Skip to main content

රතන සූත්‍රාන්ත දේශනාව …

පිංවත් යාලුවනේ රතන සූත්‍රය කියන්නෙ මිහිමත ඇති මහා බලගතු වත්තුවක්, වටිනාකම කියල නිමකරන්න බැරි නිධානයක් කීවොත් නිවැරදී. කොටින්ම කීවොත් මේ මුගු ලෝකයම රතන සූත්‍රය පාමුල තිබ්බත් ලෝකයේ වටිනාකම මහ මුහුදෙන් ගත්තු දියබිදක් වගේ කීවොත් නිවැරදි. ඒ මන්ද කීවොත් කෝටි ලක්ෂයක් සක්වලයන්ට ආඥාචක්‍රය පතුරුවා වදාල මහානුභාව සම්පන්න සූත්‍ර දේශනාවක් මේ රතන සූත්‍රාන්ත දේශනාව. ඒ කියන්නේ සක්වලයන් කෝටි ලක්ෂයක ඉන්න අමනුෂ්‍යයන්ට බුදු හාමුදුරුවො ආඥාවක් නිකුත් කරල තියෙනව සීලවන්ත, ගුණවන්ත, මිනිසුන්ට කිසිදු හානියක් කිරීමෙන් වලකින්න කියල. මේ රතන සූත්‍රාන්ත දේශනාව නිසා සුවපත් වූ පිරිස් මෙතකැයි කියල කියන්න බැරි තරම්ලු. මේ විශ්වයෙහි පහළවන සියලු බුදුවරයන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන මේ මහානුභාව සම්පන්න රතන සූත්‍රාන්ත දේශනාවට හේතුව කුමක්දැයි පොඩ්ඩක් විමසල බලමු.
විශාලා මහනුවරට ඒකාලෙ කීවෙ මිහිපිට සුරලොව නමින්. රාජාණ්ඩුවක් විධියට පාලනය කරපු මෙහි රජවරු හත්දහස් හත්සිය හත්දෙනෙක් හිටිය. ඒ කියන්නෙ රට බෙදාගෙන නෙවෙයි. වරකට එක රජකෙනයි රට පාලනය කරන්නෙ. මාරුවෙන් මාරුවට එකම ප්‍රතිපත්තියක් යටතේ රට පාලනය කලා. මේ අයට කිව්වෙ ලිච්ඡවින් කියල. ඒ කියන්නෙ මෙයාලගෙ සිරුරු විනිවිධ පෙනෙන තරමට සියුම් හමකින් තමයි වැහිල තිබිල තියෙන්නෙ. හරියට නෙග්ගි ගෙඩියක් වගේ. ඉතින් සියලු යස ඉසුරින් පිරි මේ විශාලා මහ නුවරට බුදුන් දවස විශාලාමහනුවර මහා දුර්භික්ෂයක් ඇති වුණා. ආහාර නොමැතිව කුසගින්නේ විශාල පිරිසක් මිය ගියා. ඉවත් ‍නොකල මළමිනී කුණු වී හැමූ ගඳින් මුළු නුවරම දුර්ගන්ධවත් වුනා. එහෙයින් අමනුෂ්‍යයෝ නුවර ආක්‍රමණය කළහ. මේ නිසා තවතවත් මිනිසුන් මිය යන්නට විය.

අධිකලෙස ගොඩගැසුනු කුණු වී ගිය මෘතදේහ හේතුවෙන් අභිවාතක නම් ඉතාමත් දරුණු රෝගයක් ඇතිවුණා.
මෙලෙස රෝග, දුර්භික්ෂ, හා අමනුෂ්‍ය යන තුන්බියෙන් වෙලීගිය නුවර වැසියෝ මේ බව රජතුමාට දැන්වූවා. කලහැකි සියලු බලි පූජා, තොවිල්, යාගහෝම සියල්ල කලත් ඵලක් උනේ නෑ. අවසානයේ බුදුන් වහන්සේ මේ නුවරට වැඩම කරවීමෙන් මෙම දුර්භික්ෂය දුරුකරගත හැකිවෙතැයි යන්න රජතුමන්ගේ සහ වැසියන්ගේ තීරණය විය.

