Skip to main content

මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නොදකින්නෝ …

පින්වත් යාලුවනේ අද බොහෝ දෙනා පින්කම් කරන්නෙ මේ සම්බුදු සසුනෙ නිවන් දකින්න නෙවෙයි. උත්සාහ කරන්නෙ තව කාලයක් පුලුවන් තරම් පංච කාම වස්තුන්ගේ සැප සම්පත් විදල මෛත්‍රී බුදුන් දැකල නිවන් දකින්න. එයාල හිතන් ඉන්නෙ මෛත්‍රී බුදුන් දැක්ක ගමන් නිවන බන්දේසියක තියල හම්බ වෙනව කියල. අපේ බුදුහාමුදුරුවන්ගෙ ශ්‍රාවක චරිත කියවනකොට අපිට දකින්න ලැබෙනව කල්ප ලක්ෂයක් පෙරුම් පිරුව, ලක්ෂ දෙකක් පෙරුම්පිරුව කිය කියා. එතකොට යාලුවනේ අපේ ඇත්තො හිතන විදිහට ඔය මලක් පහණක් පූජ කර කර හිටිය පිලියට නිවන් ලැබෙයිද? බලාගෙන ඉන්නකො ලැබෙනකල්.
පින්වත් යාලුවනේ අපිට ලැබෙන මනුෂ්‍ය ජීවිතය කොයිතරම් අමාරුවෙන් ලබාගත්තද කියල ඔයාල දන්නව ඇති. දන්නව ඇති කියන්නෙ අහල ඇති කියල. අර කන කැස්බෑව විය සිදුරෙන් අහස බලන කථාව ඇහල ඇතිනෙ. නියපොත්තෙ පස් තරම් ප්‍රමාණයක් නැවත ලෝකෙට එන බවත් මහපොළවෙ පස්තරම් නිරයට යන බවත් අහල ඇතිනෙ. ඒව අහල නැති අය මගෙ පරණ ලිපි කියවන්නකො. එතකොට ඉගෙන ගන්න පුලුවන් වේවි.
ඉතින් අපි මෛත්‍රී බුදුන් දකින්න හිතන් ඉන්නකොට ඒ කාලෙ අපි තිරිසන් ආත්මෙ හිටියොත්, අපාගාමී වෙලා හිටියොත් කොහොමද නිවන් දකින්නෙ. ආයිත් කල්ප කෝටි ගණනක් දුක් විදින්න වෙයි.
අනිත් අතට යැලුවනේ හැමෝටම මෛත්‍රී බුදුන් හමුවේ නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුලුවන් අය බැරි අය කවුද කියල ඔයාලට මේ ලිපියෙන් බලන්න පුලුවන්. මම මේ ලිපිය උපුටාගත්තෙ අතිපූජනීය කොටුගොඩ ධමමාවාස අනුනාහිමියන් වහන්සේ ලියූ ලිපියකින්. මේ කියවෙන්නෙ අනාගතවංශ දේශනාව. ඒ කියන්නෙ බුදුහාමුදුරුවො අනාගත මෙත් බුදුහිමියන් සම්බන්ධව දේශනා කල සූත්‍රයෙන්. අවාසනාවට මේ වගේ සූත්‍ර සමාජගතවෙලා නෑ. ඒනිසයි අපේ මිනිස්සු මෙතේ බුදුන් පාමුල නිවන් දකින්නෙ. හොදයි බලන්නකො එහෙම් මෙතේ බුදුන් දකින්න පුලුවන් කාටද කියල.


මෛත්‍රී බුද්ධ කාලය වන විට මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු අසූ දහසක් වෙයි . මේ මෛත්‍රී තථාගතයාණෝ ඒ අවුරුදු අසූ දහසම ජීවමානව වැඩ සිටින්නාහ. මේ ගෞතම බුද්ධ ශාසනයෙහි කුසල් කල බොහෝ ජනයා මෛත්‍රී බුද්ධ ශාසනයෙහි තම තමන් පැතූ අයුරින් නිවන් දක්නාහුය. ඒ මෛත්‍රී බුද්ධ ශාසනය තථාගතයන් වහන්සේ පිරිණිවන් පෑමෙන් පසුද එක්ලක්ෂ අසූ දහසක් අවුරුදු පවත්නේය.

තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ නොදකින්නෝ කවරහුද යත්? මව් මැරුවෝද පියා මැරුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. රහතුන් වහන්සේලා මැරුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. ලෝහිතුප්පාදක ( බුදුන්ගේ ඇෙඟ් ලේ සෙලවීීම ) පාප කර්මය කලෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය . සංඝ බේදය කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. දාගැබ් බින්දෝ පෙති පිළිම බෝ ගස් වැනසුවෝද රන් රිදී බුදු පිලිම සොරකම් කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය.

බණ පොත් විනාශ කලෝද සඟසතු දේපල ගසා කෑවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. මහණ බමුණන්ට හිරිහැර කළෝද, මව් පියන්ට හිංසා පීඩා කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝද දන් වැට පුද පඩුරු ගසා කෑවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝද කපටි වංචනිකයෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය.

මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- ප්‍රාණඝාත කළෝද ඒවාට අනුබල දුන්නෝද සොරකම් කලෝද සොරකමට අනුබල දුන්නෝද අනාචාරයෙහි හැසිරුණෝද එයට අනුබල දුන්නෝද බොරු කීවෝද පරුෂ වචන කීවෝද සම්පප්‍රලාප දෙඩුවෝද එකී පාපයන්ට අනුබල දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. මත් පැන් බීවෝද මත් පැනට අනුබල දුන්නෝද මත් ද්‍රව්‍ය පැතිර වූවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. සතුන් මරා මස් කෑවෝද එයට අනුබල දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය – මරණු පිණිස සතුන් ඇතිකළේද මැරීමට විකුණනු ලැබූවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය.

බොරු සාක‍ෂි දුන්නෝද බොරුවට දිවුරුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- ණය ගෙන ණය නුදුන්නෝද ගිනි පොලීකරුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- අන් හට ලැඛෙන දෙය වැළැක්වූවෝද අනුන් නොමග යැවූවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- නිසි ලෙස මහණදම් නොපුරමින් දුසිල් ඡීවිත ගත කළෝද පැවිදිව පැවිිදිකම්හි නොයෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- අල්ලස් ගත්තෝද ඒ පාපයට අනුබල දුන්නෝද ගේ දොර ගිනි තැබුවෝද ඒ මෛත්‍රී බදුන් නොදකින්නාහුය- ගහ කොළ භෝග වගාවන් විිනාශ කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- වෂ විෂ කැව්වෝද හදි හූනියම් කලෝද එකී පාපයන්ට අනුබල දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- හොර ජාවාරමි කරුවෝද අධික මිලට වෙළහෙලදාම් කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- බොරුවෙන් වන්චාවෙන් චාටුවෙන් මැති ඇමති වරුන් නරදෙටුවන් නොමග යැව්වෝද නපුරු අවි ආයුධ තැනුවෝද එකී පාපයන්ට අනුබල දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය

අනේකාකාර ක්‍රම උපක්‍රම වලින් රට වැසියාට හිංසා පීඩා පැමිණ වූ රජ මැති ඇමති පාලකයෝද වැව් පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය දරුවන් නොමග යැව්වෝද යුතුකම් පැහැර හැරියෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය සර්වඥ ධර්මය පහත් කොට සැලකුවෝද මාන්න අධිකව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය අඹුදරුවන් අතරමං කළෝද අනුන් බය ගැන්නුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය

ඉහත කී පරිදි අකුසල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නොදකින්නේ කවර හෙයින්ද යත් මේ පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය සංඝාතය කාලසූත්‍රය රෞරවය මහා රෞරවය තාපය ප්‍රතාපය අවීීචිය යන අටමහ නරකයන්ට වැටී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විිදින්නාහුය. ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ ගේ කාලය වන විටද මෙකී නොකී පවුකම් කළෝ ඒ අපායන්හිම වෙසෙන බැවින් අහෝ එවුන්ට ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නොදැකිය හැකි වන්නේමය.

මෛත්‍රී බුදුන් දකින්නෝ:

තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහුද යත්? පන්සිල් රැක්කාහුද දස කුසල්වල යෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය දාගැබ් කරවූවෝද දාතු කරඩු පිදුවෝද දාන ශාලා තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. වැව් පොකුණු බැන්දෝද ඒදඩු පාලම් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ධර්ම දේශනා කළෝද ධර්ම ශ්‍රවණය කළෝද ධර්මය ලියන ලද්දෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. පන්සල් තැනුවෝද ගිලන් හල් තැනුවෝද අනාථාගාර ඉදි කරවූවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝද මහජනයා කුශල්හි යෙදවූවෝ පැවිද්දෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය ආහාර පාන දන් දුන්නෝද ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝද මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය කෙත්වතු පිදුවෝද සිවුරු රෙදිපිලි පදුවෝද මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට ආධාර උපකාර කළෝද භාෂා ශාස්ත්‍ර දියුණුවට පොත පත කරවූවෝද ඒ මෛත්‍රී බදුුන් දැක නිවන් දක්නාහුය

පිලිම ගෙවල් ඉදිකරවූවෝද පෙති පිලිම කරවූවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝද ඒවා බිතු සිතුවම් කරවූවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ගිලනුන්ට උපස්ථාන කලෝද රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝද වසංගත රෝග වලක්වාලුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . සතුනට කරන හිංසා වැලැක්වූවෝද ගිලන් සතුනට බේත්හේත් කළෝද බන්ධනගත සතුන් මුදා හැරියෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය .

