Skip to main content

බුදුදහම හමුවේ නිරුවත්වන ඩාවින්ගේ පරිණාම වාදය …

දිනය: 1845 වසරේ සැප්තැම්බර් මස 16 වැනි දින
ස්ථානය: කැරිබියන් කළාපයේ ඉක්වදෝර සීමාවේ ගැලෆගෝස් දූපත් පෙළෙහි ඇල්බර්මාලේ දූපත අසළ
කපිතාන් ෆිට්ස්‍රෝයි තම දුර දක්නයෙන් ඈත මුහුදු සීමාව නිරීක්ෂණය කරමින් සිටියේය..ඔහු අසළින් වැදගත් පෙනුමැති, මහත්මයෙකු ” HMS බීග්ල්” නෞකාවේ සොල්දර තට්ටුව මත ඒ මේ අත සක්මන් කරමින් සිටියේය..
“කපිතාන්, ඔබතුමා දැන් මොනව කරන්නද සැරසෙන්නේ?”
“මේ හරියේ සක්‍රීය ගිනි කඳු තියෙනවද කියෙන එක මුලින්ම පරීක්ෂා කරලා ඉන්න ඕන..එයින් පසුව තීරණයක් ගත හැකියි…ඔබට මොනවද වෙන්න ඕනෑ, ඩාර්වින් මහත්මයා? ”
“මට තව ටික දිනක් මේ හරියේ නිරීක්ෂණය කරන්න ලැබුණොත් හොඳයි..ඒත් කපිතාන්, නැව් පන්තිය සම්බන්ධව තීරණ ගන්න දැන් අද්මිරාල් ෆිලිප් පාර්කර් කිංග් මහත්මයත් නැති එකේ, ඒ ගැන හරි තීරණයක් ගන්න ඕනෑ ඔබතුමා නේද?”
” මේ නැවේ සුප්‍රසිද්ධම මගියා එහෙම කියන එක මට ලොකු ගෞරවයක්..මගේ නම් සැලසුම හැමදාම ඉදිරියටම යෑම තමයි..ඔබතුමා ගැන කිව්වොත්?..මම හිතනවා ඔබේ සැලසුමත් ඉදිරියට යෑමයි කියලා”….
චාර්ල්ස් ඩාර්වින් ඈත ක්ෂිතිජයේ හිරු මුහුදේ නාන්නට සැරසෙනු එක් අතකින් සිය නළලත ආවරණය කර ගනිමින් මඳ වේලාවක් බලා සිටියේය…
“ඔව්!” හෙතෙම මිමිණුවේය…”ඔබතුමා කියපු දේ ආසන්න වශයෙන් නිවැරදියි! ඔබේ සැලසුම ඉදිරියට යන්නයි…මගේ සැලසුම අපි ඉදිරියට යන හැටි දැක ගන්නයි”…..
සත්‍ය වශයෙන්ම චාර්ල්ස් රොබර්ට් ඩාර්වින් මානවයා ඉදිරියට යන සැටි දුටුවෙක්ද?…එය සත්‍ය වශයෙන්ම ඔහු හා ඔහුගෙන් පසු කරළියට බට බටහිර විදුදර පිරිවර සිතන අන්දමටම “ඉදිරි ගමනක්ද?”..”අධි-පරිණාමයක්ද?”..


නැතිනම් ඇඟ සීතල කරවන වෙනත් හෙළිදරව්වක් තිබේද?..අපි පසු පසට පරිණාමය වෙමින් සිටින්නෙමුද?…
මානව පෙළපත ගසින් බැස අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට නැඟ ගත්, දිගු, ක්‍රමාණුකූළ ගමන් මඟක සැබැවින්ම ආවාද?..
පොදු මූලාශ්‍රයකින් හටගත් නිල්වන් ග්‍රහ ලෝකයේ ජීවයෙන් පැණ නැඟී ආ සංකීර්ණ පළමු ක්ෂීර පායීන්ට නෑකම් කියන “ප්‍රිමාටේ” නොහොත් වානර ගෝත්‍රයේ ( The Primate Order of Species ) අග්‍ර ඵලය ලෙස, මුළු ලොවටම අධිපති කම් කියන්නට මානවයා සැකසුණාද?..
( For the benefit of any English readers I add to this text in English: Did mankind really spring out from “Hominid” Apes to become “Homo”? or are there more to what meet the eye? )
නැතිනම් ඇඟ සීතල කරවන වෙනත් හෙළිදරව්වක් තිබේද?..අනෙක් සියළුම සතුන් මේ මහ පොළවේ මූලාශ්‍රයන්ගෙන් ජනිත වෙද්දී, අප පමණක් පරිබාහිරයෙන් කඩා පහත් වුණාද?…
….හෝමෝ ජාන කිටුව…. ( Gene pool “Homo”)
“හෝමෝ” යන්න ලතින් බසින් භින්න වී ආ වදනකි..ලතින් බාසාව යනු, හීබෲ හා ඇරම්යික් මූලාශ්‍ර වලින් පෝෂණය වූ, බටහිර අදට රජ කරන ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ඉතාලි ආදි සියළු භාෂාවන්හි මව් භාෂාවයි..එනම් ලොව සිවුවැනි මහා සම්ප්‍රදාය වන බටහිර ශිෂ්ඨාචාර කළ රෝමානු මහා සම්ප්‍රදායේ ( Western Civilisation : Fourth Great Cultural Branch on Earth) මහා භාෂා වෘක්ෂයයි…මෙම බසින් “හොමිනස්” (“Hominus”)නැතිනම් පසු කළෙක එයින්ම විකාශය වූ “හියුමැනස්” (“Humanus”) ( අද මෙයම “හියුමන්” ලෙස ඉංග්‍රීසි අත්තට විකාශය වී තිබේ ) යන්නෙහි අරුත වන්නේ “මහ පොළවෙන් උපන්” යන්නය..මිනිසා මහ පොළවෙන් උකහා ගත් බව, නො එසේ නම් මහ පොළවේ වැල්ලෙන් ජනිතය ලද බව පැවසෙන්නේ කුමන ග්‍රන්ථයේදැයි ඔබ සැම හොඳින් දන්නවා ඇති..ඒ වූ කළී බයිබලයයි..එසේ නම් බටහිර විද්‍යාව මිනිසා හඳුන්වා දීම පිණිස යොදා ගනු ලබන “හියුමන්”(“Human”) හෙවත් “හෝමෝ සේපියන්ස් සේපියන්ස්” (“Homo Sapiens Sapiens”)යන්නම බටහිර “ඩොමිනන්ට්” ආගමික මතවාදය වූ ක්‍රිස්තියානියෙන් පැණ නැඟී ආ එකක් බව අමුතුවෙන් කිව යුතු නැත..මිනිසා යනු නූතන බටහිර විද්‍යාවේ ප්‍රමුඛ ගවේෂණ ඉලක්කය සහ සාධකයයි..තත්වය එසේ නම්, එයටත් නම් තබා ඇත්තේ ක්‍රිස්තියානි මනෝ මූලිකයන්ගෙන් නම්, එම විද්‍යාව බෞද්ධ අපට කෙතරම් දුරට පිළි ගත හැකිදැයි ඔබ සැම මඳක් සිතා බලන්න…
( ඔබේ දැන ගැනීම පිණිස: ලොව පැරණිතම භාෂාවක් වන ඇරම්යික් බස අදටත් ඊශ්‍රායලයේ හා ලෙබනනයේ ආරක්ෂා වී තිබේ..මෙය ජේසුස් වහන්සේ ගේ මව් බසයි..ඒ බස අදටත් ලෝකයේ සක්‍රීය බසක් ලෙස පවත්වා ගන්නට කිතුණුවන් මහත් උනන්දුවක් දක්වයි..නමුත් අවාසනාවකට, අපේ බුදු පියාණන්ගේ මව් බස වන පාලිය සක්‍රීය බසක් ලෙස රැක ගන්නට බෞද්ධ කිසිවෙකුට උනන්දුවක් නැත.)
බටහිර විද්‍යාව වෙනුවෙන් පෙනී සිටින්නන් ඔළුවෙන් සිට ගෙන නැතැයි කීවත්, බටහිර විද්‍යාවේ හරය, නැතිනම් අභ්‍යන්තර කුහරය, නො එසේ නම් පාදම් මූලයවත් සෑදී තිබෙන්නේ ක්‍රිස්තියානි සිතුවිලි රටාවට අනුවමය..එය ප්‍රත්‍යක්ෂ සත්‍යයකි..නමුත් මානව පරිණාමය ගැන අපගේ බෞද්ධ දර්ශණය නම් මහා නුග වෘක්ෂය අත ගා ඉන් කොළ රැගෙන ගෙන ඔබට පෙන්වන්නට පෙර, බටහිර විද්‍යාව නම් තුත්තිරි ගස සොලවා, එය වැනෙන්නේ කුමන දිශාවකටදැයි පෙන්වන්නට අවසර දෙන්න…
….”සයිනොඩොන්ටස්” වරු….පළමු මැමාලිකයන් (උක්කුං බොමු!)
මා අර මුලින් සඳහන් කරන්නට යෙදුණු “ප්‍රිමාටේ” ගෝත්‍රය නොහොත් මහා වානර ගෝත්‍රය පහළ වූයේ මීට වසර මිලියන 40 කට පමණ පෙරය..ඔවුන් ද එසේ විකාශය වූයේ ඊටත් වසර මිලියන 200 කට පමණ පෙර බිහිවූ පළමු “මස්තිෂ්ක බාහික” ( Celebral Cortexes ) සහිත මොළයන් ඇති ජීවින් වන “සයිනොඩොන්ටස්” (“Cynodontus”)වරුන්ගෙනි..මේ සයිනොඩොන්ටස් වරුන් වනාහි ප්‍රථම ක්ෂීරපායීන් අතරට එක්වූවෝය..පාරිසරික සාධක මත ඇතිවූ “ස්වයං වරණයන්” (Natural Selection) ( “ස්වයං වරණය” යනු පාරිසරික සාධක වඩාත් ශක්තිමත්ව ඒවාට ඔරොත්තු දෙන ජීවිහු තෝරා ගැනීමත්, එසේ ඔරොත්තු නොදෙන්නවුන් වඳ වී යාමත්ය..) විසින් “අනුවර්තී විකිරණ” (Adaptive Radiation) හෙවත් ඒ, ඒ පාරිසරික ප්‍රතිරෝධයන්ට අනුවර්තනයව හැඩ ගැසුණු ශාරීරික පරිණාමික දිශාවන් ඔස්සේ, ඒ, ඒ මැමාලික නොහොත් ක්ෂීරපායී ජීවි විශේෂ යොමු කරන ලදී…
….”යුරාකොන්තා” වරු….( මෙන්න ගස් නඟිනෝ! )
වසර මිලියන 120 ක පමණ කාළයක් මෙලෙස ගත විය..ඉන් පසුව ක්‍රමයෙන් මේ ක්ෂීරපායීන්ගේ ආදිතම මුතුන් මිත්තන් වන සයිනොඩොන්ට් වරුන්ගෙන් ශාක මත ඇති ආහාර හා කුඩා කෘමි සතුන් පසු පස්සේ ලුහු බඳින ජීවි විශේෂයක් පහළ විය..මේ වූ කළී “යුරාකොන්තා” (Eurachontas) වරුන්ය..යුරාකොන්තා වරුන්ගෙන් හටගත් ජීවිහු භූමියේ ආහාර සෙවීම පසෙක තබා ක්‍රමයෙන් යෝධ තුරු කඳන් මත ආහාර සෙවීමේ ජීවන රටාව ඇරඹූහ..ක්‍රමානුකූලව ඔවුහුද මහපොළව අතැර ගස් මුදුන් මතටම වී ගත්හ…
…ප්‍රිමාටමෝර්ෆාවෝ – පළමු “වානර” ප්‍රභේදය … ( බුකුං, බුකුං, බුකුං! ) 

