Skip to main content

රාගයේ විපාක කියදෙන සෝරෙය්‍ය මහරහතන්වහන්සේ …….

“ චේ.නාහං භික්ඛවේ කම්මංවදාමි” කියන බුදුවදන අහපු නැති කෙනෙක් හොයන්න නෑ නේද යාලුවනේ. චේතනාව කර්මයට මූලිකවේ කියන එක තමයි මේකෙ සරළ තේරුම. හැබැයි මේ බුදුවදනින් ප්‍රයෝජන ගන්නෙ කීයෙන් කීදෙනාද කියන එකත් හරිම ගැටලුවක්.
අපේ ජීවිතේට අදාල සෑමදෙයක්ම සිදුවෙන්නෙ සිතමුල්කරගෙන නේද? අපි කරන හැමදේටම මුල්වෙන්නෙ සිත. එය කිසිදු දෙවියෙකුගේවත්, වෙනයම් කෙනෙකුගේ බලපෑමක්වත් නෙවෙයි. දේවත්වයට පත්වනේනෙත් තිරිසන් බවට පත්වෙන්නෙත් මිනිසාම බව කියමනක් තියෙනව ඔයාල අහල ඇතිනෙ.

යාලුවනේ ධම්මපදයේ චිත්තවග්ගයේ මෙන්න මෙහෙම ගාථාවක් තියෙනව.

ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුංකරොති මේධාවි
උසුකාරොව තේජනං

සිත කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්, රැකගන්න අමාරු දෙයක්. වරදින් වලක්වන්නටත් අමාරු දෙයක්, නමුත් බුද්ධිමත් කෙනා ධර්මයේ පිහිටල එබදු සිත පවා ඍජු කරගන්නවා. ඇදකුද ඇරලා හී දණ්ඩක් ඍජු කරන හී වඩුවෙක් වගේ.

අපි සිත පාලනය ර නොගත්තොත් සිදුවන විනාශය මෙච්චරයි කියන්න බෑ. යාලුවනේ ඔබට ඉන්න ලොකුම හතුරා ඔබේ සිත. ඔබට ඉන්න ලොකුම මිතුරත් ඔබ. සිත මිතුරෙක් හරි හතුරෙක් හරි කරගන්නෙත් ඔබමයි. අපේ බාහිර හතුරෙකුට අපට කරන්න පුලුවන් හානිය ඉතාම අල්පයි. හිතල බලන්න, හතුරෙක් ඔබේ දේපල පැහැර ගනීවි, ඔබමේ අඹු දරුවන් නැති කරාවි. අන්තිමට ඔබව මරල දමාවි. ඒත් ඒක එතනින් ඉවරයි. හැබැයි ඔබේ හිත ඔබට හතුරු උනොත් කල්ප කෝටිකණනක් නිරයේ පැහෙන්න වේවි. තිරිසන් ආත්මෙකට ආවත් ගුටිකකා, කන්න ‍ෙබාන්න නැතිව දුක් විදින්නත් වෙවි. පෙරේතයෙක් වෙලා සෙම, සොටු, සැරව කමින් ඉන්න වෙවි. වැසිගිලි වළවල්වල පණුවන් වෙලා ඉපදෙන්න වේවි.
එක අවස්ථාවක ගමනක් යද්දි වේයො රැලක් දැකපු බුදුහිමියන් දේශනා කලේ මේ වේයන් අතර සක්විති රජ නොවූ වේයෙක් මට නොපෙනේ කියල. පින්වත් යාලුවනේ අද දිව්‍ය සැප විදින දෙවිය හෙය ගොමගොඩක පණුවෙක් වෙලා උපදින්න පුලුවන්. ඒ තරම් භයානකයි මේ සංසාරෙ. අපි කොලුකමට ෆන් ගන්නව කියල වැරදි වැඩ කරනව, අරක්කුබොනව, වැරදි කාම සේවනය කරනව, අරක්කු බොනව.ඒව කරල තව උජාරුවට කියවනව අපි ෆන් ගත්ත ආතල් ගත්ත කියල. හැබැයි ඕව විදවන්න ගියහමයි ඕකෙ අමාරුව තේරෙන්නෙ. අන්න එදාට කවුරුත් ඔබව බේරගන්න එන්නෙ නෑ. අන්න ඒනිසයි කීවෙ අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා” කියල. තමන්ට තමන් විතරයි. බාහිර කවුරුත් පිහිට වන්නෙ නෑ කියල. යාලුවනේ මේ කථාව ගැන කියවල බලන්න. වැරදි වඩක් කරල නෙවෙයි වරදි චේතනාව පවා මොනතරම් විනාශයක් මිනිහෙකුට කරනවද කියල.

