Skip to main content

විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව 06

🌻 පසුගිය ලිපියෙන්

භාග්යවතුන් වහන්සේ රජගහනුවරට පැමිණි පසු කාලයෙහි වටරවුම් සාලාවෙහි රැස්වූ සඟ පිරිස අතර යම් තැනැත්තෙකු වෙනුවෙන් ගගෙහි එතෙර මෙතෙර අටයොදුනක් වූ බිම් පෙදෙසෙහි දියෙහිද ගොඩබිමෙහිද සමකොට වැලි අතුරා මලින් ගැවසී තිබුණේද යොදුනක් පමණ ගංගා ජලයෙහි නන් පැහැති පියුමින් ගැවසුන්ද අකනිටා බවන දක්වා සේසත් පිට සේසත් නැංවීද ඒ භාග්යවත් බුදුරජාණන් වහන්සේගේ බලමහිමය පිනිසමයි, හරි පුදුමයි යනුවෙන් මේ අතුරු කතාබහ ඇතිවුනා. භාග්යවතුන් වහන්සේ ඒ බව දැන සුගන්ද කුටියෙන් නික්ම ඒ මොහොතට සුදුසු අයුරින් පැමිණ පනවන ලද උතුම් බුදු අසුනෙහි වැඩසිටිය.

එසේ වැඩසිටි භාග්යවතුන් වහන්සේ ” මහණෙනි දැන් කිනම් කතාබහක් මෙහි සිදුවුනාද?” යනුවෙන් සඟ පිරිස අමතනු ලැබුවා. සංඝයා වහන්සේලා බුදුන්වහන්සේ ලැබූ ඒ පුදසත්කාර පිළිබඳව සියළු තොරතුරු සැළකර සිටියා. එවිට තථාගතයන් වහන්සේ මෙලෙස ඒ මනරම් අතීත කතා වෘතාන්තය දේශණාකරනු ලැබුවා.

🌻 විසාලා මහනුවරට යනෙන මග දෙපස නා රජවරුන්ගෙන්, දෙවියන්ගෙන් බමුන්ගෙන් ලැබූ පුද සත්කාර වලට හේතු වූ අතීත කුසල කර්මය පෙන්වාදීම.

” මහණෙනි, මේ වෙසෙස් වූ පූජා මාගේ බුදුබලයෙන් පැවැතියේ නොවේ. නාගයන්ගේ දෙවියන්ගේ බඹුන්ගේ බලයෙන්ද නොවේ. එතෙකුදු වුවත් පෙර අපමණ වූ දේ පවරා දෙනු ලැබූ බැවින් ඒ බලයෙනැයි” වදාරනු ලැබුවා. එය අසා සිටි භික්ෂු පිරිස “හිමියනි, ඒ අපමණ දෙන ලද දේ පිළිබදව අපි නොදනිමු. අපට දැනගැනීමට එය වදාරන්නේ නම් මැනවැයි” අයාචනා කර සිටියා. එම ආරාධනය පිළිගත භාග්යවතුන් වහන්සේ ඒ අතීත පුවත මෙසේ වදාරනු ලැබුවා.

🌻 අප මහා බුදුපියාණන් වහන්සේගේ පුරාණ පුත්ර රත්නය වූ සුසීම පසේ බුදුරජාණෝ

මහණෙනි, පෙර තක්සලාවෙහි සංඛ නම් බමුණෙක් සිටියා. ඔහුගේ පුතාගේ නම සුසීම. ඔහු ඒ වනවිට සොළොස් හැවිරිදි වියට පැමිණ සිටියා. එක දිනක් ඒ සුසීම නම් තරුණ පුතු පියා ළගට අවුත් එකත්පස්ව සිටිය. එවිට සුසීම කුමක් ද දරුව පියා ඇසුවා. එවිට ඔහු පියාණෙනි මම බරණැසට ගොස් සිප්සතර ඉගෙනීමට කැමැත්තෙමි යි කියා සිටියා. එවිට සංඛ බමුණා එසේනම් දරුව අසවල් නම් ඇති බමුණා මගේ යාළුවෙකි. ඔහු වෙතින් උගනුවයි කහවණු දහසක් දී ඔහුව පිටත්කරා.