මේ වනාහි වානරයන්ගේ මූලිකයන්ය. ඉහත කී යුරකොන්තාවන් ක්‍රමයෙන් ගස් මුදුන් මත වාඩි ලා ගැනීමත් සමඟම, උන් කාළානුරූපීව තුරු මතම නේවාසික වන අනු- ප්‍රභේදයක් ලෙස විකාශය වූහ..ප්‍රිමාටමෝර්ෆාවෝ (Primatomorphas) මෙතැනින් පැණ නැඟී ආවෝය..සැලකිල්ලෙන් බලන්න..වානරයන්ගේ ගෝත්‍රය වන “ප්‍රිමාටේ” හි ලතිනාකාර මූලාරම්භය මෙසේ සැකසේ..
ඉතාම නිවැරදිව කියතොත් නූතන වානර පෙළපතේ ආදිතම මී මුත්තණුවන් වන්නේ මේ ප්‍රිමාටමෝර්ෆාවන් අතර සිටි ප්‍රභේදයක් වන “ප්ලේසියාඩැෆිෆෝර්ම්” (Plesiadepiformes) වරුන්ය..මොවුන් සතුව දිගු පූර්ව බාහු යුග්මයන්, තුරු මත සංචරණය කළ හැකි අපර බාහු යුග්මයන්, ගසින්, ගසට, අත්තෙන්, අත්තට දිගු පිමි පනින විට සමතුලිතතාවය රැක ගැනීමට උපකාරී වන දිගු වලිගය, හිස දෙපස ඇස්, හා සියුම් හා කුඩා වූ දේ දැක ගැනීමේ හැකියාව, නියපොතු ආදිය මනාව සැක සී තිබිණි…
…සිමියන් වරු…( Simians )
මීට වසර මිලියන 46 හෝ 48 කට පමණ පෙර පහළ වූ නූතන වඳුරන්ගේ ඉතාම සමරූපී මූලික අවස්ථාව වන්නේ “සිමියන් වරුන්ය”..වත්මන් වානරයන් සතු ඉතා ගැඹුරු ලොම් කබාය, සම වර්ණ සහිතව මුල් වරට, “ජැංඩි පහට” ඇන්දෝ මේ “සිමියන්” ඉලන්දාරීන්මය..
….ප්‍රිමාටේ වරුන්….( මම මන්කී හනුමන්තා! වඳුරන්ගේ මහදැනමුත්තා)
Primates නැතහොත් මහා වානර ගෝත්‍රය මෙලෙසින් ඇරඹුනේ මීට වසර මිලියන 40 ත් 42 අතරය..මේ මහා වානර ගෝත්‍රය ක්‍රමානුකූලව ප්‍රධාන කොටස් දෙකකට ශාඛනය විය..ඒ වූ කලී “තෙත් වූ නාසයන් සහිත වානරයන්” වන ” ස්ට්‍රෙසරිනි”( The Strepsirrhinis) වරුන් හා වියැළි නාසයන් සහිත වානරයන් හෙවත්, බටහිර විද්‍යාව විසින් “මිනිසා” අයත් වානර කුලකය ලෙස හඳුනා ගෙන ඇති ” හැප්ලොරිනි” (The Haplorrhinis) වානරයන්ය..ස්ට්‍රෙසරිනියන් එවක සිටම අසරණියන් වූ නිසා, අප මෙතැන් සිට අපේ යැයි කියන ප්‍රභේදය වන වියළි නාස් සහිත හැප්ලොරිනියන් සමඟ පෙරට ගමන් කරමු..හැප්ලොරිනි කොටසේ වානරයන් කල් යත්ම තවත් ප්‍රභේද ද්විත්වයකට බෙදී වෙන් විය..ඒ වනාහි “ප්ලැටිරිනි” (Platyrrhini) හා “කැටාරිනි” (Catarrhini)යන ප්‍රභේද යුග්මයයි…මෙතැනින් අපට අදාළ වන්නේ කැටාරිනි සුපිරි පවුලයි..
….කැටාරිනි සුපිරි පවුල….( The “Superfamily” of Catarrhini )
ජීව විද්‍යාවේ වර්ගීකරණ‍යේ, ජීවි පවුලට නොහොත් Family වෙත හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි..එයින්ම අප බොහෝ ජීවින් ගේ නෑදෑයින් හඳුනා ගන්නෙමු..උදාහරණයක් ලෙස: අපේ ජාතියේ අනගිභවනීය සළකුණ වන සිංහයා, නොහොත් ප්‍රතාපවත් වන රාජයා සහ ඔබේ දෙපා මුල දැවටෙමින් ඔබෙන් යමක් නිරතුරුවම ඉල්ලන පුළුන් කොට්ට අත් දෙක ඇති අපේ බළල් රාළහාමී එකම “පවුලේ” අයියා, මලෝ ය ( The cat family )…සුපිරි පවුලක් යනු මෙවැනි පොදු ලක්ෂණ සහිත පවුල් කීපයක් එක්වී සෑදෙන මහා පවුලකි.. ( SuperFamily is a denominator of a collection of families with common ancestrial and featuristic roots )..දැන් මෙතන වඳුරු සුපිරි පවුලේ නමත් “කැටාරිනි” නිසා, මම දුන් උදාහරණය වන “කැට් ෆැමිලි” සමඟ පටලවා ගන්නට එපා..අපි මේ කතා කරමින් ඉන්නේ වඳුරන් ගැන මිස පූසන් ගැන නොවේ..
කැටාරිනි සුපිරි පවුලෙන් මහා ප්‍රභේදයන් යුග්මයක් පහළ විය..ඔවුහු වනාහි
1. පැරණි මහා වානරයෝ හෙවත් සර්කොෆිතේකොයිඩියාවෝ ( The old world Great Apes or
Cercopithecoideas)
2. සාමුවන් නොහොත් හෝමිනොයිඩියාවෝ ( Apes or Hominoideas )…
මේ හෝමෝනොයිඩියාවෝ ඉන් පසුව වේගයෙන් විකාශය වී වර්තමාන වානර කුලයන්ටත්, මිනිසාටත් “පනින්ට ඉණිමං බැන්ද” වග බටහිර මානව පරිණාමයේ එන මතයයි..
අප ආ යුත්තේ මෙන්න මෙතැනටය…මේ වනාහී මා මුලින් ප්‍රධාන මාතෘකාවක් බෝල්ඩ් අකුරෙන් යොදා ඔබට හඳුන්වා දුන් “හෝමෝ” නම් ජාන කිටුවේ මූලාරම්භය බව බටහිර විදුදරයන්ගේ මතයයි…මිනිසා බිහිවූ සහ මිනිසා සංවර්ධනය කළ “හෝමෝ” ජාන කිටුවේ මුල් මෙසේ මෙලොවට විකාශය වී පහළ විය…
මේ පහළ වීම සිදුවූයේ මීට වසර මිලියන 15 ත් 20ත් අතර කාලයකදීය…
….මිනිසා නොහොත් “අපේ බුවා”….( Human or the Ape of ours)… :0)
අපේ එකා එළියට බහින්නට පටන් ගන්නේ දැන්ය..මෙතැන් සිට ඇති මානව විකාශන කතාව, බුදුන් අදහන බෞද්ධයෙකු ලෙස මම එකහෙළාම ප්‍රතික්ෂේප කරමි..මේ කතාව ඉතා සැකෙවින් ඔබට කියන්නේ වානරයාගෙන් මානවයා පරිණාමය වූ ආකාරය ගැන බටහිරයන් පවසන මතයට ඉතාම කෙටියෙන් හැඳින්වීමක් ඔබට කළ යුතුම නිසාය…බුදු දහමේ එන පරිණාම වාදයට අත තබන්නට පෙර බටහිර තුත්තිර ගසත් සොළවා සිටිය යුතුය..ඔබට මේ දෙක සංසන්දනය කර ගත හැකි සංසන්දනාත්මක පදනමක් ( Comparative Basis )හමුවන්නේ එවිටය..
….අප්‍රිකාවෙන් ඇරඹුම….( Waka waka eh, eh, Zamina mina Zanghalewa…This time for Africa )
හෝමෝ හැබිලිස් ( Homo Habilis ) –
මීට වසර මිලියන 2.2 – 2.9 ත් අතර පහළව දිවි ගෙවූ පළමු මානවයන්ය..රිචඩ් ලීකි හා මීව් ලීකි විසින් 1972 වසරේදී කෙන්යාවේ “තුර්කානා” විල අසළින් මොවුන්ගේ පළමු ෆොසිල සාධක සොයා ගන්නා ලදී..ගල් ආයුධ ආදී සොබා දහමෙන් උකහා ගත් යම්, යම් දෑ මුල් කරගෙන පුංචි, පුංචි මෙවලම් තැනීමෙන්, මිනිසා විසින් නිමවන දෑ ඇරඹූවෝ මොවුහුය..
හෝමෝ ඉරෙක්ටස් (Homo erectus) –
නෙදර්ලන්ත ජාතික විදුදර ඉයුජීනි ඩුබොයිස් විසින් 1882 වසරේ මුල් වරට හඳුන්වා දුන් මොවුහු මීට වසර මිලියන 1.7 කට පමණ පෙර කෙන්යාවේ තුර්කානා විල් අසබඩ පිහිටි මහා ජලාශ්‍රිත ප්‍රදේශ වලින් විකාශය වී, ඉක්බිති වෙනත් අනු ප්‍රභේද ලෙස යුරෝපයටත්, ඉන්දු අර්ධ ද්වීපයටත්, චීන හා තායිලන්තාශ්‍රිත භූමි කලාපයටත් විකාශය වූවෝය..වත්මන් මිනිසාට සමාන “හිස කෙස්” මුල් වරට මොවුන් සතුව පැවති බව විදුදර නිගමනයයි..බටහිර මතයට අනුව ගින්න මුලින් භාවිතයට ගත්තෝද, කපන කොටන සැත් ආයුධ මුල් වරට සොයා ගත්තෝද මොවුහුය..වත්මන් මිනිසාට සිරුරින් මොවුන් බෙහෙවින් සමාන බැව් කියති..
හෝමෝ ඇන්ටෙස්සර් (Homo Antecessor) –
මේ වනාහි කළක් මේ මහ පොළවේ සිට පසුව වඳවී ගිය මානව ප්‍රභේදයක් ලෙස සැළකෙන “හෝමෝ නියැන්ඩතාල් මානවයාගේ” හා “වත්මන් මානවයා වන හෝමෝ සේපියන් මානවයාගේ” යන දෙදෙනාගේම පොදු මුතුන් මිත්තා බවට සැළකේ..මොවුහු අප්‍රිකාවේ ඉතිරි වූ මානව මූලාශ්‍ර වලින් පැන නැංගේ මීට වසර පන් ලක්ෂයත් – හත් ලක්ෂයත් අතර කාළයේදීය..අප වැඩි වශයෙන්ම අවධානය යොමු කළ යුත්තේ මෙන්න මෙතැනටය..
මේකාගෙන් හෝමෝ නියැන්ඩතාල් නම් කළක් ජීවත් වී මෙලොවින් වඳවී ගිය හෙවත් ඉන් ඉදිරියට විකාශය නොවූ නියැන්ඩතාල් මානවයා පහළ විය..එමෙන්ම මේ මානවයාගේ ජාන කිටුවේ ඇති ජාන සමඟ වත්මන් හැලි වඳුරන්ගේ ජාන 99% ක්ම ගැළපෙතත්, වර්තමාන හෝමෝ සේපියන්ස් වරුන්ගේ හඳුනා ගැනීමේ ජානයක් වන FOXP2 ජානය හෝ එහි ආරම්භක ජානයක් මේකාගේ සිරුරේ කොතැනකවත් තිබුණාදැයි සොයා ගෙන නැත..ඒ ගැන නිසි සාක්ෂියක්ද නැත..  

