බුදු රජාණන් වහන්සේ නිසා ලෝකයට සිදු වූ ශාන්තිය අපමණ ය. සියල්ල කියත් ලිපිය දික්වන බැවින් ඉන් කිහිපයක් ඉතා සැකෙවින් ලියනු ලැබේ.
නිදහස
අද මුළු ලොව ම එක සේ පැතිරී පවත්නා අරුම පුදුම වරප්‍රසාදයක් නම් නිදහස යි. නිදහස යනු කුමක් දැයි නිසි ලෙස නොදන්නා ඉතා පිටිසර වැසියා පවා නිදහස ගැන කථා කරයි. මේ නිදහස පිළිබඳ අදහස් ලැබුනේ කොහෙන් ද? සර්ව ලෝකෝත්තම අපේ බුදුරජාණන් වහන්සේ ගෙන් ය. එ මෙන් උන් වහන්සේ ලබා දුන්නේ අද බොහෝ දෙනා බලාපොරොත්තු වන නිදහස නො වේ.
බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි මනුෂ්‍යයනට මෙ බඳු නිදහසක් නොතුබුණේ ය. නිදහසේ සිතන්නට වත් ඉඩක් නො වී ය. විශේෂයෙන් ආගමික නීති රීතිවලින් මිනිසා තිරිසනකු මෙන් බැඳගෙන තුබුණේ ය. ලෝකය බොහෝ දියුණු යැ යි සිතන මේ විසි වන ශත වර්ෂයේ පවා ඇතැම් ආගම්වල නිදහසේ කථා කරන්නට, දැනගන්නා අදහසින් වත් ආගමයේ සමහර කොටස් පිළිබඳ ප්‍රශ්න කරන්නට, අන්‍ය ආගමික පොතක් බලන්නට අවසර නැත. බුදුරජාණන් වහන්සේ තම සවුවනට ඒ බැමිවලින් මිදී නිදහසේ හිතන්නට ඉඩ දුන් හ. බුද්ධ ධර්මයේ රහස් නැති හෙයින් ඕනෑ ම තැනෙකින් ප්‍රශ්න කරන්නට ඉඩ දුන් හ. එ හෙයින් මනුෂ්‍යයාගේ චින්තන ශක්තිය වැඩි දියුණු විය. එහෙත් මෙ කල බොහෝ දෙනා බලාපොරොත්තු වන බාං ළිහා හළ ගොනුන් මෙන් නිදහසේ හැසිරෙන, කතා සහ ක්‍රියා කරන නිදහසක් ප්‍රකාශ නො කළ හ. උන් වහන්සේ ප්‍රකාශ කළේ සුදුස්සාට සුදුසු තැන දිය යුතු නිදහස ය. යමකු එය වරදවා පාවිච්චි කරනුවා නම් එය ඔහු ගේ වරද මිස දුන්නහු ගේ වරද නො වේ. නිසි පමණට යෙදීමෙන් මැරෙන්න යන්නවුන් සුවපත් කළ හැකි තරම් අගනා බෙහෙත් නුසුදුසු ලෙස පමණට වඩා යෙදීමෙන් සුවයෙන් සිටින්නවුන් මරන්නට තරම් පොහොසත් වේ. එ සේ වුවොත් එය යෙදූවහු ගේ වරද මිස සොයා දුන්නහු ගේ වරද නො වේ. මෙසේ සුදුස්සාට සුදුසු තැන සුදුසු පරිදි දිය යුතු නිදහස ලොවට පළමු වරට ප්‍රකාශ කළේ මා ගේ බුදුපියාණන් වහන්සේ ම ය.