Skip to main content

විවාහය ආපාගාමී මාර්ගයක් කර නොගන්න … … …

ආයුබෝවන් යාලුවනේ ඉතින් කොහොමද ජීවිතේ ? ආයුබෝවන් කියන්නෙ ආයුෂ බොහෝ වේවා කියලනෙ නේද? ඔය හායි, හූයි, බායි, ටටා, සීයූ වගේ විකාර වචන කියන්නෙ නැතිව ඒවගේ වචනයක් කියන්න කට හුරුකරගන්න පුලුවන්නම් කොයිතරම් දෙයක්ද නේද? නිතර ම යහපත් වචන කියන්න කට හුරු උනාම

හදිස්සි ගැටීමක් වගේ අවස්ථාවකදී කුණුහරප කියවෙන්නෙ නැතිව යහපත් වචනයක් කියවෙයි. සමහර සත්පුරුෂයො හදිසි අනකුරකදි, හදිසි අවස්ථාවකදි ඉතිබිසෝ ගාථාව කියනව. ඒක දිග වැඩිනම් නමෝ බුද්ධාය හෝ තෙරුවන් සරණයි කියන වචනෙ කියවෙනවනම් හරි වටිනව. මුලින් මුලින් කුණුහරපෙම කියවෙයි’ ඒත් එක්කම මතක් කරල නමෝබුද්ධාය කියන්න. ටිකදවසක් යනකොට හුරුවෙයි. හැබැයි ඉතින් ඔය සමහරු වගේ වැසිකිලියට යන්නත් නමෝ බුද්ධාය කියන වචනෙ භාවිතා කරන්න එපා. ඇමරිකාවෙ ඉන්න අක්ක කෙනෙක් මට කථා කරල කිනව දවසක් එයාට ඇහුනලු ගැහැණු ළමයෙක් තව ළමයෙකුට කියනව “ නමෝ බුද්ධාය නංගි, ටොයිලට් එකට ගිහින් එන්න යමුද ? ” කියල. ඉතින් ඒවගේ තුට්ටුදේකේ වචන බාවිතයනම් හරිම නීරසයි.

හරි, මාතෘකාවට පිටින් කථාකලාට සමාවෙන්න. මේ මාතෘකාව වැදගත් වෙන්නෙ කාන්තාවන්ට. විවාහක හෝ විවාහ අපේක්ෂක අය උනත් කමක් නෑ. නැන්ද මාමගෙ ආදරය ලබාගෙන ස්වාමියාගේ ආදරයත් ලබාගෙන වාසනාවන්ත දරුවන් ලබන්න කැමතිනම් පමණක් ඉදිරියට කියවන්න. එහෙම අවශ්‍ය නැත්නම් අර හූනියම් පෙට්ටිය ( රූපවාහිනිය ) දාගෙන වැඩක් නැති දෙයක් බල බලා ඉන්න.

හොඳයි, ගොඩක් වෙලාවට ගොඩ දෙනෙක් බිරිදෑවරු නිතර මැසිවිිලි නගනව එක එක හේතූන් මත. ස්වාමියගෙ ප්‍රශ්න, නැන්ද මාමගෙ ප්‍රශ්න, දූ දරුවන් නොමග යෑම පිලිබඳ, ගෙදර අගහිග පිළිබඳව ආදී විදිහට. සමහර විට විවාහ ජීවිතය එපාවෙලා සියදිවි හානිකරගන්නා අවස්ථාත් නැතුවා නොවේ. සමහර පවුල්වල ස්වාමි පුරුෂය හොයන සියලූම දේ සූදු ගහන්නයි, අරක්කු බෝතලේටයි වියදම් කරනව. මට යාලූවෙක් කිව්ව එක ගෙදරක මනුස්සය මාස නවයක්ක මව්කුසක් දරාන හිටපු බිරිඳටත් සතෙකුටවත් ගහන්නෙ නැති විදිහට ගැහුවලූ. දරුව ලැබිලත් කීපදවසකින්ම ලිංගික හැසිරීම්වලට ගත්තලූ. ලේ වහනය ගැනවත් ඒ තිරිසනාට ගණනක් නැතිලූ. අවසානෙ රේල්ලූවට ඒ මිනිහම ඛෙල්ල තියල. බලන්න මෙහෙම තිරිසන් මිනිස්සුත් ඉන්නව.
ප්‍රශ්න සියල්ලටම බිරිඳ වගකියන්න ඕනෙ කියන එකනම් හරිම වැරදි. ඒත් සියලූම ප්‍රශ්න වලට විසදුම්නම් බ්රිඳ ලග තියෙනව කියන කාරණය හරි. “ඒ කොහොමද ? ”කියල ඔබට ගැටලූවක් මතුවෙන බව මම දන්නව. ඒකට උත්තරේ අන්තිමට ලැඛෙයි. එතකන් කියවගෙන යන්නකො.