තවද මවුපියන්ට උපස්ථාන කලෝද ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . තුණුරුවන් උදෙසා උඩුවියන් පාවඩ පිදුවෝද ශබ්ද පූජා පැවැත්වූවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . සුවද දුම් පිදුවෝද පහන් ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය .බණ අසන්නට හඩගෑවෝද බණ දෙසන කල්හි සාධුකාර දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝද වැසියන් නොතලා අයබදු ගත් රජදරුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝද වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝද වස් කාලයන්හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝ ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝද මංමාවත් ඉදිකර වූවෝද අම්බලම් තැනුවෝද දන්සැල් පැවැත්වූවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝද බුදු සිරිතෙන් සරසා වෙසක් තොරන් බැන්දෝද තුණුරුවන් උදෙසා පහන් කූඩු ඈ විසිතුරු කළෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. නැති බැරි අයගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝද මරණාධාර සමාගම් පැවැත්තුවෝද ගරු කල යුත්තන්ට ගරු සරු දැක් වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

ඝණ්ඨාර පිදුවෝද දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝද බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ගඨිණ පින්කම් කළෝද වන්දනා ගමන් ගියෝද ගෞතම බුදුපියානන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ තැන් වැද පුදා ගත්තෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. මරණයට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝද ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. වෙහෙර විහාරස්ථාන හා පාසල්, රෝහල්, අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

තවද අනුන්ට ඊර්ෂ්‍යා නොකලෝද මුදිතාව දියුනු කළෝද මෙත් වැඩුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. වෛර නොකලෝද කරුණාව පැතිරවූවෝද සාමය රැක්කෝද ප්‍රිය වචන කථා කළෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. බුදු පිළිම කරවා නේත්‍ර පිහිටවූවෝද සලාක දන් දුන්නෝද කොඩි කුඩ පහන් පිදුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝද බෝධිඝර කරවූවෝද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. අනාථයත්ට උපකාර වූවෝද ඛෙහෙත් ගස් සිටුවූවෝද ගස් කොලන් වැවුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ජලාශ පිහිටවූවෝද සතුන්ට ඛෙහෙත් කළෝද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝද වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

ඉහත දැක්වූ කුශල ධර්මයන්හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු කවරහෙයින්ද යත් ?

මෙකී නොකී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතින්සය, යාමය , තුසිතය , නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන්හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය , මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජානන් වහන්සේගේ කාලයේදී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ, සකල සම්පත්තියෙන් අනූන , කේතුමතී නම් රාජධානියෙහි රජ, මැති , ඇමති, මහසල් ඈ උසස් පවුල්වල උපත ලබන්නාහුය¡ සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පසින් සපිරුණු පිංවතුන්, පිංවතියන්ව ඉපිද, ඒ මෛත්‍රී බුදුන් දකින්නාහු ම ය.

මෙසේ සසර දී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් ස්ත්‍රී පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන් දැක තම තමන් පැතූ පරිදිම ඒ මෙතේ බුදු රජාණන් වහන්සේගෙන් බන අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහුය.

(අතිපූජනීය කොටුගොඩ ධමමාවාස අනුනාහිමි විසිනි.)

පින්වත් යාලුවනේ ඔයාලට තේරෙනවනෙ දැන් නිකම් බකන් නිලාගෙක ඉදලනම් නිවන් දකින්න ලැබෙන්නෙ නෑ කවදාවත්. හැකිතාක් ධර්මයේම හැසිරෙන්න. මට හරිම සතුටු අවස්ථාවක් මේ. මොකද මම හොය හොයා හිටිය දේශනයක් මේ. මේක ඔයාලට දෙන්න සෑහෙන කාලයක් හෙව්ව. අනිත් කරුණ මම මෙතෙක් පලකල ඉතාම වැදගත්ම ලිපිය මේකයි.
යාලුවනේ මගෙ කාලය ධනය වැය කරන්නෙ ඔයාලගෙ යහපත වෙනුවෙන්. එහෙම නැතිව මම මේ ධර්ම දානයෙන් පුද්ගලික වාසි ලබන්නෙ නෑ. මම යම් ලිපියක්, රූපයක් පලකරල තියෙනවනම් ඒ සියලු ලිපි ඔයාලගෙ යහපත සුභ සිද්ධිය උදෙසායි. ඉන් ලබන්නෙ අපමණ සතුටක් විතරක් නෙවෙයි. අපමණ පුණ්‍යස්කන්ධයක්.
ඒ සියලු පුණ්‍යස්කන්ධයන්ගේ ආශිර්වාදය සම්බුදු සසුනත්, ජාතියත්, රටත්, රැකගැනීමට මා සිදුකර ඇති සියලු සැලසුම් සාර්ථක කරත්වා. ශ්‍රී සම්බුදු සාම සංදේශය ලොව පුරා පතුරවමින් සසර කතරේ අපමණ දුක් විදින අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

ලෝවැසි සත්වයාගේ සසර මග යහපත් කරනු පිණිස අපමණ මෙත් සිතින් ශ්‍රද්ධා පෙරදැදිව එරන්ද ලක්මාල් විසින් මේ ලිපිය පලකරන ලදි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.