🌻 සුසීම කුමරු ශිල්ප ඉගැනීම සඳහා නික්මීම.

ඔහු එය රැගෙන මව්පියන් වැද අනුපිළිවෙලින් බරණැසට ගොස් කළයුතු සිරිත් අනුව ගුරුතුමා වෙත එලඔ පළමුව වැද තමන්ව හදුන්වා දුන්න. ඇඳුරුතුමා මේ මගේ යහළුවාගේ පුතු යැයි තරුණයා පිළිගෙන සියළු ආගන්තුක සත්කාර කරනු ලැබුවා. සුසීම ගමන් විඩාව දුරුවූ පසු ඒ කහවණු දහස ඇදුරුතුමාගේ පාමුල තබා සිප්සතර ඉගෙනීමට අවසර ඉල්ලා සිටියා. ඇදුරුතුමාද එය පිළිගෙන ඔහුට හොඳින් උගන්වනු ලැබුවා. තරුණයා සුළුවෙන් හෝ වැඩියෙන් හෝ අසා දරා ගත් දේ රන්බදුනෙහි දැමූ සිංහතෙල් මෙන් අමතක නොකොට සිත දරමින් දොළොස් වසරකින් ඉගෙන ගතයුතු සිප්සතර මාස කීපයකින් ඉගෙන අවසන් කලා. එහෙත් ඒ ඉගැන්වීම් තුල අඩුවක් තිබුණා. ඔහු එම වනපොත් කරනවිට එහි මුල මැද මිස අවසානයක් දැක්කේ නැහැ. ඒ නිසා ඇඳුරුතුමා වෙතට ගොස් මේ සිප්සතර මුල මැද දකිමි අවසානය නොදකිමි යි කියා සිටියා. දරුව, මමද එසේ වෙමියි ඇදුරුතුමාද එහි අවසානය නොදන්නා බව කියා සිටියා. එසේනම් මේ සිප්සතරෙහි අවසානය දන්නේ කවරෙකුදැයි ඔහු ප්රශ්ණ කරා. “දරුව ඉසිපතනයෙහි ඉසිවරු ඇත්තාහ. ඔවුන් දනිතියි” ඇදුරුතුමා කියා සිටියේ නිහතමානිව. එසේනම් ඇදුරුතුමනි මම ඔවුන්ගෙන් විමසමියි කියා කියා සිටි කල ඔබට පහසු වේනම් විමසන්නෙයි ඇදුරුතුමා අවසර දුන්නා.

🌻 මුල මැද මිස අගක් නැති සිප්සතරෙහි අවසානය දැනගැනීමට පසේ බුදුන් වෙත ගිය සුසීම කුමරුන්.

ඔහු ඉසිවරු යැයි සඳහන් කලේ පසේ බුදුවරුන්ට. ඔහු ඉසිපතනයට ගොස් පසේබුදුරජාණන් වහන්සේලා හමුවී මුල මැද අවසානය දන්නේහුදැයි විමසා සිටියා. එවිට උන්වහන්සේලා ඇවැත්නි එසේය දනිමු යනුවෙන් පවසා සිටියා. එසේනම් එය මටද උගන්වනු මැනවයි දරුවා කියා සිටියා. එසේනම් ඇවැත්නි පැවිදිවන්න පැවිදි නොවන්නන්ට ඉගැන්වීමට නොහැකිය යනුවෙන් ඒ වෙනුවෙන් යම් පැනවීමක් කරනු ලැබුවා. හොදයි හිමියනි පැවදිකොට හෝ ඔබවහන්සේලා කැමති ලෙස කටයුතුකොට හෝ අවසානය දැනගැනීමට සැලැස්සුව මැනවයි ඔහු ගෞරවයෙන් ඉල්ලා සිටියා.