ගෘහ ජීවිතය ගතකලයුතු ආකාරය පිළිබඳව පැහැදිලි දේශනා රැසක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනව. අන්න ඒ නිසයි ලොව බිහිවූ සියලූම ශාස්තෘවරුන්ට වඩා බුදුරජාණන් වහන්සේ වදාළ දහම අති උත්තරීතරයි කියන්නෙ. එහෙනම් අපි බලමු බුදුදහමට අනුව කොහොමද වාසනාවන්ත බිරිඳක් එහෙමත් නැත්නම් නිවසකට සිරිදුවක් වෙන්නෙ කියල.
වරක් අනාථපිණ්ඩික සිටුමැදුරට වැඩිය බුදුපියාණන් වහන්සේ ගෙදර මුලු තැන්ගෙයි මහා ගාලගෝට්යක් ඇසිල සිටුතුමාගෙන් ඒ පිළිබඳව විචාරා සිටිය. එවලෙ සිටුතුමා සඳහන් කලේ අලුත් ලේලිය වන සුජාතා ( මේ බුදුසසුනේ නිතර සඳහන්වන සුජාතා සිටුදුව නෙවෙයි ) මෙලෙස ගැටුම් ඇතිකරගන්නා බවයි. එවලෙ බුදුහිමියන් ඉතාම වැදගත් දේශනාවක් වන වදකභාර්යා සූත්‍රය දේශනා කලා. ඒ ර්‍සත්‍රය ඔබටත් හරිම වැදගත් නිසා අපි බලමු මේ සූත්රයේ මූලික හරය මොකක්ද කියල.

එහි සඳහන් වන ආකාරයට භාර්යාවන් සත්දෙනෙක් ගැන සටහන් වෙනව.
1. වදක භාර්යා – මැය සැම විටම තම ස්වාමියා සමග නපුරු සිතින්ම වාසය කරන්නියක්. ස්වාමියාට උදව් කරන්නෙ නෑ. වෙන පිරිමි ගැනයි හිතන්නෙ. ස්වාමියාගෙ ආදරයෙන් පමණක් තෘප්තිමත් වෙන්නෙ නෑ. ස්වාමියා හම්බකරන සල්ලි නාස්ති කරනව. ස්වාමියාට සලකන්නෙ නෑ. ඒ අය මරණින් මතු කිසිකථාවක් නෑ අපාගාමී වෙනව.

2 චොර භාර්යා – ස්වාමියා හම්බකරන සල්ලි හොරකම් කරනව විතරක් නෙවෙයි නිතර මුදල් පිළිබඳ ප්‍රශ්න මතුකරමින් ස්වාමියා සමග රණ්ඩු වෙනව. කොතරම් සල්ලි ගෙනාවත් මදි. මේ අයටත් නිරය මිසක් වෙන තැනක් නෑ.

3 ආර්යා භාර්යාව – ගෙදර වාඩපල කිසිවක් කරන්නෙ නෑ. අලස බිරිඳක්. කොහෙන් හරි බඩ පුරවාගෙන ශේප් වෙලා ගෙදර නෑ හිතමිතුරන්ට බැන වදිනව. එයා චණ්ඩියෙක් වගේ හැමදේම කරගන්න බලන්නෙ. එයාටත් ඉතින් අපායම තමා යන්න තියෙන තැන. ටී.වී. එකේ යන විකාර බල බල ගෙදර වැඩ අතපසු කරන අය මේවට අයිතිද කියල බලන්න.

4 මාතෘ භාර්යාව – හැම විටම ස්වාමියා ගැන හිතානුකම්පී විදිහට වැඩ කරනව. ගේදොර වැඩපල හොයල බලල කරන තැනැත්තියක්. ඒ නිසා මරණින්මතු ඇය උපදින්නෙ දිව්‍ය ලෝකයෙ.

5 භගිනි භාර්යාව – මෙයින් අදහස් වෙන්නෙ සහෝදරියක් වැනි භාර්යාවක් පිළිබඳ. ඇය සැමියා සමග විහිලූ කරන්නවත් නුසුදුසු විදිහට හැසිරෙන්නෙ නෑ. ඇය ඉතා කීකරු බිරිඳක්. ඇයත් මරණින් මතු දෙව්ලොව උපදින්නියක්.

6 සකී භාර්යාව – ඇය යෙහෙළියක් වගේ ඉන්න බිරිඳක්. ස්වාමියා වෙනුවෙන් පෙරමග බලා ඉන්න හැකි සැම විටම ස්වාමියා ප්‍රීතියෙන් තැබීමට උත්සාහ කරන තැනැත්තියක්. ඇයත් මරණින් මතු දෙව්ලොව උපදින්නියක්.