සැවැත් නුවර සමීපයෙහි සොරෙය්‍ය නම් නගරයෙහි සොරෙය්‍ය නම් සිටුවරයෙක් වෙසෙයි. විවාපත් බිරියට වාසනාවන්ත දරු දෙදෙනෙකු ද ලැබුව.. පියෙකු වූ සිටුවරයා බිරියට ද දරුවන්ට ද තම යුතුකම් නොපරිහෙළා ඉටුකලා. ගේ දොර අවශ්‍යතා ද නිතර නිතර සොයා බලා වහා ඉටු කර කෑම බීම ද ඇඳුම් පැළඳුම් ද සොයා සොයා ගෙනැවිත් දෙමින් අඹුදරුවන් රැක්ක..

දිනක් යහළු පිරිවර සමග සිටුවරයා නාන්නට ගංඟාවක් වෙතට යාමට කල්පනා කර අවශ්‍ය දෑ සූදානම් කොට ඒ සඳහා පිටත් උනා. ගංගාව ආසන්නයට ළං වෙද්දී ගඟෙහි ස්නානය කරමින් සිටි මහා කච්චායන තෙරුණුවෝ ස්නානය අවසන්ව ගොඩට පැමිණ පිඩු සිඟා වඩින්නට සිවුරු පොරවමින් සිටිය. කච්චායන තෙරුන් වනාහි එකල මහතෙරුන් අතුරෙහි සිටි රූමත් ම තෙරුන් වහන්සේ යි. එබැවින් උන්වහන්සේට බැබළෙන රන්වන් සිරුරක් පැවතුනා. උන්වහන්සේ චීවරය සකසා පොරවමින් සිටිය දී සොරෙය්‍ය සිටුවරයා උන්වහන්සේගේ රූමත් සිරුර වහා දැක්ක. එවිට ම ඔහුට එක්වරම සිතිවිලි දෙකක් පහළ වුනා. පළමු සිතිවිල්ල වනුයේ අනේ මේ රන්වන් සිරුක් ඇති කච්චායන තෙරුණුවන් මගේ භාර්යාව බවට පත්වන්නේ නම් කෙතරම් අගනේ ද යන්න. දෙවැනි සිතිවිල්ල වූයේ මගේ භාර්යාව මේ වැනි රන්වන් ශරීර වර්ණයෙන් යුතු වූවා නම් කෙතරම් අගනේද යන්නයි.

මේ සිතිවිල්ල රාග සිතිවිල්ලක්නෙ. එය උමතු රාග සිතිවිල්ලක්. උමතු රාගය මිනිස් අගපසඟ වෙනසකට ලක් කරන්නට සමත් වන අයුරු පෙන්වමින් සොරෙය්‍ය සිටුවරයා වහාම ලිංග විපර්යාසයකට බඳුන් උනා.. ඔහුගේ පුරුෂ බව අතුරුදන්ව ස්ත්‍රියක බවට පරිවර්තනය උනා. ඒ බව දුටු ඔහු අතිශයින්ම ලජ්ජාවට පත්ව සියලු යහළු පිරිවර හැර දමා ඔවුනට නොදැනෙන්නට පලා ගියා. පලා ගිය ඇය තක්සලා නුවරට යන මගට අවතීර්ණ උනා. එහිදී වෙළෙඳ කණ්ඩායමක් හමු වන අතර ඒ පසු පස ගමන් කරන්නට උනා.

නාන්නට පැමිණි පිරිවර යහළුවන් තම මිත්‍රයා නොදැන දිය නා ආපසු ගෙදරට ගිය අතර සිටුවරයා නොදැක මළැයි සිතා ඥාතින් සමඟ එක්ව පාංශුකූල දී දන් පහන් පිරිනමා පින් පැමිණ වූවා.