නියැන්ඩතාල් ගෙන් අප ආවේ නැත..නැවතත් කියමි..නියැන්ඩතාල් සිට වඳවී යන ලදී..එසේ නම්..මේ මානව-වානරයාගෙන්, වානර මූලාශ්‍ර සහිත මානවයන් සහ මුලින්ම වඳ වූවා හෝ නැතිනම් පරිණාමයේ වෙනතකට හැරුණා වන්නට බැරිද?…”මිනිසා” ලෙස අප දන්නා හෝමෝ සේපියන්ස් මෙතැනින් නො ආ බව දැන්, දැන් හෙළි වන්නට පටන් ගෙන තිබෙන්නේ මේ කරුණ නිසා විය නොහැකිද?…
දැන් හොඳ හුස්මක් ගෙන මෙන්න මේ දෙස දැඩි අවධානයකින් බලන්න…
හෝමෝ සේපියන්ස් කරළියට එන්නේ මෙතැන් සිටය..මීට වසර එක් ලක්ෂ හැත්තෑ පන් දහසත්, දෙලක්ෂයත් අතර කාළයකදී, අප්‍රිකාවේ වර්තමාන කෙන්යාව, ඉතියෝපියාව හා එරිත්‍රියාව ආශ්‍රිතව පැවති බව කියන විශාල ජල පෝෂක පෙදෙස් වල මුල් වරට “හෝමෝ සේපියන්ස්” හෙවත් වර්තමාන මානවයන් බිහි වූ බව දැනට විද්‍යාවේ වැඩි වශයෙන්ම පිළි ගන්නා කතාන්දරයයි..
බලන්න හෝමෝ සේපියන්ස් යන ගමන් මඟ..
හෝමෝ සේපියන්ස් මීට වසර 150,000-200,000ත් අතර පහළ වී “අවාශ්” නම් ජල පෝෂක කළාපයෙන් ඉකුත්ව පැතිරී යති..
වසර 55,000 – 70,000 කටත් එපිටදී – මෙලෙස විකාශය වන මිනිසා සිය ශරීරයෙන් පරිණාමය සමඟ මනසින් සහ ක්‍රියාකාරකම් වල ” මහා පිම්මක් ඉදිරියට පැන” ඥානසම්බන්ධී වූ හෙවත් සෙසු සියළු සතුන් අබිබවා මොළයෙන් වැඩ ගැනීම ඇරඹිණි…( “The Great Leap forward” or Development of Cognitive skills and behavioral patterns with extreme resemblences to modern man)
වසර 50,000 කට පමණ පෙර වත්මන් පුරුෂ මානවයා සතුව පමණක් පවතින “වයි” ක්‍රෝමසෝමය (The “Y chromosome” සහිත මානවයන් නොහොත් “ආදම් මානවයන්” (Adam)බිහිවීම..මෙය “Y” එකදර්ශ ඛාණ්ඩයේ (Haplotype Group)ඇරඹුමයි…ජාන ඉංජිනේරු විද්‍යාවේ එන “එකදර්ශයන්” හෙවත් Haplotypes යනු ඩී.එන්.ඒ හා බැඳුණු ප්‍රෝටීන අනුදාමයන් හෙවත් “ක්‍රෝමසෝමයන්” හි අන්තර්ගත ඇලීලයන් එක හා සමාන ස්ථාන වලින් එකිනෙක හා සම්බන්ධ වීමය..ඒකදර්ශ ඛාණ්ඩයන් යනු එලෙස පොදු මූලාශ්‍රිත ඒක දර්ශයන් සහිත සමූහයන්ය..
( සමාවන්න! මේවාට සිංහල වදන් මම නොදනිමි..මේවා මීට වඩා කදිම අයුරින් ඉංග්‍රීසියෙන් පැහැදිලි කර දීමට මට හැකි වෙතත් මේ ලිපිය සිංහලෙන් ලියන බැවින් වෙන කළ හැක්කක් නොමැත…)
වසර 50,000 – 30,000 කටත් පෙර කාළයේදී මෙකී මානවයන් ආසියාවට, යුරෝපයට සංක්‍රමණය වීම..
දැන් හෝමෝ නියැන්ඩතාල් සහ හෝමෝ ෆ්ලෝරෙන්සියැස් නම් හෝමෝ සේපියන්ස් ගේ නෑදෑ ප්‍රභේද දෙක ගමන් කළ දිශාව බලන්න..
හෝමෝ සේපියන්වරු “ආර් වන් බී ඓකදර්ශ සමූහයට” (R1 Haplotype group)අයත් වන අතර ඉහත කී ගෝත්‍ර දෙක අයත් වන්නේ “ආර් ටූ” නම් ඓකදර්ශ සමූහයටය ( R2 Haplotype Group of Y)..මොවුහු මීට වසර විසි දහසකට පමණ පෙර ” සහ මුලින්ම මෙලොවින් වඳ වී ගියහ”..නැවතත් කියමි..සහමුලින්ම වඳවී ගියහ…
මගේ මිතුරු සිංහලයිනි! උක්ත හෝමෝ ඛාණ්ඩයන් දෙක යම් කරුණක් නිසා වඳවී ගියේ නම්, ඔවුන්ගේ හා හෝමෝ සේපියන් වරුන්ගේ ශාරීරිකව මහා වෙනසක් නැතැයි බටහිරයන් පවසන නිසා, ඒ වඳවී යාමේ සාධකයම හෝමෝ සේපියන්වරුන්ටත් බලපා ඔවුන්ද මිහිතලයෙන් වඳවී ගියේ නැත්තේ ඇයි? ඔවුන් සැම එක පවුලේ නම්, එකට වඳවී නොගියේ ඇයි? සේපියන් වරු පමණක් රැකෙන අමුතු ශක්තිය කුමක්ද?
….තර්කය….
ඉහත මා ඔබට සැකෙවින් ගෙන හැර දැක්වුවී මානව පරිණාමය පිළිබඳව බටහිර අදහසය..මේ අදහස බුදු දහමේ මානව පරිණාමය පිලිබඳව අදහසට බෙහෙවින්ම පටහැණිය..මෙකී ඩාර්වින්ගේ සහ සෙසු බටහිර විද්‍යාර්ථීන්ගේ මානව පරිණාමය අදහස අද අවාසනාවකට මෙන් අපේ රටේ විදුහල් වල සහ සරසවි තුල පුන, පුනා ඉගැන්වේ..කුමක් කරමුද? ඉහත පරිණාමය සම්බන්ධ අදහස ඇසුරෙන් පරිණාම වාදයට එරෙහිව ගොණු වී ඇති හා ගොණු කළ හැකි තර්ක මෙලෙසය…
1. කරුණාකර මේ කාල අන්තරයන් වෙත දැඩි අවධානයක් යොමු කරන්න..
සයිනොඩොන්ටස් වරුන්ගෙන් යුරොකොන්තා වරුන් පහළ වන්නට වසර මිලියන 160 ක් පමණ කාළ අන්තරයක් ගත විය..යුරෝකොන්තාවරුන්ගෙන් ක්‍රමාණුකූලව මූල වානරයන් වන සිමියන් වරු පහළ වන්නට තව වසර මිලියන 80 ක් පමණ ගත විය..ඒ වානර සිමියන් වරුන්ගෙන් හෝමෝ ජාන කිටුවේ මූලාරම්භ පහළ වන්නට තව වසර මිලියන 30 ක පමණ අන්තරයක් ගත විය..අන්තිමේදී මේ සියල්ලටම වඩා අතිශය සංකීර්ණ වූ “මිනිසාගේ විකාශය” මේ අද පවතින තැනට පත් වන්නට ගත වී ඇත්තේ වසර මිලියන 2.5 ක අන්තරයකි..එයිනුත් මිනිසා මේ සියල්ලටම වඩා වැදගත් “මානසික වර්ධනය” හෙවත් මනෝ පරිණාමය ළඟා කරගෙන ගත වී ඇත්තේ තවමත් වසර 50,000 ක් පමණ සාපේක්ෂව ඉතාම සුළු කාළයක් පමණි…!!!
ඉතාම සරළ දේහ ඇති මූල ක්ෂීරපායින්ගෙන්, ඉතාම සරල, සොච්චම් වෙනස් කම් ඇතුව වානර මූලයන් තුරු මුදුන් මතට සංක්‍රමණය වන්නට වසර මිලියන සිය ගණන් ගත වෙද්දී, අතිශය සංකීර්ණ මිනිස් දේහය සැකසීමටත්, ඉන් අනතුරුව වඩාත්ම දුෂ්කර වන “උසස් වූ මනසක් හා බුද්ධියක් පහළ වී” මිනිසා මහා ඉදිරි පිම්මක් පැන මේ ලෙස තෙද විකුම් පාන්නට, සාපේක්ෂව ගිණිය නොහැකි තරම් කුඩා “සොච්චම්” කාලයක් ගත වී ඇත්තේ ඇයි????….
මේ ලෝකයේ පොදුවේ පවතින ධර්මතාවයක් වනුයේ “වැඩක් අමාරු වන තරමට, සංකීර්ණ වන තරමට, ඒ සඳහා ගත වන කාළය වැඩිවේ” යන්නය..එසේ නම් ඒ න්‍යාය මේ බටහිර පරිණාම වාදය හමුවේ බල නොපාන්නේ ඇයි???..වැඩේ සංකීර්ණ වෙන තරමට ගතවන කාළය එන්න, එන්නම අඩුවීමක් මෙතැන් පමණක් දකින්නේ ඇයි?
( Diminishing margins of sequence or a down-ward slope in trend observations of duration intervals!! Why would it happen that way??)
2. සයිනොඩොන්ටස් වරුන්ගෙන් විකාශය වූ එකම ක්ෂීරපායී ජීවි ප්‍රභේදය වානරයෝ නොවෙති..අද ලෝකයේ වඩාත් වැදගත් හා සංකීර්ණ දේහ ධාරීන් වන ක්ෂීරපායි ජීවි කොට්ඨාශ පහළ වූයේද ඒ පොදු නෑයාගෙන්මය..උදාහරණ ලෙස මුහුදු පිමිංගලයන් හෙවත් ඩොල්ෆින් මසුන්ද, තල්මසුන්ද, වවුලන්ද, මූසිකයන්ද, යනාදි ලෙස අද මෙලොව සිටින ඇත්, අස්, සා, ගව මහීෂාදීන් තෙක් කිරි බී වැඩෙන ගෝත්‍රය විදාරණය වූයේ මේ පොදු මූලිකයාගෙන්මය.. කිරි බී වැඩෙන්නන්ගේ තත්වය එය නම්, වානරයෝ පමණක් මේ තරම් දුරක් ගියේ ඇයි..වානරයා මෙතරම් දුරක් ඇරලූ ස්වභාවික වරණ වාදය, හා ඒ හා බැඳුණු අනුවර්තී විකිරණය, ක්ෂීරපායීන්ගේ අනිත් ජීවින්ට බල නොපෑවේ ඇයි???…ජීවියා අනුවර්තනය වන්නේ පාරිසරික සාධකයන්ට අනුව නම්, වානරයා මේ තරම් මහෝඝයෙන් යුතු, මේ තරම් බුද්ධියෙන් විභූතිමත්, මේ තරම් ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු කරන්නට බලපෑ පාරිසරික සාධක වෙනත් ජීවින්ට බල නොපෑවේ ඇයි??.. මේ වර්ගයේ එකම, එක ජීවි විශේෂයක් පමණක් මහ පොළවේ සිටින්නේ ඇයි??..කුමක් ද ඔවුන්ට පමණක් බල පෑ මහා සාධකය?…මේ ලෝකයේ සිටින අනිත් සියළු ජීවි විශේෂ දෙස බලන්න..මොවුන් සියල්ල ඒකාකාරී ගමන් මඟක යද්දී..ආහාර සොයා ගැනීම, නින්ද, සංචරණය හා ලිංගික, අලිංගික ක්‍රම වලින් ප්‍රජනනය පමණක් ඔවුන්ට උරුමව තිබියදී, අප පමණක් මේ තරම් වෙනස් ඇයි?..මේ තරම් සංකීර්ණ ඇයි??..මේ තරම් බුද්ධිමත් ඇයි?…අපව අන්තර් ජාලයකින් එකිනෙකා හමුවන තැනට ගෙන ආ ඒ පරිණාමික පාරිසරික සාධක වෙනත් ජීවින් හමුවේ අවලංගුද?… 