7 දාසී භාර්යාව – හිරිහැර පඩා ඉවසමින් ස්වාමියාට දාසියක් මෙන් සේවය කරන උතුම් බිරිඳක් මැය. ස්වාමියා කෙරෙහි කිසිදු තරහක් ඇතිකරගන්නෙත් නෑ. ස්වාමියාට ඉතාම හොඳින් සලකන උතුම් ස්ත්‍රියක්. ඇයත් මරණින් මතු දෙව්ලොව උපදින්නියක්.

අද සමාජයේ නම් වැඩිපුරම සිටින්නෙ වදක භාර්යාවෝයි. ඔබට තේරුම් ගන්න ඔබ මොන වගේ කාන්තාවක්ද කියල. ඊලගට විවාහක බිරිදක් හා ස්වාමියෙක් ගතකරන ජීවිතය සතර වර්ගයකට අයත් බව බුදුහිමියන් අංගුත්තර නිකායේ සංයුක්ත නිකායේ මෙසේ දක්වා සිටිනව.

1. ප්‍රේතයෙක් හා ප්‍රේතියක් ලෙස වාසය කරයි
2. දෙවියෙක් හා ප්‍රේතියක් ලෙස වාසය කරයි
3. ප්‍රේතයෙක් හා දෙවගනක් ලෙස වාසය කරයි.
4. දෙවියෙක් හා දෙව`ගනක් ලෙස වාසය කරයි

මෙහි ප්‍රේත යනු අසත්පුරුෂ දුරුචාර පාර්ෂවය වන අතර දේව යනු සත්පුරුෂ සදාචාර පාර්ෂවය ලෙස සලකන්න. දැන් ඔබ ගතකරන ජීවිතය කුමක්දැයි ඔබටම තීරණය කරගත හැකිය. ඊලගට සිගාලෝවාද සූත්‍රයේ බුදුහිමියන් ස්වාමියාට භාර්යාවගෙන් ඉටුවිය යුතු යුතුකම් දක්වල තියෙන්නෙ පහත ආකාරයට.

1. නිවසේ කටයුතු මනාව සංවිධානය කිරීම
2. ඇසුරුකරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම
3. පරපුරුෂ සේවනය නොකිරීම
4. උපයන ලද ධනය ආරක්ෂා කිරීම
5. සෑම කටයුත්තකම දක්ෂ වීම හා අනලස් වීම

මේ කටයුතු බිරිඳක් විසින් අනිවාර්යයෙන්ම සිදුකල යුතු දෙයක් ලෙයි මා සලකන්නෙ. තවත් අවස්ථාවක ධනංජයි සිටුතුමා සිය විශාඛා දියණිය විවාහවන විට දුන් අවවාද දහයක් බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ.

ඒවානම්
01. ඇතුලත ගිණි පිටතට නොදෙන්න.
එනම් පවුලේ අඩුපාඩු පවුලින් පිටතට පාර්ශවයන්ට දැනගැනීමට ඉඩ නොතබන ලෙයසි.

02 පිටත ගිණි ඇතුලට නොදෙන්න
බාහිර සමාජය සැමියා ගැන කියන්නාවූ ඒපාදූප සිය සැමියාගේ කණේ නොතැබන්න යන්නයි.

03දෙන්නාට දෙන්න
ණයක් දිය යුත්තේ ආපසු දෙන තැනැත්තාටය

04 නොදෙන්නාට නොදෙන්න
ණයක් ගත්විට ආපසු නොදෙන්නාට ණය නොදෙන්න

05 දෙන්නාටත් නොදෙන්නාටත් දෙන්න
ඥාතියෙකු යමක් ඉල්ලුවිට එය නැවත ලබාගන්නා අරමුණීන් නොදෙන්න.

06 සුවසේ හිඳින්න
නිවසේ වැඩකටයුතු නිසිපරිදි කළමණාකරණය කරගැනීම

07 සුවසේ අනුභව කරන්න
නිවසේ සියලූ දෙනා ආහාරගත් පසු මෙහෙකාර පාර්ෂවයටත් කෑම ප්‍රමාණවත්දැයි බලා අනුභව කරන්න.
08. සුවසේ නිදන්න / සුවසේ අවදිවන්න
නිවසේ දොරජනෙල් නිසිපරිදි වසා ඇත්දැයි පරීක්ෂා කර බලා සියල්ලන්ට පළමු නිදන්න / සියල්ලන්ට පළමුව අවදි වී නිවසේ වැඩ අරඹන්න.

09. ගිණි දෙවියන් පුදන්න.
නැන්දා මාමාට ගරු බුහුමන් සහිතව සලකන්න

10 ඇතුලත දෙවියන් පුදන්න
ස්වාමියගේ පාර්ශවයේ ඥාතීන්ට ගරුසරු ඇතිව සලකන්න

පසු අවස්ථාවකදී බුදුපියාණන් වහන්සේ පවා එම අවවාද අනුමත කල සේක.

