෙක් නැතිනම් තමන් වහන්සේගේ පාත්‍රයට දමන ලෙස කීය. දාසිය ද එසේ කළේය. එය පාත්‍රයට දමන අතරතුර එම දාසිය භික්ෂූන් වහන්සේගේ මුහුණේ හා දේහ ලක්‍ෂණවලින් ඒ පෙර රට්ඨපාල කුමරු බව දැන වහා බමුණාට ඒ බව දැන්වීය. බමුණා පැමිණෙන විට රට්ඨපාල මහරහතන් වහන්සේ අර නරක් වූ පිට්ටු ආහාරය වළඳා අවසන් වෙමින් සිටියේය.

එය දුටු බමුණා රට්ඨපාල මහරහතන් වහන්සේට මෙසේ කීය.

“ඔබ මෙතරම් මාළිගාවක් තිබෙද්දී මහ මඟට වී අනුභව කරන්නේ ඇයි?” එවිට රට්ඨපාල මහරහතන් වහන්සේ,

“බමුණ, පැවිදි අපට මාළිගා කොහින් ද? මේ රුක්මුල් අපගේ වාසස්ථානය යි”

නැවතත් චුල්ලකොට්ඨික බමුණා

“ මෙතරම් මාළිගයේ ආහාර තිබිය දී මේ ඉවත් කිරීමට ගිය පිට්ටු වළඳන්නේ කුමට ද?” එවිට රට්ඨපාල මහරහතන් වහන්සේ,

“බමුණ, මෙම ආහාරය ශරීරයේ යැපීමට ප්‍රමාණවත් ය. අද නැවත ආහාර අවශ්‍ය නැත. ”

එසේ නම් හෙට අප මාළිගාවේ දානයට වඩිනු මැනවි යනුවෙන් බමුණා ආරාධනා කළේය. එය පිළිගත් රට්ඨපාල මහරහතන් වහන්සේ පසුදින තම නිවසෙහි දානයට වැඩියහ. එවිට උන්වහන්සේ දුටුවේ මනා ලෙස සැරැසී සිටින තම පෙර භාර්යාවන් රැස්කොට තබන ලද විශාල ධනයත් ය. කරුණු වටහාගත් රට්ඨපාල මහරහත් වහන්සේ තමන් වහන්සේ සියලු ආශාවන් ප්‍රහීණ කොට උතුම් අර්හත් තත්ත්වයට පත්ව සිටින බැවින් මේ සියල්ල අනර්ථ හා ඵලරහිත ක්‍රියා බව පෙන්වා දෙමින් ධර්මය දේශනා කළහ. එය චුල්ලකොට්ඨික සිටුවරයා ඇතුළු පිරිසට ධර්මාවබෝධය පිණිස හේතු විය.

තම ශ්‍රාවකයන් වහන්සේලාට අගතනතුරු පිරිනමන බුදුරජාණන් වහන්සේ විසින් “ ඒතද්ග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං සද්ධා පබ්බජිතානං යදිදං රට්ඨපාලෝ” යනුවෙන් දේශනා කරමින් රට්ඨපාල මහරහතන් වහන්සේ මහත් ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් අතර අගතනතුරෙහි තබන ලදී.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.