Skip to main content

විපක්‍ෂ නායකතුමාට විවෘත සන්‍දේශයක් …

ජාතික රාජ්‍ය සභාවේ කන්කසන්තුරේ මන්ත්‍රී හා විපක්‍ෂයේ නායක ඒ. අම්ර්තලිංගම් මහතා කැරතුබූ ප්‍රකාශය තවත් කරුණු ටිකක් ඉදිරිපත් කිරීමට මඟක් පාදා දුන් හෙයින් පළමු වැ ඒ මහතාට කෘතඥ වෙමි. ලිපිය කෙටි කැරගැනීමට මින් ඉදිරිය ‘මහතා’ යයි ලියූ විට එයින් හඳුන්වන්නේ අමිර්තලිංගම් මහතා බව සිත තබාගත යුතු ය. මේ ලිපිය ‘මහතා’ගේ ලිපියට පිළිතුරක් නො වේ. ඒ ලිපියේ පිළිතුරු ලියන්න‍ට දෙයක් නැත. මේ, ‘මහතා’ ගේ හිතේ අමාරුවත් අනුගාමිකයන් ගේ හිතේ අමාරුවත් සනසා දෙන්නට ලියන ලද්දක් පමණි.

මොහෙන්ජෝදාරෝ හරප්පා කාලයේ පටන් භාරතයෙහිත් ශ්‍රී ලංකා වෙහිත් වාසය කළේ දම්ළයන් බවත් ආර්යයන් පැමිණ ඔවුන් යට‍පත් කළ බවත් එහෙයින් මේ දෙ රටෙහි මුල් අයිතිකාරයෝ දමිළයෝ යැ යි කියන බවත් අසා ඇත. ඒ අනු වැ සලකා බලන විට කකුසඳ – කෝනාගම – කස්සප යන තුන් බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පටන් භාරතයෙහිත් ශ්‍රි ලංකා වෙහිත් වාසය කෙළේ බෞද්ධයෝ යැ යි අපි කියමු. දමිළයන් කියන ඉතිහාසය අවුරුදු හාර දහසක් පමණ ය, අපට හාර ලක්‍ෂයකට අධික ඉතිහාසයක් ඇත. එහෙත් ඒ කථා දෙකෙන් ම දැන් වැඩක් නැත. මෑත යුගයෙහි විජය රජතුමා ගේ කාලයෙහි පටන් කරුණු ටිකක් සලකා බලමු.

දුටුගැමුණු රජතුමා ගේ කාලයේ පටන් සිංහලයන් හා දමිළයන් අතර සටන් රාශියක් ඇති විය. ඒ හැම වාරයෙක ආරම්භය දමිළයන් ගෙනි. මිහිඳු මහ රහතන් වහන්සේ පැමිණි ටික කලෙකින් ම හෙළදිව පුරා බුද්ධාගම පැතිරී ගියෝ ය. අනුරාධපුර පළාත බුද්ධාගමයේ මූලස්ථානය විය. ඒ අතර දකුණු ඉන්දියාවන් පැමිණි දමිළ සේනාවක් සිද්ධස්ථාන හා බෞද්ධයන් විනාශ කරන්නට පටන් ගති. දුටුගැමුණු රජතුමන් ඔවුනට විරුද්ධ වැ සටන් ආරම්භ කළේ ඒ නිසා ය. ඊට පසු වැ ද සටන් රාශියක් ඇති විය. ඒවා ආරම්භ වූයේ ද දමිළයන් ගෙන් ම ය.

1956 න් පසු උතුරේ හා නැගෙනහිර ආරම්භ කළ ශ්‍රී විරෝධී ව්‍යපාර යෙහි දී එරාවුර්හි එක් අයකු ගේ මරණය සිදු වීමෙන් ආරම්භ වු සටනෙහි මුලත් දමිළයන් ගේ ය. මේ වර සටන ආරම්භ කළේත් අගෝස්තු 16 වැනිදා යාපනයේ දී වූ සිද්ධියෙකිනි. කවර කරුණක් නිසා හෝ ජීවිත හා දේපල විනාශ කිරීම බරපල වරදෙකි කොල්ලකෑම ද එ සේ ම ය. ඒ වැරැදිවලට රජය නීත්‍යනුකූල වැ දඬුවම් දෙනවා ඇත. මේ වැරැදි දකුණේ හා බස්නාහිර පමණක් නො වැ උතුරේ හා නැඟෙනහිර ද සිදු වී ඇත. එහෙත් ‘මහතා’ ආදි සමහරුන් සූදානම් වන්නේ සිංහලයන් දුදනන් කොට දමිළයන් සුදනන් කරන්නට ය. එයට නම් ඉඩ දිය නොහැකි ය. සිංහලයන් කළත් දමිළයන් කළත් වරද වදර ම ය. එහෙත් මේ මහා විනාශයෙහි ආරම්භය කෙසේ ද යන්න යටපත් කරන්නට වෑයම් කිරීම නම් වැරදි ය.