වරක් කොසොල් රජතුමා සිහින දහසයක් දැක බුදුහිමියන්ගෙන් ඒවායේ තොරතුරු විචාලේය. එහි සත්වන සිහිනයනම් “ස්වාමීනී, මා දුටු සත්වන සිහිනය වන්නේ මිනිසෙක් ලණුවක් අඹරන අතර ඒ මිනිසාගේ අනුදැනීමක් නැතිව මිනිසා වාඩිවී සිටි පුටුව යට සිටින සිවල් දෙනක් ඒ ලණුව අනුභව කරයි. ”එවිට බුදුහිමියෝ “මහරජ, ඔබට මේ සිහිනයෙන් බලපෑමක් නැත. අනාගතයේ කාන්තාවෝ සොර සැමියන් සමග මත්පැන් බොමින් සිය සැමියා උපයන දේ විනාශ කරයි. හරියට ඔබ සිහිනයේ දුටු සිවල් දෙන මෙනි. ”යි දේශනා කල සේක.

තවත් අවස්ථාවක උග්ග සිටාණන්තම දූවරු විවාහකරදෙන මංගල්‍යය එළඹියේය. සිටාණන් බුදුහිමියන් හට දනකට ආරාධනා කර දන් පිළිගන්නා “ ස්වාමීනී, හෙට දිනයේ විවාහ වන මාගේ දූවරුන්ට සුදුසු අවවාද දුන මැනවැ” යි ඉල්ලා සිටියේය. බුදුහිමියන් දුන් අවවාද පාලි භාෂාවෙන්ද දැක්වුවහොත් ලිපිය දීර්ඝ වන නිසා තේරුම පමණක් දක්වන්නම්.

01. ඉර පායන තුරු නොනිදා සිවාමියාට අවශ්‍ය දෑ සම්පාදනය කිරීමත් රාත්‍රියට සියල්ලට පසු නිදාගනිමින් උදෑසනට අවශ්‍ය දෑ සම්පාදනය කර තබීමත්, දොර ජනෙල් ආදිය සියල්ල වසා නිසි පරිදි සිතේ නිශ්චල භාවයෙන් නින්දට යාම. එසේම සාමාන්‍ය උපස්ථාන වලට අමතරව “ස්වාමීනී, ඔබවහන්සේගේ සුවපපහසුව පිණිස තව අවශ්‍යවන කාරනා මොනවාදැ” ප්‍රශ්නකරමින් ඒවා පිළියෙල කරදීම හා කීකරු මෙන්ම සුහද ලීලාවෙන් තම සැමියාට භක්තිවන්තව කටයුතු කිරීම.

02. මනා පුණ්‍යවන්තයෝ නම් ප්‍රිය මනාප කථා ඇත්තෝ වෙති යි යන්න නිතර සිහි තබාගෙන “ ඇසුවන් මන වඩන මුදු මොලොක් මටසිලිටි වචනම කථා කිරීම යන මේ කරුණු මැනවින් පවත්වන්නෙමු”යි හික්මිය යුත්තේය. නුඹලාද මෙසේ හික්මිය යුතුය

03 ස්වාමි කුලයට ගියපසු එහිදී තම ස්වාමියා විසින් “ මේ මාගේ මෑණියෝය, පියාණෝය, මහණ බමුණෝය”යි ගරු බුහුමන් කරනු ලබන යම් කෙනෙක් වෙත්ද ඔවුනට ගරු බුහුමන් කරන්නෙමු. තමන් වෙතට පැමිණිකල සුදුසු ලෙස ඉහිටුම් දීමෙන් හා කෑම් බම් ආදියෙන් සංග්‍රහ කරන්නෙමුයි නුඹලා හික්මවිය යුත්තේය.

04. කුමරියනි, ස්වාමියාගේ එලු ලොම්ය, කපු පුලූන්ය යන මෙයින් ගෙදරදී කෙරෙන යම් කර්මාන්තයක් වේද, එහි දක්ෂව අනලස්ව යෙදිය යුතුය. නුවණින් විමසා බලා කළ යුතුය. අනුන් ලවා කරවිය යුතුයයිද නුඹලා විසින් හික්මිය යුත්තේය. (මේ කර්මාන්ත මෙකල නැතත් ඉවුම් පිවුම් ආදියෙහි දක්ෂ විය යුතුය )

