Skip to main content

බුදුහිමියව් ඉදිරියේම තෘෂ්ණා පහකල ජතුකණ්ණි මහරහතන් වහන්සේ.

ජතුකණ්ණි මහරහතන්වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි බුදු වූ පදුමුත්කර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩි විය පත් කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ප්‍රාර්ථනා කළහ. හෙතෙම බොහෝ කුසල් කොට සසර සැරිසරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි බමුණු මහසල් කුලයක ඉපිද ජතුකන්ණි නමින් ප්‍රසිද්ධව වාසය කළේය. පසුව බාවාරි නම් තවුසා ළග පැවිදිව වසන කල්හි බාවාරි තාපසතුමා ගේ අනුදැනුම මත බුදුන් වහන්සේ කරා පැමිණ මෙසේ ප්‍රශ්නයක් ඇසීය.

” ස්වාමීනි, ඔබ වහන්සේ සියල්ල දන්නා නුවන ඇති සේක. එම නිසා ඔබ වහන්සේගේ ප්‍රඥාවෙන් දැන මට මේ ආත්මභාවයේ දීම ජාති ජරා මරණාදියෙන් ගැලවී ගත හැකි ධර්මයක් දේශනා කරණු මැනවි “

බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මෙසේ වදාළ සේක. ” ජතුකණ්ණිමානවකය, වස්තුකාම ක්ලෙස කාමයන්හි තෘෂ්ණාව දුරුකරව, අතීත සංස්කාර මාර්ගඥානයෙන් වියලව, අනාගත සංස්කාර තොපට නො වේවා, වර්තමාන සංස්කාර තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගෙන උපශාන්තව සියලූ කෘෂ්ණාවන් පහ කළ රහතන් වහන්සේට නිවන් සැප වැළඳිය හැකිය “

මෙම ධර්ම දේශනාව අවසානයේ දහසක් තවුසන් සමග ජතුකණ්ණි තාපසයෝ රහත් භාවයට පත් වූහ. එහි භික්ෂු භාවයෙන් පැවිද්ද ද උපසම්පදාව ද ලැබුහ. ජතුකණ්ණි තෙරණුවෝ අසූමහා ශ්‍රාවකයන් ගෙන් කෙනකු බවටද පත්වූ ස්ක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.