මා විසින් ශ්‍රි ලංකා අග්‍රාමාත්‍යතුමාට (ජේ. ආර්. ජයවර්ධන මහතාට) යවන ලද සන්‍දේශයෙහි කලින් යාපනයේ තත්ත්වය අනුවැ විහාරභූමි හැර සිංහලයනට බිම් අඟලක් වත් නැතැ යි අනුමානයෙන් සඳහන් කැර ඇත. එය අසත්‍ය බවත් සිංහලයන් යාපනයේ ඉඩම් අයිති කැරැගෙන ව්‍යාපාර කරන බවත් ‘මහතා’ කියා තිබේ. අවුරුදු කීපයකට පෙර සිංහල විරෝධීන් ගේ බලවත් බාධා මැද දිසාපතිතුමන් විසින් රජයේ ඉඩමක් කැබලි කොට සිංහලයන් අතර බෙදාදුන් බවත් ඔවුන් කුඩා ගෙවල් හදාගෙන පදිංචි වූ බවත් දැනැසිටියෙමි. එ සේ නැති වැ පෞද්ගලික ඉඩම් ඇති සිංහලයන් ඉන්නවා දැ යි සොයා බැලීමි. උතුරුකරේ සිංහල විරෝධී නොවන සත් පුරුෂයන් ගෙන් ඉඩම් මිලට ගෙන පදිංචි වැ සිටින සිංහලයන් හතර දෙනෙකුන් ඇති බව දැනගතිමි. දමිළයන් ශ්‍රී ලංකාව පුරා ඉඩම් මිලයට ගෙන පදිංචි වී සිටින ප්‍රමාණය දෙස බලන විට යාපනේ ඒ ඉඩම් කීපය ගණන් ගන්නට වත් තරම් නො වේ. කෙසේ වුවත් ඒ ඉඩම් කිහිපය මුදලට දුන් ඒ සත්පුරුෂයනට කෘතඥ වෙමි.

මේ තරම් විනාශදායක සිද්ධීන් රාශියකට ප්‍රධාන හේතුවක් වූයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සමහරුන් ඇති කළ රට බෙදීමේ කථාවත් මැතිවරණ රැස්වීම්වල දී සිංහලයනට විරුද්ධ වැ කළ කතාත් ය. අවිහිංසා වාදී යැ යි කියන ‘මහතා’ සිංහල විරෝධී වැ කළ කතා පොලීසිය තැටිගත කැර ඇතුවාට සැකයක් නැත. ඔවුන් ගේ එම කතා ඇසූ සිංහලයෝ දහස් ගණන් වෙති. පොලීසිය තැටිගත කළ කතා කීපයක් වත් අසන මෙන් අග්‍රාමාත්‍යතුමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලයට කරුණාවෙන් දන්වමි. ඒ අතර මැතිවරණ රැස්වීම්වල දී එක ද සිංහලයකු දමිළයන් මරන කතාවක් කැර තිබේ දැ යි සොයා බලන මෙන් දමිළයන් ගෙන් ඉල්ලමි. කරුණු මෙ සේ තිබිය දී සිංහල බෞද්ධයනට දොස් පවරන හා නින්දා කරන ලිපි ඉංග්‍රීසි පත්‍ර හා සඟරා මඟින් ලොව පුරා පතුරවයි.

මෙ බඳු අස්ථාවල දී නොමඟ යවන ලෝකයාට කරුණු හරි හැටි අවබෝධ නොකිරීමෙන් සිංහල බෞද්ධ ලේඛකයන් කරන්නේ බලවත් වරදෙකි

මෙ රට දෙකට බෙදන්නට ඉල්ලන කථාව සාධාරණ ද, අසාධාරණ ද කියා සිතා බලන්නට කරුණු ස්වල්පයක් සඳහන් කරමි. ‘මහතා’ ඇතුළු පක්‍ෂය උතුර හා නැඟෙනහිර දෙමළ රජ්‍යයට ඉල්ලයි. මුළු ලක් පොළොව වර්ග සැතැපුම් 25,332 කි. එයින් උතුර හා නැ‍ඟෙනහිර 7, 268 කි. එය මුළු ලක් පොළොවෙන් තුනෙන් එකකට ආසන්න වේ. ඉල්ලන ජන සංඛ්‍යාව දමිළයන් ගෙනුත් ‘මහතා’ ඇතුළු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යි. දමිලයන් සියලු දෙනාත් ඔය අදහස අනුමත කරන්නේ නැත. එ සේ නම් ඉල්ලන්නන් ගේ ප්‍රමාණය සලකා බලන්න.