05. කුමරියනි, ස්වාමියාගේ අභ්‍යන්තර දාස දාසියෝ, පණිවිඩ පණත් ගෙන යන මෙහෙකරුවෝ, පර වැඩ කරන කම්කරුවො යන මොවුන් විසින් මේ මේ කටයුතු කරන ලදි, මෙය නොකරන ලදි ආදී වශයෙන් මොහෙකරුවන්ගේ කටයුතු හොඳින් බලා ගනිමුයිද, ඔවුන්ගේ කාය ශක්තිය අනුව කටයුතු නියම කිරීමද, ඔවුන්ට කෑම බීම ආදියෙන් නිසිලෙස සංග්‍රහ කිරීම හා ඔවුන් ලෙඩ වූ විට ඛෙහෙත් සපයා දී ම ආදියෙන් හොඳින් උපස්ථාන කිරීමද, ආදී කටයුතුවල යෙදෙන්නට නුඹලා විසින් හික්මිය යුත්තේය.
06. කුමරියනි, ස්වාමියා ධන ධාන්‍ය, රන් රිදී හෝ කහවණු ආදිය සපයා ගෙනෙන්නේද, එය රැකබලා ගන්නෙමු, හොර සිතින් ගෙන තමන්හට උවමනා නොවන දෙයෙහි නොයෙදෙන්නෙමු, විනාශ නොකරන්නෙමු යි නුඹලා විසින් හික්මවිය යුත්තේය.

බලන්න බුදුපියාණන් වහන්සේ කාන්තා ඔබ වෙනුවෙන් දුන් අවවාද මොන තරම් වටිනවද කියල.

ඒ විතරක්ද? බලන්න බෞද්ධ සාහිතයේ මොනතරම් තියෙනවද ශ්‍රේෂ්ඨ කාන්තාවන්ගෙ ලක්ෂණ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ මගෙ අමෑමෑණී සම්බුදු පියාණන් වහන්සෙ ඒ කාලය මුලුල්ලේ මොනතරම් වාරගණනක් උත්තම කාන්තාවන්ගෙ වගේම පහත් නින්දිත ස්ත්‍රීන්ගෙ සෙනෙහසට පත් වෙලා තියෙනවද කියල බලන්න. විශේෂයෙන් මනමේ කුමරු විදිහට, වෙස්සන්තර රජු විදිහට වගේම බුදුවන ආත්මයේ බෝසත සිදුහත් කුමරු විදිහටත් ස්ත්‍රීන් සමග ජීවත් වෙලා තියෙනව. මේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂය මුලූල්ලේ යශෝධරාව සිය පතවෘතභාවය වෙනුවෙන් හිස් ගැසුම් ලද වාර වාර වලදී ගලාගිය රුධිරය සතර මහ සාගරයේ ජලකඳටත් වැඩිවන්නට ඇති. ඒ කිසිදු අවස්ථාවක සිය ස්වාමි භක්තිය නැතිකරගත්තෙ නෑ. බලන්න යශෝධරාවත කියවල ඔබට ඒ බව හදවතට දැනේවි.

කියන මැසිවිල්ල හිමිහට නොඇසේවා
රන්කඳ මහිමි මට සිහිනෙන් නොපෙනේවා
කම්රස විඳීමක් නැහැ මම දිව්රනවා
වෙන්කර ගියත් මම සීලෙහි පිහිටනවා.

බලන්න ඇයගේ පති භක්තිය කෙතරම්ද කියල.

කැලේ තිඛෙන කොයිදේවත් රසවේවා
මලවට බමරු මෙන් පිරිවර ඇතිවේවා
අව්වේ තිඛෙන රැස්මාලා අඩුවේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා

ඒ තම ස්වාමියා තමා හැරගියේ උත්තම ලොව්තුරු සත්‍ය අවබොධ කරගැනීමට බව දැනගත් යශෝධරාව සිය ස්වාමියාට සැපත පැතූ ආකාරයයි.