පසුව බිම්බිසාර රජතුමන්ගේ අවරය ඇතිව ලිච්ඡවී රජදරුවන් බුදුන් වහන්සේ හමුවී “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස විශාලාවේ තුන්බියෙන් වෙලීගිය ජනතාවගේ හිතසුව පිණිස විශාලාවට වඩින්නැයි” ඉල්ලීමක් කළේය.

අනාගතය දෙස දිවැසින් බලා වදාරා කෝටි ලක්ෂයක් සක්වලට සිදුවන සෙත යහපත ශාන්තිය සලකාමගෙ අමාමෑණි විශ්වපූජිත මගෙ අමාමෑනී ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ පන්සීයක් සංඝයාවහන්සේලා සමග විශාලාවට වැඩමකළ බුදුන්වහන්සේ රතන සූත්‍රය දේශනාකළ සේක. ඒ සමග ඇදවැටුණු මහා වර්ෂාවෙන් මළ සිරුරු සියල්ල ගංඟා වලට ගසාගෙන ‍ගොස් නුවර පිරිසිදු විය.

ආන්නද හිමියන් ඇමතූ තථාගතයන්වහන්සේ රතන සූත්‍රය ඉගෙන පූජා ද්‍රව්‍ය සහිතව ලිච්ඡවී රජදරුවන් සමග විශාලාවේ තුන් පවුරුවටා පිරිත් පැන් ඉසින්නැයි වදාල සේක.

මෙත් සිත් ඇති ආන්නද හාමුදුරුවන්ද බුද්ධ පාත්‍රයට පිරිත්පැන් ගෙන රතන සූත්‍රය දේශනා කරමින් මුළු නුවරට පිරිත්පැන් ඉස්සාහ. මෙලෙස දින හතක් පුරා රතන සූත්‍රය සේශනා කිරීමෙන් තුන්බිය දුරුවිය. නුවර වැසියෝ සැනසුනාහ.
පිංවත් යාලුවනේ රතන සූත්‍රාන්ත දේශනාව පුදුමාකාර බලයක් ඇති දේශනාවක්. ඒ පිළිබද අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ වරක් මෙන්න මෙහෙම වදාලා.
’…..පුදුම හාස්කම් මේ රතන සූත්‍ර දේශනාවෙ තියෙනව. මීට අවුරුදු 15 කට පමණ පෙර ගාල්ලේ කච්චේරියෙ සේවය කරන මහත්තයෙක් අපි ලඟට ඇවිල්ල කිව්ව “ස්වාමීන් වහන්ස රතන සූත්‍රයේ පුදුම බලයක් මම දැක්කා“…….. එතුමාගේ පදිංචි නිවසට සමීප එතුමාගේම ඉඩමක එතුමාගේ වටිනා නිවසක් බදු දීල තිබුනා….බද්දට ඉඳල තියෙන්නෙ අබෞද්ධ පිරිසක්. ඒ ඇත්තෝ එළුවන් මරාගෙන, කුකුළන් මරාගෙන අපිරිසිදුව ඉන්නව, බදු ගෙවන්නෙත් නෑ, ගේ අස් කරගෙන යන්නෙත් නෑ. එතුමා බොහෝම ධාර්මික කෙනෙක්, කෙනෙකුගේ හිත රිදෙන වචනයක් වත් කියන්නේ නැති හරීම ශාන්ත කෙනෙක්.
එතුමා දිනක් ඇල්පිටියේ කරුණාරත්න මෑණියන්ගේ ගෙදර ගිහින් තියෙනව වෙන කෙනෙකුගේ අවශ්‍යතාවයකට….. මිදුලෙ ඉන්නකොට අහන්න ලැබුනා මේ රතන සූත්‍රාන්ත දේශනාවෙන් දහස් වරක් පිරිත් කීමෙන් මෙන්න මේ වාගෙ ප්‍රතිඵල ලැබෙනව කියල. …එතුමා ගියේ සාස්තර අහන්ඩ නෙවෙයි,….. ඒක අහගෙන ඉඳල හිතුව මමත් එහෙනම් මගේ ගෙදර සඳහා මේක කරන්නෙමි කියල, …..ගෙදර ඇවිල්ලා,…. අර බදු ගෙය අරමුණු කරගෙන හැමදාම හැන්දෑවට, තමන්ගේ රාජකාරි වලින් නිදහස් වෙලා ආහම දවසට හත් අට සැරයක් බැගින්, රතන සූත්‍රය කියල, මගේ ගේ නිදහස් කර ගන්ඩ ලැබේවා කියල.
දහස් වරක් වුනත් මම කියන්නෙමි කියලයි හිතාගෙන පටන් ගත්තෙ. සැබැවින්ම, මාසයක් දෙකක් වගේ යනකොට, 200 ක් තරම් කියන කොට,….. ……මේ බද්දට හිටිය පුද්ගලයෝ, රාත්‍රී කාලයේ අස්වෙලා ගිහින්ද?, දවල් කාලෙ අස්වෙලා ගිහින්ද? කියල දන්නේ නෑ, සියළුම ඒ ඇත්තන්ගේ දේවල් අරගෙන අස්වෙලා ගිහිල්ල. ඉතින් ඒ මහත්තය කියනව, “ස්වාමීන් වහන්ස, වචන මාත්‍රයක් වත් නොදොඩා, ……නඩු පවරන්නෙත් නැතුව,…… හිත නරක් කර ගන්නෙත් නැතුව,….. මේ රතන සූත්‍රාන්ත දේශනාවෙන් මට ගේ නිදහස් කර ගන්න ලැබුනනෙ“
ඔය වගේ එකක් නෙවෙයි, බොහෝ දෙවල් අපට අත්දැකීම් ලැබිල තියෙනව….ඉතින් මේ අනුව සලකා බැලීමේදී රතන සූත්‍ර දේශනාවෙන් එදාට නෙවෙයි, අදටත් මේකෙ පුදුම ආනිසංස නෙලා ගන්න පුළුවන්.”

