Skip to main content

විශ්මිත බුදුනුවණ ගැන කියැවෙන සුමදුර දේශනය චූලනිකා සූත්‍රය …

පින්වත් යාලුවනේ මේ ලිපිය දාන්න විශේෂ හේතුවක් තියෙනව. සමහරු අහනව බුදු හාමුදුරුවන්ගෙ ආශ්චර්යමත් හැකියාවන් පිලිබද කිය කිය හිටියට වැඩක් වෙනවද කියල. ඔයිට සමාන ප්‍රශ්නයක් උදායී හාමුදුරුවොත් ඇහුව. ඒක තියෙන්නෙ මේ චූලනිකා සූත්‍රයේ. ඉස්සරල සූත්ත්‍රය කියවන්න. ඔයාලට බුදුහාමුදුරුවන්ගෙ ආශ්චර්යමත් නුවන ගැනත් තේරුම්ගන්න පුලුවන් වේවි.

එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා…..එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා.”ස්වාමීනි,මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි මේ කරුණ අහලා තියෙන්නේ.ඒ කියන්නේ ‘පින්වත් ආනන්ද,සිඛී නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අභිභූ නම් භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ සිටිමින් සහශ්‍රී ලෝක ධාතුවට කටහඬ අසන්නට සැළැස්සුවා’ කියලා.ස්වාමීනි අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට සමර්ථ වන සේක්ද?”

“පින්වත් ආනන්ද,ඔහු ශ්‍රාවකයෙක් නෙව.නමුත් තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකියි.”
දෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදියට පැවසුවා.”ස්වාමීනි,මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි මේ කරුණ අහලා තියෙන්නේ.ඒ කියන්නේ ‘පින්වත් ආනන්ද,සිඛී නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අභිභූ නම් භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ සිටිමින් සහශ්‍රී ලෝක ධාතුවට කටහඬ අසන්නට සැළැස්සුවා’ කියලා.ස්වාමීනි අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට සමර්ථ වන සේක්ද?”

“පින්වත් ආනන්ද,ඔහු ශ්‍රාවකයෙක් නෙව.නමුත් තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකියි.”

තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදියට පැවසුවා.”ස්වාමීනි,මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි මේ කරුණ අහලා තියෙන්නේ.ඒ කියන්නේ ‘පින්වත් ආනන්ද,සිඛී නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අභිභූ නම් භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ සිටිමින් සහශ්‍රී ලෝක ධාතුවට කටහඬ අසන්නට සැළැස්සුවා’ කියලා.ස්වාමීනි අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට සමර්ථ වන සේක්ද?”

“පින්වත් ආනන්ද,ඔබ සහශ්‍රී චූලනිකා ලෝක ධාතුව ගැන අහලා තියෙනවද?”

“භාග්‍යතුන් වහන්ස,මේ ඒ ගැන දේශනා කිරීමට කාලයයි.සුගතයන් වහන්ස,මේ ඒ ගැන දේශනා කිරීමට සුදුසු කාලයයි.භාග්‍යවතුන් වහන්සේ යමක් වදාරණ සේක් නම්,භාග්‍යව්තුන් වහන්සේගෙන් අසා භික්ෂූන් එය මතක තබා ගන්නවාමයි.”

“එසේ වී නම් පින්වත් ආනන්ද,සවන් යොමා අසන්න….පින්වත් ආනන්ද,යම්තාක් සඳ හිරුගේ ගමන්මග තිබෙනවා නම්,දිශාවන් බබලනවා නම්,ඒ තාක් තැන් සහශ්‍රී ලෝක ධාතුවයි.ඒ සහශ්‍රී ලෝක ධාතුවෙහි දහසක් චන්ද්‍රයන් තියෙනවා.දහසක් සූර්යයන් තියෙනවා.දහසක් සිනේරු පර්වත තියෙනවා.දහසක් දඹදිව් තියෙනවා.දහසක් අපරගොයාන තියෙනවා.දහසක් උතුරුකුරු දිවයින් තියෙනවා.දහසක් පූර්ව විදේහයන් තියෙනවා.හාර දහසක් මහා සමුද්‍රයන් තියෙනවා.හාර දහසක් මහා රාජ්‍යයන් තියෙනවා.දහසක් චාතුම්මහාරාජික තියෙනවා.දහසක් තව්තිසාවන් තියෙනවා.දහසක් යාමයන් තියෙනවා.දහසක් තුසිතයන් තියෙනවා.දහසක් නිම්මාණරතීන් තියෙනවා.දහසක් පරිනිම්මිත වසවත්තීන් තියෙනවා.දහසක් බ්‍රහ්මලෝක තියෙනවා.පින්වත් ආනන්ද,මේකට තමයි ‘සහශ්‍රී චූලනිකා ලෝක ධාතුව’ කියලා කියන්නේ.

පින්වත් ආනන්ද,යම්තාක් සහශ්‍රී චූලනිකා ලෝක ධාතුවක් වෙයිද,එබඳු වූ ලෝක ධාතූන් දහසක් ඇද්ද,පින්වත් ආනන්ද,මේකට තමයි ‘ද්වීසහශ්‍රී මජ්ඣිමා ලෝක ධාතුව’ කියලා කියන්නේ.

