බුද්ධ ධර්මය අවිහිංසාව පදනම් කොට ඇති වූවකි. රාෂ්ට්‍ර පාලනය අනෙකෙකි. බුද්ධ ධර්මය රාෂ්ට්‍ර පාලනයටත් රාෂ්ට්‍ර පාලනය බුද්ධ ධර්මයටත් උපකාර ය. එහෙත් ධර්මානුකූල ජීවිතයත් රාෂ්ට්‍ර පාලනයත් එකට කළ නොහැකි ය.
මරණීය දණ්ඩනය ගැන බෞද්ධ මතය ය යි විශේෂ මතයක් ප්‍රකාශ කරන්නට නැත. ජීවිතයට ජීවිතයක් ගැනීම වැනි ඉගැන්වීම් බුද්ධ ධර්මයෙහි නැති හෙයිනි. තමා ගේ ජීවිතය සඳහා වත් අන්‍යයනට හිංසාවක් පීඩාවක් කිරීම බුද්ධ ධර්මයෙහි නූගන්වයි. එසේ නම් කෙනෙකු මැරීම ගැන කවර කතා ද?
දිනක් ආරාමයට පැමිණි කේසී නම් අශ්වයන් හික්මවන්නකු හා බුදුරජාණන් වහන්සේ අතර සාකච්ඡාවක් ඇති විය. “ඔබ අශ්වයන් හික්ම වන්නේ කෙසේ දැ යි” බුදුරජාණන් වහන්සේ ඇසූ හ. “ස්වාමීනි, මම සමහර අසුන් පරුෂභාවයෙන් හිකමවමි, සමහරුන් මෘදුභාවයෙන් හික්මවමි, සමහරුන් මෘදු පරුෂ දෙකින් හික්මවමි” යි කී ය. “ එසේ හික්මවන්නට බැරි අසුන් හට කුමක් කරනුවා දැ” යි බුදුරජාණන් වහන්සේ නැවැත ඇසූ හ. “ඔවුන් මරා දමමි” යි කේසි කී ය.
අනතුරු වැ කේසී, “ඔබ වහන්සේ ශිෂ්‍යයන් හික්මවන්නේ කෙසේ දැ” යි ඇසී ය. “මමත් සමහරුන් නරකෙහි නරක විපාක පෙන්නා පරුෂ භාවයෙන් ද හික්මවමි. සමහරුන් හොෙඳහි හොඳ විපාක පෙන්නා මෘදු භාවයෙන් ද හික්මවමි” යි බුදුරජාණෝ කී හ. “එසේ හික්මවන්නට බැරි අයට කුමක් කරනුවා දැ”යි කේසි ද ඇසී ය. “ඔවුන් මරා දමමි” යි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ හ. එවිට කේසී, “ස්වාමීනි, ඔබ වහන්සේ ගේ ශාසනයෙහි මැරීම තහනම් නො වේ දැ” යි ඇසී ය. “එසේය, එහෙත් මා මරන්නේ ඔබ මරණ ලෙසට නො වේ. මාගේ මැරීම නම් වරද කළ තැනැත්තා ගණන් ගන්නේ නැති වැ කිසිවකට වැද්ද ගන්නේ නැති වැ වෙන් කැර කොන් කැර තැබීම යි” බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ හ.