තක්සලා නුවරට යන ඇය එහි සිටුපුත්‍රයා සමඟ විවාහ උනා. මේ විවාහයේ ප්‍රතිඵලයක් ලෙස දරුවන් දෙදෙනෙකු ද බිහි කළා.මෙය ලෝකයේ සිදුවූ සුවිශේෂී මිනිස් විෂමතාවක් . කිසි විටෙකත් මනංකල්පිතයක් නොවෙයි. නූතනයේ ලිංග විපර්යාසයට අදාළ නිදසුන් නිතර නිතර ලොව පුරා හමුවෙනව.. යාලුවනේ අදකාලෙ අපි අපේරටෙත් අහල තියෙනව නේද ලිංගික පරිවර්තන ගැන. එහෙනම් මේ කථාව සත්‍ය බව ඔප්පවෙනවනෙ. සොරෙය්‍ය මුහුණ දෙන්නේ ඒ විෂමතා දහමටයි. රාගය කෙතරම් බියකරු ද යන්න මේ සිදුවීම අපට පෙන්වා දෙනව.. පියෙකු ලෙස දෙදරුවන් ලද ඔහු මවක ලෙස ද දෙදරුවන් ලබා ලොව සංකීර්ණම චරිතයක් බවට පත් උනා..

එක් දිනක් ඇය තම මැදුරේ උඩුමහලේ කවුළුවකින් පාර දෙස බලා සිටියදී අතීතයේ තමා සමඟ දිය නාන්නට ගංඟාවට ගිය තමන්ගේ සමීප මිත්‍රයා පහත මාර්ගයක යනු දැක හැඳින දාසියක් යවා ඔහු තමා මැදුරට ගෙන්වා අවශ්‍ය සත්කාර සම්භාවනාදිය නොඅඩුව සම්පාදනය කළා.

එවිට එම මිත්‍රයා අසන්නේ තමාට මෙසේ සංග්‍රහ කරන්නේ කවර කරුණක් නිසාද? මීට පෙර තමා හඳුනනවාද? යනාදි වශයෙන් ප්‍රශ්න රාශියක්ම ඔහු ඇසුව.. එවිට ඇය කියා සිටියේ මිත්‍රය ඔබ මම හොඳින් හඳුනමි. ඔබ සොරෙය්‍ය නුවර වැසියෙකු නෙවේද? එසේය සොඳුර යැයි පිළිතුරු දුන් විට ඈ මිත්‍රයාගෙන් තමා ගෙදර තොරතුරු සියල්ල නොවලහා කියා සිටිය. අනතුරුව ඇය සොරොය්‍ය සිටුවරයා පිළිබඳ ඇසූ විට ඔහු මිය ගොස් බොහෝ කලක් ගත වී ඇති බව කියා සිටිය.

එවිටම ඇය ඒ සිටුපුත්‍රයා තමා බව හඳුන්වා දුන්නාය. විස්මයට පත් මිත්‍රයා ඇයගෙන් තවදුරටත් තොරතුරු විචාලා. එම අතීත සිදුවීම මුල සිට අග දක්වා ඇය කියා පෑවා. දැන් තමාට නැවැත පිරිමියෙකු වී සොරෙය්‍ය නගරට යා යුතු බවත් ඒ සඳහා කච්චායන මහ රහතන් වහන්සේ හමු වී පාපොච්චාරණයක් කොට සමාව ගත යුතු බවත් ඇය මිත්‍රයාට කියා සිටියා. එබැවින් කච්චායන රහතන් වහන්සේ තම නිවසට දානය සඳහා වඩමවා දෙන්නැයි ඈ බැගෑපත්ව ඉල්ලා සිටියාය.