🌻 සුසීම කුමරුන් පසේබුදුවිම සහ පරිනිර්වාණය

පසේබුදුවරු ඔහු පැවදි කරගත්තත් ඔහුහට කමටහන් දීමට හැකියාවක් තිබුනේ නැහැ. ඒ පසේ බුද්ධත්වයේ ඇති සීමා නිසා බව ඔබ මේ වනවිටත් දැනුවත් වී ඇතැයි සිතනවා. ඔවුන් ඒ වෙනුවට ඔබ මෙසේ සිවුරු හැදිය යුතුය, මෙසේ සිවුරු පෙරවිය යුතුයි, ආදී ලෙසින් උසස් හැසිරීම් වත්පිළිවෙත්හි ඔහුව හික්මවුවා. ඒ තරුණ හිමි එසේ හික්මී මගපල හේතු සම්පත් ඇති බැවින් නොබෝ කලකින්ම පසේබුදුබව අවබෝධ කරගනු ලැබුවා. දානමානාදී පුදසත්කාර ලැබීමෙන් හා පැතිරුණු කිර්ති රාවයෙන්ද පිරිවරද යුතුව සුසීම පසේබුදු නමින් පතළ වුනා. පෙර කරන ලද කම්විපාක අනුව කලක් ජීවත්වීමට තරම් ආයු නොලද සුසීම පසේබුදුහාමුදුරුවෝ නොබෝ කලකින්ම පිරිනිවන් පෑවා. අනෙක් පසේබුදුවරු ද මහජනයාද එකතුව සුසීම පසේබුදුරජාණන් වහන්සේව ආදාහනය කොට ධාතු තැන්පත් කොට නගරදොරටුවෙහි ථූපයක් පිහිටවූවා.

🌻 යලි නොපැමිණි සුසීම පුත්ර රත්නය සොයා සංඛ බ්රහමණයා පැමිණීම

සුසීම පසේබුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය එසේ සිදුවන විට ඔහුගේ පියා වන සංඛ බමුණාද මාගේ පුතු සිප්සතර ඉගෙනීමට ගොස් බොහෝ කල් ගතවිය. ඔහුගේ තොරතුරක් නොදනිමියි පුතු දකිනු කැමතිව තක්සලාවෙන් පිටත්ව අනුපිළිවෙලින් මග ගෙවා බරණැසට පැමිණයා. පැමිණ මහජනයා රැස්ව සිටිනු දැක මේ බොහෝ දෙනාගෙන් එක තැනැත්තෙකු හෝ මගේ පුතාගේ තොරතුරක් ඒකාන්තයෙන්ම දන්නවා ඇතැයි සිතමින් එතැනට පැමිණ මිට කලකට පෙර සුසීම නම් තරුණයෙකු මෙහි පැමිණයා ඔහු ගැන තොරතුරක් දනිවුදැයි අසා සිටියා. එවිට ඔවුන් ” එසේය බමුණ දනියි මේ නගරයෙහි බමුණකු වෙතින් තුන් වේදයෙහිම පරතෙරට පත්ව පසෙබුදුවරුන් ළග පැවිදිව පසේබුද්ධත්වය ලබා අනුපදිසේසව පිරිනිවන් පෑවා. මේ උන්වහන්සේ වෙනුවෙන් පිහිටුවන ලද ථූපයයි කියා සිටියා. ඒ අවස්ථාවේ ඔහු පොළොවෙහි අත්ගසා හඩාවැලපෙන්නට වුනා. අවසානයේ එය ලෝකස්වභාවය බව දැන ඒ සෑමළුවේ තණකොළ උදුරා පිරිසිදු කොට උතුරු සළුවෙන් වැලි ගෙනවුත් පසේබුදු සෑමළුවෙහි අතුරා බිම හාත්පස කෙණ්ඩියෙන් පැන් ඉස වනමලින් පුජා කොට උතුරු සළුවෙන් කොඩියක් නංවා ථුපය මතුයෙහි තම කුඩය සවිකොට පිටත්ව ගියා.

🌻 මෙසේ අප මහා බුදුපියාණන් වහන්සේ අතීත කතා පුවත සඟ පිරිසට දක්වා ඒ ජාතකය වත්මන් කාලය හා ගළපමින් මෙලෙස දේශණා කරනු ලැබුවා.