අපේ මොකක් හෝ බරපතළ නොගැලපෙන කමක්, මේ මහ පොළවේ පරිසරය හා තිබෙනවා නොවේද?
අනෙත් සතුන් පසෙක තබමු..අපත් සමඟ පොදු මූලාශ්‍ර බෙදා හදා ගන්නා බව කියන, අපගේ මුල් නෑයන් ඔවුන්ගේද මුල් නෑයන් බව කියැවෙන, වානර වර්ග මේ මොහොත වන විටත් මේ මහපොළව මත ඇවිදිති..ගෝරිල්ලන්ය, චිම්පන්සීන්ය, රිලවුන්ය, ගිබන්ය, ඔරන්ග් ඔටන්ය, කියන මේ වානර ගෝත්‍රයන්හි මුතුන් මිත්තෝද, අපේ මුතුන් මිත්තන් සමඟ තුරු හිස් මත සැපසේ සිටියා නම්, අපේ මුතුන් මිත්තන් ගසෙන් බස්සවා, රොකට් තුළට නැංවූ පරිණාමය අඩුම තරමේ ඒ වානරයන්ගේ මුත්තන්ට බල නොපෑවේ මන්ද???…
3. වානර-මානව මූලික අවදියන් යැයි සළකන “නියැන්ඩතාල්” සහ “ෆ්ලොරැන්සියස්” වරු හෝමෝ ඛාණ්ඩයේ අනිත් සගයන් දෙදෙනා ලෙස සිට වඳවී ගියහ..එසේ “මානව” යැයි සැළකෙන ගෝත්‍ර දෙකක් පොළවෙන් අතු ගෑවී යන්නට බලපෑ සාධක, එවකට ඒ ගෝත්‍ර හා ශාරීරිකවත්, මානසිකවත් මහා වෙනස් කමක් නැති, “සේපියන් වරුන්ට” බලපා ( මේ සැමට ඇත්තේ පොදු ජාන පූලයන් නම්) ඒ සේපියන් වරුන්ද ඒ සමඟම වඳවී නොගියේ මන්ද?…
මේ නූතන විද්‍යාව නිරුත්තර වී ඇති බල සම්පන්නම තර්ක ත්‍රිත්වයයි..මේ හැර ඒ, ඒ ජීවින්ගේ ජාන, ශාරීරික හා මානසික පැවැත්ම සම්බන්ධ ව ගොඩ නැඟී ඇති තර්ක් රාශියක් ඇත..ඒ සියල්ල මෙහි ලෑමට ඉඩ කඩක් නොමැති හෙයින් මෙලෙස ප්‍රධාන තර්ක තුන පමණක් ඔබ වෙත ගෙන එමි..ඉඩ කඩක් ලැබුණහොත් අනාගතයේ ඒ සියල්ලද ගෙන ඒමට සූදානමෙන් සිටිමි..නමුත් බුදු සමයේ එන පරිණාම වාදයේ විශිෂ්ඨත්වය ගැන සඳහනක් කරන්නට මේ තර්ක ත්‍රිත්වය මත පමණක් සිට ගැනීම ප්‍රමාණවත්ය..
නිරුවත් කර ගත් විට ශාරීරිකව බොහෝ සත්ව කොට්ඨාශයන්ට වඩා බෙහෙවින් දුර්වල අප පමණක් මේ හැම කඩුල්ලෙන්ම පනින්නට තරම් බලසම්පන්න වන හේතුව කුමක්ද?..