1971 වැන්නෙහි ජන සංගණනය අනුවැ මුළු ජනගහණය 1,27,11,143 යි. එයින් ලංකා දමිළයන් ගේ සංඛ්‍යාව 14,15,567 යි මේ අවුරුදු හයේ දී වැඩි වූ ප්‍රමාණයත් එකකු කළ විට 16 ලක්‍ෂයකට ආසන්න වනවා ඇත. මුළු ලංකාවෙහි ඡන්දදායක සංඛ්‍යාව 66,13,899 යි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඉදිරිපත් වු ආසන 22 ඡන්ද සංඛ්‍යාව 7,85,637 යි. එයින් ඔවුනට දුන් ඡන්දදායක සංඛ්‍යාව 4,10,584 යි. එයින් පැහැදිළි වන්නේ ඔවුන් ඉදිරිපත් වූ ආසනවල ඡන්දදායකයන් ගෙන් වැඩි සංඛ්‍යාවක් රට බෙදීමේ කථාව අනුමත නොකරන බව යි. නැ‍ඟෙනහිර දිසාවේ ආසන 12 න් ඔවුන තව ම දිනාගත හැකි වැ ඇත්තේ ආසන 3 යි. එයින් පැහැදිළි වන්නේ නැඟෙනහිර ජනතාව ගෙන් හතරෙන් තුනක් රට බෙදිමේ කථාව අනුමත නොකරන බව යි. මුළු ලංකාවෙහි ඡන්දදායකයන් ගෙන් ‘මහතා’ ගේ පක්‍ෂයට ලැබී තිබෙන්නේ සියයට 6 යි. සියයට 6 දෙ‍නකු ගේ වුමනාවට ශ්‍රී ලංකාවෙහි තුනෙන් කො ටසක් වෙන් කැරදීම සුදුසු දැ යි මැදහත් වැ සිතා බලන්නේ මැනැවි.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට අහිංසක දමිළයන් නොමඟ යවා හිංසකයන් කරන්නටත් සිංහලයන් හතුරන් ලෙස සලකන්න ටත් ඉඩ නො දී දමිළයනට දී ති‍බෙන වරප්‍රසාද විස්තර සහිත වැ සිංහල දමිළ හා ඉංග්‍රිසි යන භාෂාත්‍රයයෙන් මුද්‍රණය කරවා අහිංසක දමිළයනටත් ‘මහතා’ ඇතුළු පිරිස නොමඟ යවා තිබෙන උගත් ලෝකයටත් දැනැගන්නට සලස්වන්නේ මැනැවි. ඔවුනට තවත් දිය යුතු වරප්‍රසාද නැති තරම් ය. ව රප්‍රසාද අඩු වැ තිබෙන්නේ මහජාතිය වන සිංහලයනට ය. මෙන්න එයට සාධකයක්: දමිළ තරුණ තරුණියනට රැකියා නැතැ යි කෑගසති. මුළු ලංකා දමිළ සංඛ්‍යාව 16 ලක්‍ෂයකට ආසන්න වේ. රැකියා නැති සිංහල තරුණ තරුණියන් ගේ සංඛ්‍ය‍ාව ම 16 ලක්‍ෂය ඉක්මවායයි. අනෙක් හැම අංශයක්මත් එ සේ ම ය. එහෙත් දමිළයන් ගේ සාධාරණ ඉල්ලීම් ඇත් නම් සලකා බලන්නේ මැනැවි.

ජනගහණයෙන් හෙවත් ඡන්දදායකයන් ගෙන් සියයට 6 ක් වන දමිළයන් ගේ රට බෙදීමේ කථාව තිබෙන තුරු රට සන්සුන් කිරීම දුෂ්කර වනු ඇත. නැවැත නැවැතත් මෙ බඳු කෝලාහල ඇති වුව හොත් එය වචනයෙන් කියන්න‍ට බැරි තරම් විපතකි. එ හෙයින් රට බෙදීමේ කථාව දේශද්‍රෝහි කථාවක් හැටියට නීතිගත කිරීම ගැන සලකා බලනු මැනැවි.

