Skip to main content

විඤ්ඤාණය පිලිබදව සොයා භවය කෙලවර කල උපසීව මහරහතන් වහන්සේ .

උපසීව මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි එක්තරා කුල ගෙයක ඉපිද වැඩි වියට පත් වූ කල්හි එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදී ” අනාගතයෙහි රහත් බව ලබා සසර දුක් කෙළවර කර ගනිමි” යි ප්‍රාර්ථනා කොට බොහෝ කුසල් රැස් කෙළේය. පසුව එයින් චුතව දෙව් මිනිස් සැප විඳිමින් බොහෝ කාලයක් සසර සැරිසරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද උපසීව නමින් ප්‍රසිද්ධව විසීය. පසු කාලයේදී හෙතෙම බාවාරි නම් තාපසතුමාගේ ප්‍රධාන ශිෂ්‍යයෙක්ව තාපස ජීවිතයක් ගත කළේය. උපසීව තාපස තුමා බාවාරිගේ අනුදැනුම ඇතිව දිනක් බුදුරජාණන් වහන්සේ ශ්‍ර වීමට පැමිණ මෙසේ ප්‍රශ්නයක් ඇසීය.

උපසීව.- ” සවාමීනි, ආකිඤ්චඤ්ඤායතන බඹලොව උපන් පුද්ගලයා වර්ෂ දහස් ගණනක් එහි සිටි පසුව අවසානයේ ඔහුගේ විඤ්ඤාණයට කුමක් වේද? “

බුදුරජ- ” උපසීවය,නිවුණු පහන් දැල්ල ගිය දිසාවක් නො දක්නාක් මෙන් එයින් චුත වූ පුද්ගලයාගේ විඤ්ඤාණය අභාවයට යයි. අසවල් තැනකට ගියේය යි තැනක් දැක්විය නො හැකි ය. “

 උපසීව – “ස්වාමීනි, ඒ අරූපී ආර්ය පුද්ගලයා ට එයින් පසු කුමක් වන්නේ ද? “

බුදුරජ – ” උපසීවය, අනුපදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවි පුද්ගලයාට එයින් පසු පුද්ගල ව්‍යවහාරක් නැත්තේ ය. එයින් පසු සියල්ල අවසන් වෙයි. “

මේ ධර්මදේශනාව කෙළවර උපසීව තවුසා ඇතුළු දහසක් පිරිවර තවුසෝ රහත් වුහ. බුදුරජාණන් වහන්සේ ඔවුන් සියලූ දෙනම ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කළහ. උපසීව මහරහතන් වහන්සේ අසූමහා ශ්‍රාවක පිරිසට අයත් වූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.