Skip to main content

රාජ්‍ය පාලනයට බුදුදහමින් උපදෙස්

බුදුන් වහන්සේගේ මුඛ්‍ය දේශනාව වූයේ ආගමික පසුබිමක හිඳ මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමයි. ඒ තුළින් ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් පුද්ගල දියුණුව අපේක්‍ෂා කළ උන්වහන්සේ ඇතැම් තැන්හිදී දේශපාලනික වශයෙන් සමාජයට ඇවැසි කරුණු කාරණා දේශනා කර තිබේ. මනා කොට සංවිධානය කර ගත් පසු එම කරුණු බෞද්ධ දේශපාලන දර්ශනය ලෙස විග්‍රහ කළ හැකි ය. පාලකයකු විසින් යහපත් පාලන තන්ත්‍රයක්‌ ගොඩනගා ගත යුත්තේ කෙසේ දැයි එම බෞද්ධ දේශපාලන දර්ශනයෙන් ඉගැන්වේ.

චක්‌කවත්ති සීහනාද සූත්‍රය, කූටදත්ත සූත්‍රය, ධම්මික සූත්‍රය, අධම්මික සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, මහාපරිනිබ්බාන සූත්‍රය, පරාභව සූත්‍රය වැනි සූත්‍ර ධර්ම තුළින් බුදුන් වහන්සේ දැහැමි පාලකයකු විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් දේශනා කර තිබේ. හුදෙක්‌ බෞද්ධ සමාජයට පමණක්‌ නොව, ජාති, ආගම් භේදයකින් තොරව ඕනෑම පාලකයකුට ක්‍රියාවේ යෙදවිය හැකි පරිදි එම කරුණු සකස්‌ වී තිබේ. බුද්ධකාලීන සමාජයට මෙන්ම වර්තමාන අනාගත සැම කාලයකටම ගැලපෙන පරිදි බුදුන් වහන්සේ බෞද්ධ දේශපාලන දර්ශනය ඉදිරිපත් කොට ඇත.
යම් රටක පාලන තන්ත්‍රය ගොඩනැගිය යුත්තේ එම රටටත්, රටේ ජනතාවටත් ගැලපෙන ආකාරයටය. රාජ්‍ය ප්‍රතිපත්ති ගොඩනැඟිය යුත්තේ රටේත් ජනතාවගේත් සුබ සාධනය උදෙසාය. සමාජ ආචාරධර්මවලට හා අයිතිවාසිකම්වලට එකඟව ගොඩනැඟිය යුතු එම රාජ්‍ය ප්‍රතිපත්තිවල අවසාන අරමුණ විය යුත්තේ සංවර්ධනයයි. රටක්‌ සංවර්ධනය කරා ගෙන යැම සුළුපටු කරුණක්‌ නොවේ. එ සඳහා ශක්‌තිමත් පාලකයෙකු, එනම් ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ අවශ්‍යය. එනම් ස්‌ථාවර රජයකි. ස්‌ථාවර රජයක්‌ ගොඩනැගෙන්නේ මහජන කැමැත්ත ඉහළ යන තරමටය. මහජන කැමැත්ත ස්‌ථාවරව පවත්වා ගෙන යැම ලෙහෙසි පහසු නොවන අතර එය ර¹පවතිනුයේ පාලන ස්‌වභාවය අනුවය.

ශක්‌තිමත් පාලනයක්‌ තුලින් රටක්‌ සංවර්ධනය කරා ගෙන යා හැක්‌කේ ධාර්මික පාලකයකුට පමණි යන්න බෞද්ධ දේශපාලන දර්ශනයේ මූලික අදහසයි. රටක පළමු පුරවැසියා පාලකයා ය. රටේත් ජනතාවගේත් ඉරණම ර¹ පවතින්නේ පාලකයාගේ ක්‍රියාකලාපය මතය.

“සබ්බං රට්‌ඨං සුඛං සේති
රාජා වේ හෝති ධම්මිකො”

පාලකයා දැහැමි වන්නේ නම් රටවැසියා සැපතට පත්වෙති. මහජනතාව සතුටින් කල්ගත කිරිමට නම් පාලකයාගේ දැහැමි පාලනය අත්‍යවශ්‍ය බව බුද්ධ දේශනාවයි. එම නිසා “රජතුමා ධාර්මිකයකු වේවා” යන්න බෞද්ධ දේශපාලන දර්ශනයේ ප්‍රාර්ථනයයි.

