Skip to main content

වැඩිමහල් දෙසොහොයුරන් ගිය මග ගමන් කර භව නිරෝධය කල ගයා කස්සප මහරහතන් වහන්සේ …

 ගයා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි මෙලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නම් එක්තරා කුලගෙයක ඉපිද වැඩි වියට පත් කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් ඵලයට පැමිණ සසරින් මිදෙමි” යි ප්‍රාර්ථනා කොට බොහෝ කුසල් රැස් කළහ. හේ එයින් චුතව සසර සැරිසරා සිඛී නම් . බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි කුල ගෙයක ඉපිද ගිහිගෙය හැර දමා තාපස පැවිද්ද ලැබීය. එසමයෙහි සිඛී බුදුරජාණන් වහන්සේ හුදකලාව ම ඔහුගේ තාපස අසපුව සමීපයෙන් වඩිමින් සිටි සේක. එකල්හි තවුස්තුමන් උන්වහන්සේ දැක සතුටු සිත් ඇත්තේ ළගට පැමිණ වෙලාව දැන ඩෙබර ඵල ගෙනවුත් පිළිගැන් වීය. අනතුරුව ද බොහෝ පින් කොට හෙතෙම අප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බ්‍රාහ්මණ කුලයක ඉපිද ගයා කස්සප නමින් ප්‍රසිද්ධව විසීය. ඔහු වනාහී උරුවේල කාශ්‍යපගේ බාල සහෝදරයා ය. ටික කලක් ඇවෑමෙන් හෙතෙම ගිහි ගෙයින් නික්ම තවුස් දම් රකිමින් දෙසියයක් පිරිස සමග නේරංජන නදියෙහි පහළ ප්‍රදේශයේ අසපුවක් කොට වාසය කෙළේ ය. 

දිනක් ගඟ පහලට ගසා ගෙන එන ජටා මඩුලූ හා තවුස් පිරිකර දුටු ගයා කාශ්‍යප ඇතුළු පිරිස “අපගේ වැඩි මහළු සහෝදර වරුන්ට කිසියම් විපතක් වී දෝ ” යි සිතා පරීක්ෂා කර බලනු පිණිස ගඟ ඉහළට ගියාහු ය. එවිට උරුවේල කාශ්‍යප හා නදී කාශ්‍යප දෙදෙන පිරිවර සමග පැවිදි වී සිටිනු දුටු ඔවුහු පුදුමයට පත් වුහ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. ධම් දේශනාව කෙළවර ගයා කාශ්‍යප ඇතුළු පිරිවර දෙසිය දෙනම සෝවාන් වුහ. බුදුරජාණන් වහන්සේ ඔවුන් සියලූ දෙනාම එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කළහ. පසුව ගයා ශීර්ෂයෙහි ද අනන්ත ලක්ඛණ සුත්‍රය අසා සියල්ලෝම රහත් වුහ. රහත් වීමෙන් පසු ගයා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන් ලැබූ සතුට මෙසේ ප්‍රකාශ කොට වදාළ සේක.

” සෝදා හළ සියලූ පව් ඇති, නිර්මල වූ, පිරිසිඳු වූ ශුද්ධ වූ , මම පරිශුද්ධ වූ බුදුන්ගේ දායාද වූ ඖරස පුත්‍රයෙක්මි. ආර්ය අෂ්ටාංගික මාර්ග නමැති දිය පහරට බැස ගෙන සියලු පව් සෝදා හැරියෙමි, බුදු සසුනට අයත් වීමි”

 නදී කාශ්‍යප රහතන් වහන්සේ ද අසූමහා ශ්‍රාවක යන් වහන්සේලා අතුරෙහි එක් මහා රහතන් වහන්සේ නමක් වූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.