Skip to main content

ලෝකයේ සැබෑ සතුට හදුනාගෙන භව කෙළවර දුටු තිස්ස මෙත්තෙය්‍ය මහරහතන් වහන්සේ …

තිස්ස මෙත්තෙය්‍ය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදු රජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුල ගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා පැහැදී රහත් භාවය ප්‍රාර්ථනා කළහ. හෙතෙම ඉන් අනතුරුව බොහෝ කුසල් කොට එයින් චුතව සසර සැරිසරා දෙව් මිනිස් සැප විඳිමින් සිට ද අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුලයක උපන්නේ ය. නමින් තිස්ස මෙත්තෙය්‍ය විය. කලක් ගත වීමෙන් තිස්ස මෙත්තෙය්‍ය බමුණා බාවාරි නම් තාපසතුමාගේ ශිෂ්‍යයෙක් ව තාපසයෙක් විය. පසු කලකදී බාවාරි තවුසාගේ අනුදැනුම ඇතිව බුදුරජාණන් වහන්සේ කරා පැමිණ පහත දැක්වෙන ප්‍රශ්න මාලාව ඇසීය.

” මේ ලෝකයේ කවරෙක් සතුටු වූයේ ද?
කවරෙකුට තෘෂ්ණා දෘෂ්ටි ආදියෙන් කම්පාවක් නැත්ද?
අන්තදෙක දැන මද නුවණින් නො ගෑවේද?
මහා පුරිෂයා යයි කවරෙකුට කිව හැකි ද?
මේ ලෝකයෙහි කවරෙක් වැසීම ඉක්මවූයේ ද?”

බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මෙසේ වදාළ සේක.

” මෙත්තෙය්‍යය, කාමයන් හි දොස් දැක මාර්ග බ්‍රහ්මචර්යාවෙන් යුක්තවූ, පහවූ තෘෂ්ණා ඇති, හැම කල්හිම සිහියෙන් යුත්, අනිත්‍ය ආදී වශයෙන් සිත නිවුනාවූ මහණෙක් වේද? ඔහුට කම්පා වීම් නැත්තේ ය. හෙතෙම අන්ත දෙක දැන, මැද ප්‍රඥාවෙන් නො ගෑවෙයි. ඒ මහා පුරුෂයා යයි කියනු ලැබේ. හෙතෙම මේ ලෝකයෙහි වැසීම ඉක්මවූයේ ය.

මේ දේශනාව කෙළවර තිස්ස මෙත්තෙය්‍ය තවුසා ඇතුළු පිරිවර දහසක් දෙන රහත් ඵලයට පත් වුහ. බුදුරජාණන් වහන්සේ ඔවුන් සියලූ දෙනම එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කළ සේක. තිස්ස මෙත්තෙය්‍ය තෙරුන් වහන්සේ අසූමහා ශ්‍රාවක පිරිසට ඇතුළත් වු රහතන් වහන්සේ නමක් වු සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.