“රාජා භවතු ධම්මිකෝ……” යනුවෙන් බුදුන් වහන්සේ සඳහන් කර ඇත්තේ ඒ නිසාවෙනි. පාලකයා දැහැමි වන විට අමාත්‍ය මණ්‌ඩලය දැහැමි වේ. අමාත්‍යමණ්‌ලය දැහැමි වන විට රටවැසියා දැහැමි වේ. එවිට සොරකම්, අපරාධ, වංචා, දූෂණ ආදිය තුරන් වී යයි. භව භෝග සම්පත් වර්ධනය වී රටක්‌ සංවර්ධනය වන්නේ එවිටය.

යම් හෙයකින් පාලකයා අධාර්මික වුවහොත් අමාත්‍ය මණ්‌ඩලය ද අධාර්මික වේ. එවිට ඊට පහළ ස්‌ථරවල වෙසෙන ව්‍යාපාරිකයන්, ආයතන ප්‍රධානීන් ආදීන් අදැහැමි වේ. එවිට මහජනතාව ද අදැහැමි වී සොර මැරකම් ඉහළ යයි. බොරුව, වංචාව රජ වෙයි. භව භෝග විනාශ වී යයි. පරිසරය ද දූෂණය වෙයි. ඒත් සමඟ සවභාව ධර්මය අනිටු ප්‍රතිවිපාක ලබා දෙයි. මේ ආදී වශයෙන් පාලකයකු අදැහැමි වන්නේ නම් ක්‍රමයෙන් මුළු රාජ්‍යයම ප්‍රපාතයට ඇද වැටෙන බව බුද්ධ දේශනාවේ එන අධම්මික සූත්‍රයේ සඳහන් වේ.

චක්‌කවත්ති සීහනාද සූත්‍රයේ දක්‌වා ඇති පරිදි පාලකයන් විසින් නිර්ධන කොටස්‌ නොසලකා හරින්නේ නම් සොරකම් හා අපරාධ ඉහළ ගොස්‌ රට විනාශය කරා යයි. දිළින්දන්ට, රැකියා නොමැති තරුණ තරුණියන්ට ජීවන මාර්ග සැපයීම පාලකයාගේ වගකීමය. එසේ නොවුන විට ස්‌ථාවර පාලනයක්‌ ගෙන යැමට නොහැකි වන සේ රටේ කලකෝලාහල වර්ධනය වන බව බුදුන් වහන්සේ චක්‌කවත්ති සීහනාද සූත්‍රය ඔස්‌සේ හෙළි කර තිබේ. අඩු ආදායම්ලාභීන් ආර්ථික වශයෙන් ශක්‌තිමත් වන විට සොරකම් හා අපරාධවලට යොමුවීම බැහැර වන අතර රැකියා විරහිතයන්ට සුදුසු රැකියා ලැබෙන විට ඔවුන්ගේ අසහනය තුරන් වී ඔවුනගේ ශ්‍රම දායකත්වය ද රටේ සංවර්ධනයට හිමි වේ. එසේ වුවහොත් රටක සංවර්ධනය වේගවත් වන බව බුද්ධ දේශනාවයි.

දේශපාලන උපදෙස්‌ සැපයෙන තවත් සූත්‍ර ධර්මයකි කූටදත්ත සූත්‍රය. එහි සඳහන් වන ආකාරය රටේ කැරලි කෝලහල සොර මැරකම් තුරන් කිරීමට නම් රැකියා මාර්ග සුලභ කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් සැපයිය යුතුය. රාජ්‍ය හා පෞද්ගලික මට්‌ටමේ

රැකියා උත්පාදනය කිරීමට රජය වැඩපිළිවෙල යෙදිය යුතු අතරම රැකියා නියුක්‌තිකයන් දිරි ගැන්වීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය.

ස්‌වයං රැකියාලාභීන් හා ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ට අවශ්‍ය පහසුකම් රජය විසින් සැපයිය යුතු වේ. කෘෂිකර්මාන්තයට කැමැති අයට බීජ, පොහොර, ඉඩම් ලබා දීම, වෙළෙදාමට කැමැති අයට මූල්‍යාධාර ලබාදීම, කාර්මික ක්‍ෂේත්‍රයට කැමැති අයට අවශ්‍ය පුහුණුවීම් හා උපකරණ ලබාදීම ආදී වශයෙන් රැකී රක්‍ෂා සුලභ කිරීමට ක්‍රමවත් වැඩසටහන් යෙදීම පාලකයාගේ වගකීමය. මේ ආකාරයට රටවැසියාගේ ආදායම් මාර්ග සරුවන විට ගැටුම්වලින් තොර සාමකාමී සමාජයක්‌ මෙන්ම ස්‌ථාවර ශක්‌තිමත් රජයක්‌ ද බිහි වේ. කූටදත්ත සූත්‍රයෙන් දැක්‌වෙන බෞද්ධ දේශපාලන දර්ශනය එයයි.