ඇයට සිදුව ඇති ඇබැද්දිය තේරුම් ගත් මිත්‍රයා කච්චායන තෙරුන් හමුව එම නිවසේ පසුදින දානයට වඩින්නට ආරාධනා කළේය. උන්වහන්සේ ද ආරාධනාව පිළිගෙන පසුදින ඇගේ නිවසට වැඩම කළ සේක. ඇය උන්වහන්සේ වඩා හිඳුවා ප්‍රණීත ආහාරයෙන් වළඳවා උන්වහන්සේ වෙතින් සමාව භජනය කළා. තෙරුන් වහන්සේට සිදුවූ සියල්ල පාපොච්චාරණය කළා. කාරැණික තෙරුන් වහන්සේ මහා අනුකම්පාවෙන් තමන් හේතුකොට ගෙන හටගත් රාගසිතිවලට සමාව ප්‍රදානය කළහ. එවිට ඇය නැවත වරක් පිරිමියෙකු බවට පත් උනා. යාලුවනේ මෙතනදි අපට තවත් වැදගත් දෙයක් පේනව. වැරැද්දක් කලාම සමාව ගන්න එක මොනතරම් වැදගත්ද කියල පැහැදිලිවෙනව.

දැන් සොරෙය්‍ය පූර්ණ අකුසල කර්මයෙන් එකම බවයෙක චරිත තුනක් ලෙස හැසිරෙන්නට සිදුඋනා.. පියෙකු ලෙස මවක ලෙස හා නැවත පියෙකු ලෙසය. එය මෙනෙහි කළ ඔහු සංසාර කිසිදා මෙවැනි විප්‍රකාරයට පත් නොවන්නට ප්‍රාර්ථනා කරමින් කච්චායන තෙරුන් වෙතින් පැවිදි වීමට ආයාචනා කළේය. දරුවන් සිප වැළඳ පියාට භාර දුන් ඔහු තෙරුන් වහන්සේ ළඟ ප්‍රවුජ්‍යාව ලබා සොරෙය්‍ය තෙරුන් වහන්සේ ලෙසින් ප්‍රසිද්ධ උනා.

මේ තොරතුරු ඇසූ බොහෝ දෙනා උන්වහන්සේ වෙත පැමිණ ජීවිත ගණනක සංකීර්ණත්වය විමසන්නට උනා. ඒ අතර බොහෝ දෙන අසා සිටියේ පියෙකු ලෙස ලද දරුවන් දෙදෙනා හා මවක ලෙස ලද දරුවන් අතරින් වඩා සෙනෙහවන්ත තම දරුවන් දෙදෙනාටද කියායි. සොරෙය්‍ය තෙරුන් වහන්සේ කියා සිටියේ තමන්ගේ කුසෙහි උපන් දරු දෙදෙනාට වඩා සෙනෙහෙබර බවයි.

බොහෝ දෙනා ඇසූ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුන් උන්වහන්සේ කල් යාමේදී කිසිවෙකුට හෝ සෙනෙහෙවන්ත නැතැයි කියා සිටිය. ජනයා බුදුරදුන් හමුවූ සොරෙය්‍ය තෙරුන් බොරු කියති’යි පැමිණිලි කළා. එවිට බුදුරදුන් වදාළේ ඔහු මාර්ග ඤාණ උපදවා ගත් වේලෙහි සිට කිසිවකු කෙරෙහි ස්නේහයක් බැඳීමක් නොමැති බවයි.

සිත දූෂිත වූ කල්හි මනුෂ්‍ය වර්ගයාට අත්වන බිහිසුණු ඉරණමත්, ඒ සිත මනා ලෙස පිහිටුවා සකසා ගත් කල්හි ඔහුට අත්වන ශාන්තියක් විමසන්නට සොරොය්‍ය තෙරුන්ගේ කථාව අපූර්ව දහම් පණිවුඩයක් අපට ගෙන එනව..

යාලුවනේ හිත හැම විටම අපිට හතුරෙක් හො මිතුරෙක් වශයෙන් අපේ ගමන තීරණය කරන බව දැන් පැහැදිලියි නේද? ඔබත් නිතර සිත ආරක්ෂා කරගන්න උනන්දු වන්න. එය ඔබට දෙලොවම ශාන්තිය ඇති කරනව. කෙළවර මේ දුක්ඛිත සසරට නැවතීමේ තිත තියන්නත් ඔබට පුලුවන් වේවි.

පත්වී ජරාවට වැනසී යන කයට
රත්වී ආශාව මත සැප දෙන ලෙසට
මත්වී වඩ නොකොට බණ පිලිපැද එකට
හික්මී සතුට පුරවමු සැනසෙයි එවිට

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු මාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මා හට ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා හට චිත්ත ශක්තියලබාදෙන්නාවූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … …

Join the discussion One Comment

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.