අපි වෙන කොතැනකින් හෝ පැමිණියා වත්ද?…………………….
අප විසින් ඉතාම සැකෙවින් ඔබ වෙත ඉදිරිපත් කරන ලද්දේ, බටහිර ජීව විද්‍යාව විසින් ( එක්, එක් විදුදරයන් එකිනෙකට සියුම්ව හෝ පෘතුලව වෙනස් මත සිය ගණනක් දරනවා වුවත් ) පොදුවේ, මේ මොහොතේ, ඒ විද්‍යාර්ථීන් කවුරුත් පාහේ මැද තැනකටවුත් එකඟ වී සිටින පරිණාම වාදය පිළිබඳව මතයයි..
ඩාර්වින් වාදය බිඳ හෙළන්නට වෑයම් කරන්නෝ කවුරුන්ද?
චාර්ල්ස් ඩාර්වින්ගේ පරීක්ෂණ අනුසාරයෙන් බිහිවූ පරිණාමය පිළිබඳව ඩාර්වින් වාදයට පහර දී එය විනාශ කරන්නට වැර දරන්නෝ වත්මනේදී ප්‍රධාන කොට්ඨාශ දෙකක් ලෙස සැළකුව හොත් එහි වරදක් නැත..ඉන් පළමු කොටස වනුයේ, සර්ව මැවුම් වාදී මතවාදයන් වන “ක්‍රිස්තියානි හා ඉස්ලාම්” යන ඒක දේව වාදී දහම් ජය ග්‍රහණය කරවීම සඳහා ඉදිරිපත් වී සිටින උගතුන්ය.
උක්ථ බටහිර මතයට එරෙහිව ගොඩ නැඟී ඇති තර්ක, විතර්ක වලින් බොහොමයක් මම ඔබ හමුවට නොගෙනෙමි…මක් නිසාද, ක්‍රිස්තියානි චින්තන හර පද්ධතියක් වටා පරිභ්‍රමණය වන විද්‍යාවකින් එය ගොඩ නැඟී තිබුණද, ඒ බටහිර විද්‍යාවේම පරිණාමවාදය පිළිබඳව මතයට වැඩි වශයෙන්ම අභියෝග කරන්නේ ක්‍රිස්තියානි පල්ලිය වෙනුවෙන් සෘජුව ඉදිරිපත් වන උගතුන් විසින් විරචිත පොත් පත් වීමය..උදාහරණයන් ලෙස ආචාර්ය ඩේවිඩ් බ්‍රැඩ්බරි, ආචාර්ය ජෝන් ග්‍රේබ්, හිටපු ඇමරිකානු ජනාධිපති හා වත්මන් පල්ලියේ ලේඛක ජිමී කාටර්,කෙවින් ලෝගන්, ස්ටීව් ෆුලර් ආදී විවිධ කිතුණු නිකායන්හි සුවච කීකරු බැතිමතුන් රාශියක් හැඳින්විය හැක..මේ උගතුන් විසින් රචිත ග්‍රන්ථ සහ සඟරා ලිපි ලේඛණ හා ඔවුන්ගේ බ්ලොග් අඩවි, ෆේස් බුක් පිටු වලින් ඔවුහුද ඩාර්වින්ගේ පරිණාම වාදයට පහර දීමට තැත් කරති..එහෙත් ඒ පහර දීම් වලට ඉතා සාර්ථකව පිළිතුරු දීමට ඩාර්වින් වාදී විද්‍යාර්ථීන් සමත් ව ඇත..ඒ මක් නිසාද? ඉහත කී උගතුන් සියළු දෙනාම ඩාර්වින් වාදයට පහර දෙන්නේ, එය බිඳ දමා “සර්ව මැවුම් වාදය” හෙවත් බයිබලයේ එන ලෝකය දේව නිර්මාණයකැයි කියන ශාස්වථ වාදී සංකල්පය මුදුන් පමුණුවන්නට බැවිනි…මේ ප්‍රහාර සඳහා ප්‍රති තර්ක, එසේ නැතිනම් න්‍යායාත්මක අවි වශයෙන් මොවුන් බොහෝ කොට යොදා ගන්නේද, ඉතාලියේ ගැන්ඩොල්ෆො බල කොටුවේ ඇති “වතිකානු ආකාශ වස්තු නිරීක්ෂණාගාරය” (“The Vatican Observatory”) හා එම ක්‍රිස්තියානි පරීක්ෂණාගාරයට පූර්ණ සහාය දක්වන තවත් කිතුණු විද්‍යාගාරයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනපද විශ්ව විද්‍යාලයට අනුබද්ධිත, ටක්සන්හි ස්ටුවර්ඩ් ආකාශ වස්තු නිරීක්ෂණාගාරයන් ආශ්‍රිතව එළි දකින, උග්‍ර බයිබල් වාදී, ක්‍රිස්තියානිය සනාථ කරන්නට කළ “විද්‍යාත්මක” ගවේෂණයන්හි නිරීක්ෂණමය…
මෙවැනි බයිබලික පරීක්ෂණයන්ට ලෙහෙසියෙන් පහර දී ඩාර්වින් වාදය ජයග්‍රහණය කරවන්නට, ඒ වෙනුවෙන් පෙනී සිටින ජීව විද්‍යාඥයන්ට හැකි වී තිබීම ඒ තරම් පුදුමයට කරුණක් නොවේ..
ඩාර්වින් වාදය බිඳ හෙළන්නට ඉස්ලාමයේ උගතුන් යැයි කියා ගත් පිරිසක් විසින් දැරූ වෑයම නම් මේ වන විට බොහෝ දුරට අවසන් වී තිබේ..මක් නිසාද, ඔවුන් ඒ තැතෙහි, කිතුණු උත්සාහයට වඩා බෙහෙවින්ම දුබල වූ, ලෝකයා හිනස්සන, බොළඳ ප්‍රති තර්ක කළ එලි බස්සන්නට ගොස් අමාරුවේ වැටීම නිසාය..ක්‍රිස්තියානි ලෝකය අඩුම තරමේ නූතන විද්‍යාත්මක උපකරණ වන කාබන් විමෝචනය තුළින් පුරා වස්තු හා ෆොසිලයන්ගේ වයස මනින මාපක, විශ්ව නිරීක්ෂක නවීන දුරේක්ෂ, පරිගණක ආදිය යොදාගෙන තම බයිබලික ගවේෂණයන් කොට නිගමන ඉදිරිපත් කිරීමට සමත් වූහ..ඉස්ලාමයේ උගතුන් යැයි කියා ගත් කොටස පෙරට ආවේද මැද පෙරදිග ඔවුන්ගේ පූජනීය නගර වලින් බැවින් ඒ මොළ ගෙඩි වල තරම ඔබ සැමට සිතා ගන්නට පහසු වනවා නිසැකය..ඔවුන් ගෙන ආ තර්කද කිසිදු ප්‍රමේයයකින් තොර, යන එන මං නොදත් සුරංගනා කතාන්දරය..එනිසා ඒ වෑයම කල් නොගොස්ම ලෝකයාට විහිළු සපයා අවසන් වූයේ ඩාර්වින් වාදීන්ට විශිෂ්ඨ ජයක් අත් කර දෙමිනි..
ඩාර්වින් ඇසුරෙන් සම්මත පරිණාම වාදයට දෙවැනිව පහර දෙන්නට ගියෝ, කිසිදු ආගමික මතවාදයකට නැති බටහිර විද්‍යාඥයන්ගෙන්ම කොටසකි..ඔවුහු ද, ලොව තැන, තැන කණ්ඩායම් වශයෙන් හෝ තනි, තනිව සංවිධානය වී කරන ලද පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන මාලාවන් ඔස්සේ ඩාර්වින් “කඩුල්ල මුවා කිරීමේ වරදට දවා ගැනීමට” වෑයම් කරති..අදටත් මේ වෑයම ක්‍රියාත්මකය..නමුත් බරපතළ ගැටළුවක් මේ අයටත් ඇත..ඒ ගැටළුව වන්නේ “ඩාර්වින් වාදය කෙසේ හෝ බිඳ හෙළන්නෙමු, නැති නම් එහි බරපතළ අඩු ලුහුඩු හෝ පෙන්වා දෙන්නෙමු” යන මතයේ නිමග්නව පරීක්ෂණ කරතත්, එම පරිණාම වාදයට විකල්ප වශයෙන්, යම් හෙයකින් එම පරිණාම වාදය බැහැර කර වන්නේ නම්, එයට විකල්ප ලෙස, එම රික්තකය පුරවන්නට ඔබන්නේ මොන වාදයක්දැයි ඔවුන්ට කල්පනා නොවීමය..මෙය මෙසේ වන්නට ආසන්නතම සහ බලවත්ම හේතුව වන්නේද ඩාර්වින් වාදයමය..මක් නිසාද, ඉහත සඳහන් විද්‍යාඥයන් එසේ වූයේද, නූතන විෂය මාලාවන්, නූතන විශ්ව විද්‍යාල තුළ හැදෑරීමෙන් වීමෙනි..එවිට ඒ ජීව විද්‍යා, වෛද්‍ය විද්‍යා, ක්ෂුද්‍ර ජීව විද්‍යා, ජාන ඉංජිනේරු විද්‍යා උපාධි පාඨමාලාවන්ගේත් ඔවුන්ට උගන්වන්නේ ඩාර්වින්ගේ පරිණාම වාදයමය..ඔවුන් නොදැනුවත්ව හෝ සමාජයට පියවර ඔසවන්නේ, ඩාර්වින් වාදය විසින් සතර කොණ නිර්ණය කරනු ලබන සෛද්ධාන්තික සිර කුටියක සිර කරුවන් ලෙසමය..ඒ නිසා ඒ සිර ගෙය, සිර ගෙයක් ලෙස දකින්නට ගියත්, තමාට විද්‍යාවේදී රන් කිරි කට ගෑ ඒ සිර මැදිරියෙන් පිට ලෝකයක් ගැන ඔවුන්ට සිතා ගත නොහැකිය..
මේ නිසා මේ විද්‍යාඥ කුළකයද තමන්වම “ෆෝමැට්” කර ඇති ඩාර්වින් වාදය බිඳින්නට අසමත් වී සිටිති..ඔවුන්ද පිට, පිටම පරාජයන් ලබති..