වරක් බුදුපියාණන් වහන්සේ නකුල මාතා හා නකුල පිතා යුවලට ඔවුන්ගේ විවාහ ජීවිතවල සාර්ථකත්වය ගැන මහත්සේ ප්‍රශසංසා කර ඇත. ඒනිසාම ඔවුන් “ පරම විස්සාසිකා ” යන ගෞරවාභිධානය බුදුපියාණන් අතින් ලදහ. එහි තේරුම “ ඉතා කුලූපග පෙම්වත්තු ” යන්නයි. ඔවුන් කෙතරම් එකිනෙකාට ප්‍රේම කරනවාද යත් මතු භවයන්හිදිත් එකිනෙකා හමුවන්නට පතන බව ප්‍රකාශ කලහ. ලොව්තුරා බුදුකෙනෙකුගෙන් මෙවන් ගෞරවයක් ලැබීම ඉතාම දුර්ලභ වන අතර එය කල්ප ලක්ෂ ගණනක පැතුමක්ද වේ. හොඳයි, මෙතරම් දීර්ඝව විස්තර කරන ලද්දේ බිරිඳකගේ කාර්භාරය බුදුපියාණන් වහන්සේ විසින් අනුමත කරන ලද ආකාරයයි. මේ තත්වය අද ඔබ අතර තියෙනවාද? අප කෙතරම් අන්තයට පිරිහී ඇත්ද? අද ස්වාමියාට ගරු කිරීම තබා ස්වාමියා ගේ බසට අවනත වන්නන් සිටින්නේ කීයෙන් කීයද? කාමයේ අන්තයටම ගිලී ඇති අද සමාජය “එන්ජෝයි ” කිරීම සඳහා සිය ආත්ම ගෞරවය ඉතා පහත් මට්ටමට දමා ඇත. අද පතිවෘතාව රකින බිරිදෑවරුන් ඇත්නම් ඒ ඉතාම සීමා සහිතවය. පතිවෘතාව යනු සිහිනෙන් හෝ අන් පුරුෂයෙකු ගැන නොසිතීමයි. ඔබ ඔබේ හදවතට තට්ටුකර අසන්න ඔබේ තැන කොතැනද කියල.
වරක් මා මිත්‍රයෙකු පැවසුවේ වෙළඳ සැලකට පැමිණි තරුණ ස්ත්‍රීන් දෙදෙනෙක් එක්තරා නලුවකුගේ ඡායාරූපයක් දැක ඔවුනොවුන් යමක් කථාකර ඇත. එයට සවන් දුන් මා මිතුරා ප්‍රකාශකලේ ඉතාම පිළිකුල් ප්‍රකාශයකි. එහෙත් මා එය මෙහි දක්වා සිටිමි. ඒ ප්‍රකාශයනම් “එම රංගන ශිල්පියා සමග පැයක්වත් ඉන්න තියෙනවානම්… … ” යන්නයි. සොහොයුරියනි. මෙයද ඔබ ඔබේ සැමියාට කරන කළගුණ සැලකීම. ඔබ වෙනුවෙන් දිවා රෑ ඔබ වෙනුවෙන් වෙහහෙස මහන්සි වන, ඔබේ අවශ්‍යතා සපුරන එවන් සැමියෙකු හැර අනෙකකු ගැන සිතීමටවත් හැකිවීම ඔබ විසින් ඔබටම සිදුකරගන්නා දුෂ්ඨකමකි.

දැන් ඔබ මට බනිනවා ඇති “ ඇයි අපට විතරක් කියන්නෙ, මිනිස්සු ගෑණු පස්සෙ යන්නෙ නැද්ද, බීල ඇවිත් දරුවන්ටයි මටයි ඉන්න දෙනවද, උයාගත්ත බත් එක කන්න නෑ … … ” කියල. ඔව් ඇත්ත. ඒ නිසා ඔබ වෙන පිරිමින් සොයා යාම විකල්පයක්ද? ඔහුට වෛර කිරීම විකල්පයක්ද? ඔහුගේ බත් පතට වස දැමීම විකල්පයක්ද?

මොහොතක් සිතන්න. බුදුරදුන් දේශනාකලේ “ අත්තාහි අත්තනෝ නාථෝ ජ් කොහිනාථෝ පරෝසියා … ” කියලයි. ඒ කියන්නෙ තමන්ට සංසාරෙදි ඉන්නෙ තමන් විතරයි. වෙන කාගේ පිහිටක්ද කියලයි. ඔබ ඉවසුවොත්. වැරදි වැඩ නොකලොත් ඔබේ සංසාර ගමන හෝ යහපත් වෙයි. ඔබ මේ දුක් විඳිනනේ පෙර කල අකුසලයක් නිසයි. එයින් බේරීමට නැවත නැවත පව් සිදුකල හොත් නැවත අපාගත වීමක්මයි සිදුවන්නේ. වරක් මා ජීවත්වන ප්‍රදේශයේ කාන්තාවක් සොර සැමියන්් හා එක්ව සිය සැමියා ලොරියකට යටකර දමන ලදි. ඒ ස්වාමියා මරණාසන්නව සිට වතුරටිකක් දෙන්නැයි කී විට අර ගැහැණිය ඔහුගේ කටට මුත්‍රාකරන්නට තරම් සැහැසි වූවාය. ඉදින් අපාගතත වූ විට ලොදිය වත් කිරීම්, කටු ඉඹුල් ගහ, කැපීම් , කෙටීම් ආදියෙන් අනන්ත පීඩා විඳීමට සිදුවේ. නැවත නැවත ප්‍රේත, තිරිසන් ආදී ආත්මයන්හි ඉපිද සතුන් මරා කමින්, අනුන්ට වද හිංසා කරමින් නැවත නැවත අපාගතවීමට සිදුවේ. බුදුහිමියන් දෙශනා කලේ මහපොළවේ ඇති පස් මෙලොව ඇති මිනිසුන්ට උපමා වේනම්, නියපොත්තට ගත් පස් තරම් ප්‍රමාණයක් මරණීන් මතු නැවත මිනිසත් බවට පැමිණෙන බවය. ඉතිරි සියල්ලන් අපාගත වන බවය. ඇත්ත වශයෙන්ම පුරුෂ ආත්මයට වඩා ස්ත්‍රී ආත්මය කරදර සහිතය. කවුරුන් කෙසේ කීවත් ස්ත්‍රියට පුරුෂයකු හා සම මට්ටමේ වැඩකටයුතු කිරීමට නොහැකිය. ඔබ ස්ත්‍රීභාවය ලැබීමට ඇත්තවශයෙන්ම යම් පවක් සිදුකර තිබිය යුතුය.

