Skip to main content

මාංශමය සහ ශාකමය ආහාර ගන්නවුන් අතරින් වැඩිකල් ජීවත්වන්නේ කවුද?

ඇමරිකානු වෛද්‍ය සංගමයේ නවතම පර්යේෂණයක ප්‍රතිඵල මෙන්න
මාංශමය ආහාර හා ශාකමය ආහාර පරිභෝජනය පිළිබඳ අද වන විට ලොව පුරා ඇත්තේ විවිධ මතයන් ය. ඇතැමෙක් ආගමික පදනම මත හිඳිමින් මාංශ ආහාරයෙන් වැළකී සිටිති. තවත් අය ආගමික පදනමට වඩා අවිහිංසක සතුන්ගේ ජීවිත හානිය පිළිබඳ සිතා එයින් වැළකෙති. තවකකු මිනිසා සේම අන් සියලු සතුන්ට ද මිහිමත නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය සලකමින් මාංශ ආහාරයෙන් වැළකී සිටින අතර තවත් පිරිසක් සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබඳ සලකා බලමින් මාංශයෙන් වැළකී ශාකමය ආහාර කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් සිටිති. කෙසේ මුත් විවිධ වෛද්‍ය පර්යේෂණවලින් ද ශාකමය ආහාරවල ඇති සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ විවිධ කාරණා හෙළිවෙමින් පවතී. මේ පිළිබඳ ඉතාමත් මෑතකදී ඇමෙරිකානු වෛද්‍ය සංගමය
පර්යේෂණයක් පවත්වා තිබිණි. Dietary Patterns and Mortality නම් වූ ඔවුන්ගේ මෙම පර්යේෂණයේ අපේක්ෂාව වූයේ ශාකමය ආහාර පරිභෝජනය සහ මිනිසුන්ගේ මරණ ප්‍රමාණය අතර සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමය. මෙහි මරණ ප්‍රමාණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුද්ගලයන් 1000කට මිනිසුන් කී දෙනෙක් මරණයට පත්වන්නේදැයි යන්න අනුපාතිකව සොයා බැලීමය. කෙටියෙන් පවසතොත් මරණ අනුපාතයයි. ශාකමය ආහාර ගැනීමේදී මිනිසුන් මරණයට පත්වීමේ අනුපාතය අඩු බව තහවුරු කිරීම සඳහා මෙම
පර්යේෂණය දියත් කරනු ලැබිණි. මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ වෛද්‍ය පර්යේෂකයන් ගණනාවකගේම සහභාගිත්වය හිමි වී තිබිණ.