නමුත්, මිත්‍රවරුනි! අවාසනාවක මහත, මේ ඩාර්වින් ඇසුරින් බිහිවූ පරිණාම වාදය උස්සා පොළවේ ගැසිය හැකි සුපිරි දැක්මක් උපතින් උරුම කර ගෙනත්, බෞද්ධ ලෝකයේ කිසිවෙකුත්, මේ වන තුරුත්, ඊට හරි හමන් උත්සාහයක් දරා නැත..චීනය හා තායිවානය බඳු මහායාන බොදු රටවල් මේ පිළිබඳව යම් තැතක් දරනවා පෙනෙන්නට තිබේ..එය සුභ ලකුණකි..තායිලන්තයද, සාහිත්‍යමය වශයෙන් හෝ මේ මඟට පිවිසිය යුතු බවට සළකුණක් වත් කර ඇත..නමුත් ඊනියා “ලෝක ථේරවාදී කේන්ද්‍රය” ලෙස තමාවම හඳුන්වා ගන්නා රටේ සිටින උගතුන්, බුද්ධිමතුන් අද තා මේ ඔස්සේ කිසිදු වෑයමක් ගෙන නොමැත…හඬක් හෝ නඟා ඇත්තේ ඒ දේශයේ පිනට පහළ වූ මහාචාර්ය නලීන් ද සිල්වා පමණකි..
මෙයට හේතුව කුමක්ද? බොහෝ විට අද ලෝකයේ සිටින ථේරවාදී බෞද්ධයන් පොදුවේ එක්තරා මිථ්‍යාවක එල්බ ගෙන සිටීමය..ඒ මිසදිටු මතය වූ කලී “අපේ බුදු දහම නූතන විද්‍යාව හා “සමපාත” වේ” යන මතවාදයයි..”බුද්ධාගම තරම් විද්‍යාව සමඟ ගැලපෙන වෙනත් දහමක් නොමැති බැවින් අපට සුවසේ දිවි ගෙවිය හැක..වෙනත් ආගම් වල පූජ්‍ය පක්ෂය මෙන් අභියෝග කරන්නටත්, ඒවාට මුහුණ දෙන්නටත් අපට එනිසා උවමනාවක් නැත..අපට විද්‍යාවෙන් පහර නොවදිනු ඇත” යැයි සිතන අපේ බොදු පූජ්‍ය පක්ෂය සුවසේ සැතපෙද්දී, “උන් වහන්සේලා දොයි නම් අපි දොදොයි” කියන සමාජයේ දැන උගත් කොටස්ද ඒ සයනයේම පාමුල නිදි වදිති..
හිතවතුනි, හිතවතියනි! බුදු දහම විද්‍යාව හා සමපාත වන දහමක් නොවේ…එය අවම තරමේ විද්‍යාව හා අත් වැල් බැඳ ගෙන යන දහමක් වත් නොවේ…බුදු දහම නූතන විද්‍යාවට වඩා ආලෝක වර්ෂ ගණනාවක් ඉහළින් ඇති, කිසිදු විද්‍යාර්ථියෙකුට විෂය ගෝචර නොවන, අති සුපිරි, පරම සත්‍යාවාදී දැක්මකි..බුදු දහම හමුවේ තබන නූතන විද්‍යාව, සැට වියැති බමුණු පඬිවරයෙකු ඉදිරියේ ඉන්දවන ලද, නැපියේ මූත්‍රා කර ගන්නා සය මසැති බිළින්දෙකුගේ තත්වයට පත්වේ..එවැනි විශ්ව ඤාණයක්, බෙහෙවින් බෙලහීන නූතන විද්‍යාව සමඟ අත්වැල් බැඳගෙන වැල්ලේ ඇවිදින පෙම් යුවළකගේ තත්වයට පත් කරන්නට යෑම, එම මහා සත්‍යයට කරණ ඉතාම බරපතළ අසාධාරණයකි..
….අග්ගඤ්ඤ සූත්‍රය….
සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුල් වරට ලෝකාරම්භය හා එනයින් මානව පරිණාමය ගැන වෙන් කොට අදහසක් ඉදිරිපත් කළේ, දීඝ නිකායේ 27 වැනි සූත්‍රය වන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙනි..එනිසා, මෙලෙසින් අපගේ ප්‍රස්තුතයට අදාළ වන පරිදි, දීඝ නිකායේ, පටික වග්ගියෙහි, 27 වැනි සූත්‍රය ලෙස එන අග්ගඤ්ඤ සූත්‍රයෙහි දෙවැනි කොටස හුවා දක්වමි…මෙම සූත්‍ර දේශනාව උන් වහන්සේ මහා කරුණාවෙන් දෙසා වදාළේ, ශ්‍රාවස්ථියෙහි පූර්වාරාමයේ බුදු පාමොක් මහ සඟ ගණ සමඟ එක්ව, පරිව්‍රාජකත්වය අපේක්ෂාවෙන් සිටි භාරද්වාජ, හා වාසෙඨ්ට නම් බමුණු කුල පුතුන් දෙපළ අමතමිනි..
මෙකී වාසෙඨ්ඨ හා භාරද්වාජ නම් බමුණු කුළ සාමනේර දෙපළ, “බුදු පියාණන් වහන්සේ ගෙන් සිරි සදහම් අප කෙසේ නම් සෘජුවම අසා දැන ගම් දෝහෝයි” සිතමින් සිටින මොහොතක, අළුයම් හි කෙසරු සලා නැඟී සිට, රන්වන් අයෝමය බාහු බෙලෙන් සිය ගුහායෙහි සක්මනෙහි යෙදෙන මහා සිංහ රාජයෙකු සේ, ධ්‍යාන සමාපත්තියෙන් ඉකුත් වී ගඳ කිලියෙන් නික්ම, වැලි තලයෙහි සක්මනෙහි යෙදෙන මහා විශ්ව සියපත දැක, ” මේ නම් අප ගුරු උතුමන්ගෙන් යමක් සෘජුවම අසා ගන්නට කදිම අවස්ථාවකැයි” දැන, සම්මා සම්බුදු සෙවණැල්ලේ සක්මනට එක්විය..තමා පසු පස්සේ එන සාමනේර දෙපළ විමසූ තථාගතයෝ “නුඹලාගේ පැවිද්ද නිසා, නුඹලාගේ වංශ නෑයන් වන බමුණන් නුඹලාට අපහාස කරනවාදැයි” ඇසූ සේක..ඔවුහුද එය ඒක මතිකව අනුමත කළහ..ඒ අපහාස වල ස්වරූපය දක්වන්නැයි බුදු පියාණන් කළ විමසුමට පිළිතුරු දුන් වාසෙට්ඨයෝ, බමුණන් තුමූ මහා බ්‍රහ්මයෙකුගේ මුඛයෙන් උපන්නා යැයි සිතා සිටින්නෝ වන හෙයින්ද, ඒ බඹුට නෑ කම් ඇතැයි සිතන හෙයින්ද, රන්වන් පැහැ සිරුරැති, සුපේශල පාරිශුද්ධ ජනනයන් ඇතැයි සිතන හෙයින්ද, ඒ සා ශ්‍රීමත් කුලයක් හැර දමා මේ මහණ කමකට බැස හෑල්ලූ වූයේ කුමක් නිසාදැයි කියමින් තමන්ට නින්දා අපහාස වැඩි වශයෙන් කරන බව කීහ..මෙවිට මිනිසා කුල සතරකට බෙදා, මේ මහ පොළව මත උප්පත්තියක් ලද බව කියන බමුණන් ගේ හින්දු වෛද නිකායික මත වාදයන්, හිරු දුටු බොල් පිණි සේ දුරලන්නට, ශාක්‍ය කුල සූර්යයාණෝ “අග්ගඤ්ඤ” රැස් මාලාව විදහා ලූ සේක..
දැඩි අවධානයෙන් බලන්න..බුදු පියාණන් වහන්සේ ලෝකාරම්භය හා එහි හටගත් “පෘතුවි මූලික” ජීවය මෙලෙස විග්‍රහ කරන සේක…
….ආභස්සර බ්‍රහ්ම ලෝක….
ආභස්සර බ්‍රහ්ම ලෝක පිළිබඳ බුදු පියාණන් වහන්සේ අග්ගඤ්ඤ සුතුරෙහි පමණක් නොව, බ්‍රහ්ම ජාල, බ්‍රහ්ම නිමාන්තනික, පඨික ආදී වූ සූත්‍ර දේශනාවන්හි මොනවට පැහැදිලි කරන සේක..ඉතාම පබසර වූ, ප්‍රභාමත්, ආලෝක කිර්ණ විහිදුවන සැහැල්ලු සිරුරු ඇති, පියාසැරි සහිත, නිදුක් ජීවිත ගත කරන බ්‍රහ්මයින් මේ ලෝකයන්හි ඇති හෙයින් ඒවා “ආභස්සර” ( නොහොත් පබසර ) බඹ ලෝ වේ..මේ බ්‍රහ්ම ලෝක වල ආයු කාළය මහා කල්ප අටක් පමණ වෙතැයි බුදු දහමේ සඳහන්ය..මේ ආභස්සර බ්‍රහ්ම ලෝක වනාහි බුදු දහමේ එන රූපාවචර, අරූපාවචර යන බ්‍රහ්ම ලෝක කොටස් යුග්මයෙන්, ” රූපාවචර” නොහොත් රූප කායන් සහිත, බ්‍රහ්ම ලෝක තලයන්ට අයත් වන බ්‍රහ්ම ලෝකයකි..ද්විතියික දැහැන් වැඩූවන් මෙහි උපත ලබන හෙයින් මෙය “ද්විතියික ධ්‍යාන බ්‍රහ්ම ලෝකය” ලෙසද නම් කෙරේ..( බුදු පියාණන්ගේ සිරි සදහම් මගෙහි, දීඝ නිකායේ මේ පිළිබඳව බොහෝ අවබෝධයක් ලබා ගත හැකි සූත්‍ර දේශනා රැසකි..උදාහරණ ලෙස මහා සුදස්සන සූත්‍රය, හා පුද්ගලිකව මා වැඩියෙන්ම ප්‍රිය කරන චක්කවත්තී සිංහ නාද සූත්‍රය ගත හැක )
….කල්ප විනාශයෙන් පසුව….
දැන් අප සප්ත සූරියග්ගමන සූත්‍රයත්, අනාගතවංශ දේශනාවත් මඳක් පරිශීලණය කර බලමු..ඒ දේශනාවන්ට අනුව කල්පාවසානයේ මේ පෘතුවිය පුපුරා කැබලී වී, ධූලි වලාවන් බවට පත්ව යති..ඉන් අනතුරුව කාලාන්තරයක් තිස්සේ එලෙස පැවතී, යළිත් ඒ, ඒ කාබනික සක්‍රීය ප්‍රතික්‍රියා ඔස්සේ නැවතත්, ග්‍රහ ලෝකය නිර්මාණය වේ..මෙම ක්‍රියාවලියද සංසාරය සේම චක්‍රීයව සිදුවේ..එනිසා බුදු දහමට අනුව කාලානුරූපීව පෘතුවියේ හට ගැන්ම හෝ අවසානය යනු “කෝටුවක කොන් දෙක මෙන්” නිශ්චිත මුලක් හා අගක් ඇති දෙයක් නොවේ..එය චක්‍රයකි..ඇතිවෙයි..පවතියි..නැතිවෙයි..නැතිවී පවතියි..යළිත් ඇතිවෙයි..යනාදී වශයෙන් සිදුවන ක්‍රියාන්විතයකි..නමුත් මේ ග්‍රහ ලෝකයේ යළි, යළිත් හට ගැන්ම කල්පානූරූපීව සිදුවෙයි..මක් නිසාද, මෙය “බුද්ධෝත්පාද”, නො එසේ නම් විශ්වයට බුදු වරුන් පහළ වන ග්‍රහ ලෝකය බැවිනි..
( For the benefit of my English readers: Buddhism is the only religious theology on Earth, which preaches a theory of “Deformation and reformation” of Earth, subjected to matter.. )
මෙවැනි පෘතුවි විනාශයකදී එහි සිටින ජීවින් කොහේ උපත ලබනාවද? මේ ගැටළුව විසඳා ගැනීමට බොහෝ විමසීම් කළෙමි..මෙයට ලැබුණු පිළිතුරු බොහෝය..නමුත් ඒ පිළිතුරු අතරේ වඩාත්ම බුදු දහම නිවැරදිව පහදා දෙන පිළිතුරු අඩංගු වූයේ “අජාන් බ්‍රහ්මවංසෝ” නම් බ්‍රිතාන්‍ය ජාතික ස්වාමීන් වහන්සේගේ හා අපේම කිරිබත් ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවන්හීය..උන් වහන්සේලා දෙපළම බුදු දහමේ ඒ ගැන ඇති දැක්ම ඉතා නිරවුල්ව දෙසන සේක..ඒ අනුව, එලෙස පෘතුවිය විනාශ වී යද්දී එහි වෙසෙන යහපතෙහි නියැළුණු, යහපත් දැකුම් ඇති පිරිස් මෙවැනි ආභස්සර බඹ ලෝ තලයන්හි උපත ලබන අතර, මිසදිටුව නිසා නොමඟ ගියෝ “අන්තරීක්ෂ කල්පාන්ත නිරයන්හි” ගිනි දැල් මැද උපත ලබති..මේ හැර, මේ අතර මඟ, එනම් ඉතාම යහ පැවැත්මක් නැත්තා වූද, එහෙත් බොහෝ පව් කම් කොට නැත්තාවූද, ඒ, ඒ පව් පින් තලයන්හි සිටින ජීවිහු, මිනිසාට ඇතැම් අංශ වලින් සමාන යැයි සැළකෙන ජීවින් සිටින ග්‍රහ ලෝක වල,හෝ දෙව් ලෝක ආදියෙහි උපත ලබනු ඇත….උදාහරණ ලෙස ගතහොත් : එක සූර්යයෙකුගෙන් හා එක සඳකින් ආලෝකය ලබන “චූලනිකා” ලෝක ධාතුව නොහොත් ලෝක 31 ක් එක්වීමෙන් සෑදෙන ලෝක ධාතුව, සහස්සී ලෝක ධාතුව ( චුලනිකා ලෝක ධාතූන් 1000 ක් එක්වීමෙන් තැනෙන ), ද්වී සහස්සී ලෝක ධාතුව ( එමෙන් දෙගුණයක් එක්වීමෙන් තැනෙන ), ත්‍රී සහස්සී ලෝක ධාතුව ( එමෙන් තෙගුණයක් එක්වීමෙන් තැනෙන ) යනාදී වශයෙන් බුදු දහමේ විශ්ව විග්‍රහයේ එන විශ්ව වස්තු මණ්ඩල ඇති හෙයින් මේවායේ මිනිස් ලොවට සමාන, මිනිසුන්ට හැඩ හුරුවෙන් සමාන ජීවින් වෙසෙන වෙනත් ග්‍රහ ලෝක දහස් ගණනක් තිබේ..මේ හැර දිව්‍ය ලෝක, අසුර ලෝක, ප්‍රේත ලෝක ආදී තවත් ලෝකද දහස් ගණනකි..එනිසා මේ පෘතුවි තලය විනාශ වී යන දවසක මිනිසා ඇතුළු ජීවින් පුනුරුප්පතිය ලබන්නේ කොහේදැයි? මහා විශාරද ගැටළුවක් ලෙස ශාස්වථවාදීන් අපෙන් අසන විට දෙන්නට පිළිතුරු ඕනෑ තරම් තිබේ..මේ පිළිතුරු දීඝ නිකාය හොඳින් කියවන අයෙකුට ඇති තරම් සොයා ගත හැකියි..එවිට ” අපි නැවත, නැවතත් උපදිනවා නම් මේ ලෝකය විනාස උනාම අපි යන්නේ කොහේටද? යන ගැටළුවට කදිම පිළිතුරක් එයින් බුදු දහම සපයා ඇත.. 