එසේනම් කුමක්ද ඒ පව ? මෙය කියූ විට ඔබ මාහා උරණ නොවන්න. මන්ද අප හැම දෙන සසර පුරා අප්‍රමාණ වැරදි කර ඇති. කිසිවෙකුට “මමනම් සංසාරෙ කාමය වරදවල හැසිරිල නෑ” කියන්න බැහැ. බෝසතානන් වහන්සේ පවා කාමය වරදවා හැසිරිල පසුව එහි ආදීනව තේරුම් ගත් අවස්ථා තියෙනව.

එසේනම් කුමක්ද ස්ත්‍රීභාවය ලැබීමට හේතුව. එයට ප්‍රධාන හේතුව වන්නේ කාමය වරදවා හැසිරීමය. බුදුහිමියන්ගේ ප්‍රධාන උපස්ථායක ආනන්ද හිමියන්ද වරක් එක් ආත්මභවයකදී ස්ත්‍රී ආත්මභාවයක් ලබා තිබුණි. එයට හේතුව වූයේ ඊට පෙර භවයක සිදුකල කාම මිත්‍යාචාරයයි. එසේහෙයින් ඔබ කලයුත්තේ පුරුෂ ආත්මයක් පැතීම මිස පුරුෂයන්ට වෛරකරමින් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂනය කිරීම නොවේ. අනික් අතට ස්වාමියා ඔබට කෙතරම් පහත් ලෙස සැලකුවද ඔබ ස්වාමියාට ඉහලින් සලකන්න. ඔහු වෙනස්වනු නියතය. “ ගැහැණියකට වෙනස්කල නොහැකි පිරිමියෙක් වේනම් ඒ අඩුමතරමින් සෝවාන් වූ උතුමන් වේ ” එනිසා හැකි සැම විටම සැමියාට දේවත්වයෙන් සලකන්න. එසේ කිරීමෙන් ඔහු ඔබේ දාසයකු බවට පක්කරගත හැකිවනු ඇත. ඒ සමග පහත කරුණුද සැලකිල්ලෙන් කරන්න.

01. හැකි සැමවිටම උදෑසන සහ සවස් වරුවේ නැන්දා මාමා ඇතුලූ පවුලේ සියලූ එක්ව දෙනා බුදුන් වඳින්න. බුදුන් වැඳ අවසානයේ බාලයන් ලවා වැඩිමහලූන්ට වන්දනා කරවන්න. ඔබ ස්වාමියාට වඩා වයස තරමක් වැඩිවන්නට පුලූවන.එහෙත් ඔහු වැඳීම පවක් නොවේ. නැන්ද මාමාටද වැඳ ආශිර්වාද ලබාගන්න. මෙයට වඩා ආශිර්වාදයක් ලබාගත හැක්කේ තෙරුවනින් පමණි.

02. නිවසට මළමිනී ගෙන ඒමෙන් වලකින්න. එනම් තිරිසන් සතුන් වේදනාවෙන් මරණයට පත්කර ලබාගන්නා මස් මාලු කරවල ආදී සියල්ල නවතා දමන්න. සත්ව ආහාරවලින් සුදුසු වන්නේ එළකිරි පමණි. හොඳින් මතක තබාගන්න. එළකිරි උවද සුදුසු වන්නේ ආදරයෙන් එළදෙන රැකබලාගන්නා මිනිසුන් විසින් දොවන කිරි පමණි. එළදෙනට හිරිහැර කර, පැටවාට ලබා නොදී ලබාගන්නා කිරි බොනවාට වඩා වස පානය සුදුසු බව සිහිතබාගන්න. මෙසේ මස් නොගෙනෙන විට නිවසේ අමනුෂ්‍ය දෝෂ පහවී යනු ඇත. මන්ද මස් මාංශ අමනුෂ්‍යයන්ගේ ආහාර බැවිනි. සුදුසු ආහාර නැතිතැන සතුන් පවා මග හරින බව අමුතුවෙන් කිවයුතු නොවේ.