මෙන්න මේ ලින්ක් එකෙන් සම්පූර්ණ දේශනය ලබාගන්න පුලුවන්.
http://www.mediafire.com/?0r3be0d72f31azo

හොදයි යාලුවනේ මේ තරම් මහානුභාව සම්පන්න රතන සූත්‍රාන්ත දේශනාවෙහි තේරුම අපි දැන් විමසා බලමු.

රතන සූත්‍රය
යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුනන්තු භාසිතං

තේරුම
1. භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ වචනය මනාකොට අසත්වා.

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා

තේරුම
2. අමනුෂ්‍යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
3. මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

ඛයං විරාගං අමතං පණීතං
යදජ්ක්‍ධගා සක්‍ය මුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
4. ආය¸මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක්‍ය කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්‍ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්‍රණීත යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤ මාහු
සමාධිනාතෙන සමොන විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු

තේරුම
5. බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්‍රශංසා කොට ප්‍රකාශ කෙළේ ද? එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
6. බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් එක් සිය අටක් ආර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්‍රාවක වූ ඒ ආය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන
නික්කාමිනො ගොතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු

තේරුම
7. යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යථින්ද ඛීලො පඨවිංසිතො සියා
චතුබ්භිවාතෙහි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යො අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
8. ඉන්ද්‍රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආය¸ සත්‍යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්‍රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්‍රණීත රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

යෙ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
න තෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
9. යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආය¸ සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද,ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

සහාවස්ස දස්සන සම්පදාය
තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො
චඡාභිඨානානි අභබ්බොකාතුං
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
10. දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්‍ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං
කායෙන වාචා උද චෙතසා වා
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
11. ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදෙසයි
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
12. ගී‍්‍රෂ්ම ඍතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වරො වරඤ්ඤු වරදො වරාහරො
අනුත්තරො ධම්මවරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
13. උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්‍රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
14. යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්‍ෂය කළ ප්‍රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු

තේරුම
15. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හොතු

තේරුම
16. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
ථාගතං දෙව මනුස්ස පූජිතං
සඞඝං නමස්සාම සුවත්ථි හොතු

තේරුම
17. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් ;ම තැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්‍රාවක සඞඝයා වහන්සේ වඳිමු.

15,16,17 ශක්‍රදේවේන්ද්‍රයා විසින් කියන ලද ගාථා තුනකි. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්‍රය දෙසන ලදී.උදේ සවස උවදුරු දුරු කර ගැනීම සඳහා භාවිතා කළයුතු උතුම් සෙත් පිරිතකි.

අන්තර් ජාලය ඇසුරින් සකස් කරන ලදි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.