අධ්‍යාපන විද්‍යාව යනුවෙන් හඳුන්වන යම් කිසිවක් මේ යුගයේ ඇති බව බොහෝ දෙනා පිළිගනිති. යම්කිසි විද්‍යාවක් ගොඩනැංවීමට මූල ධර්ම කීපයක් තිබිය යුතු වෙයි.
බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමය ගොඩනංවා තිබෙන්නේ ද මූල ධර්ම කීපයක් අනුව ය. අද අප බෞද්ධ අධ්‍යාපනය යනුවෙන් හඳුන්වන්නේ එය යි.
ඉන් අදහස් කරන්නේ මිනිසා ගේ ශික්ෂණයට මුල් තැන දෙන අධ්‍යාපනයකි. බුදුරජාණන් වහන්සේ නූගත් කමට නිගරු කොට උගත් කමට ගරු කළහ.
පුරාණ කාලයේ උගතාට කීවේ බහුශ්‍රැත කියා යි. නූගතා හැඳින්වූයේ අල්පශ්‍රැත නමිනි. වර්තමානයේ මෙන් පත පොත හැදෑරීමෙන් ලබන ඉගෙනීමක් ඒ යුගයේ තුබුණේ නැත. කටින් පවසන දේ අසමින් ලැබූ අධ්‍යාපනයක් එ කල පැවැතුණු නිසා බොහෝ දේ අසා ඇති තැනැත්තා උගතකු මෙන් සලකන ලදි.
බෞද්ධ අධ්‍යාපනයේ හැටියට එහි මුල් යුතුකම විනීත සිසුන් තැනීම ය. ශිෂ්‍යයා ගේ හැදීම ප්‍රධාන අංගය වශයෙන් සැලැකෙයි. උගත්කම මඳක් අඩු වුවත් සමාජයට හැදිච්චකම, ශික්ෂණය අවශ්‍ය යි. හැදිච්චකමත් උගත්කමත් දෙක ම ඇති පුද්ගලයා දඹ රන් කැබෙල්ලක් හැටියට උපමා කොට ඇත්තේ ය.