මෙම පර්යේෂණය සඳහා 73,308 දෙනකු සහභාගී කරවාගනු ලැබූ අතර 2002 දී ආරම්භ කරන ලද මෙය 2007 දී අවසන් කෙරිණි. නමුත් මේ සඳහා ගත කළ කාලය වසර 5.79ක් ලෙස ඔවුන් සඳහන් කොට තිබිණි. මේ සහභාගී වූවන් අතර ආහාර පරිභෝජන රටා පහක් දක්නට ලැබිණි. ඒවා නම් මෙසේය.
1. ශාකමය ආහාර පරිභෝජනය නොකරන
2. අර්ධ වශයෙන් ශාකමය ආහාර පරිභෝජනය කරන
3. ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන
4. ශාකමය – කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන vegetarian1
5. සම්පූර්ණයෙන්ම ශාකමය ආහාර පමණක් පරිභෝජනය කරන
පර්යේෂණය අවසන් වන විට මෙයට සහභාගි වූ 73,308 දෙනාගෙන් 2570ක් මියගොස් තිබිණි. මේ අනුව සාමාන්‍ය මරණ අනුපාතය වරසකට මිනිසුන් 1000කට 6.05ක් විය. ශාකමය ආහාර පරිභෝජනය නොකරන පිරිසට සාපේක්ෂව ශාකමය ආහාර පරිභෝජනය කරන පිරිසගේ මරණ අනුපාතය මිනිසුන් 1000කට වසරකට 0.88ක් විය. ශාකමය ආහාර පමණක් ගන්නා පිරිසගේ මරණ අනුපාතය මිනිසුන් 1000කට වසරකට 0.85ක් විය. ශාකමය කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන පිරිසේ මරණ අනුපාතය මිනිසුන් 1000කට වසරකට 0.91ක් විය. ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන පිරිසේ මරණ අනුපාතය මිනිසුන් 1000කට වසරකට 0.81ක් විය. ශාකමය ආහාර නොගන්නා පිරිසට සාපේක්ෂව අර්ධ වශයෙන් ශාකමය ආහාර ගන්නා පිරිසේ මරණ අනුපාතය මිනිසුන් 1000කට වසරකට 0.92ක් විය.
මෙම පර්යේෂණය සඳහා විවිධ ආහාර වර්ග 200කට අධික ප්‍රමාණයක් සැලකිල්ලට ගෙන තිබිණි. මෙයට සහභාගී වූ පුද්ගලයන් 71,308 දෙනාගෙන් 55548
(7.6) ක් ශාකමය ආහාර පමණක් පරිභෝජනය කරන්නන් විය. 21,177 (28.9) ශාකමය – කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන්නන් විය. 7,194
(9.8) ක් ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන්නන් විය. 4,031 (5.5) ක් අර්ධ වශයෙන් ශාකමය ආහාර පරිභෝජනය කරන්නන් වූ අතර 35,359 ක් හෙවත් මුළු සහභාගි වූවන්ගෙන් 48.2ක් හෙවත් මුළු සහභාගි වූවන්ගෙන් 48.2ක් ශාකමය ආහාර පරිභෝජනය නොකරන්නවුන් විය.
මෙහිදී හෙළි වූ තවත් කරුණක් වූයේ ශාකමය ආහාර පරිභෝජනය කරන්නන්ගේ බහුතරයක් වයසින් වැඩි පුද්ගලයන් වූ බවය. ඔවුහු උසස් අධ්‍යාපනයකට හිමිකම් තිබූ අය වූහ. බොහෝ දෙනකු විවාහකයන් වූ අතර දුම්වැටි හෝ මත් වතුර පානය නොකරන්නන් විය. වැඩි වශයෙන් ව්‍යායාමවල නිරත වූ ඔවුහු සිහින් සිරුර ඇත්තෝ ද වූහ. ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන්නන්ගේ බහුතරයක් කළු ජාතිකයෝ වූහ.
මෙම පර්යේෂණයේ නිගමනය වූයේ සියලුම ආකාරයේ මරණ අනුපාතිකවලින් අඩුම ප්‍රමාණය ශාකමය ආහාර පරිභෝජනය කරන්නන් අතර පවතින බවය. ඇතැම් මරණ අනුපාතික තත්ත්වයන් අඩුකරන්නටද ශාකමය ආහාර පරිභෝජනය හේතුවන බැව් තහවුරු විය.
මෙයට පෙර කරන ලද පර්යේෂණවලින් ද මරණ අනුපාතිකය සහ ආහාර පරිභෝජන රටා අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇති බැව් තහවුරු වී තිබිණි. ධාන්‍ය, පලතුරු, කිරි ආහාර වර්ග, කෙඳි සහිත ආහාර ආදිය පරිභෝජනය කිරීම තුළින් මරණ ප්‍රමාණය හෙවත් මරණ අනුපාතිකය අඩුවන බැව් නිරීක්ෂණය විය. නමුත් රතු මස්, සකසන ලද මස්, බිත්තර ආදිය වැඩි වශයෙන් පරිභෝජනයට ගැනීම නිසා මරණ ප්‍රමාණය වැඩිවන්නට හේතුවන බව පැවසේ.
මෙහි ප්‍රතිඵලවලට අනුව ශාකමය ආහාර පරිභෝජනය කරන්නන්ගේ මරණ අනුපාතය එසේ නොවන පුද්ගලයන්ට වඩා බෙහෙවින් අඩුය. එමෙන්ම ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන්නන්ගේ හා ශාකමය – කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන්නන්ගේ මරණ අනුපාතය ශාකමය ආහාර නොගන්නා පුද්ගලයන්ට වඩා අඩු බැව් ද තහවුරු විය. ශාකමය ආහාර පරිභෝජනය කරන්නන් තුළ හෘදයාබාධ හා පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය ද ඉතා අඩු බැව් මෙහිදී හෙළි විය. ශාකමය ආහාරවල වැඩි වශයෙන් කෙඳි අඩංගුවීම සෞඛ්‍ය සම්පන්න තත්ත්වයකට මහඟු අත්වැලක් සපයා ඇති බැව් මෙයින් පැහැදිලි වී තිබේ. එමෙන්ම දියවැඩියා රෝගය සහිත පුද්ගලයන්ගේ රෝගී තත්ත්වය අඩුකිරීමට ශාකමය ආහාර පරිභෝජනය හේතු වී ඇති බැව් මෙම පර්යේෂණය මගින් හෙළිවූ තවත් දෙයක් විය.
ශාකමය ආහාර පමණක් පරිභෝජනය කිරීම පිළිබඳ විවිධ මතවාද තිබුණද මෙම පර්යේෂණයෙන් හෙළි වූ කරුණුවලින් පැවැසිය හැක්කේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ශාකමය ආහාර මගින් මහඟු පිටිවහලක් ලබාදෙන බව ය.
(නිරංජන් චාමින්ද කරුණාතිල ලක්බිමට ලියූ ලිපියක්. )

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.