03. උදෑසන අවදි වී ගුවන් විදුලි පිරිත් ඇසීමට සලස්වන්න. නිවසේ ඇති ඉතිරි අමනුෂ්‍ය දෝෂද නැතිවී යනු ඇත. රන්ගිරි ශ්‍රීලංකා ගුවන් විදුලියේ දිනපතා රාත්‍රී 10.30 සිට සර්වරාත්‍රික පිරිත් දේහනා පැවැත්වෙනව. උදේ පහ වෙනකම්ම. හැමදාම ගුවන් විදුලිය ඔබට කරදරයක් නොවන අයුරින් ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් හරි වටිනව. ( FM 105.7 )

04. නිවස නිතර අතුපතුගා පිරිසිදුව තබාගන්න. සියල්ලන්ගේ සිත් පිරිසිදුවීම. දෙවියන්ගේ ආකර්ෂණය ඉඩමට ලැබීම. රෝගයන්ගෙන් ආරක්ෂා වීම, ආදී ප්‍රථීඵල රාශියක් ලැඛෙන බව බෞද්ධ පොතපතේ සඳහන් වේ.

05. ඔබ රැකියාවක් නොකරන්නියක් නම් ඔබට වාසනාව ඉක්මනින් උදාගර ගත හැකි අතර රැකියාවක් කරතත් නිතර ගෙදරදොර හා දරුවන් පිළිබඳ අවධානයෙන් සිටීම අනවශ්‍ය ගැටලූ ඇතිකිරීම වලකාලයි. නිතර ලැජ්ජාව හා බිය ඇතිව හැසිරීමටත් ඇග පසග කැපී පෙනෙන ඇඳුම් ඇඳීමෙන් වැලකීම ඔබේත් දරුවවන්ගේත් අනාගතය යහපත් කරයි.

06. දරවන් වැඩිප්‍රමාණයක් සැදීමට උත්සාහ කරන්න. අපහසුවෙන් හෝ කුඩාවිය ගෙවාගත් ව්ට සන්නද්ධ හමුදාවක ආරක්ෂාව මෙන්ම ශක්තිය ඔබට ලැබේ. එය ඔබට මෙන්ම රටටද ගුණ දායක වේ. ඔබ උපන් රටට දියහැකි උපරිම දායාදය වැඩි වැඩියෙන් දර සම්පත ඇතිකරීමයි.

මෙහිදී සඳහන්කලයුතු සුවිශේෂ දෙයක්ද කාරණයක්ද වේ. මේ රට සැමවිටම අඳුරු යුග ගතකරන ලද බොහෝ අවස්ථාවලදී කාන්තාවන් ඍජුවම ඉන් රට මුදවා ගැනීමට ගැනීමට දායක වූ අවස්ථාවේ. උදාහරණයක් ලෙස විහාරමහ දේවිය, සෝමාදේවිය ආදී කාන්තාවන් මෙන්ම ලිඛිත ඉතිහාසයට ඇතුලත් නොවූ බොහෝ කාන්තාවන්ද වේ. එවන් ශ්‍රේෂ්ඨ කාන්තාවන් සිය ජීවිතය විනාශවී ගියද පතිවෘත්තාව ආරක්ෂා කලහ. ඇහැලේපොළ කුමාරිහාමි සිය පවුලම විනාශවී ගියද රාජසිංහ රජු වෙනුවෙන් සිය පතිවෘතාව විනාශකර නොගත්තාය. එසේම මතු බුදුබව පතන සත්පත්තිනි මෑණිිියගේ ශක්තිය වන්නේ පතිවෘත්තා බලයයි. ඔබ රක්නා සීලය ස්වාමියාගේ නොපහත් හැසිරීම නිසා විනාශ කරගතහොත්, සැමියාට පාඩමක් ඉගැන්වීමට අන්සැමියන් සොයා ගියහොත්, පැරණි ප්‍රේමය වෙනුවෙන් හදවත පූජාකිරීමට ගියහොත්, සැමියා සිය අණසකට ගැනීමට උත්සාහ කරමින් නිවසේ සියලූ කටයුතු අඩාල කරගතහොත් අවසානය ඉතාම භයානක විය හැකිය. අපායගාමී වන ඔබ බේරා ගැනීමට සිටින්නේ ඔබ පමණක් මිස අන් අයකු නොවේ. සිතෙහි පවිත්‍රභාවය ඇතිකර ගැනීම සැමට වඩා අගනා බව නිරතුරුවම සිතට ගන්න.

එසේනම් මේ කරුණු සැලකිල්ලට ගෙන හොඳ බිරිඳක් ලෙසින් සමාජගත වීමට උත්සාහ කරන්න. නිතර බුදුදහම විශ්වාස යෙන් අදහන්න. එය ඔබගේ මෙන්ම පවුලේත් දෙලොව දියුනුවට හේතුවනු නොඅනුමානය.

ඔබට ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශාන්තියම වේවා….

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් කථාකර මා ශක්තිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … …

මම සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.