….යළි ඇතිවීම…. දැන් ක්‍රමයෙන් පෘතුවි තලය යළි වෙනත් අයුරකින් හෝ ඒ ධූලි වලායන්ගෙන් ඒක රාශි වී ඇති වීම ඇරඹේ..මෙය සම්බන්ධව විවිධ බොදු උගතුන්, විවිධ මත පළ කරති. ඇතැම් අය පවසන අන්දමට මේ හට ගැනම සමස්ථ සෞර ග්‍රහ මණ්ඩලයේම හට ගැන්මක් වන අතර, ඇතැම් අය ඊට රැහැණිව යමින්, මේ පෘතුවියට පමණක් සීමා වූ හට ගැන්මක් ලෙස අරුත් දක්වයි..මේ නිසා, අප මෙතැනදී පෘතුවියට පමණක් සීමාවූ හට ගැන්ම ( අග්ගඤ්ඤ සූත්‍රය ගැන කථා කරන හෙයින් ) ගෙන හැර දක්වමු.. පෘතුවි ගෝලය මෙසේ හට ගනී..අනතුරුව අකුණු සහිත බිහිසුණු වැසි හට ගනී..මේ වැසි, මෙකළ අප දකින සුළු වූ වැසි නොවේ..මහා සාගර හට ගන්නට තරම් බල සම්පන්න ජල ධාරිතාවයන් සහිත වැසි වේ..මේ වැනි වැසි මඟින් සමස්ථ පෘතුවියම වසා පැතිරෙන ජල පෘෂ්ඨයක් සෑදේ.. “වාසෙට්ඨයෙනි, මෙවිට පෘතුවි තලය සහ මුලින්ම ජලයෙන් වැසී පවතී, ඇත්තේ ඉතාම ඝණ අන්ධකාරයකි..චන්ද්‍ර, සූර්යයෝ නොදකිති..තාරකාවෝද නොදකිති..දිනයෙහි, රැයෙහිය කියා වෙනසක් නොමැත..මාස, සති, වර්ෂ, සෘතු යනාදි කාල ප්‍රභේද නැත…” .. මෙන්න මෙතැනදී, “පෘතුවියට වඩා සූර්යයා පැරණි බැවින්, එහෙනං එළියක් නොදකින්නේ ඇයි? එහෙනං මේ සූත්‍රයෙහි එන ඇරඹුම පිළිබඳ කතාව බොරු නේදැ” යි අසමින් බුදු දහම අභියෝගයට ලක් කරන බොහෝ දෙනා පනිති..නමුත් ඒ අයට ඉවසීමෙන් දිය යුතු පිලිතුර වන්නේ, බොහෝ විට නිහාරිකා තුල තරු පන්ති පවා නිර්මාණය වන “විශ්ව ධූලි” නොහොත් Cosmic Dust තවමත් පෘතුවිය මත මූලික සැකැස්මේ ඇති හෙයින්, ඒවායෙන් හිරු, සඳු ආවරණය වන බවය..මේ වායු ධූලිය, මුළු මහත් පෘතුවි වායු ස්ථරයම වසා ඝණ වලාවක් ලෙස පවතී..මේ මේඝ වලායෙන් කාබනික ප්‍රතික්‍රියා මඟින් අකුණු සහිත බලවත් වැසි, මේඝ ඝර්ජනා ඇතිවෙයි..මෙවිට ප්‍රාථමික අවදියේ සිටින පොළවෙහි ස්වරූපය ඉතා භයංකරය… මෙලෙස මේ ලොව විදාරණය වන විට, ආභස්සර බඹ ලෝ වලින් අර ඉහත කී, දිලිසෙන සෝබාමාන සිරුරු ඇති ජීවිහු, නොහොත් බඹුන් අවුදින්, ( ඇතැම් විට ඔවුන්, ඒ බඹ ලෝ වල උපත ලබන්නට ඇත්තේද, මේ නව පෘතුවිය හටගන්නට පෙර පැවති ලෝ තලයේ, කල්පාන්තයේ ජීවත්ව සිට ඉන් පරලොව ගොසින් විය යුතුය..ඒ බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය කල්ප 8ක් බැවින්, මේ පෘතුවි තලය නැවත බිහිවන තෙක්ම ඔවුන්ට ජීවත් වීමේ හැකියාව ඇති හෙයින්, තමා කලින් ජීවත් වූ පෘතුවි තලය පිරික්සීමට ඔවුහු එනවා විය යුතුය..) මෙහි ආකාශයේ පාවෙමින් සැරි සරති.. ඔවුහු අර ඉහත කී දැවැන්ත ජල පෘෂඨයෙහිද සැරි සරති..ඔවුහු අලිංගිකය ( බ්‍රහ්ම ලෝක වල, කාම ලෝක ධාතූන් තුල මෙන් ලිංගික සංසර්ගයෙන් තෘප්තියක් ලැබීමක් නැත..මේ නිසා බ්‍රහ්මයන් ලිංගිකව කොටස් වලට නොබෙදේ..කෙටියෙන් කියතොත් ඒවායේ “මිස්ටර්” සහ “මිස්” ලා නැත ) ” වාසෙට්ඨයිනි..කළක් ඇවෑමෙන්, මේ ජල තලය මත, ක්‍රමයෙන්, කිරි පැසක, කිරි සීතල වන විට, ඒ මත කිරි සමක් (Skim of the milk නො එසේ නම් “යොදය”) වැඩෙන්නා සේ, ක්‍රමයෙන් ගොඩ බිමක් පැතිරී යයි…එම ගොඩබිම් පසෙහි වර්ණ, ගන්ධ, රස යන ත්‍රිත්වයම අන්තර්ගතය..මෙහි රසය මී විළඳ සේය..මේ රස පොළව පහළ වීමයි…” මේ වන විට හිරුගේ කිරණ, “හිරු පීඩනය” (Pressure of Solar Rays)මඟින් අර වායුගෝලය වසා තිබූ දූලි වලා තට්ටු විදගෙන, ඒවා මැඩගෙන පොළෝ මතුපිටට, වදින හෙයින්, පොළව මත ඇති මහා ජල ගෝලයෙන් යම් තරමක් වාෂ්ප වී යාමෙන් හෝ, පෘෂ්ඨයන් පහළ වෙති..නො එසේ නම් භූමි තල (Earth Plates) එකිනෙකා හා තෙරපී ඉස්සීමෙන් ගොඩ බිමක් පහළ වේ…දැන් මේ දෙස අවධානය යොමුකරන්න..බටර් නොහොත් වෙඬරු, මාජරින්, එමෙන්ම බියර් වර්ග, ඇතැම් වයින් වර්ග, දත් බෙහෙත් වර්ග නිෂ්පාදනයෙදී ද, ඇමෝනියා යොදා ගැනේ…නැතහොත් ඇමයිනෝ අම්ල කාරක යොදා ගැනෙති..නූතන විද්‍යාව බෙහෙවින්ම දඟලා නිවැරදිව ග්‍රහණය කර ගෙන ඇති දෙයක් වන්නේ, ප්‍රාරම්භක පෘතුවිය මත තිබුණු ඇමයිනෝ අම්ල ” මේ පොළවේ” ජීව කාරයකන් නොහොත්, ජීවය තනන “බිල්ඩිං බ්ලොක්ස්” වූ බවය..මේ ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන ලෙස වර්ධනය වී, ඒ ප්‍රෝටීන න්‍යෂ්ඨික අම්ල ලෙස වැඩී එයින් ජීව දේහ හටගත් වග විද්‍යාව විසින් එහි “ඇබියෝජෙනෙසිස්” අධ්‍යයන ශාඛාව ඔස්සේ මනාව හඳුන්වා දී තිබේ..මෙතැනදී නූතන විද්‍යාව අග්ඤ්ඤ සූත්‍රය හා යම් තාක් දුරකට සමපාත වනු ඇත.. මක් නිසාද, බුදු පියාණන් වහන්සේ විසින් “වෙඬරු වර්ණයෙන්” යුක්තය කියා දෙසා ඇත්තේ, අනිවාර්යෙන්ම, වෙඬරු නිෂ්පාදනයේදී යොදා ගන්නා ඇමයිනෝ අම්ල අන්තර්ගත රස පොළව ඒ වර්ණයෙන් තිබූ නිසාම විය යුතුය…නූතන විද්‍යාව දිවා, රෑ දඟලා, දත කා සොයා ගත් මේ දෙය, බුදු රජාණන් වහන්සේ ඊට වසර දහස් ගණනකට පෙර සර්වඥතා ඤාණයෙන් අවබෝධ කරගෙන දෙසා වදාල හෙයින් එයත් විද්‍යාවට නම්බු දිය හැකි “අළුත්” සොයා ගැනීමක් නම් නොවෙයි… “වාසෙට්ඨය! රසයේ ගිජු වූ මොවුන්ගෙන් ඇතැම්හු, ” මේ කිමෙක්දැයි රසය බලමෝදැයි” පවසා ඒ රස පොළවේ, රස බැලූහ..රස බලන්නට, බලන්නට, එය හා තණ්හායෙන් ඇලුණු හෙයින් රසයේම ගිජුවී දිගින්, දිගටම රස බැලූහ..මෙසේ රස බලමින් යද්දී, ඔවුන්ගේ සිරුරු වල ප්‍රභා මණ්ඩල අහෝසි විය, ඝණ විය..ක්‍රමාණුකූලව එකිනෙකාගෙන් වෙනස් විය..ලිංගික රූපකායෝ සහිත විය..ලස්සනයැ..අවලස්සනයැ..සම්මත ඇති විය..” මේ වූ කලී, මේ මහ පොළවේ සෙසු ජීවය පහළ වූ ජීව සූපයයි..උක්ත බ්‍රහ්මයන් එහි රසයට ඇලී, ගැලී රස පොලව දිගින්, දිගටම කැබලි කොට වැළදූහ..අනතුරුව අනුවණයන් ලෙස එයටම තණ්හාධිකව ඇලුණෙන්, සිය සිරුරු වලින් විහිදුණු ආලෝක මණ්ඩල අහිමි කර ගත්හ..එවිට, තමාගේ “ස්වයං ආලෝකය” අතුරු දන් වීමත් සමඟම මොවුන්ට හිරු, සඳු දිස්වීම ඇරඹිණි..දහවල, රැයින් වෙන්ව දැනෙන්නට විය..තව, තවත් රසයේ ගිජුව වැළඳූහ..සිරුරු ඝණ විය..පෙර මෙන් ඒක රූපී භාවය අහෝසිව ගොස්, විවිධ රූපකාය මතුවන්නට විය.. තත්වය බරපතළ වීම ඇරඹුණේ මෙතැන් සිටය..මේ අයුරින් සිරුරු වෙනස් වන්නට ගත් නිසා, “ලස්සන, අවලස්සන” ආදී වශයෙන් සංකල්ප බිහිවීම ඇරඹුනි..අහසින් ගමන් කිරීමේ, පාවීමේ ආදී නිරාමිස බ්‍රහ්ම දේහ ධාරීන්ට උරුම හැකියාවන්ද අහෝසි විය..බ්‍රහ්ම ලෝක වල මෙන් දීර්ඝායුෂ “භෞතික, ඝණ දේහ සහිතව” පවත්වා ගත නොහැකිය..මක් නිසාද ඒවායේ සෛල වයස් ගත වන බැවිනි..ඝණ නොවූ විශ්ව සිරුරු ඇත්තන්ගේ සියුම් සෛල වයස් ගත වන්නේ ඉතාමත් සෙමිනි..මේ බවට අපට ආසන්නයේම ඇති උදාහරණය වන්නේ..පෘතුවියෙන් පිටත අභ්‍යාවකාශ මධ්‍යස්ථාන වල, “අව-ගුරුත්ව” තත්වයන් යටතේ සිටින ගගනගාමීන්ගේ දේහවල වයස් ගත වීමේ වේගය අඩු බව සොයා ගැනීමය..මේ නිසා ගුරුත්වාකර්ෂණයේ සවියට සවියට හසු වූ ඝණ සිරුරු ඇති බ්‍රහ්මයන්ට දිගු ආයුෂ අහිමි විය.. “ජනනේන්ද්‍රිය අතින් ඔවුහු ස්ත්‍රී, පුරිස් ලෙස වෙනස් විය…ලිංගේන්ද්‍රිය පහළ විය..යමෙකු ස්ත්‍රී වූයේ නම් ස්ත්‍රී ලක්ෂණද, පුරිස වූයේ නම් පුරිස් ලකුණුද පහළ විය….ඔවුනොවුන් කෙරෙහි ඇලීම, ලිංගික තෘෂ්ණාව ඇති විය..” මේ ලෙසින් මිනිසාගේ රූපකාය පහළ විය..ලිංගේන්ද්‍රියෝ හට ගැන්මත් සමඟම, සාමාන්‍ය කාම ලෝක වල ඇති, ගැහැණු, පිරිමි භේදය පහළ විය..විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ලිංගිකව එක්වීමේ ආශාව හට ගති..මුලදී, මෙලෙස එක්වන පිරිස් සෙසු මනු කුළ වාසීහු සිය වාසයෙන් බැහැර කළ නිසා, වෙන කුටුම්භ තුළ ලිංගිකව එක්වීමට ඔවුහු සකසා ගත්හ..ප්‍රජනනයෙන් දරුවන් බිහි කිරීම මිනිසා මෙසේ ඇරඹුවේය.. ….මිනිසාගේ ආහාර චක්‍රයේ ආරම්භය…. ඉහත ලෙස මිනිසාගේ රූප කාය පරිණාමය වීමට සමාන්තරවම, සමඟාමීවම මිනිසාගේ ආහාර චක්‍රයද පහළ වීම සිදුවෙමින් පැවතිණි.. “ඉහත රස සහිත භූමියම බොහෝ කල් ඔවුහු වළඳන විට ඒ අතුරු දන් විය..ඉක්බිති බොහෝ වර්ණ සහ ගන්ධ සහිත “ඕජාවෝ” ( භූමි හතු ) පහළ විය..මොවුහු ඒවාටද ගිජුව දිගුවටම වැළඳූහ..ඔවුන්ගේ සිරුරු වලට යම් වර්ණ පහළ විය..මේ වර්ණ වලින් මොවුන් මත්ව සිටින විට ඒ ඕජාවෝද අතුරුදන් විය..මෙවිට බදාලතා නම් වැල් වර්ගයක් හට ගත්තේය..එහි රසයට හා වර්ණයටද ගිජු වූ ඔවුහු ඒවාද අනුභව කරන්නට වූහ..කාලයක් ඉකුත්ව ඒවාද අතුරුදන් විය..” මේ වන විට විවිධ වෘක්ෂ ලතා පහළ වී තිබුණා විය යුතුය..මෙයින් කියැවෙන්නේ මිනිසා “තැත් වරද ක්‍රමයට” ඒවායේ එක, එක කා බලමින් තමනට “ප්‍රධාන ආහාරයක්” සහිත ආහාර චක්‍රයක් සකසා ගත් ආකාරයයි..නො එසේ නම් මහ පොලවේ ආහාර දාමයන්ට මිනිසාද එක් වූ ආකාරයයි….මෙතැන බුදු පියාණන් වහන්සේ වාසෙට්ඨයන්ට දෙසා වදාරන්නේ මිනිසාට ආහරමය වශයෙන් ප්‍රයෝජනවත් වූ තුරු ලතාවෝ ගැන පමණි… මෙවිට මහ පොළවේ අතරමං ව සිටි පිටින් ආ මිනිස් වර්ගයා තවමත්, වගා කරගෙන කෑම අවබෝධ කරගෙන නොසිටියා විය යුතුය…එවිට “බුද්ධෝත්පාද” ග්‍රහ ලෝකයේ මිනිස් ජීවය පවත්වා ගෙන යෑමට දායක වන, එයට වග කියන ශුද්ධ වාස ආදී බ්‍රහ්ම ලෝක වල ජීවින්, මිනිසාට රැකෙන්නට යම්, යම් උදව් උපකාර කරන්නට ඇත..අපේ පළමු ශිෂ්ඨාචාර සියල්ලම පාහේ, පිට සක්වළ සමඟ පැවැත්වූ සම්බන්ධතාවන් සිය ඉතිහාසයන්හි සටහන් කර ඇත්තේ මෙහෙයින් විය යුතුය… මෙයින් පසුව අග්ගඤ්ඤ සූත්‍රයෙහි තුන්වන කොටසේ බුදු පියාණන් වහන්සේ, උක්ත සාමනේර දෙනමට, මිනිසා අතුරින් පාලකයන්, උස්සන් පහළ වූ සැටිත්, ඒ, ඒ කුල ප්‍රභේද හට ගත් හැටිත්, බමුණු මත සුන් කරමින්,ඉතාම නිවැරදිව කියා දුන් සේක..