බුදුන් වහන්සේගේ දේශනාවට අනුව හොඳ පාලනයක්‌ පවත්වා ගෙන යැමට නම් ජනතාවට නායකත්වය දෙන පාලකයා සදාචාරසම්පන්න විය යුතුය. ආදර්ශවත් විය යුතුය. ගව රැළක නායක ගවයා ඇදට ගමන් කරන කල්හි ඒ පසුපස යන සෙසු ගවයෝ ද ඇද මාර්ගයේ ගමන් කරති. ගව නායකයා සෘජු මාර්ගයේ ගමන් කරන කල්හි සෙසු ගවයෝ ද සෘජු මාර්ගයේ ගමන් කරති. රජු අදැහැමි වූ කල්හි රටවැසියා ද අදැහැමි වන බවත්, රජු දැහැමි වන කල්හි රටවැසියා ද දැහැමි වන බවත් “රාජෝවාද ජාතකයේ” සඳහන් වේ.

“ගවංෙච් තරමානානං
උජුං ගච්චන්ති පූංගවෝ
සබ්බා තා උජුං ගච්චන්ති
නෙත්තේ උජු ගතේ සති”

යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ ගව නායකයා හා සෙසු ගවයන් අතර ඇති සම්බන්ධය පාලක පාලිත දෙපක්‍ෂය අතර ඇති බවයි.

පාලකයකු පත්කර ගැනීම පිළිබඳ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වන අතර එහිදී පාලකයකු වෙත පැන වූ කොන්දේසි මාලාවක්‌ ද සඳහන් වේ. එහි මෙවැනි කරුණු තුනක්‌ විද්‍යමාන වේ.

1. හික්‌මවිය යුත්තන් මැනවින් හික්‌මවිය යුතුය.
2. ගැරහිය යුත්තන්ට ගැරහිය යුතුය.
3. රටින් නෙරපිය යුත්තන් නෙරපා හැරිය යුතුය.

මේ අනුව පෙනී යන්නේ මහජනතාව පාලකයකු පත්කර ගන්නේම සිය සමාජය සොර මැරකමින් තොර සාමකාමී සංවර්ධිත සමාජයක්‌ කරා ගෙන යැමට බවය. දඬුවම් පැමිණවීමද ඉතා ප්‍රවේසමෙන් කළ යුතු අතර “ලෝමහංස ජාතකය” ඔස්‌සේ ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් වේ. දඬුවම් කළ යුතු නොකළ යුතු පුද්ගලයන් හඳුනා නොගෙන දඬුවම් දෙන තැනැත්තා විෂම මාර්ගයක යන්නෙක්‌ ලෙස එහි හඳුන්වා දී තිබේ. දඬුවම් කළ යුතු පුද්ගලයා මැනවින් හඳුනාගෙන වරදට අනුරූපී දඬුවමක්‌ ලබා දීම පාලකයාගේ වගකීම බව බෞද්ධ දේශපාලන දර්ශනයේ සඳහන් වේ.

දැහැමි පාලකයකු අනුගමනය කළ යුතු පිළිවෙත් රාශියක්‌ ත්‍රිපිටකය ඇසුරින් හඳුනාගත හැකි අතර ඉන් ප්‍රධාන කරුණු කිහිපයක්‌ පහත දැක්‌වේ.

පංචශීල ප්‍රතිපදාව
දසරාජ ධර්මය
සප්ත අපරිහාණීය ධර්ම
දස සක්‌විතිවත්
සතර සංග්‍රහ වස්‌තු
සතර අගතියෙන් වැලකීම
සතර බ්‍රහ්ම විහරණ
ආර්ය අශ්ඨාංගික මාර්ගය

ඉහත දැක්‌වෙන ඇතැම් පිළිවෙත් පාලකයා උදෙසා ම දේශනා කරන ලද ඒවාය. අනෙකුත් කරුණු පොදු සමාජය උදෙසා දේශනා කර ඇති නමුත් විශේෂයෙන් පාලකයා ඒවා පිළිපැදීමෙන් මහජනතාවගේ සුබ සිද්ධියට ඉවහල් වනු ඇත. පෞද්ගලික අභිමතාර්ථයන්ගෙන් තොරව හුදෙක්‌ රටේත්, රටවැසියාගේ අභිවෘද්ධිය පතන පාලකයකුට දීර්ඝ මෙන්ම ස්‌ථාවර ගමනක්‌ යැමට මෙම ප්‍රතිපත්ති මනා සේ ඉවහල් වේ.