මහණෙනි එකල සංඛ බමුණා වෙනත් කෙනෙකුයි ඔබලාට සිතිය හැකිය. මහණෙනි එසේ නොදත යුතුයි. එකල සංඛ බමුණා නම් මම වීමි. මා විසින් සුසීම පසේබුදුන්ගේ සෑමළුවෙහි තණකොළ උදුරන ලද්දේය. ඒ කම්විපාකයෙන් අටයොදුන් මග කැටකැබිලිති ආදිය ඉවත් විය. සමව පිරිසිදු බවට පත්විය. මා එහි වැලි අතුරන ලදී. වනමලින් පුදන ලදී. ඒ කම්විපාකයෙන් නවයොදුන් මග ජලයෙහිද ගොඩබිමෙහිද නානාමල්වලින් සෑදුනු මල් ඇතිරිල්ලක් විය. මා එහි කෙණ්ඩියෙන් පැන් ඉසින ලදී. ඒ කම්විපාකයෙන් විසාලාවෙහි පොකුරු වැසි වැස්සේය. මා විසින් සෑයෙහි කොඩි නංවන ලදී. සෑයෙහි කොත පරිදි, කුඩයක් බදින ලදී. ඒ විපාකයෙන් අකනිටා බවන තෙක් කොඩි නංවා සේසත් ඔසවනු ලැබීය. මහණෙනි මේ ආකාරයෙන් මා මහත් වූ වෙසෙස් පුජා ලද්දේ බුදුබලයකින් නොවේ. නාග දේව බ්රහ්ම ආනුභාවයෙන් නොවේ. ඉතා සුළු වුවත් දීමෙහි බලයෙන් යැයි දහම් කතාව අවසානයෙහි මෙම අදහස ඇති ගාථාවක්ද වදාළහ.

ඉතා සුළු වූ සැපදෙන දෙයක් වුවත් අත්හැරීමෙන් උදාර වූ නිවන් සුවය දක්නේ වේද. ඒ උදාර වූ නිවන් සුව දකිනු කැමති නුවණැති තැනැත්තා ඒ ඉතා සුළු වූ සැපය වුවද අත්හරින්නේය.

රත්න සුත්ර විස්තරය නිමි

සාදු සාදු සාදු
💜💚💙💛 මෙම අගනා රතනසුත්ර වර්ණනාව අටුවා අනුසාරයෙන් ඔබවෙත ගෙනාවේ වර්තමාන ලෝක ජන ජීවත වලට විශාල අනතුරක් පවතින අවස්ථාවේ ඒ මහා බලගතු ත්රිව්ධ රත්නයේ ගුණ සිහිකර ඒ පිලිබන්ධව මහත් වූ ශ්රද්ධාවෙන් සජ්ජායනය කොට රටට ලෝකයට සෙත් පැතීමටය. මමද ඊයේ දිනයේ සිට රතන සුත්රය දිනකට නව වතාවක් ගෞරවයෙන් සජ්ජායනය කොට නිවසියනටද ලෝක වාසින්හටද සෙත් පැතීම ආරම්භ කලෙමි. මම මෙය ලියන්නේ අති දුෂ්කර අවස්ථාවකය. එබැවින් මා විසින් බලාපොරොත්තු වූ යුතුකම ඔබ වෙතින් ඉෂ්ඨ වේ යැයි මෛත්රී පුර්වක සිත් පෙරටුව අපේක්ෂා කරනෙමි. සියලු ලෝක වාසින් මෙම ව්යාදියෙන් මිදේවා! සියලු රෝහල්ගත වුවන් මරණ බියෙන්ද අකල් මරණයෙන්ද ජිවිත අවදානමෙන්ද මිදේවා! අද දින සිට මෙම වෛරසය ස්වාභාවිකවම විනාශ වේවා ! මා කරගත් සියලුම පුණ්ය මහිමයන්ද, මෙම ධර්ම දානයේ අනිසංසද, මේ අවස්ථාවේ සියලු ලෝකවාසීන්ගේ ආරක්ෂාව රැකවරණය සඳහාම හේතුවාසනා වේවා !!! සාදු සාදු සාදු 💜💚💙💛

තුසිත රාජපක්ෂ – ප්රංශය
20-03-2020

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.