මා මෙම ලිපියේ පළමු වැනි කොටසෙන් ඔබට සඳහන් කළ, චාර්ල්ස් ඩාර්වින්ගේ පරිණාම වාදයට එරෙහිව දැන් ලොව ගොඩ නැඟී ඇති ප්‍රධානතම තර්ක ත්‍රිත්වය දැන් නැවතත් ගෙන බලන්න…
මේ තර්ක ත්‍රිත්වයටම බුදු දහමෙන් කදිම පිළිතුරු ඉහත අග්ගඤ්ඤ සූත්‍රයෙන් ලැබෙනවා නේද? ඉතාම පැහැදිලිව ලැබෙනවා..නමුත් මේ තර්ක හමුවේ ඩාර්වින් වාදය අන්ත අසරණයි..බුදු දහම සනාථයි..බලන්න, කාලානුරූපීව වඩා සංකීර්ණ දේ පරිණාමයට අඩු කාළයක් ගොස් ඇත්තේ ඇයිදැයි අසන පැනයට ලබා දිය හැකි විසඳුම වන්නේ, එය ඩාර්වින් වාදයේ සාවද්‍යතාවය මනාව ඔප්පු කරන වැරදීමක් බවය..
නමුත් අපට බලපෑ යම් කිසි ස්වභාවික පරිණාමික ප්‍රතිරෝධයක් අනිත් සතුන්ට බල නොපෑවේ ඇයි? යනාදී වශයෙන්, අප මේ තාක් වැට කඩුළු පනින්නට සමත් වූ විට අනෙක් සත්ව කොට්ඨාශ අප මෙන් නොවන්නේ ඇයි?..මේ ග්‍රහ ලෝකයේ මේ වැනි, දියුණු, බුද්ධිමත්, චින්තන රටා හිමි ජීවින්ට “මිනිසුන්” වන අප පමණක් ඉතිරි වී සිටින්නේ ඇයිද? යනුවෙන් අසන ඕනෑම ගැටළුවකට දිය හැකි පිළිතුරු අග්ගඤ්ඤ සූත්‍රයෙහිම අන්තර් ගත නොවේද?..ඒ පිළිතුර වන්නේ
“අපි ආවේ පිටින්” යන්නය..
….අවපරිණාමය….
එසේ නම් හිතවතුනි! බුදු පියාණන්ට අනුව බලන්න..මේ අප යන්නේ “අධි පරිණාමී” මාවතකද? නො එසේ නම් අප පරිණාමයෙන් ඉදිරියට යනවාද? නැති නම් අප පරිණාමයෙන් යන්නේ ආපස්සටද?
මුලින්ම බ්‍රහ්ම තලයක අතිශය මනසින් දියුණු ජීවින් ලෙස අප සිටියෙමු..අනතුරුව ඒවා අහිමි කර ගෙන, එහෙත් පුෂ්ඨිමත් නිරෝගී මනුෂ්‍යයෝ වූහ..එහෙත් මානසික තලයෙන්, මානසික පරිණාමයෙන් බෙහෙවින් පහළට වැටී, කාමයෙහි ඇලුණු, අර නිරාමිස ප්‍රීතිය නැති කර ගත්, තෘෂ්ණාධික මනස් ඇති නොදියුණු ජීවිහු වූහ…බ්‍රහ්ම තලයේ තිබුණු ආයුෂද පිරිහී ගියේය..දැන් එන්න, එන්නම අප මිටි වේ..අපේ ශරීර කෘෂ වේ..උදා: ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය පුරුෂයෙකුගේ උස පසු ගිය වසර 10 තුළ පමණක් අඟල් තුනකින් අඩුවී ඇත..අතීතයේ අපේ පැරැණ්නන්ට තිබූ නීරෝගී බව දැන් නැත..බුදු හිමියන්ගේ අනාගත වංශ දේශනාව පරිදි අනාගතයේ වසර 10 ක පරමායුෂ ඇති, තුත්තිරි ගසිනුත් සෙවන ලබන දේහ ඇත්තවුන් බිහි නොවිය හැකිද?..
දි‍යුණුව හෝ ඉදිරි ගමන යනු මේ අද ලබා ගෙන ඇති ආකාරයේ කාම සුඛල්ලික “මැටීරියල් ඇසෙට්” පස්සේ හති දම, දමා දිවුම නොවේ..ඒ දුවන්නට, දුවන්නට අප මනසින්, මනෝ ශක්තියෙන් පිරිහී යයි..
“මිනිස් වර්ගයා ඒ, ඒ තලයන්ගෙන් පහළට, පහළට බැස යන හැටි ඔබට පේනවා නොවේද? මේ “අවපරිණාමයක්” නොවේ නම් වෙන කුමක්ද?”
ඔළුවෙන් හිටගෙන කිව්වත් ඉස්සරහට, පස්සට නිතර මතවාදීව දෝලනය වන බටහිර විද්‍යාව මේ සුපැහැදිලි බුද්ධ දේශණය හමුවේ නිෂ්ප්‍රභා වී යයි…මේ සංසිද්ධි වල ගැලපීම බටහිර විද්‍යාවට සිතා ගන්නටවත් නොහැක..
     

අන්තර්ජාලය ඇසුරිනි  …

Join the discussion 4 Comments

  • thilina sachintha says:

    Parinama wadaya boruwak bawa aththa..
    Namuth mata mehidi apahadili karunak atha.enam dainosarayange pahala wima kese uwakda?anekuth sathwayan pahala uye keseda?esenam dainosarayan pamanak winasa wi minisun ithiri wanne kohomada?

    Mema gataluwata karunikawa pilithurak ma balaporoththu wemi….
    Sthuthi….

  • Rather informative. Precisely what I have been searching for!

  • erandha says:

    thilina sachintha, aggakcha suthra deshanawe pahadili karala tiyenne siyaluma sathwayage pahala weemayi, karmanu rupiwa e e sathwa nikayawal wala pahala weemayi, mehi sadahan kara aththe minisage pahala weema pamani, karuna kara aggakcha suthra deshanawa kiyawanna.

  • ගඟුලි says:

    චීන⁣යෙන් වෙනස් මතයක් ඉදිරිපත් වෙනවා කියලා ලිපියේ සඳහන් වෙනවා. ඒ පිළිබඳ ව තව දැනගන්න කැමතියි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.