පින්වත් ආනන්ද,යම්තාක් ද්වීසහශ්‍රී මජ්ඣිමා ලෝක ධාතුවක් වෙයිද,එබඳු වූ ලෝක ධාතුන් දහසක් ඇද්ද,පින්වත් ආනන්ද.මේකට තමයි ‘තිසහශ්‍රී මහාසහශ්‍රී ලෝක ධාතුව’ කියලා කියන්නේ.

පින්වත් ආනන්ද,තථාගතයන් වහන්සේ කැමති වන සේක් නම්,තිසහශ්‍රී මහාසහශ්‍රී ලෝක ධාතුවටම කටහඬ අසන්නට සළස්වන්නට පුළුවනි.තවත් කැමති වෙනවා නම් එයටත් එහා කටහඬ අසන්නට සළස්වන්න පුළුවනි.”

“ස්වාමීනි,භාග්‍යවතුන් වහන්සේ තිසහශ්‍රී මහාසහශ්‍රී ලෝක ධාතුවට ස්වරය අසන්නට සළස්වන්නේ කොයි ආකාරයෙන්ද? තවත් එහාට වුණත් කැමති සේක් නම් ස්වරය අසන්නට සළස්වන්නේ කොයි ආකාරයෙන්ද?”

“පින්වත් ආනන්ද,මෙහිලා තථාගතයන් වහන්සේ තිසහශ්‍රී මහාසහශ්‍රී ලෝක ධාතුව ආලෝකයෙන් පතුරුවනවා.යම් කලෙක එහි සිටින සත්වයන් ඒ ආලෝකය හඳුනා ගන්නවා නම්,එකල්හී තථාගතයන් වහන්සේ බ්‍රහ්මඝෝෂය කරනවා.ශබ්දය අසන්නට සළස්වනවා.පින්වත් ආනන්දය,ඔය ආකාරයටයි භාග්‍යවතුන් වහන්සේ තිසහශ්‍රී මහසහශ්‍රී ලෝක ධාතුවට ස්වරය අසන්නට සළස්වන්නේ.තවත් එහාට වුණත් කැමති සේක් නම් ස්වරය අසන්නට සළස්වන්නට පුළුවනි.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ හට මෙකරුණ පැවසුවා.”මාගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මහා ඉර්ධි ඇති සේක්ද,මෙවැනි මහා ආනුභාව ඇති සේක්ද,එය වනාහී ඒකාන්තයෙන්ම මට ලාභයක්මයි.ඒකාන්තයෙන්ම මට ඉතා යහපත් ලැබීමක්මයි.” කියලා

එසේ පැවසූ විට ආයුෂ්මත් උදායි තෙරුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් හට මෙය කිව්වා.”කිම ආයුෂ්මත් ආනන්ද,ශාස්තෲන් වහන්සේ මෙවැනි මහා ඉර්ධි ඇති සේක් නම්,මෙවැනි මහා ආනුභාව ඇති සේක් නම්,මෙහිලා ඔබ කවුද?”

මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි තෙරුන් හට මෙසේ වදාළා.”පින්වත් උදායි,එහෙම කියන්න එපා…! පින්වත් උදායි එහෙම කියන්න එපා…! ඉඳින් උදායි,ආනන්දයන් රාගය ප්‍රහාණය නොකොට කළුරිය කරනවා නම්,ඔය ඇති වූ චිත්තප්‍රසාදය හේතු කොට ගෙන සත් වරක් දිව්‍ය ලෝකයෙහි දිව්‍ය රාජ්‍යය කරන්නට පුළුවනි.මේ දඹදිව් තලයේම සත්වරක් මහා රාජ්‍යය කරන්නට පුළුවනි.නමුත් උදායි,ආනන්දයන් මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා.”

සාදු…! සාදු…!! සාදු…!!!

අංගුත්තර නිකාය – 1 ( තික නිපාතය – දෙවෙනි පණ්ණාසකය – 3. ආනන්ද වර්ගය )

පින්වත් යාල්වනේ දැන් තේරුනා නේද? බුදු හිමියන්ගේ හැකියාවන් සිහිකරල අප්‍රමාණ ශ්‍රද්ධාව ඇතිකරගන්න එක හරිම වැදගත්. මොකද ශ්‍රද්ධාව පරම ධනය කියල දේශනා කරල තියෙන නිසා. එතකොට එහෙම ශ්‍රද්ධාවෙන් ඉදල හරි සිල් රැක රැක ඉදල හරියන්නෙත් නෑ. ඒ අය සීසාල වැට ගහල වගා නොකල කුඹුරක් වගේලු. ඒ නිසා බුදු හිමියන් ගැන අප්‍රමාන ශ්‍රද්ධාව ඇතිකරගන්නව වගේම ධර්මය ඉගෙන ගන්නත් මහන්සි ගන්න.

සකල සත්වග සුමගට යවන අටියෙන් සත් කෙරේ අපමණ මෙත් සිතින් එරන්ද ලක්මාල් විසිනි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.