උතුරේ හමුදා ඒකකයක් පිහිටුවීම ගැන ‘මහතා’ හා අනුගාමිකයෝ බොහොම කලබල වී සිටිති. කලබල වන්නේ කුමට ද? දැනට මත් හමුදාව විමධ්‍යගත කොට ඇත. එ හෙයින් හමුදා ඒකක දකුණ බස්නාහිර ඌව නැ‍ඟෙනහිර හා උතුරු මැද යන පළාත්වල පිහිටුවා තිබේ.

ඒ පළාත්වල අය කලබල වූයේ තැන් නම් දැනට මත් උතුරේ තිබෙන ආරක්‍ෂා කඳවුර දියුණු කොට හමුදා ඒකකයක් පිහිටුවීමට දමිළයන් පමණක් කලබල වන්නේ ඇයි? හමුදා ඒකකයක් පිහිටුවීමට බිය විය යුත්තේ දකුණු ඉන්දියාව සමඟ හොර ජාවාරම් කරන අය පමණි.

උතුරේ ජනපද පිහිටුවීම ගැන ද ‘මහතා’ ඇතුළු අනුගාමිකයෝ බොහො ම කලබල වී සිටිති. සියයට 11 කුත් දශම එකක් වන ලකා දමිළයන් ගෙන් හරි අඩක් වාසය කරන්නේ උතුරු දිසාවෙන් පිට ශ්‍රි ලංකාව පුර ම ය. එය එ‍ සේ නම් සියයට 71 කුත් දශම නමයක් වන සිංහලයන් ගෙන් සුළු සංඛ්‍යාවක් උතුරේ වාසය කිරීමේ වරද කුමක් ද? ඡන්ද දායකයන් ගෙන් සියයට 6 ක් වන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ කියන කථා ගණන් ගත යුතු නැත. අග්‍රාමාත්‍යතුමන් කියන පරිදි සිංහලයන් හා දමිළයන් සුහද වැ වාසය කරන ජන සමූහයක් කිරීමට නම් ඔවුනොවුන් ගේ වැරැදි හැඟීම් ඉවත් කරවා එකට වාසය කිරීමට කටයුතු යෙදිය යුතු ම ය. එ හෙයින් පිළිවන් ඉක්මනින් උතුරේ ජනපද පිහිටුවා ජන අනුපාතය අනුවැ පදිංචි කරවන්නේ මැනැවි.

විපක්‍ෂ නායක ‘මහතා’ ගාන්ධිතුමා මෙන් අවිහිංසාව මුල් කැරගෙන කටයුතු කර බව කියා ඇත. ‘මහතා’ ගේ වැඩ පිළිවෙළට ශ්‍රෙෂ්ඨ භාරත පුත්‍රයකුගේ නම එකතු කැරගැනීම ‍‍නොමැනැවැ යි සිතමි. කෙසේ වුවත් ‘මහතා’ ගේ හා පාක්‍ෂිකයන් ගේ අවිහිංසාවේ ප්‍රමාණය දැනැගැනීමට මැතිවරණ කාලයෙහි සිංහලයනට විරුද්ධ වැ කළ කථා මතක නැත් නම් පොලීසිය විසින් තැටිගත කරන ලද කථා කීපයක් වත් අසන්න.

අග්‍රාමාත්‍යතුමා සිංහල ප්‍රදේශයන්හි විශේෂයෙන් වැල්ලවත්තේ වාසය කරන ද්‍රවිඩයන් ආරක්‍ෂා කිරීමට ඒ ප්‍රදේශයේ ඇවිදිමින් උත්සාහ ගත්තේ ය. විපක්‍ෂයේ නායක ‘මහතා’ එ ලෙසින් එක සිංහලයකු වත් ආරක්‍ෂා කිරීමට උත්සාහ ගත්තේ ද? වජිරාරාමයෙහි අනාථ වූ දමිළයන් ටික දෙනකුන් හෝ රැකබලාගෙන සංග්‍රහ කෙළෙමු. එ ලෙසින් අනාථ වූ යාපනයේ සිංහලයන් එක් කෙනෙකු හෝ යාපනේ හින්දු කොවිලක ආරක්‍ෂා කොට සංග්‍රහ කළා දැ යි අවිහිංසාවාදී ‘මහතා’ ගෙන් අසනු කැමැත්තෙමි.

රිවිරැස 1977.09.11

ප්‍රඥාප්‍රභා 1

යතුරුලිවීම: සැන්ටා ටයිප්සෙටින්

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.