පාලකයා පංචශීලය ආරක්‍ෂා කරනනෙකු විය යුතුය යන්න බෞද්ධ දේශපාලන දර්ශනයේ ඉගැන්වීමයි. සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, වැරදි කම්සැපෙහි නොයෙදීම, බොරු නොකීම, මත්ද්‍රව්‍ය භාවිතයට නොගැනීම පාලකයා විසින් අනුගමනය කළ යුතු මූලිකම ප්‍රතිපත්තියකි. මෙම කරුණු පහෙන් එකක්‌ හෝ පාලකයා කඩ කරන්නේ නම් එය අයහපත් පාලනයේ ලක්‍ෂණයකි. පාලකයාත් ඒ වටා සිටින අමාත්‍ය කාරකාදීනුත් පංචශීලය රකින පිරිසක්‌ නම් එම රාජ්‍ය ධාර්මික රාජ්‍යයක්‌ බවට පත්වනු ඇත.

සත්ත්ව ඝාතනයට පාලකයා සෘජුව හෝ වක්‍රව අනුබල දෙන්නේ නම් එය මහජනතාව ද ආදර්ශයට ගනී. පාලකයා නායකයා වන්නේ මිනිසුන්ගේ පමණක්‌ නොව. රාජ්‍යයක වෙසෙන සතා සීපාවාද ආරක්‍ෂා කිරීමේ වගකීම හා යුතුකම පාලකයා සතුය. බෞද්ධ දර්ශනයට අනුව සත්ත්ව ඝාතනය පාප ක්‍රියාවකි. එමෙන්ම සත්ත්ව ඝාතනය තුළින් පාරිසරික තුලිනතාවට හානි සිදුවන අතර, සොබාව සෞන්දර්යයට ද හානිසිදු වේ. රටක පැවැත්මට සතා සීපාවා තීරණාත්මක සාධකයකි. එබැවින් සතුන් නොමැරීමත්, සතුන් නොමැරීමට අනුබල දීමත් පාලකයා විසින් අනුගමනය කළ යුතුය.

පාලකයා සම්පූර්ණයෙන් ම සොරකමින් බැහැර විය යුතුය. පාලකයා පත් කරනුයේ මහජනතාව විසිනි. රාජ්‍ය දේපළ යනු මහජනතාවගේ දේපළය. ඒවා අනිසි ලෙස භාවිත කරනනේ නම් එය ද සොරකමකි. රජු හෝ අමාත්‍ය මණ්‌ඩලය් අයෙකු හෝ එසේ රාජ්‍ය දේපළ හෝ වෙන යම් දෙයක්‌ අයුතු ලෙස ලබා ගන්නේ නම් එය වරදකි. වැරදි කම් සැපෙහි යෙදීම ද පාලකයාට නොවටී. කම් සැපෙහි ලොල්වන පාලකයා ඉක්‌මනින් පිරිහෙති.

පාලකයා සත්‍යවාදී විය යුතුය. පංචශීල ප්‍රතිපදාවේ සිවුවැනි සිල්පදය එයයි. කරන දේ කියන කියන දේ කරන පාලකයා ජනතාව තුළ ප්‍රසාදයට පත්වේ. අසත්‍යයෙන් බොරුවන්, වංචාවෙන් ජනතාව මුලා කිරිම පාලකයට යුතු නොවේ. අධ්‍යතන පාලකයන් කොතෙක්‌ දුරට මෙම කරුණ ආරක්‍ෂා කරන්නේද යන්න ගැටලුවකි. බොරුව පාවිච්චි කරමින් ජනතාව මුලා කිරීමට තැත් කරන පාලකයා කෙටි කලකින්ම මහජනතාව හඳුනා ගනී.

එවන් පාලකයාගේ ගමන කෙටිය. මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය පානය පාලකයා අත්හල යුතුය. ඒවා සඳහා අනුබල දීම ද නොකළ යුතුය. සමාජයේ බොහෝ ප්‍රශ්න සඳහා මූලික වන්නේ මත්පැන් හා අනෙකුත් මත් ද්‍රව්‍යයන් ය. සමාජයක්‌, රටක්‌ විනාශ කිරීමට තුඩුදෙන මත්ද්‍රව්‍ය හා මත්පැන් උවදුරින් රටවැසියා මුදවා ගැනීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීම යහපත් පාලකයාගේ වගකීමය.

අනන්ත බුදු ගුණ ‍බලෙන් තුන්ලොවම සැනසේවා … … …

( දිවයින පුවත්පතින් උපුටා ගන්නා ලදි)

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.